සාමයට ළැදි ජනතාවගේ යුද වීරයා


සුදු පාලකයන් සිංහලයන් දුබල කිරීම සඳහා යෙදූ උපක්‍රමයක ප්‍රතිඵලයක් ලෙස 1931 වකවානුවේ දෙමළ ජාතිවාදය ආරම්භ විය.


දෙමළ ඉල්ලීම් ත්‍රස්තවාදයන් බවට පත් වූ බව රජයට තේරුම් ගියේ 1976 දී යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඞ් දොරෙයි අප්පා ඝාතනය කිරීම තුළිනි. එම තත්ත්වයට නිසි පිළියම් නොයෙදූ බැවින් 1983 ජූලියේ දී හමුදා සෙබළුන් 13 දෙනකු මරා දැමුණු අතර ඔවුන්ගේ සිරුරු කොළඹට ගෙන ඒමත් සමගම රටපුරා ප්‍රචණ්ඩකාරී කෝලහල පැනනැඟුණි.


මෙය ජනවාර්ගික යුද්ධයක් බවට ලොවපුරා පැතිර ගියේ රජයේ දුර්වලකම් නිසාය. මේ නිසා දෙමළ ඊළාම්වාදීන්ට තටු ලැබුණාක් වැනි විය. ජාත්‍යන්තර බලපෑම් හා අනුග්‍රහ ලැබෙන්නට වැඩි කලක් නොගියේය. උතුරුකරයට සීමා වී තිබූ ත්‍රස්තවාදය ඇවිළී යාමට පෙර මර්දනය කිරීමේ භාර දූර වගකීම ක්‍රියාශීලී විශ්වාසවන්ත හමුදා සෙන්පතිවරයකුට පැවරිණි. ඔහු ඒ වන විට හමුදාව තුළත් ජනතාව තුළත් දේශප්‍රේමී ගුණගරුක නිලධාරියකු වශයෙන් ජනප්‍රියව සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුවය.


1940 ජූලි 27 වැනිදා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේදී ඩෙන්සිල් ලක්‍ෂ්මන් කොබ්බෑකඩුව උපත ලැබීය. පැරණි ප්‍රභූ පවුලක් වන පිළිමතලව්වේ දෙල්දෙණිය වලව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා අයෝනා රත්වත්තේ දම්පතීහු ඔහුගේ මව්පියෝ වූහ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා උසස් අධ්‍යාපනය ලබද්දී ඔහුගේ දක්‍ෂතා ඉස්මතු වූයේ රගර් ක්‍රීඩකයකු ලෙසයි.


1960 මැයි 29 වැනි දින තරුණ ඩෙන්සිල් යුද හමුදාවට එක්වන්නේ කැඩෙට් භටයකු ලෙසිනි. 1962 අගෝස්තු 03 දින වන විට ඔහු දෙවැනි ලුතිනන්වරයෙකි.


1966 තරුණ ඩෙන්සිල්ගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් විය. ඒ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට හමුදා කුමන්ත්‍රණයට දායක වූයේ යැයි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමයි. 1970 දී බලයට පැමිණි වහා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය යටතේ යළි රැකියාව ලත් ඔහු 1971 දී දකුණ භාර හමුදා සේනාංකය මෙහෙයවමින් කැරලි මර්දනය සඳහා පත් කෙරිණි.


බි්‍රගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව ආයුධ අතටගත් තරුණ පරපුරේ මාරයා නොවීය. වධකයකුද නොවීය. අනෙක් නිලධාරීන් අතරේ තරුණ පරපුර දෙස සානුකම්පිතව ක්‍රියා කළ මානවවාදියකු විය.


1989 වසරේ එංගලන්තයේ සැන්ඩර්ස්ට්හි මනා හමුදා පුහුණුව ලබා දැනුමෙන් මුවහත්ව සිටි ඔහු කැරලි සමයේ හමුදා කඳවුරු හා පොලිස් කූඩුවල මෙන්ම වධකාගාරවල සිරකර සිටි තරුණ භික්‍ෂූන් හා තරුණ තරුණියන් මුදවා ගැනීමට උපක්‍රමශීලීව කටයුතු කළේය.


1987 දී උතුරුකරයට යාමට රාජ්‍යාරක්‍ෂක ඇමැති රංජන් විජේරත්න නැගෙනහිර පළාතේ මෙහෙයුම්වල යෙදී සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ සේනාංකයට නියෝග කළේය. නැගෙනහිර මෙහෙයුම් පරීක්‍ෂා කිරීමට ගිය ඇමැතිවරයා බැහැදැකීමටවත් ඔහු නොගියේය. කොළඹට ගිය වහාම ඇමැතිවරයා තමා හමුවී නිදහසට කරුණු දක්වන ලෙස කොබ්බෑකඩුවට නියෝග කළේය. “මං නැගෙනහිර ගියේ යුද මෙහෙයුම් කරන්න මිස දේශපාලකයෝ බැහැ දකින්න නොවෙයි. මට පවරපු වැඬේ මං හරියට කරනවා.” ජනරාල්වරයා ඇමැතිවරයාට කෙළින්ම කීවේය.


“හොඳයි ඩෙන්සිල් ගිහින් වැඬේ කරන්න” ඇමැතිවරයා කීවේ එපමණකි.


නැගෙනහිර පළාතේ යුද සෙබළුන් ගැන ඔහුගේ සවනට ගැටුණේ සුභආරංචි නොවේ. යුද සමයේ කායිකව හා මානසිකව පහළට වැටී සිටි හමුදා භටයෝ සතුන් දඩයමේ යාම හා නීති විරෝධී ජාවාරම් කිරීම වැනි චෝදනාවලට ලක්ව සිටියහ. දරුණුම පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට මැළි නොවූ කොබ්බෑකඩුව “ළමයිනේ” වැනි ආදර වදනින් සෙබළ සෙබළියන් අමතා ඔවුන් දිරිගැන්වීය.


ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව තම නිලතල වලින් උඩඟු වූ මිනිසකු නොවීය. ඔහු සියලු නිලතල දරන රණවිරුවන්ට සැලකුවේත් ඔවුන්ට සවන් දුන්නේත් එකම හැඟීකමකිනි. “අප සියලු දෙනාම සටන් වදින්නේ දේශය වෙනුවෙන්” යන්න හිත් තුළ පැලපදියම් කරවමිනි.


“මම විතරක් කතා කළාට මදි. ඔයාලාගෙත් අලුත් අදහස් කියන්න. අද හමුදාවට බැඳුණු කෙනෙකුගේ වුණත් අදහස් මං අහනවා.


ඔහු තරුණ පිරිස දිරිමත් කළේ එසේ පවසමිනි. යමෙකු ඉදිරිපත් කරන අලුත් අදහසක් ඔහු පිළිගත්තේ තමන්ගේම මතයක් ලෙසිනි. එබැවින් ඩෙන්සිල් කොබ්බෑකඩුව යනු තම විධායකයා නොව ආශිර්වාදය දෙන්නා ලෙස සැලකූහ.


භින්න මානසිකත්වයකින් සිටි හමුදාවේ සාමාජිකයෝ නව නායකයාගේ ආශිර්වාදයෙන් නැගී සිටියහ. ඔහු ගැන දැන කියාගත් තරුණයෝ බුරුතුපිටින් හමුදාවට බැඳෙන්න වූහ. හමුදාව යනු වධකාගාරයක් නොව පූජනීය ස්ථානයක් බවට හැරවූයේ ඔහු සතු සත්‍යවාදී සිල්වත්, ගුණවත් හා නම්‍යශීලී ප්‍රතිපත්තිය නිසාමය.


උතුරු ප්‍රදේශය මුදවා ගැනීමේ වඩමාරච්චි මෙහෙයුම 1987.05.26 වැනිදා සෙන්පති කොබ්බෑකඩුව ඇරඹුවේය. එම යුද සැලැස්ම මසක් පුරා ක්‍රියාත්මක වූයේය. ගැමුණු හා ගජබා රෙජිමේන්තු සෙබළු අටදහසක් ඊට එක්වූහ.
කොන්ඩන්ආරු පාලම පුපුරවාගෙන යාපනයට ඇතුළු වීමට උත්සාහ කළත් දරුණු සටන් හමුවේ උඩුප්පිඩි, වැල්වැටිතුරේ තෙල්ලඩි හරහා පේදුරුතුඩුවට පසුබැස්ස වීමට හමුදාව සමත් විය.


අවාසනාවකට මෙන් දේශපාලනික අවශ්‍යතා නිසා වඩමාරාච්චි මෙහෙයුමට බලපෑම් එල්ල විය. එම මොහොතේ ප්‍රභාකරන් තම සමීපතමයන් සමඟ කොටුවී සිටියේය. ඉන්දීය අගමැති මෙහෙයුම නතර කරන ලෙස ජනපති ජේ. ආර්. ගෙන් ඉල්ලූ අතර 1983 ජූනි 03 වැනිදා උතුරේ ජනතාවට “මානුෂික ආධාර” දෙන බව කියමින් රතුකුරුස ධජය යටතේ ඉන්දීය බෝට්ටු වෙරළට ළඟාවිය.


“ඒ සමගම ගුවනින් සහනාධාර හෙළන්නටද ඉන්දියා යානා ක්‍රියා කළේය.


“වෙඩි තිබ්බොත් බලාගෙනයි”


ඉන්දිය ආණ්ඩුව තර්ජනය කළ අතර අවසානයේදී ඉන්දු- ලංකා ගිවිසුමට අත්සන් තැබීමට ජේ.ආර්ට සිදු විය. ඊළඟ පියවර වූයේ සාමය සඳහා උපකාරවීමට යැයි ඉන්දීය හමුදා මෙරටට පැමිණීමයි.
ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මානුෂීය මෙහෙයුමට තිත තැබිණ.


කොටි සංවිධානය තම අණසක පතුරවමින් ජන ජීවිත අඩාල කළ අතර පොලිස් ස්ථාන විනාශ කර යටත් වූ නිලධාරීන් සියගණනින් ඝාතනය කළහ.


අන්තිමේදී කොටින්ගෙන් නැඟෙනහිර මුදාගැනීමට කොබ්බෑකඩුව වෙතම පවරන ලදී. නැගෙනහිර කොටස් හතරකට බෙදා ‘ක්ලීන් ස්වීප්’ මෙහෙයුම් සිදු කළ අතර විශිෂ්ට ජයග්‍රහණයක් තුළ ජන ජීවිත හා දේපොළ සුරක්‍ෂිත කෙරිණි.


අලිමංකඩ නැවත අල්ලා ගැනීමේ ‘බලවේග’ය මෙහෙයුමද කොබ්බෑකඩුවගේ බළසේනාව විසින් සාර්ථක ලෙස දියත් කරන ලදී. දිගින් දිගටම ජයග්‍රහණ ලබමින් පෙරට යන මෙම බළවේගයේ ඊළඟ සැලැස්ම වූයේ “ෆයිනල් කවුන්ට් ඩවුන්” මෙහෙයුමයි.


එහි රහස් මෙහෙයුම් සාකච්ඡාවකට 1992 අගෝස්තු 08 වැනිදා කයිට්ස් දූපතට ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු නිලධාරි පිරිසක් ගමන් ගත්හ. කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ සිට බෝට්ටු මගින් කයිට්ස් ජැටියට පැමිණ සාකච්ඡාව නිමා වී අරාලිතුඩුව වෙත යාමට ඔවුහු ජීප් රියට ගොඩවූහ.


ජනරාල් කොබ්බෑකඩුව සමග ඔහුගේ සමීපතම සටන් සගයා වූ බි්‍රගේඩියර් විජය විමලරත්න, උතුරේ නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහද වූහ. ජීප් රිය වැලිපාරෙන් තාරපාරට දමන විට මහ හඬින් වාහනය පුපුරා ගියේ ප්‍රදේශයම දෙදරවමිනි.


ජෙනරාල් විජය වික්‍රමරත්නගේ සිරුර දෙකඩව තිබූ අතර අඩි 30ක් පමණ ඈතින් ජෙනරාල් කොබ්බෑකඩුව මරණාසන්නව වැතිරී සිටියේය. ඔහු අසල කොමදෝරු ජයමහද විය.


වහා එහි පැමිණි හෙලිකොප්ටරයෙන් ඔවුන් පලාලි රෝහලට ගෙනයද්දී ජයමහ මිය ගිය අතර කොබ්බෑකඩුවට අවශ්‍ය මූලික ප්‍රතිකාර දී ජයවර්ධනපුර රෝහලට රැගෙන යාමට සියලු කටයුතු සම්පාදනය කෙරිණි. විශේෂඥ වෛද්‍යවරු හා ශල්‍යාගාරයද සූදානම්ව මෙම යුද වීරයාගේ ජීවිතය බේරා ගැනීමට නොඉවසිල්ලෙන් මග බලා සිටියහ.


එහෙත් තවමත් හෙළි නොවූ අබිරහසක් එම මොහොතේ ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එනම් ජනරාල්වරයා රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහලේ ඉහළ අහසේ වට කිහිපයක් කැරකෙමින් සිටියා මිස පහලට නොගැනීමය. අවසානයේ රෝගියා රැගත් යානය කොළඹ ගුවන් හමුදා මූලස්ථානයටත් කොළඹ මහරෝහලටත් ගියේ ඇසූ දුටුවන් වෛද්‍යවරුන් සහ මුළුමහත් රටවැසියන්ම මවිතයට පත් කරමිනි.


ජනරාල්වරයා අනතුරට ලක් වූයේ එදින පෙරවරු 10ට වුවත් රෝහල් ගත කෙරුණේ සවස 2.30ට වීම එම සැකය දෙගුණ තෙගුණ කළේය. අන්තිමේදී වෛද්‍යවරුන්ගේ ඉමහත් පරිශ්‍රමයත් ජනතාවගේ ප්‍රාර්ථනාත් පරදා ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් යුගයේ යුද වීරයා තම මව්බිමෙන් සඳහටම සමුගත්තේය.


මෙම ඝාතනය පිළිබඳව ඇඟිලි දිගු වූයේ එල්.ටී.ටී.ඊයටය පාරේ ඇට වූ පීඩන බෝම්බයෙන් ජීප් රිය පුපුරාගිය බව නිගමනය විය. මෙම සිද්ධිය ගැන කොමිසමක් පත් කළද එයින් සත්‍යය හෙළි නොවිණ. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ යළි කොමිසමක් පත් කෙරිණි.


මෙහිදී විමර්ශන නිලධාරියකු වූ බි්‍රතාන්‍ය බෝම්බ නාශක විශේෂඥ ජේ. ආර්. වයිට්ගේ නිගමනය වූයේ එක්කෝ නිලධාරීන් නව දෙනකු පුරවාගත් ජීප් රිය බෝම්බය මතින් ගමන් කිරීම හෝ ජීප් රිය තුළ බෝම්බයක් අටවා තිබීම විය හැකි බවයි.


ජනතාවගේ මෙන්ම රණවිරුවන්ගේ ආදරය ගෞරවය හා විස්වාසය දිනාගත් ශ්‍රීලංකාවේ භෞමිකඅඛණ්ඩතාව මෙන්ම ජාතීන් අතර සංහිඳියාව උදෙසා රන්අකුරින් ලියැවෙන සේවාවක් කරමින් සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව නමැති මානව දයාවෙන් පිරි මිනිසා යුගයේ පිරිමැසිය නොහැකි හිඩැසක් ඉතිරි කර අකාලයේ දැයෙන් සමුගත්තේය.


ජනරාල් කොබ්බෑකඩුව සටන් ක්‍රියාදාමයේ විශිෂ්ටතම සාධකය වන්නේ ජාත්‍යන්තර සටන් පුහුණුව හා නවීන පන්නයේ ගිනි අවි, යුධ ටැංකි හා බර අවි යොදවා එදා කොටින් විසින් අල්ලාගත් අලිමංකඩ ඒ කිසිත් ආයුධයකින් තොරව ‘බලවේගය’ මෙහෙයුම තුළින් යළි අත්පත් කර ගැනීමයි.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි