ස්වාධීන විනිසුරුවරයකුගේ නොමියෙන මතකයෙන්....


 

 

ශ්‍රී ලංකාවේ අධිකරණයේ කටයුතු ගැන බොහෝ කතා නිර්මාණය වෙමින් තිබේ. එයට සිදුවූ දේශපාලන ඇඟිලි ගැසීම් හා බලවතුන් විසින් නඩු කටයුතු සම්බන්ධයෙන් කරන ලද බලපෑම් ගැන දැඩි විවේචනයන් එල්ල වෙමින් තිබේ. පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන්ට පමණක් නොව ඉහළ අධිකරණවල අයගේ නම් ද මේ සම්බන්ධයෙන් කියවෙමින් තිබේ. මේ පිළිබඳව මැතිසබේදී, විද්වත් සභාවලදී මෙන්ම පුවත් පත් වලින් ද කතුවැකිවලින් සහ දුම්රියේ බස්රියේදී හා කඩ පිලේදී ද මේ ගැන නොයෙක් දේ කියැවෙනු අසන්නට දකින්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුල් කුලුනු තුන ලෙස සඳහන් කෙරෙනුයේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනය. මේ අතරින් වුවද අධිකරණයේ පැවැත්ම සුවිශේසී වේ. එය සර්ව සාධාරණ විය යුතු මෙන්ම එය එසේ වන්නේ යැයි ජනතාවට පැහැදිලිව දක්නට තිබිය යුතුය. 


දොස්තරවරයෙකුට වැරදුණහොත් කෙනෙක් අඩි හතරක් පොළවෙන් පහළට යන බවත් අධිකරණයට වැරදුණොත් අඩි හතරක් පොළවෙන් ඉහළට එසවෙන බවත් කියවෙන වැකියක් මම ආසා ඇත්තෙමි. එයින් ගම්‍ය වන අර්ථය වනුයේ කිසියම් බලපෑමක් ඇඟිලි ගැසීමක් නිසා හෝ නීතිය වැරැදි ලෙස අර්ථනිරූපණය කර ගෙන වැරැදි තීන්දුවක් ලබාදුනහොත් බරපතළ වරදකට චෝදනා ලැබූ අයෙකුට මරණ දඬුවම ලැබිය හැකි බවයි. ඕනෑම කෙනෙකුට තිබෙන වටිනාම වස්තුව වන්නේ තම ජිවිතයයි. නිවැරැදිකරුවෙකුට එසේ මරණය උරුම වුවහොත් එම වරද කිසිම ආකාරයකින් නිවැරැදි කිරීමට ඉඩක් ඇත්තේම නැත. අද මෙවැනි චෝදනා ද එල්ලවෙමින් තිබේ. මෙය අතිශය භයානකම තත්ත්වයකි. 


මෙවැනි පසුබිමක් තුළ අතීතයේ විනිසුරුවරුන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ කදිම පූර්වාදර්ශ කීපයක් මෙහිලා දැක්වීමට කැමැත්තෙමි. එමගින් ඔව්හු අධිකරණයේ ගෞරවයත් තමන්ගේ ගෞරවයත් නිසි පරිදි රැකගත්හ. එම හැසිරීමෙන්ම තමන්ට සාධාරණය ඉටු වන බවට හැඟීමක් ඇතිකර ගැනීමට සමාජයේ මිනිස්සු සමත්වූහ. අධිකරණයේ පැවැත්ම රඳා පවතින්නේ එම විශ්වාසය මතය. එය බිඳ වැටුණ හොත් මිනිස්සු නීතියේ ආධිපත්‍යය හෝ එහි විධානය ප්‍රතික්ෂේප කරති. එතනින් එහාට කුමක් සිදුවන්නේ දැයි කාටවත් කිව නොහැක. 


ඕනෑම පුද්ගලෙයකුට තම ප්‍රාණය හැරුණු විට වැඩිම වටිනාකමක් ඇති දෙය වන්නේ තම නමයි. නම පෙළපත් නාමය වශයෙන් ද බෙදේ. තම නම රැකගැනීම උදෙසා වටිනාම දෙය වූ ප්‍රාණය පිදූ අය ද ඉතිහාසයේ දක්නට ලැබේ. නම සහ පෙළපත් නාමය කෙනෙකුට එපමණක්ම වටී. අප දන්නා තරමින් තම පෙළපත් නාමය අත හැර දමන්නේ සමාජ කණ්ඩායම් දෙකක අය පමණි. එයින්ම මෙහි බරපතළ තත්ත්වය වටහාගත හැකිය. එසේ කරන්නේ එයට වඩා ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙනි. එය සමාජ චාරිත්‍රයකි. ගිහිගෙය අතහැර සසුන්ගතවන කුලපුත්‍රයෝ තම නම අතහැර දමති. ඔවුන් ඒ වෙනුවට ශාසනික නාමයක් භාවිතකිරීම සිදුවේ. පෙළපත වෙනුවට පාවිච්චි කරනුයේ තමා උපන් ගම වේ. එය කැප කිරීමකි. නොඑසේ නම් අත්හැරීමකි. එය ශාසනික සම්ප්‍රදායයි. තම නම අතහරින අනෙක් කණ්ඩායම නම් විවාහයට පත්වන කාන්තාව වේ. සිංහල සම්ප්‍රදායට අනුව එසේ සිදු නොවුණත් බටහිර ආභාසයට අනුව සමහර කාන්තාවෝ තම පෙළපත් නාමය අතහැර තම සැමියාගේ පෙළපත් නාමය භාවිතකරති. එයද කැපකිරීමක් ලෙස සලකනු ලැබේ. මෙම ප්‍රවේශය දීර්ඝ ලෙස මා මෙම කාරණය ගැන විස්තර කළේ අධිකරණයේ ඉහළ තනතුරක් ලැබූ එක්තරා විනිසුරුවරයෙක් එම තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමටත් තම ස්වාධීන හා අපක්ෂපාත බව ආරක්ෂා කිරීමත් යන දෙආකාර හේතූන් මත තම සම්භාවනීය පෙළපත් නාමය අතහැර දැමූ අවස්ථාවක් ගැන තොරතුරු ඉදිරිපත් කිරීමටය. මෙවැනි බලාපොරොත්තු විය නොහැකි තරම් වූ තීරණයක් ක්‍රියාත්මක කළ විනිසුරුවරයා වූවේ සර් හෙන්රි ඩයස් බණ්ඩාරනායකයන්ය. සමකාලීන වාර්තාවන්හි ඔහු ගැන සඳහන් වන්නේ සර් හැරී ඩයස් බණ්ඩාරනායක යනුවෙනි. ප්‍රථමයෙන්ම අපි ඔහුගේ තොරතුරු ස්වල්පයක් සාකච්ඡා කරමු. 


මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරම්භ කළ දිනයේ සිට බණ්ඩාරනායක පවුල් ඒකක තුනක සාමාජිකයෝ ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකය තුළ මහත් පෙරළි කරමින් රටට සේවය කළහ. මේ වන විට මෙම තොරතුරු ලාංකික සමාජයේ මතකයෙන් ඈත්වන බවද පිළිගත යුතු සත්‍යයකි. මෙම බණ්ඩාරනායක පවුල් ඒකක තුන වන්නේ මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතාගෙන් පැවතෙන හොරගොල්ල පාර්ශ්වය, මහ මුදලි කොන්රඞ් පීටර් ඩයස් බණ්ඩාරනායකයන්ගෙන් පැවතෙන යක්කල මඩුගස් වලව්ව පාර්ශ්වය සහ පසුකලෙක මෙරට ප්‍රබලතම දේශපාලකයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන් බිහිවූ කොල්ලුපිටියේ මහනුගගාඩන් පාර්ශ්වය යනුවෙනි. මෙහිදී අපේ අවධානය යොමුවන්නේ මහනුගගාඩන් පවුල් ඒකකය වෙතය. 


කෝල්බෲක් කොමිසමේ නිර්දේශය පරිදි 1833 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය ආරම්භකිරීමේදී එහි නිල නොලත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූවේ හය දෙනෙකි. සිංහලයන් වෙනුවෙන් එක් අයෙකු, ද්‍රවිඩ බස කථා කරන්නන් වෙනුවෙන් එක් අයෙකු, බර්ගර්වරුන් සඳහා එක් අයෙකු හා මෙරට සිටි බි්‍රතාන්‍ය ජාතික ප්‍රජාව සඳහා තිදෙනෙකු වශයෙනි. මොවුන් හය දෙනා පත්කිරීමේ බලය පැවරුණේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාටය. අනෙකුත් ජන වර්ග සඳහා හතර දෙනා පත්කරනු ලැබූ නමුදු සිංහල, දෙමළ ජනවර්ග සඳහා කිසිවෙකු ඉදිරිපත්වූයේ නැත. වසරක් ගත වන තුරුත් මෙම ප්‍රශ්නය දිග්ගැස්සීම නිසා ආණ්ඩුකාර සර් විල්මට් හෝර්ටන් මුහුණදුන්නේ බලවත් අසීරුවකටය. වසරක් ගත වෙද්දීත් ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලය රැස්කරවා ගැනීමට නොහැකිවීමේ අර්බුදය නිසා විල්බට් හෝටන් බි්‍රතාන්‍ය මව් රජයේ යටත් විජිත මහ ලේකම්වරයාගේ දෝෂ දර්ශනයට ලක්වූවේය. මෙයට පිළියමක් වශයෙන් එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරමින් සිටි මහමුදලි ජොහැන්නස් ගොඞ්ෆ්‍රෙඞ් පණ්ඩිතරත්න මහතා සිංහල ජනවර්ගය නියෝජනය කරන මන්ත්‍රීවරයා වශයෙන් පත්කරනු ලැබුවේ බලහත්කාරයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයෙන් බලයෙන් විශ්‍රාම යවා එසේ පත්කළා වුවත් ඔහු අට වසරක් මන්ත්‍රී ධුරයේ කටයුතු කළේය. එකී මන්ත්‍රීවරයාගේ සොහොයුරිය වූ කැනරිනා පිලිප්ස් පණ්ඩිතරත්න මෙනවිය විවාහවූයේ කොල්ලුපිටියේ මහනුග වලව්වේ නිවැසි දොන් ජැකොබස් ඩයස් බණ්ඩාරනායක මහතා සමගය. මහ මුදලි දොන් කොන්රඞ් පීටර් විජේවර්ධන බණ්ඩාරනායක මහතාගේ දෙවැනි පුත්‍රයා වූ මොහු පසු කලෙක වාසල මුදලි තනතුරක් දැරුවේය. මෙම යුවළට දරුවන් තිදෙනෙක් වූ අතර වැඩිමහල් පුත්‍රයා වූ ජෝන් චාල්ස් නීතිඥයෙකු වූවේය. සිය මාමණ්ඩිය වූ ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රී ගොඞ්ෆ්‍රෙඞ් පිලිප්ස් පණ්ඩිතරත්න මහ මුදලිවරයාගෙන් පසු එම තනතුරට ආණ්ඩුකාරවරයා විසින් කත් කරන ලද්දේ මෙම නීතිඥ ජෝන් චාල්ස්ය. දොන් ජැකබන්ගේ දෙවැනි පුත්‍රයා වූයේ දොන් හැරී ඩයස් බණ්ඩාරනායකයන්ය. බණ්ඩාරනායක වංශාවලිය නමැති ඉපැරණි ග්‍රන්ථයේ දක්නට ලැබෙන අන්දමට මොව්හු ලංකාවේ පැරණිම නීතිඥ පවුල්වලින් එකක් බව කිව යුතුය. මෙම ලිපියේ පාදක අරමුණ වන විනිශ්චයකාර ධුරය ලැබීමෙන් පරපුරේ නාමය අත්හරින ලද පුද්ගලයා වන්නේ මෙකී හැරී ඩයස් බණ්ඩාරනායක මහතාය. ඔහුගේ පෞද්ගලික තොරතුරු ගැන සඳහන් කළ හොත් අපට, බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ මේ රටේ උගත් ශ්‍රී ලාංකිකයන් බහුල නොවූ දහනව වන සියවසේ නීති වෘත්තිය සම්පූර්ණයෙන්ම පාහේ පැවතියේ යුරෝපීයයන් සතුවය. එවැනි අවධියක අධිනීතිඥවරයෙකු සහ විනිශ්චයකාරවරයෙකු (ශ්‍රේෂ්ඨාධිකරණයේ) ලෙසින් පත්වූ ප්‍රථම සිංහලයා වීමේ ගෞරවය හිමිවන්නේ සර් හැරී ඩයස් බණ්ඩාරනායක මහතාණන්ටය. ඔහු 1822 අගෝස්තු 22 වැනි දින උපත ලද්දේය. සිය දෙටු සොහොයුරු ජෝන් චාල්ස් බණ්ඩාරනායකයන්ගෙන් පසු ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සිංහලයන් වෙනුවෙන් වූ මන්ත්‍රී ධුරය හෙබවූ මෙම උගත් සිංහල ජාතිකයා 1901 දී අභාවප්‍රාප්ත විය. 
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරය ලැබීමෙන් පසු බණ්ඩාරනායක නාමය අතහැරීම නිසා මොහුගේ පවුලේ අයට බණ්ඩාරනායක නම් වූ පෙළපත් නාමය අහිමි විය. 
එයට හොඳම නිදර්ශනයක් ලෙස දැක්විය හැකි හොඳම සාධකය වන්නේ 1960 මාර්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස දොම්පේ ආසනයට තරග කොට ජය ලැබූ අපේක්ෂකයාගේ නම සියලුම ඡන්ද ප්‍රතිඵල වාර්තාවල සඳහන් වන්නේ ෆීලික්ස් ආර්. ඩයස් යනුවෙනි. ඔහු සර් හැරී ඩයස්ගේ මුනුපුරෙකි. එම මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීමෙන් පසු එම රජය දින තිහකට පමණක් සීමාවී බිඳ වැටුණු බව අපි දනිමු. ඒ නිසා පවත්වන ලද 1960 ජුලි 20 වැනිදා පවත්වන ලද මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්විය. 


එවකට තිස් හැවිරිදි ප්‍රකට අධිනීතිඥවරයෙකු වූ ෆීලික්ස් ආර්. ඩයස් මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්කරන ලදී. මේ වන විට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගෙන එය නියෝජනය නොකළ බැවින් ඇය ව්‍යවස්ථාදායකයට ඇතුළත් වූයේ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමිනි. පාර්ලිමේන්තුවේ අගමැතිනියගේ අසුන හිස්ව පැවතුණි. අගමැති ධුරය, රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශ දෙකද දරණු ලබන නිසා එම ඇමැති අංශ දෙකේ කටයුතු පිළිබඳව මතුවන ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් එවැනි අනෙකුත් කාර්යයන් ඉටුකිරීම සඳහාත් ප්‍රබල උප ඇමැතිවරයෙකුගේ අවශ්‍යතාව බරපතළ ලෙස මතුවිය. ඒ සඳහා අගමැතිනිය තෝරාගත්තේ තම සැමියාගේ පාර්ශ්වයෙන් කිට්ටුවර ඥාතියෙකු ද වූ ෆීලික්ස් ඩයස් මහතාය. එකල විදේශ කටයුතු සඳහා වෙනම ඇමැතිවරයෙකු පත්කිරීමේ සිරිතක් නොපැවති නිසා අගමැතිනිය යන සියලුම විදේශ සංචාරයන්ට සහභාගී වීමටද ෆීලික්ස්ට අවස්ථාව ලැබුණාක් මෙන්ම දේශපාලනයට ආධුනිකයෙක්ව සිටි අගමැතිනියට මොහු විශාල ශක්තියක් ද වූවා නිසැකය. මෙම කටයුතු කරගෙන යාමේ පහසුව පිණිසත් දේශපාලන ව්‍යාපාරයේ ජනප්‍රිය බව උදෙසා ගනු ලබන උපායමාර්ගයක් වශයෙනුත් ඔහු නැවතත් බණ්ඩාරනායක පෙළපත් නාමය භාවිත කිරීම ආරම්භ කළේය. මොහුගේ සමහර ක්‍රියාකලාපයන් රජය තුළම සිටි සමහර පාර්ශ්වවල සිත් රිදීමට ලක්වූ බවද කියනු ලැබේ. මෙම තත්ත්වය නිසා රජය තුළ දෙවැන්නා ලෙස සිටි සභානායක සී. පී. ද සිල්වා මහතා බලවත් නොසතුටට පත්වූ බව එකල බොහෝ දේශපාලන විචාරකයන් පවසා ඇත. 1964 දෙසැම්බර් 3 වැනිදා පාර්ලිමේන්තුවේදී රාජාසනයේ කථා විවාදයේ ඡන්ද විමසීමේදී සී. පී. ද සිල්වා ඇමැතිවරයා තමාගේ හිතවතුන් වූ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සමග විපක්ෂයට එක්වී රජය පෙරළා දැමීමට සම්බන්ධ වූවේ එම නොසතුට කෙමෙන් උග්‍රවීම නිසා බව පෙර කී විචාරකයෝ දක්වති. රජු නීතියේ උල්පතයැයි කියැවෙන නීති මූලාශ්‍රයක් තිබේ. යුරෝපයේ පැරණි රජවරු රට පාලනය කළේ එම සිද්ධාන්තයේ පිහිටාගෙනය. ඔව්හු හිතුමනාපයේ නඩු ඇසූහ. දඬුවම් වශයෙන් මිනිසුන්ගේ අත් පා කපාදැමූහ. මරණයට පත්කළහ. බදු අයකළහ. බි්‍රතාන්‍ය රජවරුන්ගේ තත්ත්වය ද මෙයට වෙනස් වූවේ නැත. මෙයට ශතවර්ෂ ගණනාවකට පෙර එක්තරා දිනයකදී බි්‍රතාන්‍යයේ ජෝන් රජුට මුහුණ දීමට සිදුවූය් මහත් අබැද්දියකටය. ඔහු ද හිතුමනාපයේ වැසියාට දඬුවම් කළේය. බදු අය කළේය. නීතිය නම් මමම වේ යැයි සිතා රට පාලනය කළේය. ඔහුගේ කෲර පාලනය නිසා හෙම්බත්ව සිටි ලන්ඩනයේ මිනිස්සු සංවිධානය වූහ. ලන්ඩනය හරහා ගලාබසින තේම්ස් නදියේ දිය නාමින් සිටි රජු ගඟේ දූපතකට කොටු කරගත් නගරවාසීහු ඔහුගෙ හිසට කඩුව එල්ල කර මරණ බවට තර්ජනය කර බලහත්කාරයෙන් ලියවිල්ලකට අත්සන් ගත් බව බි්‍රතාන්‍ය ඉතිහාසයේ කියවේ. එම ලියවිල්ලේ සඳහන්වූයේ කොන්දේසි තුනකි. එනම් නීත්‍යානුකූලව අධිකරණයක විධිමත් නඩු විභාගයකින් තොරව රජුගේ අභිමතය අනුව කිසිදු මිනිසෙකු දඬුවමකට ලක් කළ යුතු නොවේ. කිසිදු අලුත් බද්දක් පැනවීමට රජුට බලයක් නැත. සෑම පුද්ගලයෙකුගේම මිනිස් අයිතියට ගරු කළයුතුය. රජු විසින් අත්සන් කර දෙනු ලැබූ මෙම පොරොන්දු පත්‍රය මැග්නාකාර්ටා මහාධිකාර පත්‍රය නමින් හඳුන්වනු ලැබේ. මානව හිමිකම් නමැති සංකල්පයේ උපත ලෙස සලකන්නේ මෙම මැග්නාකාර්ටා මහාධිකාර පත්‍රය බව මානව අයිතිය පිළිබඳ නීති විශාරදයෝ සලකති. සෑම මිනිසෙකුටම සාධාරණ යුක්තියේ මූලධර්මය මත පදනම් වූ සාධාරණ විනිශ්චයක් ලබාගැනීමට ඇති අයිතිය ලබාගැනීමට හැකිවීම මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙසද සලකනු ලැබේ. 


මෙම නීති සංකල්පය මත ගොඩ නැගී ඇති අධිකරණය උසස් වුවත් පහත් මට්ටමේ පැවතියත් එය එහි තීන්දුව සාධාරණ වේ යැයි මිනිසුන් තුළ විශ්වාසයක් පැවතිය යුතුය. අධිකරණය හා දේශපාලනය ගැන සඳහන් වෙන මෙම ලිපියට තවත් එක් සිදුවීමක් ඇතුළත් කළ යුතු යැයි හැඟේ. පීටර් කෙනමන් නම් වූ දේශපාලනඥයා එම ක්ෂේත්‍රයේ අතිශය ගෞරවයට පාත්‍රවූ නායකයෙකි. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයේ සිටම එහි ප්‍රධාන ලේකම් ධුරය දැරූ ඔහු පසුව තිස් වසරක් පුරා පාර්ලිමේන්තුවේ මැද කොළඹ ආසනය නියෝජනය කළේය. ඇමැතිකමක් ද දැරීය. බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකි. බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබන අවධියේම කොමියුනිස්ට්වාදය වෙත නැඹුරුවූ මොහු ආපසු මව්බිමට ළඟාවූ වහාම ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූවේය. 


පීටර් කෙනමන් ගොවි - කම්කරු පන්තියේ නායකයෙකු වශයෙන් වැඩකරන පන්තියේ සුබසිද්ධිය වෙනුවෙන් ඇප කැප වූ නායකයෙකු බවට පත් වුවත් ඔහු නිර්ධන පන්තියේ සාමාජිකයෙකු නොවීය. ඔහුගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක් වූවේය. මේ කියන අවධියේ පීටර් ජීවත්වූයේ පියා සමග එකම නිවසේය. යටත් විජිත සමය වූ මෙම යුගයේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව කටුයතු කිරීම මගින් රාජාපරාධයකට සම්බන්ධවීම ගැන බි්‍රතාන්‍ය පාලකයන් විසින් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට පත්කරන ලදී. නඩුව විභාගකිරීම භාරවූයේ ඒ දිනවල අග්‍ර විනිශ්චයකාර ධුරයේ වැඩ බලමින් සිටි එරික් ආතර් කෙනමන් විනිසුරුතුමාටය. ඔහු පීටර් කෙනමන්ගේ පියාය. ප්‍රශ්නය ඉතා සරලය. කොමියුනිස්ට් පක්ෂයේ සභාපති අත්අඩංගුවේය. ප්‍රධාන විත්තිකරු ඔහුය. පීටර් කෙනමන් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්ය. මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු පීටර්ය. නඩුව විභාගකරන්නේ පීටර්ගේ පියාය. එකම වචනයක්වත් කතා කිරීමට දෙයක් නැත. නීතිය නවනවා නම් කදිම අවස්ථාවකි. එහෙත් මේ පුත්‍රයා කිසිවිටෙකත් තම සඟයා බේරාදෙන ලෙස පියාගෙන් ඉල්ලා සිටියේ නැත. දොස්තර වික්‍රමසිංහත් ඒ ගැන තම සහෘදයාට මතක් කළේ නැත. ප්‍රධාන සාක්ෂිකරු වශයෙන් පීටර් කෙනමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. විනිසුරු අසුනේ තම පියාය. එරික් ආතර් කෙනමන් විනිසුරු තම පුත්‍රයා දෙස නෙත් යොමා බැලුවේය. චාරිත්‍රානුකූලව සාක්ෂිකරුව ඔබේ නම කුමක්දැයි විනිසුරුවරයා විමසුවේය. උතුමාණනි, මම පීටර් ජෙරල්ඞ් බර්තොලමියුස් කෙනමන් යැයි සාක්ෂිකරු පැවසීය. නඩු විභාගය ආරම්භ විය. විභාගය අවසානයේදී දොස්තර වික්‍රමසිංහයන් සිරදඬුවම් ලැබීය. නීතිය නැමීමක් සිදුවී නැත. නීතියේ දෙවඟන දූෂණයට ලක්වී නැත. ඇය අතේ පවත්නා තුලාව මෙන් අපක්ෂපාත වී ඇත. නීිතියේ කන්‍යාව සුපිරිසුදුය. නිර්මලය ඇයට. අවට ලෝකය පෙනෙන්නේ නැත. එයින් අදහස් කරන්නේ අවට ලෝකය දෙසට බලා තරාතිරම, නැදෑ සබඳතා හෝ බලපෑම් විනිසුරුවරුන් සලකන්නේ නැත. ඉදිරිපත් වූ සාක්ෂි සහ නීතිවේදීන්ගේ තර්ක විතර්ක පමණක් සලකා බැලීම අධිකරණයේ කාර්යභාරයයි. අද අසන්නට ලැබෙන විප්‍රකාර දේවල් දැක ගැනීමට මෙවැනි විනිසුරුවන් හෝ සාක්ෂිකරුවන් අද ජීවතුන් අතර නැත. එය වාසනාවකි. නොඑසේ නම් කෙනමන් පිය පුතුන් වැනි මහත්වරුන් පමණක් නොව සර් හැරී ඩයස් ද දිවි නසා ගන්නවා නිසැකය. ඔවුන් අනුගමනය කළේ මෙවැනි බහුරූ කෝලම් ප්‍රතිපත්ති නොවන බැවිනි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි