“කලල ගිලුණු මත වරනිඳු ගොඩ ගනුත-තුමුල බලැති ගිජිඳෙකු හැර අන් කෙවත” යැයි සුභාෂිතය රචනා කළ අලගියවන්න මොහොට්ටාලයෝ ලියූහ. එහි අර්ථය වනුයේ මඩෙහි එරී ගිය ඇතෙකු එයින් ගොඩගත හැක්කේ වඩාත් ශක්තිමත් ඇත් රජෙකුටම බවයි. ඒ අනුව සලකන කල්හි පරාජය නමැති මඩෙහි එරී අන්ත අසරණව සිටි එක්සත් ජාතික පක්ෂය නම් වූ ඇතා ගොඩට ගෙන ජයග්‍රහණය අත්කර දුන් හස්ති රාජයා නම් ජේ.ආර්. ජයවර්ධන නම් වූ විශිෂ්ට නායකයාය.
වරක් නොව දෙවරක්ම එම විශ්වකර්ම කාර්යය ඔහු සිදුකළේය. වර්තමානයේදීත් එම පක්ෂය යම් ජයග්‍රහණයක් භුක්ති විඳින්නේ නම් එහි පදනම සකස් කර ඇත්තේ ද ජේ.ආර්. ජයවර්ධන මහතා බව නොපැකිළව සඳහන් කළ හැකිය. එතුමාගේ උපතින් වසර එකසිය එකොළහක් සපිරෙන මෙම සැප්තැම්බර් සමය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දේශපාලන භූමිකාව. නැවත සිහිපත් කිරීම කාලෝචිතය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු වූ රාජනීතිඥ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන මැතිතුමා සහ සේදවත්තේ වලව්වේ ඇග්නස් හෙලන් විජේවර්ධන යන දෙපොළට දාව එම පවුලේ වැඩිමහල් දරුවා ලෙස ජූනියස් රිචඞ් ජයවර්ධන යන නාමයෙන් යුතුව 1906 සැප්තැම්බර් 17 වැනිදා ඔහු උපත ලැබීය. පියාගේ සොහොයුරන් පස්දෙනාගෙන් හතරදෙනෙක්ම ඉහළම මට්ටමේ කීර්තිමත් නීතිඥයෝ වූහ. සිය පියාගේ බාල සොහොයුරු ජූනියස් කුවින්ටස් ජයවර්ධනයන්ගේ සහ මවගේ බාල සොහොයුරු දොන් රිචඞ් විජේවර්ධනයන්ගේ නම්වල කොටස් එකතු කර මෙම දරුවාගේ නම සකස් කරගත් බව පවුලේ තොරතුරුවල සඳහන් වේ. සමීපතමයන් අතර ඩිකී යන සුරතල් නමින් හැඳින්වුණු බව කියනු ලැබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා පවුලේ ආරයට අනුව නීති ක්‍ෂේත්‍රයට යොමුව ලංකා නීති විද්‍යාලයේදී අධිනීතිඥයකු ලෙස සමත් විය. 1932 මැයි 18 වැනි දින ටී.එෆ්. ගාර්වින් සහ ඇම්.ටී. අක්බාර් යන විනිසුරු තුමන් ඉදිරියේ දිවුරුම් දීමෙන් ඔහු තමාගේ වෘත්තීය ජීවිතය ඇරඹුවේය. නීති විද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලබන සමයේ එවකට පැවැති බි්‍රතාන්‍ය යටත් විජිත පාලන ක්‍රමයේ සහ සුදු අධිරාජ්‍ය ආධිපත්‍යයේ බල කඳවුරක් වූ නීති විද්‍යාලයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට තරුණ ජේ.ආර්. සමත් විය. ඒ එවකට ඉන්දීය නිදහස් අරගලයේ නායකයා වශයෙන් සිටිමින් සුදු ජාතිකයන් භීතියට පත් කළ මහත්මා ගාන්ධිගේ රුව සහිත ආලේපමය චිත්‍රයක් විද්‍යාලය තුළ විවෘත කිරීමට නායකත්වය දීමෙනි. එම යුගයේ වාතාවරණය අනුව නිසැකවම එය විප්ලවකාරී පියවරක් විය. මෙම චිත්‍රය අදත් නීති විද්‍යාලය තුළ දක්නට ලැබේ.
ඉතා උග්‍ර එංගලන්ත සභා ක්‍රිස්තු භක්තිකයකු වූ ජේ.ආර්. ගේ පියාත්, සුප්‍රසිද්ධ බෞද්ධ මහෝපාසිකාවක වූ දෝන හෙලේනා විජේවර්ධන මැතිනියගේ වැඩිමහල් දියණිය වූ තම මවත් අතර ආගම පිළිබඳව වූ මතිමතාන්තර මෙම තරුණයා කෙරෙහි නොමඳවම බලපැවැත්වීය. සිය මාමලා සහ තවත් අයගේ මඟපෙන්වීම යටතේ වජිරාරාමාධිපති පූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඥාන හිමි සහ නාරද හිමි වැනි බහුශ්‍රැත මහ පඬිවරුන්ගේ උපදෙස් මත තරුණ අවධියේම ජේ.ආර්. බුද්ධාගම වැළඳ ගත්තේය.
එක් දහස් නවසිය හතළිස් හතේදී පැවැති ප්‍රථම මහා මැතිවරණයේදී කැලණිය ආසනය සඳහා නැවතත් තරග වැදී විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ඩී.ඇස්. සේනානායක අගමැතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවන ලද එම රජයේ මුදල් ඇමැති ලෙස පත්වූයේ ජේ.ආර්. ය. වැඩි අපහසුවකින් තොරව තම නිලකාලය රටේ යහපතට යෙදවීමට ඔහුට හැකි විය.
දක්ෂ අධිනීතිඥවරයකු වශයෙන් කීර්තියට පත්වෙමින් සිටියදී එම අභිලාෂයට නැවතීම සටහන් කරමින් ක්‍රියාකාරී දේශපාලන ගමන් මඟට අවතීර්ණ වීමට ඔහු තීරණය කළේය. ඒ අනුව 1938 දෙසැම්බර් 17 වැනිදා පානදුරේ දී මුළු දුන් ලංකා ජාතික සංගමයේ වාර්ෂික මහා සභාවේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. නොබෝ දිනකින්ම එහි ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත්වූ ජේ.ආර්. විධිමත් සංවිධානාත්මක බවකින් තොරව, පුද්ගලයන් අතළොස්සකගේ සාකච්ඡා මණ්ඩපයක් බවට පත්ව තිබූ එම සංගමය විනය ගරුක දේශපාලන බලවේගයක් බවට පත් කරනු සඳහා සටන් කළේය. ඩඞ්ලි සේනානායක මහතා සමඟ තරුණ ජේ.ආර්. ලංකා ජාතික සංගමයේ සමලේකම් ධුරයට පත්ව ජාතික නිදහස පිළිබඳ එහි ප්‍රතිපත්තිය වඩාත් ක්‍රියාශීලී කිරීම පිණිස පියවර රැසක් දියත් කළේය. එම අවස්ථාවලදී පැරණි නායකත්වය සමඟ බොහෝ ගැටුම් ඇති කරගැනීමට ද සිදුවිය.
සර් ඩී.බී. ජයතිලක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය ආසනය සඳහා 1943 අප්‍රේල් 17 වැනිදා පැවැති අතුරු මැතිවරණයෙන් සිය ප්‍රබල ප්‍රතිවාදියා වූ රාජනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා පරදවා ජයග්‍රහණය කිරීමෙන් තම දීර්ඝකාලීන දේශපාලන ජීවිතය ආරම්භ කළේය. සෝල්බරි ආණ්ඩු ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමෙන් පසු 1946 දී ඩී.ඇස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගන්නා ලදී. එම අවස්ථාවේදී ඒ.ආර්.ඒ. රාසික් (පසුව සර් රාසික් පරීඞ්) මහතා ද සමඟ එම පක්ෂයේ සමභාණ්ඩාගාරිකවරයා වශයෙන් තෝරා ගන්නා ලදී.
එක් දහස් නවසිය හතළිස් හතේදී පැවැති ප්‍රථම මහා මැතිවරණයේදී කැලණිය ආසනය සඳහා නැවතත් තරග වැදී විශිෂ්ට ජයක් අත්කර ගත්තේය. ඩී.ඇස්. සේනානායක අගමැතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවන ලද එම රජයේ මුදල් ඇමැති ලෙස පත්වූයේ ජේ.ආර්. ය. වැඩි අපහසුවකින් තොරව තම නිලකාලය රටේ යහපතට යෙදවීමට ඔහුට හැකි විය.
1952 මාර්තුවේදී ඩී.ඇස්. සේනානායක අගමැතිතුමා හදිසියේ දිවංගත වීම දේශපාලනයේ නියුතු සැමටම මහත් ගැටලු සහගත බවක් නිර්මාණය කළේය. නව අගමැති ඩඞ්ලි සේනානායක මහතා තමාගේ පාලනය සඳහා ජනවරමක් පතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා තවත් මැතිවරණයකට මුහුණ දීමට රටට සිදුවිය. එහිදී තම අසුන පහසුවෙන්ම ජය ගැනීමට සමත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ඩඞ්ලි සේනානායක රජයේ ද මුදල් ඇමැතිවරයා බවට පත් විය. ඇතිවෙමින් තිබුණු ආර්ථික පරිහානිය හා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නොයෙක් පසුබෑම් ද නිසා 1953 වසර සඳහා ඔහු ඉදිරිපත් කළ අයවැය ලේඛනය ජනප්‍රිය වූවක් නොවීය. එයින් ඇතිවූ අයහපත් ප්‍රතිඵල නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාට මුදල් ඇමැති ධුරයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශයට මාරුවීමට සිදුවිය.
දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පරාජයට පත්ව ලෝකයේ කොන් කිරීමට පත්ව සිටි ජපානයට නැවතත් නිදහස් රාජ්‍යයක් වශයෙන් කරළියට පැමිණීමට ඉඩ ලබාදීම ගැන සාකච්ඡා කිරීමට ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී සාම සමුළුවක් පැවැත්වුණි. එය නියෝජනය කළ ලංකා නියෝජිත මණ්ඩලයේ නායකයා වූවේ ජේ.ආර්. ය. සෝවියට් දේශය වැනි අතිබලසම්පන්න රාජ්‍යයක් පවා ජපානයට නිදහස ලබාදීමට එරෙහි වෙද්දී ජේ.ආර්. ජයවර්ධන මහතා “නහි වේරෙන වේරානි” යන බුදුවදන ගෙනහැර දක්වමින් කළ කතාව නිසා ඇතිවූ තත්ත්වය මත ජපාන නිදහස තහවුරු වූ බව සඳහන් වේ. මෙය ඔහුගේ දේශපාලන දිවියේ මුල් යුගයේ උච්ඡතම සාර්ථකත්වයක් පෙන්නුම් කළ අවස්ථාවක් විය. මේ රටේ සංවර්ධනය උදෙසා දියුණු රටවල ආධාර උපකාර ලබාගැනීමේ අරමුණින් සංවිධානය කළ “කොළඹ ක්‍රමය” නිර්මාතෘවරයා වන්නේ ද ජේ.ආර්. ජයවර්ධන මහතාය.
ප්‍රබල විපක්ෂය ඒකරාශීව, සමගිය තුළින් 1956 එළඹුණ මහා මැතිවරණය කිසිසේත්ම රජයට පහසු වූවක් නොවීය. එහි ප්‍රතිඵලය වශයෙන් ජේ.ආර්. තම පනස් වසරක දේශපාලන දිවියේ ලද එකම පරාජයේ අමිහිරි අත්දැකීම ලැබුවේය. එහිදී යූ.ඇන්.පී.යට ලැබුණේ ආසන අටක් පමණි. එම පක්ෂය එතෙකින් අවසාන යැයි බොහෝ දෙනා උදම් ඇනූහ. “පරාජය ජයග්‍රහණයේ ආරම්භය කරගත යුතුය” යන හිටපු බි්‍රතාන්‍ය අගමැතිවරයකු සහ යුද වීරයකු වූ වින්ස්ටන් චර්චිල්ගේ කියමනට අනුව නොපමාව වැඩ ආරම්භ කළ ජේ.ආර්. මාස කීපයකින් එළඹුණු කොළඹ නගර සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පාක්ෂිකයන්ට ජයග්‍රාහී මානසිකත්වයක් ලබා දුන්නේය. තවත් විවිධ වූ ක්‍රියාමාර්ග තුළින් පක්ෂයට ලබාදුන් ජවය නිසා 1960 මාර්තු මැතිවරණයේදී ආසන පනහක් ලබා බලය ලබාගත හැකි තැනට නැවතත් පත් කළේය. රජයක් පිහිටුවන ලද නමුදු බහුතරය නොමැතිවීම නිසා බිඳ වැටුණි. ඒ වනවිට නැවතත් ඩඞ්ලි සේනානායක මහතා පක්ෂ නායකත්වයට කැඳවා ගැනීමට හැකිවීම ද ශක්තියක් විය. 1960 ජූලියේදී පත්වූ සිරිමා බණ්ඩාරනායක රජය වසර හතරක් ඇතුළත පෙරළා දැමීමේ වැඩපිළිවෙළේ පුරෝගාමියකු වූ ජේ.ආර්. 1965 ගොඩනගන ලද ජාතික රජයේ නියෝජ්‍ය නායකයා විය.
එක් දහස් නවසිය හැත්තෑවේදී අන්ත පරාජයට පත්ව තිබුණු එක්සත් ජාතික පක්ෂය නැවත නගා සිටුවීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ගිය සටන ආදර්ශමත් ක්‍රියාන්විතයකි. 1970 සිට 77 දක්වා පාර්ලිමේන්තුවේ (1972 සිට ජාතික රාජ්‍ය සභාවේ) විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙනුත්, 1973 සිදුවූ ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එ.ජා.ප. නායකයා ලෙසත් තුනෙන් දෙකක බලයක් සතුවූ බලසම්පන්න රජයකට 1977 දී අත්කර දුන් දැවැන්ත පරාජය ඔහුගේ උපක්‍රමශීලී නායකත්වයේ මහඟු ප්‍රතිඵලයක් විය. එදා ඔහු අගමැති ධුරයට පත්වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට හයෙන් පහේ බලයක් ලබමිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ එතුමා 1978 පෙබරවාරියේදී ක්‍රියාත්මක කරන ලද දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කරන්නට යෙදුන විධායක ජනාධිපති ධුරය මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ගත් උත්සාහය නිර්භීත පියවරක් ලෙස විචාරකයෝ දනිති. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළම විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමත්, අනුපාත මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමත්, විවෘත ආර්ථිකයක් බිහි කිරීමත් එවැනි පියවර කීපයක් පමණි. තිස් අවුරුද්දකින් නිම කිරීමට යෝජිතව පැවැති මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කිරීම තවත් වැදගත් කටයුත්තකි. නිදහස් වෙළෙඳ කලාප සංකල්පය ක්‍රියාවට නැංවීම ද එවැනි තවත් අත්හදා බැලීමකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන අනුව ජේ.ආර්. මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූවේ තිස් වසරක් මුළුල්ලේ තමා සේවය කළ ව්‍යවස්ථාදායකයෙන් සමුගනිමිනි. 1982 දී නැවතත් ජනාධිපති ධුරයට පත් ඒ මහතා ජනතා වරමින් එම තනතුරට පත් ප්‍රථමයා වශයෙන් ද වාර්තාවක් තැබීය. මේ අනුව දස වසරක සේවා කාලයකින් පසු 1989 දී ජනතා සේවයෙන් විශ්‍රාම ලැබීය.
රටත්, ජාතියත්, ආගමත් කෙරෙහි අභිමානයක් ඇති කරවීම උදෙසා තම ධනය, ශ්‍රමය හා දිවිය ද කැපකළ උදාර නායකයා ලෙස අනගාරික ධර්මපාලතුමා ඉතිහාසයට එක්ව සිටී. මෙරට පමණක් නොව බුද්ධ භූමිය වූ දඹදිව පවා බුදු සසුන යළි ප්‍රතිස්ථාපනය කිරීමටත් එතුමා කළ සටන් ගැන නව පරපුර අත්‍යන්තයෙන්ම හැදෑරිය යුතුය.
කොළඹ ඉහළම පෙළේ ධනවතකු වූ ඒ.ජී. රූපසිංහ මහතාගේ දියණිය වූ එලීනා රූපසිංහ මෙනවිය සමඟ 1935.2.28 වැනි දින විවාහ දිවියට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා රවින්ද්‍ර විමල් ජයවර්ධන එකම පුතුගේ ආදරණීය පියාණන් විය. ඉතා සතුටින් තම විවාහ දිවිය ගැන සඳහන් කරන ඔහු තම විවාහ දිවිය ගැන මෙසේ සටහන් කර ඇත. “එලීනාගේ මඟපෙන්වීමත්, සහයෝගය සහ අනුබලයත් මගේ මුළු ජීවිත කාලය තුළම ප්‍රබල රැකවරණයක් විය.”
තමා පිළිගත් ප්‍රතිපත්තීන් මත නිර්භයව අනලස්ව පෙරමුණට ගිය මෙම නායකයා 1996 නොවැම්බර් මාසයේදී තමා ආදරය කළ ජනතාවගෙන් සහ දිවියෙන් ද සමුගත්තේය. අඩ සියවසකට මඳක් අඩු කාලයක් වූ එතුමාගේ දේශපාලන ජීවිතය සමකාලීන දේශපාලන ඉතිහාසය ද වේ. ඔහුගේ පෞරුෂය සහ ක්‍රියාමාර්ග එපමණටම ප්‍රබලය. එවැන්නෝ අතිශයින්ම විරලය.
අනගාරික ධර්මපාලතුමා
සැප්තැම්බර් මාසයේදී උපත ලද තවත් විශිෂ්ටයකු වන්නේ අනගාරික ධර්මපාලතුමාය. යටත් විජිතවාදී බි්‍රතාන්‍ය පාලනය නිසා සිංහලයාටත් විශේෂයෙන්ම බෞද්ධයාටත් සිදුවන දහසකුත් එකක් තාඩන පීඩනයන්ට එරෙහිවත් ඉංග්‍රීසි ආණ්ඩුවේ බලය හමුවේ නිවට නියාලු අනුකරණවාදී ගැත්තන් පිරිසක් බවට පත්ව සිටි සිංහල ජනසමාජය එම සිසිර නිද්‍රාවෙන් අවදි කර ජාතික හැඟීම් කුළු ගන්වා රටත්, ජාතියත්, ආගමත් කෙරෙහි අභිමානයක් ඇති කරවීම උදෙසා තම ධනය, ශ්‍රමය හා දිවිය ද කැපකළ උදාර නායකයා ලෙස අනගාරික ධර්මපාලතුමා ඉතිහාසයට එක්ව සිටී. මෙරට පමණක් නොව බුද්ධ භූමිය වූ දඹදිව පවා බුදු සසුන යළි ප්‍රතිස්ථාපනය කිරීමටත් එතුමා කළ සටන් ගැන නව පරපුර අත්‍යන්තයෙන්ම හැදෑරිය යුතුය. එය එපමණටම වීර වික්‍රමාන්විතයකි. මෝගල් අධිරාජ්‍යය යටතේ සියලු බෞද්ධ සිද්ධස්ථාන විනාශ කර දැමූ අතර හින්දු පිරිස් මෙන්ම ඉංග්‍රීසි පාලකයෝ ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කළහ. මෙම තත්ත්වයට එරෙහිව අනගාරික ධර්මපාලතුමා ජීවිත පරිත්‍යාගයට වුව ද සූදානමින් කළ අනුපමේය මහ මෙහෙය ධර්මාශෝක යුගය සිහිගන්වන බව මහා පඬිවරයකු වූ විල්හෙල්ම් ගයිගර් ප්‍රකාශ කර ඇත.
මාතර හිත්තැටිය ගමේ දොන් කරෝලිස් හේවාවිතාරණ නම් ධනවත් වෙළෙඳ ව්‍යාපාරික පවුලේ වැඩිමහල් පුත්‍රයා ලෙස ඬේවිඞ් හේවාවිතාරණ නමින් යුතුව මෙතුමා උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 වැනි දිනදීය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම නිසා මෙම යුගයේ කොළඹ ප්‍රදේශයේ එකම බෞද්ධ පාසලක්වත් පන්සලක්වත් තිබුණේ නැත. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ප්‍රබලයකු වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා ද කොළඹ පදිංචිව සිටි අතර බුදුන් වැඳීමට යාමට අවශ්‍ය වූ විටෙක යාමට තිබුණේ නටබුන්ව පැවැති කැලණි පන්සලට හෝ පානදුරයටය. ඒ නිසා ඬේවිඞ් දරුවාට අධ්‍යාපනය ලැබීමට සිදුවූවේ මිෂනාරි පාසල්වලය. ඒ නිසා ඔහුට මනා ඉංග්‍රීසි දැනුමක් ලබාගැනීමේ වාසනාව අත්විය.
මෙරට බෞද්ධ ප්‍රබෝධයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ 1880 දී සිදුවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ලංකා ගමනයයි. එතුමා ලංකාවට එනවිට ඬේවිඞ් හේවාවිතාරණයන්ගේ වයස අවුරුදු දහසයකි. ඇමෙරිකන් ජාතිකයකු වූ ඕල්කට්තුමාගේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද දේශන රටවැසියනට වැටහෙන සේ සිංහලයට පරිවර්තනය කරන ලද්දේ පෙර සඳහන් කළ ඬේවිඞ් හේවාවිතාරණ තරුණයා විසිනි.
මතු සම්බන්ධයි
සෝමසිරි වික්‍රමසිංහ