සිරිල් මැතිව්ගේ චණ්ඩි පැටව්


දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමටත් පෙර සිටම ඔහුට බොහෝ සෙයින් ළෙංගතු හිතෛෂිවන්තයෝ පිරිසක් සිටියහ. ඒ අතරින් එක් අයකු වූයේ මෙරට ඉඩම් හිමි වැවිලිකරුවකු වූ කළුවාදේවගේ සිරිල් මැතිව්ය. ධනබලය අතින් මෙන්ම පිරිස් බලය අතින් ද පොහොසත් ඔහු ජේ. ආර්.ට හඳුන්වා දී තිබුණේ හිටපු අගමැතිවරයෙකු මෙන්ම එ.ජා.ප.යේ නායකයෙකු ද වූ ඩඞ්ලි සේනානායක මහතා විසිනි.
“ඩිකී මේ තරුණයා අඳුනාගන්න. නම සිරිල් මැතිව්. මෙයා අපේ ඊ. ඩබ්ලිව්. මැතිව්ගෙ සහෝදරයා. අපට මෙයාගෙන් සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන්....” යි කී ඩඞ්ලි ජේ. ආර්.ට හඳුන්වා දුන් එම උස මහත තරුණයා ඉතා ඉක්මනින්ම එ.ජා.ප.යේ බලකණුවක් බවට පත්විය.


විශේෂයෙන්ම 1956 මහ මැතිවරණයෙන් අන්ත පරාජයට පත්ව පැත්ත වැටී සිටි එ.ජා.ප.ය යළි ඔසවා තැබීමට ජේ. ආර්. ජයවර්ධන මහතා ගත් අප්‍රමාණ උත්සාහයේ දී සිරිල් මැතිව් පංගුපේරු නොබලා උදවු කළේය. 
ඒ අනුව ඊළඟට එළඹුණු 1960 මාර්තු මැතිවරණයේ දී අලුතින් බිහිවූ කොළොන්න අසුන සඳහා තරග කිරීමට එ.ජා.ප.යෙන් නාම යෝජනා ලැබුණේ ඔහුටය. ඒ සඳහා මුල් වූ එක් ප්‍රබල හේතුවක් වූයේ සිරිල් මැතිව්ගේ වැඩිමහල් සොයුරු ඊ. ඩබ්ලිව්. මැතිව් 1947 සිට 1956 දක්වා වූ කාලය තුළ පැවැති මහ මැතිවරණ දෙකකින් ජයගෙන පුරා වසර 9ක කාලයක් බළංගොඩ ආසනයේ එ.ජා.ප. දෙවැනි මන්ත්‍රී ධුරය උසුලා තිබීමය.
“හැබැයි අපේ තාත්තා කොළොන්න ආසනය කන්ටෙස්ට් කරන්න ගියාට ඒ පළාතෙ කිසිම කෙනෙක් මුලින් දැන අඳුනා ගෙන හිටියෙ නෑ. මම කොහොම හරි දිනනවා කියන හිතේ ධෛර්යය විතරයි තාත්තට තිබුණේ...” යි කියන සිරිල් මැතිව්ගේ පුත්‍රයෙකු මෙන්ම හිටපු ඇමැතිවරයෙකු සහ පළාත් ආණ්ඩුකාරවරයෙකු වූ කළුවා දේවගේ නන්ද මැතිව් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ තම පියා හා පුරා කියා ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ බවය. ඊට මාස 4කට පසු පැවැති 1960 ජුලි මහ මැතිවරණයෙන් ද ඔහු තම කොළොන්න ආසනය ජය ගත්තේය. කෙසේ වෙතත් එවර තම පියාගේ වැඩි ඡන්ද සංඛ්‍යාව 1015 සිට 48 දක්වා අඩු වී තිබුණු බව නන්ද මැතිව් පවසයි.


“හැබැයි 1965 මහ මැතිවරණයේ දී තාත්තා මට කිව්වා කොළොන්නට තරග කරන්න කියලා එහෙම කියලා තාත්තා ගියා බණ්ඩාරවෙලට, ඒත් මම දිනුවා. තාත්තා පැරදුණා. ඊළඟට 1966 බණ්ඩාරවෙලට අතුරු මැතිවරණයක් තිබ්බා. ඒ සැරෙත් තාත්තා පරාදයි... 


නන්ද මැතිව් එසේ කියන්නේ එම අතීත සිදුවීම් එකින් එක ආවර්ජනය කරමිනි. ඔහු සඳහන් කරන අන්දමට සිරිල් මැතිව් 1970 පැවැති මහ මැතිවරණයට තරග නොකළේය. කෙසේ වෙතත් 1965 සිට 1977 දක්වා වූ වසර 12ක් පමණ වූ කාලය තුළ ජේ.ආර්.ගේ සෙවණැල්ලක් මෙන් ඔහු පිටුපසින් සිටියේය.


“මට මතකයි එක්තරා අවස්ථාවක ජේ. ආර්. ජයවර්ධනයි, ප්‍රේමදාසයි අතර පොඩි ආරවුලක් ඇතිවුණා. ඒ දිනවලම ප්‍රේමදාස මහත්තයා විදේශගත වෙලා ආපහු ලංකාවට ආපු දවසෙ කටුනායක එයාර්පෝට් එකේදි කට්ටියක් එතුමාට පහර දුන්නා. එතන හිටපු කෙනෙක් ප්‍රේමදාස මහත්තයට කුඬේකිනුත් ගැහුවා. ඒ කණ්ඩායමට නායකත්වය දුන්නේ පුංචිහේවා කියන මාධ්‍යවේදියෙක්. හැබැයි අන්තිමට අපේ තාත්තගෙ මිනිස්සු ජේ. ආර්. ගේ කීමට ප්‍රේමදාස මහත්තයට ගැහුවා කියලයි ප්‍රචාරය වුණේ.. යි කියන නන්ද මැතිව් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඒ කතාවේ ඇත්ත නැත්ත තමාවත් නොදන්නා බවය.


තවත් වතාවක දැදිගම අතුරු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි රුක්මන් සේනානායක මහතා එ.ජා.ප. නායක ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරියේය. ඔහු එවැනි තීන්දුවක් ගෙන තිබුණේ රුක්මන් පක්‍ෂ විනය කඩ කළ බවට චෝදනා කරමිනි.


“එහෙම කොහොමද අපේ රුක්මන් හාමු පක්‍ෂයෙන් එළවන්නේ?” යි ඇසූ දැදිගම ප්‍රදේශයේ රුක්මන්ගේ ආධාරකරුවෝ පිරිසක් කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ‘බ්‍රෙමාර්’ මන්දිරය වැටලූහ. බස්රථ දහයකින් හෝ දොළහකින් පැමිණි එම පිරිස ජේ. ආර්.ට එරෙහිව වහසිබස් දොඩමින් සිටිය දී පොලු මුගුරු රැගෙන එහි කඩා වැදුණු තවත් පිරිසක් ඔවුන්ට එළව එළවා පහර දුන්හ. එම ප්‍රහාරයේ වගකීම බැරවූයේ ද කළුවාදේවගේ සිරිල් මැතිව්ගේ නමටය. 

“හැබැයි එක් නං ඇත්ත! අපේ තාත්තගෙ ජාතික සේවක සංගමයෙන් ආපු උදවිය තමයි ඒ පහර දුන්නේ. වෙන එකක් තියා එතැන මමත් හිටියා...! 


නන්ද මැතිව් එසේ කියන්නේ සිනාසෙමිනි. ඔහු සඳහන් කරන අන්දමට එකල එ.ජා.ප.යට ආණ්ඩු බලයක් නොමැති වුවද හැම රාජ්‍ය ආයතනයකම පාහේ වෘත්තීය සමිති බලය පැවතුණේ ජාතික සේවක සංගමය සතුවය. එකල ජාතික සේවක සංගමයේ සභාපති ධුරය උසුලන ලද්දේ එ.ජා.ප. නායක ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි. එහෙත් තම පක්‍ෂ නායකයා වෙනුවෙන් එහි මුළු බර කරට ගෙන සිටියේ සිරිල් මැතිව් බව මුළු රටම දැන සිටියහ. ඔහු තම නායකයා වෙනුවෙන් තිරයෙන් පිටුපස සිට භාරදූර වගකීමක් ඉටු කළේය.


“සිරිල් දැන් පැත්තකට වෙලා හිටිය ඇති. මෙදා සැරේ අපට අනිවාර්යයෙන්ම ආණ්ඩු බලය ලැබෙනවා.!”යි කී ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුට කැලණිය ආසනය බාර කරන ලද්දේ දැඩි බලාපොරොත්තුවකිනි. සිරිල් මැතිව්ට කැලණිය ප්‍රදේශය සමග පෙර සම්බන්ධයක් නොතිබුණ ද එහි සෑම නිවසක් පාසා ගොස් ප්‍රදේශවාසීන් හා දැන හැඳුනුම්කම් ඇතිකර ගෙන තම සංවිධාන කටයුතු මැනවින් සිදුකර ගෙන ගියේය.


“තමුන්නාන්සේලාගේ සංවිධායකතුමා මීළඟට පත්වන අපේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් ලෙස පත් කරනවා...!”යි එ.ජා.ප නායකයා විසින් ස්ථාන කීපයකදීම ප්‍රකාශ කර තිබීම සිරිල් මැතිව් මහතා වටා කැලණිය ප්‍රදේශයේ ජනතාව එක්රොක්වීමට මුල් වූ ප්‍රබල හේතුවක් විය.


මේ අතර 1977 මහ මැතිවරණය පැවැත්වීමටත් පෙර සිටම සිරිල් මැතිව්ගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන සිද්ධියක් පිළිබඳවද අසන්නට ලැබුණේය.

 

එනම් 1970 මහ මැතිවරණයෙන් කැලණිය ආසන ජයගෙන සමගි පෙරමුණු ආණ්ඩුවේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමැති ධුරය දැරූ ආර්. එස්. පෙරේරා මහතා තමන් 1977 මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව කල්තියා ප්‍රකාශ කර තිබීමයි. ඒ අනුව කැලණිය ආසනයට තරග කිරීම සඳහා එරීන් සේනානායක මහත්මිය ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කර තිබුණේය.


එහි නියත ප්‍රතිඵලය වූයේ සිරිල් මැතිව් මහතා එවර පැවැති මහ මැතිවරණයෙන් කැලණිය ආසනය පහසුවෙන් ජයග්‍රහණය කළා පමණක් නොව 1977 දී පත්වූ ජේ. ආර්. ආණ්ඩුවේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයා වශයෙන්ද පත්වීමය. එකල කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍යාංශය යටතේ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල හතළිස් ගණනක් තිබිණි. ඒ අනුව බොහෝ දෙනෙකුගේ අනුමානය වූයේ කැලණිය ප්‍රදේශවාසීන්ගේ හිස මතට රැකියා වැස්සක් කඩා හැලීමට ඉඩ තිබෙන බවයි.


“අපේ ලොක්කට මෙදා සැරේ ජේ. ආර්. අත දිග ඇරලා සලකලා තියෙනවා.! ” යි කී කැලණිය ප්‍රදේශයේ බොහෝ තරුණ පිරිස් සිරිල් මැතිව් ඇමැතිවරයා වටා එක් රොක් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එසේම ඔහු 1978 දී ජාතික සේවක සංගමයේ සභාපති ධුරයටද පත් කෙරුණ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සංගමයේ සාමාජික සංඛ්‍යාව දහ දොළොස් ගුණයකින් වැඩි වූවේය. 


මේ අතර කොළඹ දී පැවැති සිංහල බලමණ්ඩලයේ රැස්වීමකට කඩා පැන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් ඇතුළු පිරිසකට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියකටද සිරිල් මැතිව් ඇමැතිවරයාගේ ගෝලබාලයන් පිරිසකට චෝදනා නැගී තිබුණි. ඒ අතරින් එක් අයකු වූයේ සිරිල් මැතිව් මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ පියසේන ජයවීර නැමැත්තෙකුට සහ සිනමා නළුවකු වූ ඔස්වල්ඞ් ජයසිංහටය. කැලණිය ප්‍රදේශයෙන් පැමිණි මැර පිරිසට අමතරව කැස්බෑවෙන් පැමිණි බව කියන මැර පිරිසකගේ නම් ගම්ද එම සිද්ධියට ගෑවී තිබුණ අතර අදෘෂ්‍යමාන බලවේගයක ආනුභාවයෙන් ඒ පිළිබඳව පැවැති පොලිස් පරීක්‍ෂණ යටපත් වී ගියේය.


මේ අතර කළුවාදේවගේ සිරිල් මැතිව් මහතාගේ නමට ඉදිරියෙන් තවත් අපකීර්තිමත් කළුපැල්ලමක් වැටුණේ ඔහුගේ ගෝල බාලයනුත්, කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සමූහයකුත් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් මැර පාර්ශ්වයේ අයකුට ජීවිතය අහිමි වූ බැවිනි. එම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳ චෝදනා එල්ලවූයේ එකල කැලණිය විශ්ව විද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයෙකු වූ බද්දේගම සමිත හිමියන් හටය.
ඊටත් අමතරව 1981 සංවර්ධන සභා ඡන්දයේ දී යාපනේ අර්ධද්වීපයේ දෙපාර්ශ්වයක් අතර හටගත් ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් එවකට අග්නිදිග ආසියාවේ තිබූ විශාලම පුස්තකාලය ලෙස සැලකුණු යාපනේ නාගරික පුස්තකාලය මුළුමනින්ම ගිනිබත් විය.


“ඒකත් සිරිල් මැතිව්ගේ සහචරයන්ගේ වැඩක්....! එයා තමයි යාපනේ සංවර්ධන සභා ඡන්දයට කොළඹින් කෝච්චියක් පිරෙන්න මිනිස්සු අරගෙන ගිහින් තිබුණේ..’යි කියමින් එකල පැවැති ඇත්ත, ජනදින සහ දිනකර වැනි වාමාංශික පුවත්පත් දැවැන්ත අඬහැරයක් නැගුවද සිරිල් මැතිව් ඇමැතිවරයාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමක් පවා සිදු නොවීය.


අපේ තාත්තා යාපනේ සංවර්ධන සභා ඡන්දෙට වැඩ කරන්න කොළඹින් කෝච්චියක් පිරෙන්න මිනිස්සු ගෙනිච්ච බව ඇත්ත! හැබැයි යාපනේ පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධියට ඒ අය සම්බන්ධ නෑ...! යි කියන සිරිල් මැතිව් ඇමැතිවරයාගේ පුත් නන්ද මැතිව් අවධාරණය කරන්නේ ඒවා තම පියාගේ ප්‍රතිරූපය කෙලෙසීමේ අරමුණින් සිදුකළ මඩ ප්‍රචාර බවය. 


එකල සිරිල් මැතිව් මහතාට එරෙහිව විවිධ චෝදනා එල්ල වූවද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තම කැබිනට් සගයා ආරක්‍ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව විපක්‍ෂ දේශපාලනඥයන්ගේ පිළිගැනීම විය. විශේෂයෙන්ම ඒ දිනවල ජයවර්ධන ජනාධිපතිවරයා සිරිල් මැතිව් මහතා කෙරෙහි එතරම් අනුග්‍රහයක් දක්වා තිබුණේ ආණ්ඩුව අපහසුතාවට ලක්වීමට ගිය අවස්ථා කීපයකදීම සිරිල් මැතිව්ගේ ජාතික සේවක සංගම් සාමාජිකයන්ගේ මැදිහත්වීම මත ඔවුන්ට තම ජාම බේරා ගැනීමට හැකි වූ බැවිනි.


1982 ජනාධිපතිවරණයේ දී මෙන්ම ඉන් අනතුරුව පැවැති ජනමත විචාරණයේ දී ද මැතිව්ගේ කොළ ජුන්ටා කාරයන්ගෙන් ජේ. ආර්. පාර්ශ්වයට අනගි මෙහෙවරක් සිදුවී තිබුණේය. ඒ දිනවල ජේ. ආර්.ගේ අතිශය විශ්වාසවන්ත ඇමැති සගයා වූයේද සිරිල් මැතිව්ය. 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර