කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ කෘතියෙනි.
අද (ජනවාරි 25) පාර්ලිමේන්තුව බලා බන්ධනාගාරයේ සිට පිටත් වූයේ දහවල් 12 පසු වීය. පාර්ලිමේන්තු සභාවාරය රැස්වන්නේ ප.ව. 01.00ටය. මා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පිවිසුමට පැමිණෙන විට වීරකුමාර දිසානායක සහෝදරයාත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාත් කාංචන විජේසේකර මන්ත්‍රීවරයාත් එහි රැඳී සිටියහ. අනුරාධපුර චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ද පසුව එහි දක්නට විය.
“ඔන්න අපි විමල් මන්ත්‍රීතුමා එනකන් මෙතනට වෙලා හිටියා.”
මහින්දානන්ද කීවේ කාටත් ඇසෙන්නටය. මට එසේ කීවට ඔවුන් එහි රැඳී සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පාර්ලිමේන්තුවට පැමිණෙන තුරුය. ටික වේලාවකින් එතුමාගේ රථය මන්ත්‍රී පිවිසුමට ළඟා විය.
දහවල් ආහාර නොගෙන සිටි අපි කෙළින්ම ගියේ මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලාවටය. දිවා ආහාරය ගන්නා අතරතුර රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, අපගේ ඇප ඉල්ලීම ඉහළ උසාවියට ගෙන යාම සඳහා ගාමිණි මාරපන නීතීඥ මහතා එකඟ කර ගත් බවත් ඒ සඳහා යන වියදම කෙසේ හෝ පියවීමට කටයුතු කරන බවත් මා අමතා පැවසුවේය. මම ඒ පිළිබඳව එතුමාට බෙහෙවින් ස්තුති කළෙමි.
“27 රැස්වීමට විමල් කථාවක් කරලා දෙන්න’ රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මා කියුවේ “කථාවක් ලියලා දෙන්නම්” කියා ය.
“නෑ. නෑ... රෙකෝඞ් කරලා එකක් දෙන්න. පාර්ලිමේන්තුවේදී ඒක කරන්න පුළුවන් නේ.”
“ඒක නීතියට පිටින් යාමක් වෙයි ද” මම එසේ ඇසුවේ බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්නයකට ඇද හෙළීමට මට නුවුමනා වූ නිසාය. ඊට විසඳුම ඉදිරිපත් කළේ මහින්දානන්දය.
“විමල්... අද පාර්ලිමේන්තුව ඇතුළේ නුගේගොඩට ඕන කතාව කරමු කාලයත් තියෙනවා.”
වීරකුමාර ද කංචන ද එය අනුමත කළහ. මදක් කල්පනා කර බැලූ මට ද සිතුණේ එය හොඳ අදහසක් වන බවය. ඒ අනුව අදාළ යෝජනාව ක්‍රියාවට නැංවීමට අපි තීරණය කළෙමු.
මා කතාව සිදුකිරීමට සභා ගැබට පැමිණියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ සිටය. පුස්තකාලයට යන විට එකවර හැඳිනිය නොහැකි පුද්ගලයක් එහි මේසය මත යමක් ලියමින් සිටියේය. වීරකුමාරට ද මට ඒ කවරෙක් දැයි හඳුනාගත නොහැකි විය. මට අවශ්‍යව තිබුණේ සිදු කිරීමට නියමිත නුගේගොඩ රැලියේ කථාවට කටු සටහනක් සාදා ගැනීමටය. මේසය සමීපයට යන විට ඒ කවරෙකු දැයි හඳුනා ගැනීමට හැකි විය.
උඩු රැවුල පමණක් ඉතිරි කර. මුහුණ පුරා වැවී තිබූ රැවුල කපා ඉවත් කර සිටි ඔහු නන්දන ගුණතිලක විය. බොහෝ කලකට පසුව ඔහු දුටු මා, මුහුණේ හැඩරුව වෙනස් වීම මත එකවර හඳුනා ගැනීමට නොහැකි වූ බව පැවසුවෙමි.
ඉතාමත් සුහදව ඔහු හා කතාබහ කරමින් සිටි නිසා කථාවට සටහනක් සාදා ගැනීමට ද හැකි වූයේ නැත.
නන්දන ගුණතිලක ජ.වි.පෙන් ඉවත් වූයේ මා ඉවත් වීමට පෙර තනිවමය. පසුව ඔහු ජාතික නිදහස් පෙරමුණ ගොඩනඟන විට එයට එක් විය. පසුකාලීනව ඔහු අපෙන් වෙන්ව ශ්‍රීලනිපය හා එක් විය. අප සමඟ සිටි අචල ජාගොඩ ද සිටින්නේ ඔහු සමගය. සිරගෙදර ජීවිතය ගැන මඳ වේලාවක් කතාබහ කළ අපි ආණ්ඩුව ගැනද යම් අදහස් හුවමාරු කර ගත්තෙමු.
“කෝ ජාගොඩ... දැන් මොකද කරන්නේ?”
ජාගොඩ මේ වන විට එජාපයේ බළංගොඩ ආසනයේ සංවිධායකවරයාය.
“මං දැන් ටිකකට කලිනුත් කෝල් කළා. ආන්සර් කළේ නෑ. වැඩිපුර මිනිහා ඉන්නෙ ගෙදරට වෙලා.”
නන්දන එජාපයේ පානදුර ආසන සංවිධායකවරයාය. ජාගොඩ හෝ නන්දනට ඡන්දයෙන් පසු ආණ්ඩුවේ කිසිදු විශේෂ තනතුරක් ලැබී තිබුණේ නැහැ.
පුස්තකාලයෙන් පොත් 08ක් සිරගෙදරට ගෙන යාමට ලබා ගත් මා සභා ගැබට ගමන් කළේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා ‘වෙලාව හරි’ යැයි පැමිණ දැන්වූ නිසාය.
සභා ගැබට යන විට කතා කරමින් සිටියේ නිල විපක්‍ෂ මන්ත්‍රීවරයෙකි. ඉන් පසුව ආණ්ඩුවේ මුස්ලිම් පක්ෂයක මන්ත්‍රීවරයකු කතා කිරීමට නියමිතව තිබිණි. ඔහුගේ කථාවෙන් පසු කථා කරන්නට නියමිතව තිබුණේ ඩග්ලස් දේවානන්දය. එයින් පසුව එජාප මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමය. ඩග්ලස් දේවානන්ද තමන්ගේ කථාව කරන්නට සභා ගැබේ පෙනෙන්නට නොසිටියේය. ඔහු නොපැමිණියහොත් ඒ අවස්ථාව මා වෙත ලබා දීමට මූලස්ථානය එකඟ වී තිබිණි. නමුත් අවසාන මොහොතේ ඩග්ලස් මන්ත්‍රීතුමා කතාව සඳහා පැමිණියේය. මහින්දානන්ද මන්ත්‍රීතුමා ආණ්ඩුව පැත්තේ අසුන් ගෙන සිටි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාට පණිවිඩයක් යවමින් ඉල්ලා සිටියේ තමන්ට හදිසි අවශ්‍යතාවකට පිටතට යෑමට සිදුව ඇති බැවින් ඔහුගේ කතාවට පෙර තමන්ගේ කතාවට ඉඩ ලබා දෙන ලෙසය. අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමන් ද ඊට එකඟ විය. ඔහු සිතා සිටින්නේ ඔහු ඒ අවස්ථාව දුන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට යැයි කියාය.
ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා කතාව සිදුකරන අතරතුර වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමන් මා වෙත පැවසුවේ පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන විකෘතිය ගැනය.
“බලන්නකො මේ විකෘතියේ තරම.. තනි මන්ත්‍රීවරයකු පමණක් සිටින ඩග්ලස්ට මෙච්චර වෙලාවක් මන්ත්‍රීවරු 51ක් සිටින අපට සොච්චම් වෙලාවක්... මෙහෙම විකෘතියක් කවදාවත් මේ පාර්ලිමේන්තුවේ වෙලා නෑ”
කෙසේ වෙතත් ඩග්ලස්ගේ කතාව නිම වූ විගස මූලාසනය විසින් මගේ නම ප්‍රකාශ කරන ලදී. 2000 වසරේ පාර්ලිමේන්තුවට පැමිණි මා ගෙවුණු වසර 17කට ආසන්න කාලය තුළ “ගරු කතානායකතුමනි හෝ ගරු නියෝජ්‍ය කතානායකතුමනි හෝ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි” යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ නැතිව කතාවක් අරඹා නැත. මා පමණක් නොව, සෑම මන්ත්‍රීවරයකුම එසේය.
එහෙත්, ඉතිහාසයේ පළමුවරට අද මා කතාව අරඹන ලද්දේ “ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය පූජකුමනි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුනි, ආදරණීය මව්වරුනි, පියවරුනි,’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්ය. ජනවාරි 25 වන අද දින මා පාර්ලිමේන්තුව තුළදී මේ සිදුකරන්නේ, මට සහභාගි වීමට අවසර නැති ජනවාරි 27 වැනිදා පැවැත්වෙන නුගේගොඩ රැලියේ මට අදාළ කථාව ය. එය සැබවින්ම අපූරු අලුත් අත්දැකීමක් විය.
මගේ කථාව, සභා ගැබ තුළ මෙන්ම, ඉන් පිටත සිට අසා සිටින බොහෝ දෙනකු, මා එසේ ආමන්ත්‍රණය කරමින් කතාව ඇරඹුවේ ඇයි දැයි වටහා ගැනීමට නොහැකිව වික්ෂිප්තවන්නට ඇතැයි මට සිතේ. විනාඩි 10ක පමණ වේලාවක් කතා කරන විට එජාපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සභා ගැබට පැමිණ බාධා කරන්නට විය. එහෙත් ඒවාට පැටලෙන්නේ නැතිව මම මගේ කතාව කරගෙන ගියෙමි. කතාවේ අග හරියේදී සභාගැබට හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ගයන්ත කරුණාතිලක ඇමතිවරයා “ඔය නුගේගොඩ කතාව නේද කරන්නේ? කියමින් සභා ගැබෙන් පිටව ගියේය. බාධා මැද මම නුගේගොඩ රැලියේ කතාව සිදු කළෙමි. එම වීඩියෝව, ජනවාරි 27 වැනිදා රැලියේ වීඩියෝ තිර මත දිස් වනු ඇත.
අභූත චෝදනාවන් වරගන්වා ඉදිරිපත් කර, අපගේ හඬ යටපත් කිරීමට අසාර්ථක වෑයමක නිරතව සිටින අමන පාලකයනට දිය හැකි කදිම පිළිතුර එසේ ලබා දීමට හැකිවීම සතුටට කරුණකි. මගේ කථාවෙන් උරණ වූ එජාප මන්ත්‍රීවරයකු මට අවලාද නඟමින් සුපුරුදු කතාවක් සිදු කළ ද එය මට අදාළ වූයේ නැත. අවලාද! දැන්නම් මට ඕවා දැනෙන්නේම නැත.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්