සංහිඳියාවෙන් පෝරකයට ගිය සිංහල මුස්ලිම් සුමිතුරෝ-4
පෙරහැර සමයේදී හැර කිසිදාක නගරයට නොපැමිණෙන ගම් වැස්සෝ එදා සිය පවුල් පිටින් මහනුවරට පැමිණියහ. සරදියෙල්ගේ අභීත ක්‍රියා කොතරම් දුරට මිනිසුන්ගේ සිත්සතන් තුළ කාවැදී තිබුණේද යන්න මෙදින තරම් ප්‍රකට වූ අන් දිනයක් නොතිබුණි. මෙතරම් විශාල ජනකායක් රැස් කකා සිටියේ සරදියෙල්ගේ අවසානය දැක බලා ගැනීම සඳහාය. එදා මරණීය දඬුවම ක්‍රියාත්මක කරන ලද්දේ මහජනයා ඉදිරියේය.
තවත් මිනිත්තු කීපයකින් නවයේ කණිසම නාදවනු ඇත. මේ වන විට කිතු දහම වැලඳගෙන ජෝසප් යනුවෙන් නම වෙනස් කරගෙන සිටි සර්දියෙල් සහ ඔහුගේ හිතෛෂීවන්ත අනුචරයා වූ මම්මලේ මරික්කාර් ඔවුන්ගේ සිර මැදිරිවලින් පිටතට ගෙන එනු ලැබූහ. පිස්කල් නිලධරයන් වධකයන්, යුද්ද භටයන් සහ පොලිස් භටයන් සමග මෙම පෙරහර වීථියට පිළිපන්නේය. රෝමානු කතෝලික පූජකතුමෙකු වූ ඩූෆේ පියතුමා සරදියෙල් සමග උරෙන් උර ගැටෙමින් ගමන් කළ අතර මම්මලේ මරික්කාර් සමග ලෙබ්බේවරයෙක් ගමන් කළේය.
සියලු පෘථග්ජනයන්ට පොදු ධර්මතාවයකට යටත්ව මරණය හමුවේ ඔව්හු තැතිගත් ස්වරූපයකින් ගමන් කළහ. මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසු තමාගේ ජීවිතයේ දින ගණන් කෙමෙන් අවසන් වන බව ආවර්ජනා කරමින් බන්ධනාගාරයේ ගත කළ මසක් පමණ කාලය තුළදී ඔවුන් කෙතරම් සුදුමැලිවී සිටියේද යත් ඔවුන්ගේ ඇගේ ලේ පොදක්වත් නැත්තා සේ පෙනිණි.
ධෛර්ය සම්පන්න මිනිසෙකු වූ සරදියෙල් තමාගේ එඩිතරකමට සරිලන පරිදි තරමක් නොපැකිළි ගමන් කළ අතර එසේ ගමන් කරද්දී තමා අතේ තිබුණු පොතක් හඬ නගා කියවීය. නමුත් මම්මලේ මරික්කාර් බොහෝ සෙයින් කැලඹී සිටි බව පෙනුණි. අධෝමුඛව ගමන් කළ ඔහු එක් වරකුදු හිස ඔසවා සෙනග දෙස නොබැලීය.
මේ පෙරහර අවමඟුල් පෙරහැරක් මෙන් ඉතා සෙමින් වීදිය දිගේ ගමන් කොට පෝරකය ඉදිකොට තිබුණු කඳු ගැටය කරා ළඟාවිය. මෙහිදී පිස්කල් නිලධාරි ටෙම්ප්ලර් මහතා විසින් මරණ තීන්දුව කියවන ලදී. මෙවිට බලා සිටි සියලු දෙන මවිතයට පත් කරමින් සරදියෙල් දණින් වැටී, ක්‍රිස්තියානි ආගමට අනුව තම අවසාන සත්ප්‍රසාදය ලබා ගත්තේය. ඉන් පසු ඔහු නැගී සිට තම මරණය බැලීමට රැස්ව සිටි මහත් ජනකාය අමතා මෙසේ ප්‍රකාශ කළේය.
“හිතවතුනි, මා මෙන් මෝඩ වැඩ හෝ අඥාන වැඩ නොකරන්න. මා කර ඇත්තේ මෝඩකම්ය. මා ඒවා කළේ නමක් ලබා ගැනීමටය. මම ඇත්ත වශයෙන්ම නමක් ලබා ගතිමි. නමුත් මා එය ලබා ගැනීම සඳහා කර ඇති කැප කිරීම කුමක්දැයි දැන් ඔබට පෙනේ. මගෙන් ආදර්ශයක් ගන්න. මා ගත කළ සාපරාධී ජීවිතය ගැන මම කනගාටු වෙමි. මා කළ අපරාධවලට වන්දි වශයෙන් මරු වැළඳ ගැනීම මට ප්‍රීතියකි.”
මේ වචනත් සමග රැස්ව සිටි ජනතාව අතර හීන් කසුකුසුවක් ඇසුණේය. ඔවුන් අතර සිටි එක් තැනැත්තියක ඉකිගසනු ඇසුණි. සරදියෙල්ගේ මව වූ පිචෝ හාමිගේ රැළි වැටුණු කම්මුල් දිගේ කඳුළු ධාරා වැගිරෙන්නට විය. අඬා වැලපීමෙන් ඇගේ ඇස් රතුවී තිබුණි. වෙනත් කවර වුවද මවක තම දරුවා වෙත දක්වන ආදරය ඇගේ දරුවා වෙනුවෙන් ඇගේ හද තුළ පිරී ඇති වේදනාවෙන් මුසපත් කිරීමට සමත්විය.
සුනඛ පෝතකයෙකු තම ස්වාමියා කෙරෙහි දක්වන අචල භක්තිය වැනි නොසැලෙන භක්තියකින් අන්තිම මොහොත දක්වා තම යහළුවා අත නොහැරි තරුණ මම්මලේ මරික්කාර් දණින් වැටී තම අවසාන ඉල්ලීම කළේය. ඔවුගේ අවසාන ඉල්ලීම වූවේ ඔහුගේ මෘත ශරීරය මුස්ලිම් චාරිත්‍රානුකූලව භූමදාන කිරීම සඳහා තම ඥාතීන්ට භාර දෙන ලෙසය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ඉන් පසු ආරම්භ විය. සුදු ආවරණයකින් ඔවුන්ගේ මුහුණු වසන ලදී. වධකයන් දෙදෙනා සහ ලෙබ්බෙ පහතට බැස්සාහ. රෝමානු කතෝලික පූජකවරයා නොකඩවාම යාඥා කරමින් සරදියෙල් ළඟ රැඳී සිටියේය. මේ කාලය තුළදී පිස්කල් ටෙම්ප්ලර් මහතා එදෙසට පිටුපස හරවාගෙන සිටි අතර සියල්ල සූදානම් බව ඔහුට දැනුම්දුන් පසු මොහොතක් එදෙසට හැරී බලා සංඥාව දුන්නේය. පෝරකයේ කඩ ඇණය ගලවන ලදී. සිරකරුවෝ දෙදෙනා ඉන් පහතට වැටුණහ. පූජකවරයා උඩ තිබුණු ගරාදියක එල්ලී ගත්තේය.
සිරකරුවන් දෙදෙනා දඟලන බවක් නොපෙනුණි. මාංශපේශී තදවීම නිසා ඉඳහිට ඔවුන්ගේ අතක් ඉස්සී පහත්වූවා පමණි. මිනිත්තු කීපයකින් සියල්ල නිශ්චල විය. පෙරහර ආරම්භ වූ තැන් පටන් සියල්ල අවසානවීම දක්වා මේ සියලු දෙය සඳහා පැය භාගයකට වඩා ගත නොවීය. ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු පෝරකයෙන් ඉවත් කොට, මිනී පෙට්ටිවල බහා සිරකරුවන් විසින් ඇදගෙන යන ලද කරත්තයකින් සුසාන භූමිය කරාගෙන යන ලදී.
ඔවුන්ගේ ඥාතීන් විසින් ඔවුන්ගේ මළ සිරුරු ඉල්ලා නැවත නැවතත් ආයාචනය කරන ලද නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. මළ සිරුරු බලෙන් පැහැර ගෙන යාම වැළැක්වීම සඳහා සිරකරුවන් කණ්ඩායමක් කරත්තය සමග ගමන් කළ අතර ඔව්හු සොහොන රැකවල් කළහ.
ලංකා රයිපල් රෙජිමේන්තුවට අයත් වූද සරදියෙල් අත්අඩංගුවට ගැනීමට ගිය කණ්ඩායමට සහභාගිවූද නිග්‍රෝ ජාතිකයෙක් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ගැන මෙසේ ප්‍රකාශ කර ඇත.
“සරදියෙල්ට විරුද්ධව නඩු විභාග කොට ඔහු එල්ලා මරණ ලදී. ඔහුගේ ස්වාමියා (දෙවියන් වහන්සේ) ඔහුට නැවත පණ දේය යන බයින් ඉංග්‍රීසි ජාතිකයෝ තම ජාතියේ වෛද්‍යවරුන් දොළොස් දෙනෙකු ලවා මෘත ශරීරය පරික්ෂා කරවා ඔහු නිශ්චය වශයෙන්ම මියගොස් ඇති බවට සැක හැර ගත්හ. ඉන්පසු මළ සිරුර යකඩ පෙට්ටියක බහා යතුරු ලා දම්වැලකින්ද ඔතා බැඳ ඉතා ගැඹුරු වළක වළලා ඒ මත සිමෙන්ති බදාම යොදන ලදී.”
මරණීය දණ්ඩනය ලබාදීමේ ක්‍රියාවලිය ගැන යම් හැඟීමක් ලබාදීමට එම උධෘතය සමත්වේයයි මම සිතමි. මරණයේ වේදනාව දැනෙන්නේ මියගිය අයට නොව ජීවත් වන්නන්ට යැයි කියමනක් තිබේ. එමෙන්ම සියලු සංස්කාරයන් අනිත්‍ය යැයි කියවෙන ලෝකයේ බොහෝ දේ වෙනස්ව ඇත. අපේ රටේ මෙසේ ප්‍රසිද්ධියේ මිනිසුන් එල්ලා මරා දැමූ එදා යටත් විජිතවාදීහු අද අපට මානව නිදහස ගැන කියා දෙති. එහෙත් මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කළ යුතුද යන්න ගැන දැඩි විවාදයක් සමාජගතව තිබෙන බව නම් ඇත්තකි. සියල්ල කාලය විසින් විසඳනු ඇත.
සංහිඳියාව ගැනද සඳහන් කළ යුතුමය.
යුක්තිය, අයුක්තිය මිතුරුකම සහයෝගය ආදී සියලු මිනිස් ක්‍රියාකාරකම් රඳා පවතිනුයේ කුල ගෝත්‍ර හෝ ජාති ආගම් අනුව නොවේ. සරදියෙල් පාවා දුන්නේ සිංහලයෙකු වූ සිරිමලා නම්වූ තමාගේම සගයෙකු විසිනි. එහෙත් මුස්ලිම් ජාතිකයකු වූ මම්මලේ මරික්කාර් පෝරකය දක්වාම එක්ව ගමන් කළේය. එසේනම් කුලමල තුළින් මනුෂ්‍යත්වය සෙවීම මුලාවක් නොවන්නේද?
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි