සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්


 

සමාජ පරිණාමයේ සංවර්ධනය යුග හතරකින් සමන්විත වන්නේ යයි කාල්මාක්ස් ලීවේය. ආදි කල්පිත යුගය, වැඩවසම් හෙවත් වහල් යුගය, ධනවාදී යුගය සහ සමාජවාදී යුගය වශයෙනි. මෙම සමාජ පරිවර්තනයේ උපරි තලය වනුයේ සමානාත්මතාවාදීව, සාමුහික නිෂ්පාදනය සහ සාමුහික පරිහරණය අරමුණු කරගත් පන්ති විරහිත සමාජයකි. එය අනාගතයේ සිදුවන්නකි. එම විග්‍රහයට අනුව මේ ගෙවී යන්නේ ධනවාදී යුගයයි. ඒ වර්තමානයයි. ආදි කල්පිත සමාජය මෙන්ම වහල් යුගයද අතීතයට එකතුවී ඉතිහාසය බවට පත්ව ඇත. මෙම යුගයන් පිළිබඳව ඉරක් ගසා සීමාව සලකුණු කළ නොහැක. ඓතිහාසික වශයෙන් ක්‍රමානුකූලව සිදුවූ සමාජ පරිණාමයක් වන බැවිනි.


අපේ කතාන්තරයේ ඇරැඹුම යොදාගත යුතු වන්නේ වහල් යුගයෙනි. එදා සමාජය පාරම්පරිකව රදල පන්තිය සහ ප්‍රවේණි වහලුන් යන සමාජ කණ්ඩායම් දෙකෙන් යුක්ත වූහ. නොයෙකුත් වරප්‍රසාද ලැබීම් මගින් ධනය සහ බලය හිමි කරගෙන සිටි රදල සමාජය උපතින් ලද වංශාධිපතිත්වය නිසාම සාමාන්‍ය ජනතාවගේ ගරු බුහුමන් ලැබීමට මෙන්ම ඔවුන්ගේ නායකත්වය පිළිගැනීමටද බැඳී සිටියහ. ප්‍රවේණී වහලුන් යැයි සම්මත ජන කොටස්වල දෛවෝපගත ඉරණම වූවේ එම රදල පන්තියට යාව ජීව වශයෙන් සේවය කිරීමයි. ඒ සඳහා කිසිදු වැටුපක් ගෙවනු නොලැබූ අතර පරම්පරාවෙන් පරම්පරාවට එම සේවය ලබාදීමට වහල්ලු බැඳී සිටියහ.


මෙම තත්ත්වය ආසියාවේ හෝ යුරෝපයේ යැයි වෙනසක් නොමැතිව සකල ලෝකයේම දක්නට ලැබුණි. පෙර අත්බැව්හිදී කරන ලද අකුසල් නිසා තමන්ට මෙම ඉරණම ලැබී ඇතැයිද මේ ආත්ම භාවයේදී කරනු ලබන කුසල් හේතුවෙන් මීළඟ ආත්මයකදී මෙම නරා දුකෙන් අත්මිදිය හැකි යයි දේශනා කිරීමට බොහෝ ආගම්වල පූජක පක්ෂයද සැදී පැහැදී සිටියහ. රදල ප්‍රභූවරයා හෝ ඔවුනගේ කෙළවරක් නොමැති අඟනුන් වාඩිවී සිටින දෝලාව කරෙහි තබා ඔසවාගෙන පයින් ගාටමින් කඳුහෙල් තරණය කිරීමට සිදුවී තිබුණු අන්දම සුළු උදාහරණයක් පමණි. ක්‍රිස්තු පූර්ව සමයේ රෝම අධිරාජ්‍ය යුගයේ සිට දහ අටවැනි සියවසේ අවසානය දක්වා රාජ නීතියත් දේව නීතියත් පැවැතියේ මෙම ක්‍රමයට අනුගතවය.


ජෝර්ජ් ස්ටීවන්සන් නමැති බුද්ධිමතෙකු විසින් වාෂ්ප යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ එතෙක් පැවැති සමාජ ක්‍රමය වෙනස් වීමට පටන් ගත් බව දක්නට ලැබුණි. එතෙක් වහලුන්ගේ දෑතින් කෙරුණු බොහෝ කටයුතු යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් සිදුවන්නට පටන් ගැනුණි. ගොවිතැන් කටයුතු, රෙදි පිළි තැනීම ලෝම කර්මාන්තය ආදී කටයුතු සඳහාත් ප්‍රවාහනය සඳහාත් යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම ආරම්භ විය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස යන්ත්‍ර සඳහා බල ශක්තිය සපයා ගත යුතු විය. මුල් යුගයේ ඉන්ධන වශයෙන් වැඩිපුරම යොදා ගනු ලැබුවේ ගල් අඟුරු වූ බැවින් පතල් කර්මාන්තයද ආරම්භ වූයේය. මෙම ව්‍යාපාරවල අයිතිය දැරුවේ වැඩවසම් සමාජයේ රදල අධිපතින් විසින් නොව ප්‍රාග්ධනය යෙදවිය හැකි අධිෂ්ඨානශීලී සහ ධෛර්යවන්ත මිනිසුන්මය. මෙම කටයුතු සඳහා ප්‍රවේණි දාසයන් යෙදවිය නොහැකිවූ බැවින් මෙම නව ධනපති පන්තිය යටතේ සේවය කරන අයට වැටුපක් ගෙවිය යුතු විය. ව්‍යාපාර හිමි ධනපති පන්තියක් හා ඔවුන් යටතේ වැටුපට සේවය කරන කම්කරු පන්තියක්ද බිහිවූයේ ඒ ආකාරයෙනි.


කාර්මික විප්ලවය හේතුකොටගෙන ඇති වූ මෙම වෙනසට සමගාමීව, කම්කරු පන්තියට නියමිත වැටුපක් නියමිත සේවා කාලයක් අතිරේක සේවයට දීමනා සහ වෙනත් කම්කරු සුභ සාධන පහසුකම් ආදී කිසිවක් ලැබුණේ නැත. ලැබුණු සොච්චම් වැටුපෙන් සෑහීමට පත්ව ව්‍යාපාර හිමියාට අවශ්‍ය පමණ කාලයක් සේවය කිරීමට කම්කරුවෝ බැඳී සිටියහ. පෙර කළ කුසලාකුසල කරුමයේ උරුමය නිසා මෙසේ වන්නේ යැයි කියන පූජකයෝ ඒ වනවිටත් සිටියහ.


1848 දී කාල් මාක්ස් සහ ෆෙඞ්රික් එංගල්ස් යන චින්තකයන් දෙදෙනා ලෝකයට අනාවරණය කරන ලද නව දේශපාලන චින්තනයක් නිසා ලොව එතෙක් පැවැති කම්කරුවා පිළිබඳ අර්ථ නිරූපණය හා පිළිගැනීම උඩු යටිකුරු වී ගියේය. එතෙක් ලෝකයේ කව්රුත් විශ්වාස කළේ යම් කිසි ව්‍යාපාරයක ලාභය හිමිවිය යුත්තේ ප්‍රාග්ධනයට හෙවත් ව්‍යාපාර හිමියාට බවයි. එහෙත් කාල් මාක්ස් ප්‍රකාශ කළේ ලාභයේ අයිතිය හිමිවිය යුත්තේ ප්‍රාග්ධනයට නොව භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට උපයෝගී කර ගන්නා ශ්‍රමයට බවයි. එම න්‍යාය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ලෝකයේ සෑම රටකම කම්කරු පන්තිය එකා මෙන් සමගිව එක්සත් විය යුතු බවත් ඔවුන්ගේ ශක්තිය යොදවා සිදුකරනු ලබන ආයුධ සන්නද්ධ අරගලයක් මගින් කම්කරු රාජ්‍යයක් ගොඩනගා ගත යුතු යැයි ද ප්‍රකාශ කළේය. කම්කරු පන්තිය සූරාකමින් ධනය ගොඩ ගසා ගන්නා ධනේෂ්වර රාජ්‍යය පෙරළා දමා සූරාකෑමෙන් තොර සමාජවාදි සමාජයක් බිහි කළ යුතු බවත් ඔහුගේ මතය විය. ජාති ආගම්, භාෂා හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව පන්ති සහෝදරත්වයෙන් යුතුව ලොව පුරා කම්කරුවන් ඒකරාශි විය යුතු බවද එම න්‍යායට ඇතුළත් විය. මෙම අදහස් ලෝක ව්‍යාප්ත කම්කරු ජනතාවට විශාල ශක්තියක් වූවා සේම ආත්ම පරිත්‍යාගයෙන් වුවද මෙම න්‍යාය ක්‍රියාත්මක කිරීමට සූදානම් අනුගාමික පිරිසක් සෑම රටකින්ම පාහේ ගොඩනැගෙන ආකාරයක්ද දක්නට ලැබුණි.


යුරෝපයේ බොහෝ රටවල පැවැති ආගමික වෙනස්කම් පිළිබඳ වධ බන්ධනයන් නිසාත් නිසි ආදායම් මාර්ග සකසා ගැනීමට තම රටවල ඉඩකඩ නොමැතිවීම මෙන්ම යුද්ධ සඳහා අධික බදු අය කිරීම, පීඩාකාරිවීම නිසාත් තම මව්බිම හැර දමා, අලුතෙන් සොයාගත් ඇමෙරිකා මහා භූමිය වෙත සංක්‍රමණය වන්නන්ගේ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වෙමින් තිබුණි. දහහත්වැනි සියවස වනවිට ආරම්භ වූ මෙම සංක්‍රමණය නිසා ඇතිවූ ක්‍රියාදාමය සරුසාර ගොවිපොළවල්වලින් යුතු නවතම සංස්කෘතියකින් ජනපද දහතුනක් බවටත් එම සියල්ල ඒකාබද්ධවූ වෙනම සමූහාණ්ඩුවක් බවටත් පත්වීමට ගතවූවේ කෙටි කාලයකි. ජෝර්ජ් වොෂින්ටන් නමැති සටන්කාමී නායකයාගේ පුරෝගාමිත්වයෙන් ඇරැඹුණු සටන් ක්‍රියා මාර්ගය ජයග්‍රහණය කිරීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය නමැති සුවිශාල රාජ්‍යය ලෝක සිතියමට එක්විය. අලුත බිහිවූ ගොවි බිම්, එම නිෂ්පාදන ප්‍රවාහනය සඳහා නව වරායවල්, වෙළෙඳ කේන්ද්‍ර ස්ථාන වශයෙන් නව නගර මෙන්ම නව ව්‍යාපාරික පන්තියක්ද බිහිවෙමින් පැවතුණි. මෙම ධෛර්යවන්ත මිනිසුන්ගේ දැඩි උත්සාහය මත තම පොළෝ තලයේ ගල් අඟුරු, තඹ, රත්රන් වැනි ඛනිජ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ මෙම ව්‍යාපාරික පන්තිය අතිශයින්ම සමෘද්ධිමත් පිරිසක් බවට පත්විය. යුරෝපයේ අනෙක් සුපිරි බලවතුන්ගේ හැඩ ගැස්මට වඩා මෙහි සුවිශේෂී වෙනස්කමක් වූවේ පාරම්පරික රදල පන්තියක් මේ රටේ නොවීමයි. අලුතෙන් ගොඩනැගෙන රාජ්‍යයක් වශයෙන් එහි සිටියේ ව්‍යාපාරික කටයුතු මගින් සම්පත් උපයා ගන්නා ධනේෂ්වර වෙළෙඳ පන්තියක් සහ ඔවුන් යටතේ වැටුපට සේවය කරන කම්කරු පන්තියක් පමණි. නව ගොවිපළවල, වතු යායවල පතල්වල, සැතපුම් දහස් ගණන් දීර්ඝ දුම්රිය මාර්ග තැනීමේ මෙන්ම කඩ සාප්පු, කර්මාන්ත ශාලා ආදියේ සේවය කළ අයටද ගෙවනු ලැබූ වැටුප ඉතා සුළු මුදලක් විය. කිසිදු පහසුකමක් නොමැතිවූ අතර වන සතුන්ට ගොදුරු වීමෙන් මෙන්ම දේශීය ජනතාව වූ රතු ඉන්දියානුවන්ගේ ඊතල පහරට ලක්වීමෙන්ද දිවි අහිමිවූවෝ අපමණ වූහ. සේවය සඳහා නියමිත කාල පරිච්ඡේදයක් නියම කර නොතිබුණි. පැය දොළහක් පහළොවක් හෝ ඊටත් වැඩියෙන් වැඩ කිරීමට සේවකයන්ට බල කෙරුණි. ඕනෑම රටක ව්‍යාපාර හිමි පන්තියේ නිරන්තර අවධානය යොමුවී ඇත්තේ සේවකයන්ගෙන් වැඩිපුර සේවය ලබා ගැනීම මගින් තම ලාභය වැඩිපුර උපදවා ගැනීමටය. නව ඇමෙරිකානු රාජ්‍යයේ ව්‍යාපාරික පන්තියේ ඒකායන අපේක්ෂාව වූයේද එයමය.

 


කාල් මාක්ස්ගේ සුප්‍රකට ආර්ථික විග්‍රහය මගින් ලද ආශ්වාදය සහ පන්නරය ඔස්සේ සටන් වැදුණු ප්‍රංශ පීඩිත ජනතාව වැඩවසම් ඒකාධිපති රජවරුන්ගේ පාලනය පෙරළා දමා පැරිස් කොමියුනය නමැති විප්ලවවාදී පාලනය පිහිටුවා ගන්නා ලදී. මද කලකින්ම අසාර්ථකව බිඳ වැටුනා වුවත් ප්‍රංශ විප්ලවය සහ පැරිස් කොමියුනය විසින් ලෝකයේ දුක් විඳින ජනතාව වෙත ලබාදෙන ලද සාධනීය ගුණාංග සහ ආදර්ශයන් අපමණය. ලොව පුරා වෙසෙන කම්කරු පන්ති ජනතාවට එමගින් ලැබුණු ධෛර්යය ශක්තිය හා පරමාදර්ශය කිසිසේත්ම සුළුවෙන් තක්සේරු කළ නොහැක. දියුණු කර්මාන්ත පැවැති ජර්මනියේ, එංගලන්තයේ පමණක් නොව අලුතෙන් ගොඩනැගෙමින් පැවැති ඇමරිකා එක්සත් ජනපදයේද කම්කරු අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂණ සහ සටන් ඇතිවීම පටන් ගත්තේය. එහෙත් මෙම ඉල්ලීම් කෙරෙහි ව්‍යාපාරික පන්තියේ අවධානය යොමුවූවේ ඉතා අවම මට්ටමිනි. සුළු සුළු ප්‍රතිසංස්කරණ ඇති නොවූවාම නොවේ. යම් යම් සුභ සාධන වරප්‍රසාද ලැබුණාවුවත් “පැය අටක වැඩ දිනයක්” යන ඉල්ලීම ධනපති පන්තිය විසින් වටහාගනු ලැබුවේ පරුෂ වචනයක් ලෙසිනි. එවැන්නක් අදහා ගැනීමටවත් නොහැකිව ව්‍යවසායකයෝ අන්ද මන්ද වූහ. කෙසේ වුවත් කම්කරු පන්තියේ සටන්කාමී බව මෙන්ම ධනපති පීඩනයට එරෙහිව අයිතිවාසිකම් උදෙසා සටන් වැදීමේ ස්ථිර අධිෂ්ඨානයද යටපත් කළ නොහැකි මට්ටමේ උපරි තලයට පැමිණෙමින් තිබුණි.


පැය අටක වැඩ දිනයක් ඉල්ලා ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී පවත්වන ලද කම්කරු වැඩ වර්ජනයක් කඩා කප්පල් කිරීම සඳහා පොලිසිය යොදවන ලදී. 1886 මැයි පළමුවැනි දින වර්ජිත කම්කරුවන්ගේ පෙළපාළියකට මෙසේ චිකාගෝ පොලිසිය මැදිහත්වී වෙඩි තැබීමෙන් කම්කරුවන් හතර දෙනෙකුගේ දිවි අහිමි විය. මෙම සිද්ධියෙන් කුපිත වූ කම්කරු ජනයා දසදහස් ගණනින් හේමාකට් චතුරශ්‍රයට ගලා එන්නට පටන් ගැනුණි. මෙම ජනතාව එකහඬින් පාලකයන්ට බලකළේ පැය අටේ වැඩ දිනයක් සහ අනෙකුත් කම්කරු අයිතිවාසිකම් ලබාදෙන ලෙසත් මැයි පළමුවැනි දින පොලිස් වෙඩි පහරින් සිව් දෙනෙකුගේ ජීවිත අහිමි කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය. කර්මාන්ත හිමියන්ගේ මෙහෙයවීම මත සිදුවූ කුමන්ත්‍රණයකට අනුව පොලිස් නිලධාරින් වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පොලිසියේ දෙදෙනක් මරණයට පත්වූහ. මෙයින් කෝපයට පත් පොලිසිය නැවතත් කම්කරු පන්තිය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එයින් දෙසියකට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම යුගයේ සියලු රටවල කම්කරු පන්තිය තම වර්ණය ලෙස සලකා සුදු ධජ පතාක පෙළපාළිවල රැගෙන යාම පුරුද්දක් කරගෙන තිබුණි. එහෙත් පොලිස් වෙඩි තැබීම් නිසා මරණයට පත්වූ සහ තුවාල ලැබූ සහෝදරයන්ගේ සිරුරුවලින් ගලා ගිය උණුසුම් රුධිරය හේතුවෙන් මෙම ධජ පතාක රක්ත වර්ණයට හැරී තිබුණි. ආවේගයෙන් යුතුවූ කම්කරුවෝ මෙම ලේ වැකුණු ධජ ප්‍රදර්ශනය කරමින් පෙළපාළි දැක්වූහ. එවක් පටන් කම්කරු පන්තියේ සංකේතාත්මක වර්ණය රතු පැහැය ලෙස පිළිගන්නා ලද බවද කියවේ. 


උද්ඝෝෂණ හේමාකට් බෝම්බ සිද්ධිය ගැන චෝදනා කරමින් මෙම ව්‍යාපාරය මෙහෙයවූ කම්කරු නායකයන් සියලු දෙනාම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ සැම දෙනාම අධිකරණය හමුවට පමුණුවන ලදුව සිව් දෙනකු මරණීය දණ්ඩනයටත් දෙදෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්ද නියම කරනු ලැබූහ. මෙම සිදුවීම ලෝක කම්කරු පන්තියේ හද කම්පා කරන සිදුවීමක් වූවේය. ශක්තිමත් ජාත්‍යන්තර කම්කරු එකමුතුවක් ගොඩනැගීමට ෆෙඞ්රික් එංගල්ස් නායකත්වය දුන්නේය. ඒ අනුව 1889 ජුනි මාසයේදී ප්‍රංශයේ පැරිස් නුවරදී රැස්වූ ජාත්‍යන්තර කම්කරු එකමුතුවේ දෙවැනි මහා සම්මේලනයේදී මැයි පළමුවැනි දිනය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සම්මත කර ගන්නා ලදී. එයට නිමිත්ත ලෙස සලකන ලද්දේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයේදී සිදුවූ දැවැන්ත කම්කරු අරගලයයි. ජීවිත පූජාවයි. මෙම සිද්ධිය අනුස්මරණය කරමින් ලොව පුරා සටන්කාමී කම්කරු පන්තිය, තම අයිතිවාසිකම් දිනාදීම සඳහා සටන් වැදී සිය ප්‍රාණය වායු ගෝලයට මුදාහළ ඒ අමරණීය සොහොයුරන්ගේ කීර්ති නාමයන්ට උපහාර දක්වමින් 1890 වසරේ සිට මැයි දිනය සමරනු දක්නා ලැබේ. 


බි්‍රතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාවට මෙවැනි සිදුවීම්වල උණුසුම දැනුණේ නැත. පරාධීන බවේ අන්ධකාරයේ ගිලී සිටි ලංකාවට මැයි දිනය හඳුන්වා දෙනු ලැබුවේ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ලංකා කම්කරු පක්ෂය විසිනි. බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති ආදර්ශයට ගනිමින් පිහිටුවාගන්නා ලද එම පක්ෂය කම්කරු පන්තියට ආවේණික විප්ලවවාදී සටන්කාමී ගති ලක්ෂණ පෙන්නුම් කළේ නැත. එනිසා 1929 දී එම පක්ෂය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය පවත්වා ඇත්තේ විනය ගරුක පෙරහැරක ස්වරූපයෙනි. එහෙත් 1935දි මෙරට ප්‍රථම විප්ලවවාදී දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය බිහිවීමෙන් පසු මැයි දිනයට එයට උරුම සටන්කාමී සහ සංවිධානාත්මක බව කැටි කරගත් මැයි දිනය සැමරීම ආරම්භ කළේය.


එක් දහස් නවසිය පනස් හයේදී බලයට පත් බණ්ඩාරනායක රජය මැයි දිනය නිවාඩු දිනයක් බවට පත්කර එම දිනය සැමරීමේ නීත්‍යානුකූල අයිතිය ලබාදීම එම ක්‍රියාදාමයේ සුවිශේෂ සාධනීය වර්ධනයක් විය. රාජ්‍ය නායකයකු සහභාගිවූ රාජ්‍ය අනුග්‍රහය ලැබූ ප්‍රථම මැයි දිනය කරළියට පැමිණියේ ඒ ආකාරයෙනි. 1957 සිට එක්සත් ජාතික පක්ෂයද වෘත්තීය සමිති සංවිධානය කිරීම ආරම්භ වූ අතර පසුකාලීනව මැයි දිනය දේශපාලන පක්ෂවල ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන උපාංගයක් බවට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබුණි. 


ලෝකයේ ප්‍රථම කම්කරු හා සමාජවාදි රාජ්‍යය වූ සෝවියට් දේශයට නොයෙකුත් විදේශීය බලපෑම් සහ ආක්‍රමණ, තර්ජනවලට පිළිතුරු දීමට මැයි දිනය උපයෝගී කරගත් ආකාරය ලෝකයට දක්නට ලැබුණි. ලෝකය බෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී උවමනාවට සහ කම්කරු පන්තිය පාගාගෙන සූරාකෑමේ ප්‍රතිපත්තියට මෙන්ම ජාතික විමුක්තිය උදෙසා සටන් කරන ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජනතාවන්ට සහෝදරාත්මක සහාය පළ කිරීමටද සෝවියට් දේශය තම ආයුධ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට මැයි දින පෙළපාලිය අවස්ථාවක් කර ගත්තේය.


මේ වනවිට ලෝකයේ සිය ගණන් නගර ගිගුම් දෙන කම්කරු සහභාගිත්වයෙන් යුතු මහා රැලි සහ පෙළපාලි මැයි දිනය වෙනුවෙන් පැවැත්වීමට සංවිධානය වෙමින් පවතිනු නිසැකය. මේවා විවිධ න්‍යාය පත්‍ර යටතේ පැවැත්වුනද ඒවායේ මුඛ්‍ය අර්ථය විය යුත්තේ අප කව්රුත් භුක්ති විඳින පැය අටේ වැඩ දිනය දිනාදීම උදෙසා තම ජීවිතය පූජා කළ ඒ කීර්ති ශේෂ භාවෝපගත සටන් සගයන් සිහිපත් කර උපහාර දැක්වීමයි. එනිසා මැයි දිනයේ දිනාගත් වික්‍රමාන්විත ජයග්‍රහණයන්ගේ ඇගයීම එම රැළි සඳහා කැඳවාගෙන එන පිරිසගේ ඔළු ගෙඩි සංඛ්‍යාව ප්‍රදර්ශනය කිරීම දක්වා ලඝු කරන්නේ නම් එය මැයි දිනයේ තේජාන්විත සහ උත්කෘෂ්ඨ අරමුණ වෙත සිදුකරන නිගාවක් ලෙස සැලකීම වරදක් නොවේ.

සෝමසිරි වික්‍රමසිංහ