සාදුකින් පෙළනවුන්ගේ අන්තිම සටනට බිහිවූ කොමියුනිස්ට් පක්‍ෂය


 

දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා ලොවට බොහෝ දේ අහිමි විය. අල්පයක් පමණ දේ හිමිවිය. නැගෙනහිර යුද පෙරමුණේදී සෝවියට් දේශයේ පමණක් නැතිවූ ජීවිත කෝටි ගණනකි. රටවල් කිහිපයකට නිදහස ලැබීමටද  යුද්ධය යම් පමණකට හේතුවූ බව කියැවේ. එමෙන්ම ලංකාවට කොමියුනිස්ට් පක්‍ෂයක් ලැබීමටද එම යුද්ධය හේතු වූවේය. එම පක්‍ෂය පිහිටුවා හැත්තෑ තුන් වසරක් ඉක්ම යන මේ වකවානුව කොමියුනිස්ට් පක්‍ෂයේ ගමන් මග පිළිබඳව සිතා බැලීමට කදිම මොහොතකි. 1935 දෙසැම්බරයේදී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටවනු ලැබුවේ මෙරට ප්‍රථම මාක්ස්වාදී සහ විප්ලවාදී දේශපාලන පක්‍ෂය වශයෙනි. එහි පුරෝගාමීන් වූ පිලිප් ගුණවර්ධන, ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන ආදීහු විදේශයන්හි උසස් අධ්‍යාපනය ලබා මෙරටට පැමිණ සිටි උගත් බුද්ධිමත් දක්‍ෂ තරුණයෝ වූහ. 

 

එවකට ලංකාවේ පැවැති බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයට දැඩි ලෙස විරෝධය දැක්වූ ඔවුහු එයට එරෙහිව සටන්කාමී ප්‍රතිපත්තියක නියැළී සිටියහ. බ්‍රෙස්ගර්ඩල් සිද්ධිය වැනි අවස්ථාවලදී ඔවුහු යටත් විජිත පාලනයට මුහුණට මුහුණ දී අභියෝග කර ජය ගත්හ. මේ නිසා ගම්බද ජීවත්වූ සටන්කාමී උද්‍යෝගිමත් තරුණ පරපුරේ විශාල කොටසකගේත් කොළඹ නාගරික කම්කරු පංතියේත් සාතිශය ජනප්‍රියත්වය දිනා ගැනීමටද සමත් වූහ. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී රුවන්වැල්ල සහ අවිස්සාවේල්ල යන ආසන දෙක දිනාගැනීමටද  ලංකා සමසමාජ පක්‍ෂය සමත්වීම තුළින් එම ජනප්‍රියත්වය මනාව පැහැදිලි වේ. එමෙන්ම එයට පෙර 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ තරුණයා මොරවක ආසනය දිනාගෙන මේ රටේ ව්‍යවස්ථාදායකයට  පත්වූ ප්‍රථම මාක්ස්වාදී මන්ත්‍රීවරයා වශයෙන් ඉතිහාසයට එක්ව සිටියේය. 1936 දී ඔහු පරාජයට පත්වූ නමුදු ඔහුගේ බලපෑමද සමසමාජයට විශාල ශක්තියක් විය. 


මෙම යුගයේ විදේශවල අධ්‍යාපනය ලැබූ බොහෝ ශිෂ්‍යයන්  බොහෝ සෙයින්ම තම මව්රටවලට ආපසු ආවේ ලෝකයේ නැගී එන නව දේශපාලන  ප්‍රවණතාවන්ට අනුගත වූ පුද්ගලයන් වශයෙනි. විශේෂයෙන්ම 1917දී ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කිරීම නිසා ලෝක දේශපාලන රටාවේ ඇතිවුණු වෙනස්කම් කෙරෙහි මෙම තරුණ සිසුවෝ ආකර්ෂණය වී සිටියහ. කටයුතු මෙසේ සිදුවෙමින් තිබියදී අවාසනාවකට මෙන් බෝල්ෂේවික් විප්ලවය ජයග්‍රහණය කිරීමෙන්  පසු එහි පුරෝගාමී නායකයන් අතර උග්‍ර මතභේදයක් හටගත්තේය. රුසියානු සමාජවාදී විප්ලවය කෙරෙහි උපහාසයෙන් යුතුව බැලූ බටහිර රටවල් මෙම මතභේදය විග්‍රහ කළේ ලෙනින්ගෙන් පසුව රුසියාවේ රාජ්‍ය නායකත්වයට පත්වීම උදෙසා වන බල අරගලයක් ලෙසයි. එය එසේම වූවා විය හැකි නමුදු ලෙනින්ගේ සමීපතම සගයන් දෙදෙනා වූ ට්‍රොට්ස්කිගේ සහ ස්ටාලින්ගේ දේශපාලන න්‍යායවාදය දැඩි ලෙස මතභේදකාරී වීම මෙම ආරවුලට හේතු විය. මහා ඛේදවාචකයකට මූල බීජය වූ මෙම අර්බුදය මත ලෝකය පුරා සිටින මාක්ස්වාදීහු හා එහි හිතවත්තු කඳවුරු දෙකකට බෙදුනේ ස්ටැලින්වාදීන් සහ ට්‍රොස්කිවාදීන් වශයෙනි. ආසියාවේ, අප්‍රිකාවේ විවිධ යටත් විජිතවලින් උසස් අධ්‍යාපනය ලැබීමට ලන්ඩන්, පැරිස් හා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලට පැමිණි යටත් රාජ්‍යවල ප්‍රභූවරුන්ගේ දූ දරුවෝ එම විශ්වවිද්‍යාලවල ඉගැන්වීම කළ මහාචාර්යවරුන්ගේ පෙළඹවීම මත සහ වෙනත් සාධක මත එම දේශපාලන ගුරුකුල දෙක වෙත බෙදී සිටියහ. එය කඳවුරු දෙකක් වශයෙන් බෙදී යාමට වැඩි කාලයක් ගතවූයේ නැත. සමසමාජ නායකයන්වූ ඇන්. ඇම්., පිලිප්, කොල්වින්, ලෙස්ලි වැනි අය ට්‍රොට්ස්කිවාදීන් වූ අතර දොස්තර වික්‍රමසිංහ ස්ටාලින්වාදියෙකු ලෙස පිළිගන්නා ලදී.


ලෝක යුද්ධය ආරම්භවීමත් සමග සමසමාජ පක්‍ෂය පැහැදිලි තීරණයක් ගනිමින් එය අධිරාජ්‍යවාදීන් විසින් පවත්වාගෙන යන ධනවාදී සහ සූරාකෑමේ යුද්ධයක් බවට හඳුන්වා දෙමින් එයට විරුද්ධව ඍජුවම පෙනී සිටියහ. අපේ රට සූරා කන බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් යුද්ධයකට පැටලී සිටන විට ඔවුන්ට උපකාර කිරීමට කිසිම සාධාරණ හේතුවක් නොතිබීම යුක්ති සහගත වූවේය. එනිසා ඉතා තදින් යුද්ධය හෙළා දුටු සමසමාජ නායකයෝ බි්‍රතාන්‍යයට ජයග්‍රහණය ලබාගැනීම සඳහා කිසිදු උපකාරයක් ලබා නොදෙන ලෙස ජනතාවගෙන්ද ඉල්ලා සිටියහ. 1941 ජූනි 22 වැනිදා හිට්ලර්ගේ හමුදා රුසියාවට පහර දීමත් සමග බොහෝ දේ වෙනස් වී ගියේය.

එතෙක් මධ්‍යස්ථව සිටි රුසියාව කෙළින්ම යුද්ධයට ඇදී ආවේය. ලෝකයේ ඇති එකම සමාජවාදී රාජ්‍යය වූ සෝවියට් දේශය, ජර්මනිය විසින් ආක්‍රමණය කරනු ලැබීම ලොව පුරා සිටි ස්ටැලින්වාදීන්යැයි හැඳින්වුණු කොමියුනිස්ටවාදීන්ගේ සිත් කම්පා කරන පුවතක් වූවේය. මේ වනවිට රුසියාව සහ බි්‍රතාන්‍යය එක කඳවුරක සිටිමින් පොදු සතුරා වූ ජර්මනියේ හිට්ලර් පරාජය කිරීම උදෙසා සිය උපරිම සහාය දක්වමින් සිටියේය. මෙම තත්ත්වය හමුවේ වුවද සමසමාජ පක්‍ෂය තමන් මුලදී ගත් ස්ථාවරය වෙනස් කිරීමට කිසිදු උනන්දුවක් ගත්තේ නැත. එහෙත් එම පක්‍ෂයේ බලගතු පිරිසක් බි්‍රතාන්‍යය අපේ සතුරා වුවත්, මිතුරාගේ මිතුරා අපගේද මිතුරා විය යුතුය යන න්‍යායට අනුගත වෙමින් රුසියාව කෙරෙහි වන තම භක්තිය හා ආදරය ප්‍රකාශ කිරීමක් ලෙස සලකා සිදුවනුයේ ෆැසිස්ට්වාදය පරදවා  ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ යුද්ධයක් බව කියා සිටිමින් පක්‍ෂය තුළ වෙනම මතයක් ගොඩනගමින් සිටියහ. එහෙත් නායකත්වය තරයේ ප්‍රකාශ කළේ තම පක්‍ෂයේ යුද්ධය පිළිබඳ ප්‍රතිපත්තිය වෙනස්  නොකළ යුතු බවයි. මෙය උග්‍ර මතභේදයකට හේතු වූ අතර සමසමාජ  මධ්‍යම කාරක සභිකයන් වූ උඩකැන්දවල සරණංකර හිමි, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්ඩිස් (සමසමාජ සම ලේකම්), කේ. රාමනාදන් (පක්‍ෂයේ දෙමළ පුවත්පතේ කර්තෘ), ආරියවංශ ගුණසේකර, ඒ. ආරියරත්න යන අය සමසමාජ පක්‍ෂයෙන් නෙරපා හරින ලදී.


මෙම කණ්ඩායම විසින් ගෙන යන ලද දීර්ඝ දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් 1943 ජූලි මස 03 වැනි දින ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා ගන්නා ලදී. පෙර කී පුරෝගාමී කණ්ඩායමට අමතරව බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් සරසවියේ උසස් අධ්‍යාපනයෙන් පසු මෙරටට පැමිණ සිටි උගතුන් වූ පීටර් කෙනමන්, ඒ වෛද්‍යලිංගම් සහ පී. කන්දයියා යන අයද ටී. දුරෙයිසිංහම්, ඩී. පී. යසෝදිස් යන අයද කොමියුනිස්ට් පක්‍ෂයට එක්වූහ. ඉන්පසු ප්‍රේමලාල් කුමාරසිරි, ඇන්. ෂන්මුගදාසන්, එච්. ජී. ඇස්. රත්නවීර වැනි නායකයෝද මෙම ව්‍යාපාරයට එක්වීම නිසා ශක්තිමත් දේශපාලන පක්‍ෂයක් ගොඩනැංවීමට මොවුහු සමත් වූහ. 
1943 ජූලි මස 02 සහ 03 යන දෙදින තුළ කොළඹ බොරැල්ලේ කෝට්ටේ පාරේ අංක 85 දරන ස්ථානයේදී පැවැත්වූ රහස් සම්මේලනයකදී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවන ලද අතර පසුව සම්මත කර ගත් ව්‍යවස්ථාවෙහි පක්‍ෂයේ අරමුණු ලෙස මෙසේ සඳහන් විය.


“ජාතික ආර්ථිකයේ පොදු අයිතිය තහවුරු කළ සමාජවාදී ලංකාවක් බිහිකිරීමත්, මිනිසෙකු විසින් මිනිසෙකු සූරාකෑමත්. ජාතියක් විසින් ජාතියක් සූරාකෑම අවසන් කිරීමත්, පන්ති භේදය නැතිකර දැමීමත් එමගින් සෑම පුරවැසියෙකුටම ආරක්‍ෂාව, වැඩ කිරීම හා විවේකය සඳහා මෙන්ම ක්‍රමානුකූලව වැඩිවෙන ජීවන තත්ත්වයන් සඳහා අයිතියද, සැපවත් නිදහස් ජීවිතයක් ගත කිරීමට සමාන ප්‍රස්ථාවන් තහවුරු කරන දිවයිනේ සම්පත් මේ සඳහා සැලසුම් කරන පාලනයක් ඇති කිරීමත් ප්‍රකාශ කෙරිණි. ෆැසිස්ට් තර්ජනයෙන් දේශය ආරක්‍ෂා කිරීමත් අධිරාජ්‍යවාදී වහල්බවින් විමුක්තිය ලබාගැනීමත් සඳහා දේශප්‍රේමී ජනකොටස්වලින් සෑදුණු එක්සත් ජාතික පෙරමුණක් ගොඩනැගීම පක්‍ෂයේ ක්‍ෂණික අරමුණ ලෙස දැක්වුන අතර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතික කොටස් අතර සමානතාව සහතික කිරීමද, ගම්බද ශේෂව ඇති වැඩවසම් ලක්‍ෂණ අතුගා දැමීමද අභිප්‍රාය කොටගෙන නිදහස් ලංකාවක් බිහිකිරීම සඳහා සියලු නිදහස්කාමී ජනකොටස් සමග එක්ව කටයුතු කිරීමේ අභිලාෂය නව පක්‍ෂය ප්‍රකාශ කළේය.


ඒ අනුව කොමියුනිස්ට් සාමාජිකයන්ට ජාතික සංගමයට බැඳී නිදහස සඳහා කටයුතු කරගෙනයාමට අවසර දෙන ලදි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය විවිධ ජාතික කොටස්වල දේශපාලන සමානතාව හා දේශයේ ආර්ථික වර්ධනය සඳහා සටන් කරන විවිධ පංතික, විවිධ ජාතික අධිරාජ්‍ය විරෝධී සංවිධානයක් බවට ජාතික සංගමය පරිවර්තනය කිරීම කොමියුනිස්ට් පක්‍ෂයේ ක්‍රියා මාර්ගය විය. කාල්මාක්ස් සහ පෙඞ්රික් එංගල්ස් විසින් 1948දී ප්‍රකාශයට පත් කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය නම්වූ ඓතිහාසික දේශපාලන මූලධර්මය පදනම් කරගනිමින් සෝවියට් දේශයේදී ලෙනින් විසින් ක්‍රියාත්මක කර ප්‍රායෝගිකව පෙන්වා දෙන ලද විප්ලවීය ගමන් මග ඔස්සේ ශ්‍රී ලංකීය සමාජවාදී විප්ලවය ජයගැනීම එහි මූලික කාර්යභාරය ලෙස සලකන ලදී. 


ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය නියතයක් ලෙසට මූලික කාර්යභාරයක් ලෙස සලකන කම්කරු පංතිය සංවිධානය කර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට යොමුකිරීම ලංකාවේදී ද නියමිත ලෙසම ඉටුකරන ලදි. 1945, 1947 සහ පනස් ගණන්වල මහා වැඩ වර්ජනවලින් දිනා දෙන ලද අයිතිවාසිකම් කිසිසේත් සුළුපටු නොවේ. 


මෙරට පාර්ලිමේන්තුව ආරම්භයේ සිටම නියෝජනය කිරීමට කොමියුනිස්ට් පක්‍ෂය සමත් වූහ. ඔවුන් විසින් බිහි කරන ලද විශිෂ්ට ගණයේ මන්ත්‍රීවරුන් අතර පීටර් කෙනමන්, (මැද කොළඹ), දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ (අකුරැස්ස), පී. කන්දයියා (පේදුරුතුඩුව), සරත් මුත්තෙට්ටුවගම (කලවාන) ආදීහු සුවිශේෂී වූහ. උතුරේ ඊළාම්වාදය බිහිවීමේ මුල් විෂබීජ පැතිරෙමින් තිබූ පනහේ දශකයේදී ඒකල ආසන ක්‍රමය යටතේ පේදුරුතුඩුව ආසනය දිනාගැනීමට පී. කන්දයියා මහතා සමත්වීම විශේෂ සිද්ධියක් විය. එම පක්‍ෂය අසීරුවෙන් ගොඩනැගූ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ  මහානාම සමරවීර (මාතර), ස්ටැන්ලි තිලකරත්න යන මහත්වරු සභාග දේශපාලනය හේතුකොට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත අවශෝෂණය වූ බවද සිහිපත් කළ යුතු කරුණකි.


ආරම්භයේදී ජාතිවාදයෙන් තොරව පුළුල් දැක්මකින් යුතුව සම තැන භාෂා ප්‍රතිපත්තිය පිළිගෙන කටයුතු කළ කොමියුනිස්ට් පක්‍ෂය පසුව අවස්ථාවාදී  වෙමින් තම භාෂා ප්‍රතිපත්තිය වෙනස් කළ බව විචාරකයෝ පවසති. 1966 ජනවාරි 08 වැනිදා සිද්ධියට සම්බන්ධවීම එහි පරිසමාප්තියයි. එහෙත් පසුකලෙක කොමියුනිස්ට්වරුන්ටම ආවේණික සාධනීය දේශපාලන ගුණාංගයක්වූ “විවේචනය සහ ස්වයං විවේචනය” යන ගුණාංගයට අවනත වෙමින් තමන් එදා එම ජාතිවාදී රැල්ලට අනුගතවීම තම පක්‍ෂය කළ ඓතිහාසික වරදක් බව පිළිගැනීමට තරම් නිහතමානී වූවාය.


නව සටන්කාමී මාධ්‍ය භාවිතයක් හඳුන්වාදීම තුළින් දක්වන ලද උද්‍යෝගීමත් දායකත්වය පිළිබඳ වාර්තාවද කොමියුනිස්ට්වරුන්ගේ දක්‍ෂතාව මැනවින් ප්‍රදර්ශනය කරන තවත් කෝණයකි.


1953 හර්තාලය වැනි දැවැන්ත අරගලවලට ජයග්‍රාහීව සාමූහික නායකත්වයක් දීමට පවා දායක වූ එම පක්‍ෂය වර්තමානයේදී මුහුණ දෙන තත්ත්වය ගැනද සිතා බැලීම යෝග්‍යය.


1950 දී එවකට මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධන මහතාගේ  නායකත්වයෙන් යුතු කණ්ඩායමක් වහාම විප්ලවය ආරම්භ කළ යුතු බවත් එයට සුදුසු කාලය පැමිණ ඇති බවටත් යෝජනාවක් පක්‍ෂය වෙත ඉදිරිපත් කරන ලදී. පක්‍ෂය තුළ එම මතය පරාජයට පත්කරන ලද නමුදු දක්‍ෂ ක්‍රියාකාරී උද්‍යෝගිමත් පිරිසක් එයින් පක්‍ෂයට අහිමි වූහ. එමෙන්ම 1963 යුගයේදී සෝවියට් - චීන න්‍යායික අර්බුදය හේතුකොට ගෙන සමස්ත ලෝකයේම කොමියුනිස්ට් ව්‍යාපාරය දෙකඩවීම දරාගත නොහැකි පමණට සිදුවූ විනාශයක් විය. ඇන්. ශන්මුගදාසන්, ප්‍රේමලාල් කුමාරසිරි, වොට්සන් ප්‍රනාන්දු ආදී දක්‍ෂ නායකයන් මෙන්ම තවත් සාමාජිකයන් විශාල පිරිසක් පක්‍ෂයට අහිමි විය. එමෙන්ම ඒ සියලු දෙනාම කොමියුනිට්වාදයේ ජීව ගුණය වූ විප්ලවය පිළිබඳ මතවාදය දැරූ එම පන්නරය ලැබූ සටන්කාමීහු වූහ.


ඒ සැම දෙනා ඉවත්වීමෙන් පක්‍ෂය පාර්ලිමේන්තුවාදී හාන්සි පුටු නායකත්වයට (ප්‍රතිවාදීන් හැදින්වූ ආකාරයට) ගොදුරු විය. විප්ලවාදී ජීවායුව අහිමි විය. 


සෝවියට් දේශය කොමියුනිස්ට් රටක් වශයෙන් පැවතීම එම ව්‍යාපාරයට මහත් ශක්තියක් විය. එපමණක් නොව පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව, චෙකොස්ලෝවෙකියාව, ඇල්බේනියාව, යුගෝස්ලාවියාව (පසුව කොන්කරන ලදී) යන නැගෙනහිර යුරෝපීය සමාජවාදී රාජ්‍ය පද්ධතිය ද එවැනිම ශක්තියක් විය. එහෙත් මිකායෙල් ගොර්බචොප් රුසියාවේ බලයට පත්වීමෙන් පසු අරඹන ලද පෙරොස්ත්‍රොයිකා. සහ ග්ලාස්නොට් යන දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුකොට ගෙන එම සියලුම රටවල් බිඳවැටී කොටස්වලට කැඩී බිඳී ගොස් කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්තියෙන් ඉවත්ව බටහිර මිතුරෝ බවට පත්වූහ. මෙම තත්ත්වය ලංකා කොමියුනිස්ට්  පක්‍ෂයට ද අතිශය තීරණාත්මක ලෙස බලපෑවේය.


එමෙන්ම එම පක්‍ෂයට දේශීය වශයෙන් පීඩාකාරී වූ ප්‍රධාන සාධකය කෙරෙහි මෙම ලියුම්කරුගේ පෞද්ගලික අත්දැකීමක් සටහන් කිරීම කාලෝචිත වේ යයි සිතමි. මගේ මතකය නිවැරදි නම් ඒ 1964 වසරේ අවසාන භාගය යයි සිතමි. ඒ වනවිට ශ්‍රී ලංකා - සමසමාජ  සභාග රජය ගොඩනගා තිබුණි. කොමියුනිස්ට් පක්‍ෂයට ඒ සඳහා ආරාධනාවක් නොතිබුණි. එහෙත් එම රජයට ඇතුළු වී වම ආරක්‍ෂා කර ගැනීම සඳහා කොමියුනිස්ට් පක්‍ෂය ද රජයට ඇතුළු විය යුතුයැයි මතයක් පක්‍ෂය තුළ විවාදයට ලක්වෙමින් තිබුණි.  මේ පිළිබඳව අනුමැතිය ගැනීමට සහ සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් නායකත්වය විසින් දියත් කරනු ලැබ තිබුණි. උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකු වූ නමුදු මටද පක්‍ෂ පූර්ණ සාමාජිකත්වය හිමිව ගම්පහ ශාඛාවේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීමේ වරප්‍රසාදය හිමිව තිබුණේ පූජ්‍ය උඩකැන්දවල සරණංකර හිමියන්ගේ උනන්දුව මතය. වර්තමාන ගම්පහ දිස්ත්‍රික්කයෙන් හරි අඩකටත් වඩා ප්‍රදේශයක් වූ සියනෑ, හාපිටිගම් සහ අලුත්කූරු යන කෝරල තුනේම පක්‍ෂ සාමාජිකයන් නියෝජනය වූවේ ගම්පහ පක්‍ෂ ශාඛාවෙනි. මෙම සුවිශාල ප්‍රදේශයටම සිටියේ පාක්‍ෂික සාමාජිකයන් දහතුන් දෙනෙකි. එයින් දහතුන්වැන්නා මම වූයෙමි. සාමාජිකයන් දැනුවත් කිරීමට පැමිණ සිටියේ ප්‍රධාන ලේකම් පීටර් කෙනමන් මහතාය. (එදා සහෝදරයාය) දීර්ඝ දේශනයකින් හවුල්වීමේ වාසි සහ එමගින් අනාගතයේදී ලංකාව කොමියුනිස්ට් පාලනයක් ගොඩනගා ගැනීමට ඇති හැකියාව ලේකම්වරයා පෙන්වා දුන්නේය. නිදසුනක් වශයෙන් බල්ගේරියාවේ ගොවිජන පක්‍ෂයට සභාගයක් ලෙස ඇතුළුවීම නිසා කොමියුනිස්ට් පක්‍ෂයට එරට බලය අල්ලා ගැනීමට හැකිවූ බව ඔහු පැවසීය. කොමියුනිස්ට් පක්‍ෂයට බලය ලබාගත හැකි නම් හවුල් වූවාට වරදක් නැතැයි යන්න නායක මතය විය. එහෙත් මා ප්‍රශ්න කළේ රටෙන් අඩක් ඡන්ද හිමි ශ්‍රී.ල.නි.පයට හවුල්වීමෙන් කොමියුනිස්ට් පක්‍ෂයට එය යටපත් කළ හැකිවේද කියාය. පිළිතුරු දුන් පීටර් කෙනමන් සහෝදරයා කීවේ වලිගය විසින් බල්ලා වනන දිනයකුත්  එන බවය. මෙවැනි බරපතළ දේශපාලන කරුණු ගැන වටහා ගැනීමට තරම් ඔය සහෝදරයා මෝරා නැති නිසා තවදුරටත් මාක්ස් ලෙනිස්වාදය හදාරා දැනුම දියුණු කර ගන්නා ලෙසද උපදෙස් දුන්නේය. කෙසේ වුවත් යෝජනාවට පක්‍ෂව හා විපක්‍ෂව ඡන්ද හය බැගින් ලැබී සමවෙද්දී ශිෂ්‍යයෙකු වූ මාගේ ඡන්දය  සභාගයට පක්‍ෂව දුනිමි. ඒ නගුට විසින් අනිවාර්යෙන්ම බල්ලා වනන දිනයක් එනු ඇතැයි අපේක්‍ෂාවෙනි. එම වැඩි ඡන්දයෙන් ගම්පහ ශාඛාවේ අනුමැතිය ලැබුණි. එහි එතරම් විශේෂත්වයක් නොතිබුණේ දිවයිනේ අති බහුතරයක් ශාඛා සභාගයකට යාම අනුමත කර තිබුණු නිසාය.


ලංකා කොමියුනිස්ට්  පක්‍ෂය රජයට ඇතුළත් නොවුනත් ටික දිනකින්ම රජය පෙරළුණු නිසා සමගි පෙරමුණක් වශයෙන් මැතිවරණයට තරග කර පරාජය වී විපක්‍ෂයේ අසුන් ගත්තේය. 1970 දී සමගි පෙරමුණ අතිවිශාල ජයග්‍රහණයක් ලබා රජයක් පිහිටුවන ලදී. එහි නිවාස සහ ඉදිකිරීම් ඇමැති ධුරය පීටර් කෙනමන් සහෝදරයාටත් අධ්‍යාපන උපඇමතිකම බී. වයි. තුඩාවේටත් හිමිවිය. ප්‍රාදේශීය කොමියුනිස්ට් සාමාජිකයෝ තම පළාත්වල ආසන නියෝජනය කරන ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සමීප හිතවතුන් බවට පත්ව නිලතල වරප්‍රසාද ලබමින් එම කොට්ඨාසවල දෙවැනි පෙළ නායකයන් බවට පත්වූහ. කොමියුනිස්ට් කාරයන් දේශපාලන දැනුමෙන් සහ ක්‍රියාශීලීත්වය අතින් බොහෝ ශ්‍රී.ල.නි.ප පාක්‍ෂිකයන්ට වඩා ඉදිරියෙන් සිටි නිසා එකී මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේත් ජනතාවගේත්  ජනප්‍රියත්වය  දිනා ගැනීමට ඔවුහු සමත් වූහ. 1976 දී කොමියුනිස්ට් පක්‍ෂය සමගි පෙරමුණු රජයෙන් ඉවත්ව යද්දී සාමාජිකයෝ අතිබහුතරයක් රජයේම රැඳී සිටියහ. සභාග රජයට හවුල්වීමෙන් රතු පක්‍ෂයට ලැබුණු දෙයක් නැත. හවුලෙන් පනස් වසරකට පසු ආපසු හැරී බලන විට අපට පෙනී යන්නේ මෙවැනි දේවල්ය. එසේ වුවත් අපි පරණ පුරුද්දට මෙන් කොමියුනිස්ට් පක්‍ෂයට සුබ පතමින් එහි හැත්තෑ හතර වැනි සංවත්සර ආසන්නයේදීත් “සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් - අන්තිම සටනට සැරසියව්” යන විප්ලවයේ ගීතය ගායනා කරමු.

සෝමසිරි වික්‍රමසිංහ