ජානක පෙරේරා
වර්ෂ 1946 පෙබරවාරි මස 01 වැනිදා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මහතා කොළඹ මරදානේ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනයට අත්පොත් තබයි. පාසලේ කැපී පෙනෙන චරිතයක් වූ ජානක පෙරේරා මහතා කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඉන් ඉහළින් සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලබයි. එහෙත් පාසල් කාලයේ සිටම තමා දැඩි ලෙස ආශා කළ හමුදා ජීවිතයට එක් වී රටට සේවය කිරීමේ අරමුණ පෙරදැරි කර ගෙන සිටි එතුමා විශ්ව විද්‍යාල ජීවිතයට සමුදී හමුදා ජීවිතය ආරම්භ කරනු ලබන්නේ ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙසිනි.
1966 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදා කැඩෙට් නිලධාරියකු ලෙසින් සේවයට එක් වන ඒ මහතා වැඩිදුර පුහුණුව ලබා ගැනීම සඳහා එංගලන්තයේ සුප්‍රකට සෑන්ඞ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියට (Royal Military Academy of sandhurst) ඇතුළත් වේ. විදෙස් පුහුණුව නිම වීමෙන් පසු ලංකාවට පැමිණෙන ඒ මහතා දෙවැනි ලුතිනන්වරයකු ලෙස පළමුවැනි ඉංජිනේරු සේවා බළ ඇණියට අනුයුක්තව සිය රාජකාරී ආරම්භ කළේය. එසේම ඔහු ශ්‍රී ලංකා ආරක්ෂක සේවා විද්‍යා පීඨයෙන් හා බි්‍රතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය ආරක්ෂක කොලීජියෙන්ද (Royal Collage of Defense Studies) වැඩිදුර පුහුණුව ලබා ගනු ලබයි.
ජනතා විමුක්ති පෙරමුණ 1971 දී දියත් කළ ආණ්ඩු විරෝධී කැරැල්ල මැඬපැවැත්වීම සඳහා එවක පැවැති රජය විසින් ජානක පෙරේරා මහතා පත් කරනු ලබයි. හමුදා නිලධාරියකු ලෙස තම වගකීම හා රාජකාරි නිසි අයුරින් ඉටු කරමින් මෙම කැරැල්ල සාර්ථකව මැඬ පැවැත්වීමට තරුණ යුද හමුදා නිලධාරියකු ලෙස ඔහු සමත් විය. මේ නිසාවෙන් ඔහු එවක පැවති රජයේ පැසසුමට ලක්වන අතර එහිදී ඔහු කපිතාන් නිලය දක්වා උසස් කරනු ලබයි. වයස අවුරුදු 27 ක් තරම් ඉතාම ළාබාල වයසකදී කපිතාන්වරයකු බවට පත්වීමට තරම් ඔහු දක්ෂයෙක් විය.
1980 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ යුද හමුදා කොමාන්ඩෝ බළකායට අනුයුක්තව සේවය කිරීමේ අවස්ථාව තරුණ ජානක පෙරේරා මහතාට හිමි විය. 1983 දී ඇරඹෙන ඊළාම් යුද්ධයේදී ක්‍රියාකාරී යුද හමුදා නිලධාරියකු ලෙස කැපී පෙනෙන දස්කම් දක්වන එතුමා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ හා එකල සිටි දේශපාලන අධිකාරියේ නොමඳ ප්‍රසංශාවට හා ගෞරවාදරයට පත් විය.
1980 දශකයේ මුල් භාගයේදී පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මානවල ජනයා වෙත නිරන්තරවම L.T.T.E ය දියත් කළ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියෝ බුරුතු පිටින් ඝාතනයට ලක් වූහ. එම කාලයන්හිදී L.T.T.E ය විසින් සිවිල් වැසියන් එම ප්‍රදේශවලින් පලවා හැරීම ද සිදු කරන ලදී.
මෙම නිසා මායිම් ගම්මානවල පදිංචිව සිටි සිංහල පදිංචිකරුවන් සිය ගම්බිම් අතහැර යාමට පටන් ගෙන තිබුණි. මෙම තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් තෝරා පත් කර ගනු ලබන්නේ ජානක පෙරේරා මහතාය.
ඔහු වෙත භාර දුන් එම භාරධූර කර්තව්‍ය ඉටු කිරීම සඳහා තම සෙසු නිලධාරීන් හා සෙබළුන්ද සමඟ නිරන්තරවම එම ප්‍රදේශ තුළම කූඩාරම්වල ජීවත් වෙමින් ඔවුනට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන්නේ ඉතාමත් ඕනෑකමිනි. ඔහු විසින් එම ප්‍රදේශවල ජනයාගේ සුඛ විහරණය සඳහා තම නිලධාරීන් හා එක්ව මසකට එක් වතාවක්වත් ශ්‍රමදාන සංවිධානය කරමින්ද වැව් අමුණු ඇළ වේලි ප්‍රතිසංස්කරණය කරමින් හා මංමාවත් ඉදි කරමින්ද යුද හමුදා ජෙනරේටර් යොදා ගනිමින් ප්‍රදේශයේ ප්‍රාථමික රෝහල් වෙත අඛණ්ඩව විදුලිය සපයමින්ද සාමාන්‍ය ජන ජීවිත විශාල පරිවර්තනයකට ලක් කිරීමට සමත් විය. එසේම සෑම සති අන්තයකදීම කොළඹින් විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් හා ඖෂධ වර්ග ගෙන්වාගෙන වෛද්‍ය සායන සංවිධානය කළේ මායිම් ගම්මාන වාසීන්ගේ නොමඳ ආදර ගෞරව ප්‍රශංසාවට ලක් වෙමිනි. තම ආරක්ෂාව ගැන පවා නොතැකූ ජානක පෙරේරා මහතා මායිම් ගම්මානවලට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන දැඩි කරමින් එම ජනයා ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ආරක්ෂා කිරීමට සමත් විය. ඔහු මායිම් ගම්මානවල ජනතාව ආමන්ත්‍රණය කළේ මගේ මිනිස්සු කියාය. ඔහු කොතරම් දුරට ජනතාවට සමීපව හා ආදරයෙන් සිටි පුද්ගලයකු බව මෙයින් අරුත් ගැන්වේ. මීට කෘතගුණ සැලකීමක් වශයෙන් එම ප්‍රදේශවල ජනතාව ජානක පෙරේරා මහතා නමින් ජනකපුර ලෙස ගම්මානයක් නම් කොට සංවර්ධනය කරනු ලැබූයේ දිවි හිමියෙන් තමන් රැක ගත් මේ වීරෝදාර සෙබළාට තිබූ නොමඳ භක්ත්‍යාදරය නිසාවෙනි.
මේ සුවිශේෂී ඡායාරූපයේ වම් කෙළවරේ ඉන්නේ ජානක පෙරේරාය. අද කඳවුරු දෙකක සිටින ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාද මෙහි වෙති.
1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම (Operation Liberation) සඳහා සක්‍රීයව දායකවන ජානක පෙරේරා මහතාට ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි ජ්‍යෙෂ්ඨ අත්දැකීම් බහුල රණකාමීන් සෙවණේ හමුදා පන්නරය ලැබෙයි. ක්‍රම ක්‍රමයෙන් ත්‍රස්තවාදයට එරෙහිව එඩිතරව සටන් වදින මේ වීර රණකාමියා කර්නල් නිලය දක්වා උසස්වීම් ලැබුවේය.
රණසිංහ ප්‍රේමදාස සමයේ දෙකොන ඇවිළෙන විලක්කුවක් ලෙස උතුරුකරයේ පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයත් දකුණේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය සන්නද්ධ අරගලයත් නිසා දැඩිසේ හෙම්බත්ව සිටි ජනාධිපතිවරයා දකුණේ කැරලි නායක රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා ලෙස පවරනු ලබන්නේ ජානක පෙරේරා මහතාටය. එම රාජකාරියද අකුරටම ඉටු කරමින් රෝහණ විජේවීර ජානක පෙරේරාගේ අත්අඩංගුවට පත්වන අතර ඔහුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ නිලධාරීන් වෙත භාරදී කැරැල්ල මැඬ පවත්වනු ලබයි.
ඉතාම රහසිගත යටිබිම්බගත ජීවිතයක් ගතකරමින් සිටි රෝහණ විජේවීර අල්ලා ගැනීම ඉතාමත් අපහසු කටයුත්තක් වූ නමුත් හමුදා බුද්ධි තොරතුරු හා අනෙකුත් ඔත්තු සේවා මගින් ලබා දෙන්නා වූ තොරතුරු විමර්ශනය කරමින් ඔහු අල්ලා ගැනීමේ මෙහෙයුම ඉතාමත් සැලසුම් සහගතව හා සූක්ෂම ලෙස දියත් කළ බව සඳහන් වේ.
යුද හමුදාව තුළ කැපී පෙනෙන දස්කම් දක්වන ජානක පෙරේරා මහතා බි්‍රගේඩියර් නිලයට උසස් කරනු ලබයි. 1995 දී දියත් කෙරුණු යාපනය අර්ධද්වීපය මුදවා ගැනීමේ රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ ඒ මහතා බලවේගය, ජයසිකුරු වැනි හමුදා මෙහෙයුම්වලදී සුවිශේෂී දස්කම් පා ත්‍රස්තවාදීන් විනාශ කළ අයෙකු වේ. 53 වැනි සේනාංකාධිපතිවරයා ලෙස සිටිමින් යාපනය අර්ධද්වීපය බේරා ගැනීමේ තීරණාත්මක මෙහෙයුමටද ඔහු නායකත්වය දුන්නේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබූ යාපනය කොටුව මුදවා ගැනීමට පෙර පලාලි කඳවුරු අවට භූමිය අත්පත් කර ගැනීම ඉතාමත් වැදගත් වූ අතර මේ සඳහා ජානක පෙරේරා මහතා විසින් ඉදිරි පිම්ම මෙහෙයුම දියත් කරනු ලැබීය. යාපනය නැවත අත්පත් කර ගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනා ගැනීම උදෙසා නැවත වරක් බි්‍රගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නංවන ලදී. එය මල්ඵල ගන්වමින් වසර ගණනාවකට පසු යාපනය අර්ධද්වීපය හමුදාව සතු කර ගැනීමට හැකි විය.
ජානක පෙරේරා මහතා වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයද අතිසාර්ථක ලෙස මැඬ පැවැත්වීමට සමත් විය. එම සටනේදී වීරෝදාර හමුදා සෙබලුන් 10 දෙනෙකුගේ පමණක් ජීවිතය අහිමි වූ නමුත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු 500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. එල්.ටී.ටී.ඊ.යට දරුණු පරාජයක් අත්කර දෙමින් සිදු කරන ලද මෙම මෙහෙයුම ලංකා යුද ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු සුවිශේෂී යුද ජයග්‍රහණයකි. මෙම ප්‍රහාරයේ මහ මොළකරු හා නියමුවා වූයේද ජානක පෙරේරා මහතාය.
බුද්ධි තොරතුරු රැස් කිරීමේ උපන් හපන්කමක් දැක්වූ ඒ මහතා ඉතාමත් දක්ෂ ලෙස සතුරන්ගේ ඉලක්ක වෙත දරුණු
ප්‍රහාර එල්ල කිරීමට සමත් විය. යුද හමුදාව වෙත එල්ල කිරීමට ආ මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද මහ මොළකරු වූයේ අන්
කවරෙකුත් නොව එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ය. ත්‍රස්තවාදීන්ට දරුණු හිසරදයක් වූ මේ අභීත සෙන්පතියා එල්.ටී.ටී.ඊ. ඝාතන ලැයිස්තුවේ ඉහළම ස්ථානයක සිටින ලදී.
වැලිඔය සංග්‍රාමයෙන් පසු 23 වැනි හා 51 වැනි සේනාංකයන්හි සේනාංකාධිපති ධුරය ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා 1999 වන විට කමාන්ඩෝ හා විශේෂ කාර්ය බළකාවල සේනාංකාධිපතිවරයා ලෙසටද පත්ව සිටියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය 2000 වසරේදී ආරම්භ කරන ලද නොනවතින රැල්ල (ඹබජැ්ිසබට උ්ඩැි) ප්‍රහාර මාලාවේදී ලාංකික යුද හමුදාවට දරුණු පරාජයක් අත්වෙමින් පැවතුණි. යාපනය අර්ධද්වීපය නැවතත් අත්පත් කරගැනීමේ අභිලාෂයෙන් සිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට පලාලි කඳවුර විනාශ කිරීම ඉතාමත් වැදගත් විය. එල්.ටී.ටී.ඊ.යේ මෙම අරමුණ මැඬපැවැත්වීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය විසින් බාර දෙනු ලැබුයේ ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණ මේජර් ජෙනරාල්වරු දෙදෙනෙකුටය. එයින් එක් අයෙකු වූයේ වත්මන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා ජානක පෙරේරා යන මහත්වරුන් දෙපළටය. එවකට හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වූ ජානක පෙරේරා මහතා යාපනය ආරක්ෂක සේවා ආඥාපති ලෙසින්ද පත් කරන ලදී.
යාපනයේ සිට ස්වාධීන රූපවාහිනිය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්නා බවත් හමුදාව හැරගිය සියලු දෙනාට නැවතත් තමන් හා එක්ව අභීතව සටන් වදින ලෙසත් කළ ඉල්ලීම හා පරාජිත මානසිකත්වයෙන් සිටි යුද හමුදා චිත්ත ධෛර්ය නැංවීමට හා යුද හමුදාව සමඟ තරුණයින් එක්වීමට හේතු විය. එල්.ටී.ටී.ඊ.ය දියත් කළ මෙම ප්‍රහාර මාලාව නිසා හමුදා ජීවිත විශාල සංඛ්‍යාවක් දැයට අහිමි වූ අතර මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙසින්ද කටයුතු කරනු ලැබූයේ කරුණා අම්මාන් වීම සුවිශේෂී කරුණක් වේ.
ඉතාමත් දරුණු සටන් කිහිපයකින් අනතුරුව කෙසේ හෝ යාපනය අර්ධද්වීපය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට යුද හමුදාවට හැකි වූයේ මේජර් ජෙනරල් ජානක පෙරේරා හා සරත් ෆොන්සේකා නිසාවෙනි. ජානක පෙරේරා මහතා නිරන්තරවම ප්‍රකාශ කළ දෙයක් තිබුණි. එය නම් දෙමළ තරුණයන්ද හමුදාවට බඳවා ගත යුතුය යන්නයි.
ඒ ගැන වරක් ඔහු මෙලෙස ප්‍රකාශ කර ඇත. යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෑ දෙමළ මිනිස්සුන්ව කොටි ග්‍රහණයෙන් ගලවන එක. ඒක එහෙම වෙන්න නම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයෝ කර ගන්ට ඕනෑ. උතුර අල්ලගෙන ඒක සිංහල සෙබළුන්ගේ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැනේ යනුවෙනි. මෙහිදී ඔහු විසින් සියලුම දෙමළ ජනයා ත්‍රස්තවාදීන් නොවන බවටත් සියලුම දෙමළ ජනයා ත්‍රස්තවාදයට විරුද්ධව නැගී සිටිය යුතු බවටත් මතයක් ගොඩනගන ලදී. ඔහු ඉතා පුළුල් දර්ශනයක් හා දැක්මකින් සමන්විත අයකු බවටද මෙයින් මනාව පැහැදිලි වෙයි. රට වෙනුවෙන් විශාල ජයග්‍රහණය ප්‍රමාණයක් අත්පත් කර දුන් ජානක පෙරේරා මහතාට පොදුජන එක්සත් පෙරමුණ විසින් නිරන්තරවම ලැබුණේ කුඩම්මාගේ සැලකිලි විය.
ජී. ගයාන් ඕෂධ