සාදය මාරයි ඡන්දය පරාදයි


 

අතීතයේ ලංකාවේ මහ මැතිවරණ පැවැත්වීම එක් දිනයකට පමණක් සීමාවූයේ නැත. දින 3ක පමණ කාලයක් රට පුරා මැතිවරණය පවත්වනු ලැබීය. 1956 වසරේ අප්‍රේල් 5, 7 සහ 10 වැනිදා යන දිනවල තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ලැබීය. මෙම මැතිවරණය පවත්වන ලද්දේ අගමැති වූ සර් ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂ රජය විසුරුවා හැරීම හේතුකොට ගෙනය. කොතලාවල අගමැති තනතුර දැරුවේ 1953 ඔක්තෝබර් 12 වැනිදා සිට 1956 අප්‍රේල් 12 වැනිදා දක්වාය.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග විප්ලවකාරී සමසමාජ පක්ෂය, සිංහල භාෂා පෙරමුණ ආදී පක්‍ෂ එක්වී මහජන එක්සත් පෙරමුණ පිහිටුවාගෙන ඊට නායකත්වය ලබා දුන්නේ කොතලාවල, ඩඞ්ලි, ජේ. ආර්. ආදීන් සමග ‘කැත්තට පොල්ල’ මෙන් සිටි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. මේ අතර බණ්ඩාරනායක සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ සමග ද ගිවිසුමක් අත්සන් කර තිබුණි. මේ හේතූන් නිසා ආරම්භයේ සිටම පෙන්නුම් කළේ එක්සත් ජාතික පක්‍ෂයට අවාසිසහගත තත්ත්වයකි.


මේ මා ලියන්නේ එම මැතිවරණය හා මැතිවරණයේ ප්‍රතිඵල ගැන නොවේ. එම මැතිවරණය උඩු යටිකුරු කළ මුළු රටම එදා කතා කළ එක්තරා සිද්ධියක් පිළිබඳවය.
දැන් මුළු රටේම දින 3ක් තිස්සේ මැතිවරණය පවත්වන්නට සූදානම්ය. කොතලාවල දොඩන්ගස්ලන්දෙන් පටන්ගෙන ගම් නියම්ගම් පුරා සැරිසරමින් ඡන්ද ව්‍යාපාරයට පණ දෙමින් සිටී. වතු හිමියෝ, බස් කොම්පැනි හිමිකරුවෝ, පතල් හිමියෝ, ධන කුවේරයෝ කොතලාවල පසුපස පෙළගැසී සිටියහ. බණ්ඩාරනායකට රොස්මිඞ් නිවස ද උගස් තැබීමට සිදුවිය. සටන උග්‍ර විය.


සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතාවට නව යුගයක් යන්න බණ්ඩාරනායකයන්ගේ කියමන විය. එක්සත් ජාතික පක්‍ෂයේ සටන් පාඨය වූයේ රටට නිදහස ලබා දුන් පක්‍ෂය යළිත් දිනවමු යන්නයි.


මැතිවරණයට ටික දිනකට පෙර රත්මලාන ගුවන් තොටුපොළේ ගුවන් හමුදා නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළත් සාදයක් (ඡ්රඑහ) පවත්වනු ලැබීය. මෙම සාදයේ ප්‍රධාන අමුත්තා වූයේ අගමැති සර් ජෝන් කොතලාවලය. මෙම සාදයේදී සියලු දෙනා ඉදිරිපිටදී විදුලියෙන් ඒකාලෝක වී තිබූ වේදිකාවක් මතදී වසුපැටවෙකු පුලුස්සා සියලු දෙනාට පිලිස්සූ මස්වලින් සංග්‍රහ කරනු ලැබීය. වසු පැටවාගේ මස්වලින් කොතලාවල ඇතුළු සියලු දෙනා සන්තර්පණය වූහ.


මෙහි මධුවිතෙන්, සංගීතයෙන් හා නැටුමෙන් ද අඩුවක් නොවීය. මෙම සිද්ධිය රට පුරා ප්‍රචාරය වන්නට පටන් ගත්තේය. ලේක් හවුස් පුවත්පත්වල ඡායාරූප සහිතව මෙහි වාර්තා පළ විය. මෙවැනි ප්‍රාණ ඝාතනවලට ඉඩ දිය යුතු දැයි ඡන්ද රැස්වීම්වල ප්‍රශ්න කරනු ලැබීය. මේ පුවත රටපුරා ළැව් ගින්නක් මෙන් පැතිරී ගියේය.


භික්‍ෂූන් වහන්සේලා, ජාතික සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම වෘත්තීය සමිති නායකයින් කොතලාවල පතුරු ගසමින් මේ සිද්ධිය අනුසාරයෙන් සිංහල බෞද්ධ ජනතාව ඇවිස්සුවේ ඔවුන්ට එක්සත් ජාතික පක්‍ෂය අරහං කරමිනි. මෙය එක්සත් ජාතික පක්ෂයේ හෝ කොතලාවලගේ අනුදැනුමකින් සිදුවූවක් නොවන බවට පිළිතුරු දුන්නත් ඉන් පලක් නොවීය.
බණ්ඩාරනායකයන් නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ ආසන 60කට අපේක්‍ෂකයින් ඉදිරිපත් කළ අතර ඉන් 51 දෙනෙක්ම ජයගත්හ. එක්සත් ජාතික පක්‍ෂය ආසන 76කට අපේක්‍ෂකයින් ඉදිරිපත් කළත් ඉන් ජය ගත්තේ 8 දෙනෙකු පමණකි. ජේ. ආර්. ජයවර්ධන පවා තවත් හිටපු යූ.ඇන්.පී. කාරයෙකු වූ ආර්. ජී. සේනානායකට කැලණිය ආසනයේදී පරාජයට පත් වූයේ මේ මහ මැතිවරණයේදීය. වසු පැටවා මස්කර පැවැත් වූ සාදය කොතලාවලටත් යූ.ඇන්.පියටත් සාපයක් වූයේ මෙහෙමය.


අහක යන කුණු ගොඩක් කොතලාවලගේ කර මතට ඇද වැටීම හේතු කොට ගෙන 1956 දී එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට පත්වුණේ මෙහෙමය. (මේ මැතිවරණයේදී යූ.ඇන්.පී.යට යන එන මං නැතිව තිබියදී හොරොව්පොතානේ ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමා තම ආසනය රැක ගත්තේය. 1977 ඔහු ජේ. ආර්. රජයේ ඇමැතිවරයෙකු වූ විට ටික කලක් ඔහුගේ මාධ්‍ය ලේකම් තනතුර දැරීමට මට වාසනාව ලැබිණි.

 

 

සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි