සිංහ කොඩියේ පුටු කකුල් - බෝපත් කළ සිත්තරා


 

 

 

1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ස්වාධීන ජනරජයක් ලෙස ස්ථාපිත විය. නව ජනරජ ලාංඡනයක් වහා නිර්මාණය කිරීමේ භාරධූර කාර්ය පැවරීමට සමත් සිත්තරෙකු සොයා රජය කමිටුවක් පත් කළේය.


(එවකට සංස්කෘතික ලේකම් ධුරය දැරූ නිශ්ශංක විජේරත්නයන්) විසින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උපදෙස් පිට පත්කළ එම කමිටුව ජනතා අදහස් හා නිර්මාණ කැඳවන ලදී.


ඒ අනුව මාපලගම විපුලසාර හිමියන් විසින් ඉදිරිපත් කරන ලද අදහසකට අනුව එය චිත්‍රයට නැගීම එස්. එම්. සෙනවිරත්නට පවරන ලදී.


විද්වත් කමිටුවේ අදහස් මෙන්ම මහජන අදහස්ද සිතට ගත් සෙනවිරත්න අතින් නූතන ජනරජ ලාංඡනය නිර්මාණය වූයේය. එහි හැම පින්සල් පාරකටම හැම වර්ණයකටම ගැඹුරු අරුතක් ඇත.


ඉරහඳ පවතින තාක්කල් මේ මිහිකතේ පූර්ණත්වයෙන් හෙබි සෞභාග්‍යයෙන් පිරි ස්වයංපෝෂිත වූ සෞම්‍ය වූ සංස්කෘතියකින් යුත් එඩිතර සිංහ ලීලාවෙන් යුත් ප්‍රෞඪ ජාතියක් අන්‍ය ආගමිකයන් හා අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් සහයෝගයෙන් හා සමානාත්මතාවෙන් සුසැදිව ශ්‍රී සද්ධර්මය රක්ෂා කරමින් මේ ලක්දෙරණේ ජීවත් වන වගයි. 
ජනරජ ලාංඡනය අර්ථ ගන්වා ඇත්තේ එලෙසය. රතු වර්ණයෙන් සිංහල ජාතිය ප්‍රධාන ජාතිය බවද නීල වර්ණයෙන් අන්‍ය ජාතීන්ද රටේ වෙසෙන බවද කහ වර්ණයෙන් සියලුම ආගම් හා ජාතීන් සාමකාමීව සහජීවනයෙන් වෙසෙන බවද කියාපායි.


මෙම නිර්මාණයේ මුල් පිටපතට එහි නිර්මාණකරු වූ එස්. එම්. සෙනවිරත්නගේද අගමැතිනියගේද අත්සන් යොදා ඇත. දැනට ජාතික ලේඛනාගාරයෙහි මෙම මුල් පිටපත තැන්පත් කොට ඇත.


රාජ්‍ය ලාංඡනයත් සමග සියලු රාජ්‍ය ආයතනවල ලාංඡනද වෙනස් කෙරිණ. ඒවාද සිත්තම් කළේ සෙනවිරත්න සිත්තරා විසිනි.


ග්‍රාම සේවක නිල ලාංඡනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ලාංඡනය, ඓතිහාසික අත්ලිපි කොමිසමේ ලාංඡනය, බාපන ලාංඡනය, තරාදි පඩි සඳහා කළ ලාංඡනය, ජාතික කෞතුකාගාර ලාංඡනය හා ජාතික ලේඛනාරක්ෂක ලාංඡනය ඒ අතර ප්‍රසිද්ධය.


ජනරජ දිනයේදී ලංකා පාර්ලිමේන්තුවේ උසාවිය, අගමැති හා ජනපති මන්දිරය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වැනි දේශපාලනික හා සමාජයීය වශයෙන් වැදගත් ස්ථානවල ඉදිරියෙන් සවි කිරීම සඳහා රජයේ කර්මාන්ත ශාලාව විසින් ලීයෙන් සැදූ රාජ්‍ය ලාංඡන රැසක් දින 10 ක් වැනි කෙටි කලකින් වර්ණාලේප කර භාරදීමට තම පියාට හැකිවූ බව සෙනවිරත්නයන්ගේ දියණිය වන එස්. එම්. නෙළුම් කුමාරි පෙරේරා දියතට කීවාය.


මෙතෙක් අපේ රටේ අනන්‍යතාව ලොවට පෙන්වූ සිංහ කොඩියේ සිව් කොනේ තිබූ පුටු කකුල් හතරේ සලකුණ ඉවත්කර බෝපත් හතරක් නිර්මාණය කළේද ඇයගේ පියාය.
“තාත්තා රාජකාරිය දේවකාරියක් වගේ සලකලා දිවා රෑ නොබලා තමයි මේ විස්මිත කටයුතු කළේ. රජයේ සේවකයෝ වගේ අතිකාල බලාගෙන නොවෙයි මේවා කළේ, හැබෑම ජනතා සේවකයකු වගේ.”


අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියේ රන්වැට නිර්මාණය කිරීමේ සැලසුම සකස් කිරීමේ භාග්‍යය හිමි වූයේ සෙනවිරත්නයන්ටය. කොල්ලුපිටියේ පිහිටි දඹරාවේ රතනසාර හිමි ස්මාරකය, දළදා මාලිගාව ඉදිරිපස වීර කැප්පෙටිපොළ ස්මාරකය මෙන්ම මැදිරිගිරිය කළගෙඩි පාලම නිර්මාණය වූයේද ඔහුගේ නැණ නුවණෙනි.


ජනරජ ලාංඡනය නිර්මාණය කරද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පී තනතුරින් ප්‍රධාන සැලසුම් ශිල්පී ධුරයටද 1979 සිට සහකාර කොමසාරිස් (වාස්තු විද්‍යා) ධුරයටද පත්වූ එතුමා කලාපති, පුරාවිද්‍යා චක්‍රවර්තී ධුර ඉසිලීය.


එහි දැක්වෙන ඉරහඳ සහ ධර්ම චක්‍රයෙන් ශ්‍රී ලංකාව සෞභාග්‍යවත්ව ඉරහඳ පවතිනතාක් බුද්ධ ධර්මයේ මූලික හරයන්ට අනුගතව පවතින බව කියැවේ. සිංහ රුවෙන් හා රතු පසුබිමෙන් සිංහල ජාතියේ එඩිතර බව පෙන්නුම් කරයි. මෙම රුව දුටුගැමුණු රජතුමාගේ කොඩියට ද යොදාගෙන තිබිණ.


පලා පෙති රටාව තුළින් ජාතියේ පාරිශුද්ධත්වය පෙන්නුම් කරයි. පලාපෙත්ත නෙළුම් මලෙන් රැගත් අග්‍රගණ්‍ය මෝස්තරයකි. දැයේ සෞභාග්‍ය නොහොත් ස්වයංපෝෂිත භාවය හා ආර්ථිකයේ උසස් බව පිහිටි දේශයක් බව පෙන්වමින් වී බිස්සක හැඩයට පුන්කලස සහ වී කරල නිරූපණය වෙයි.


1967 වසරේදී සුප්‍රසිද්ධ සීගිරි බිතුසිතුවම් කිසියම් පුද්ගලයකු විසින් තීන්ත ගසා විනාශ කරනු ලැබීය. එය ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් වූයේය. එසේ මෙසේ කෙනෙකුට එම චිත්‍ර යථා තත්ත්වයට පත්කරනු නොහැකිවීම මෙහි තිබූ බලවත්ම ඛේදනීය තත්ත්වයයි.


මෙයට විසඳුම් සොයා ඉතාලි ජාතික ලුයියානෝ මරන්සි නම් උසස් චිත්‍ර ශිල්පියා ගම් නියම්ගම්වල විසූ හෙළ චිත්‍ර ශිල්පීන් සොයා ගියේය. සෝලියස් මෙන්දිස් එවකට චිත්‍ර ශිල්පයෙන් විශ්‍රාම ගොස් සිටියේය.


ලුසියානෝ මරන්සි ඔහු සොයා හලාවත මහවැව ගැමි පරිසරයක පිහිටි සෝලියස්ගේ මහගෙදරට පවා ගියේය. ඔහුගේ උපදෙස් පවා රැගෙන සීගිරි පර්වතය දිනකට කිහිපවරක් තරණය කරමින් අත්හදා බැලීම් කළේය. එතුමාගේ දකුණු අත ලෙස කටයුතු කරමින් ඒක සංරක්ෂණය සඳහා සෙනවිරත්නයන් කළ මෙහෙවර දැඩි අගැයීමට ලක්විණ.
පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ රසායනඥ ආචාර්ය රාජා ද සිල්වා හා මරන්සි මහතා එක්ව සැදූ රසායන දියරය පාන් ගෙඩියක මැද කොටස්වල ඔබමින් ඒවා බොඳව ගිය සිතුවම් මත සීරුවෙන් තබමින් තීන්ත ඉවත් කරන ලදී..

 

දින ගණනාවක් පලංචි මත දිග ඇදී මැසි මදුරු හිරිහැර විඳිමින් තද සුළං පහර විඳිමින් කම්කරුවන්ට බර නොදී තමන්ම එම කටයුත්තෙහි යෙදුණු සෙනවිරත්නයන් හය මසක් පුරා කළ ජාතික මෙහෙවර මරන්සි මහතා විශේෂයෙන් ලිපිපෙළක සඳහන් කර ඇත. සෙනවිරත්නයන් විසින් නිර්මාණය කළ විවිධ ලාංඡනවලට අමතරව පැරණි වෙහෙර විහාරවල විවිධ සංරක්ෂණ, බිතු සිතුවම්, කැටයම් ප්‍රතිනිර්මාණ කළ අවස්ථා රැගත් අපේ ජනරජ ගමන ග්‍රන්ථය එතුමාගේ පුත්‍රයා වන ආචාර්ය ඉන්ද්‍රජිත් සෙනවිරත්නයන් විසින් සම්පාදිතය. අලි කොටි වලසුන් ගහන කුඩුම්බිගල සහ විල්පත්තු වැනි අති දුෂ්කර පළාත්වල පවා ඉඳුම් හිටුම් ආහාරපාන පවා නොසලකා කළ නිර්මාණ කාර්යයන් බොහෝය.
පිට පළාත්වල සේවයට ගිය සැමවිටම රාජකාරියෙන් බැහැරව පෞරාණික නටබුන්, මුරගල්, සඳකඩ පහණ, බිතුසිතුවම් පිටපත් කිරීම ඔහුගේ විශේෂාංගය වූ අතර තම පෑන් තුඩින් එවැනි සිතුවම් 2000 ක් පමණ ඇඳ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළේ කෝටි ගණන් මුදල් ඉපැයීමට තිබූ අවස්ථාද අහිමි කර ගනිමිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොතපත්වල විවිධාකාර චිත්‍ර පවා නිර්මාණය කළේ තාත්තා. සිංහල උළුවහු ග්‍රන්ථයේ එවැනි විද්‍යානුකූලව ඇඳි නිර්මාණ දක්නට ලැබෙනවා. නෙළුම් සෙනවිරත්න මහත්මිය කියයි.


සෙනවිරත්නයන්ගේ දයාබර බිරිඳ වූ පාඨශාලාචාරිනී ප්‍රේමා සෙනවිරත්න මහත්මිය දිවංගත වනතුරුම සැමියාගේ සමාජ සත්කාර්යයන්ට දිරිදෙමින් ඔහුට නිදහස් මනසකින් ක්‍රියා කිරීමට දිරි දුන්නාය. පුත්තු දෙදෙනාත් දියණියත් එම මග යමින් 40 වසරක ඔහුගේ උදාර යුග මෙහෙයට අත්වැල සැපයූහ.


2012 ජූලි මස 03 වැනි දින වසර 91 ක් ආයුවිඳ දැයෙන් සමුගත් එස්. එම්. සෙනවිරත්නයෝ කලාපති, කලාභූෂණ, පුරාවිද්‍යා චක්‍රවර්ති යන ගෞරව නාමයන්ට බඳුන් වූහ. පොළොන්නරුව තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ එතුමන් නමින් අභිනව පුස්තකාලය නම් කළ අතර සිතුවම් ඇතුළත් කෞතුකාගාරය විවෘත විය.

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි