1977-94 පැවැති එජාප ආණ්ඩු සමයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ සිරිල් මැතිව් සිංහල ජනතාව වෙනුවෙන් උද්යෝගිමත්ව කටයුතු කළ දේශපාලනඥයකු ලෙස ප්‍රකටය. උතුරු - නැගෙනහිර සිංහල උරුමය ගැන ඔහු ග්‍රන්ථ කිහිපයක් ලියුවේ කොටි කටේ සංචාරය කරමින් ලත් ප්‍රායෝගික අත්දැකීම් තුළිනි.
ජනපති ජේ. අර්. ජයවර්ධන මහතාගේ අතිශය හිතවතුන් අතර සිරිල් මැතිව්ට හිමිවන්නේ මුල් තැනකි. එහෙත් ලක්දිව සිංහල ජනතාව සතුව තිබී දමිළ බලවතුන් විසින් අත්පත් කර ගත්තා වූ නිජබිම් යැයි කියා ගත් භූමි වල නිවැරදි තොරතුරු හෙළි කළ පාපය නිසාදෝ ජේ. ආර්.ගේ තරවටුවට ලක් වූ පිරිස අතරට සිරිල් මැතිව් ද එක්විය. ගොංගාලේගොඩ බණ්ඩා කුල පරම්පරාවෙන් ආ නිසාදෝ සිංහල ලේ ඇති සිරිල් මැතිව් නිහඬ කිරීමට ජේ. ආර්.ට අසීරු විය. අවසානයේදී ඔහු සතු වගකිව යුතු අමාත්‍ය ධුරයෙන් නෙරපන ලද අතර පක්ෂයෙන් ඉවත් කිරීමට ද උත්සාහ කෙරිණි.
1977 දී ජේ. ආර්. රජය භාර ගන්නා විට සියලු මන්ත්‍රීවරුන්ගෙන් හිස් කඩදාසියකට අත්සන් කර ගනු ලැබුවේ පුර්ණ බලැති ජනපති ලෙස ඕනෑම අවස්ථාවක මැති ඇමැතිවරුන් ඉවත් කිරීමට බලය ලැබෙන පරිදිය. වෙනත් ලෙසකින් කිවහොත් මන්ත්‍රීවරුන් ලවාම ඉල්ලා අස්වීමේ දින රහිත ලිපියක් ගැනීමකි.
නමුත් සිරිල් මැතිව් එම උප්පරවැට්ටියට හසු නොවීය. ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අසු නොවුණා පමණක් නොව පක්ෂය තුළම රැඳෙමින් අරගල කළේය. මාධ්‍යයට පවා ජේ. ආර්. විවේචනය කර ප්‍රකාශයක් නොකිරීමට පරිස්සම් විය.
“ඇයි ඔබ තුමා ජේ. ආර්. ලා ගැන ඇත්ත හෙළි නොකරන්නේ?”
මම වරක් ඇසුවෙමි. මැතිව්ගේ ගාම්භීර මුහුණ මවෙත හැරිණි.
“තේරෙන්නේ නැද්ද? මාව අස් කරාවි. එහෙම වුණොත් උන්ගේ හෙංචයියෙක් මන්ත්‍රී කමට පත් කර ගනිවි. එතකොට ජාතික සටනට එක්කෙනෙක් අඩු වෙනවා.”
ජේ. ආර්. සමයේ අමාත්‍ය ධුරය දරද්දී නැගී ආ ප්‍රබල සිංහල සංවිධානයක් වන සිංහල බල මණ්ඩලයට පහර දීමට බළල් අතක් ලෙස මැතිව් මහතා යොදා ගත් බවට එකල දැඩි චෝදනා එල්ල වී තිබිණ.
නමුත් මැතිව් පැවසුවේ තමන් එවැනි සිද්ධි වන විට නොසිටි බවයි. එම සිද්ධි වුණේ මගේ හොඳ නමට කැළලක් කරන්නයි. කෙසේ වෙතත් සිංහල බල මණ්ඩලයට කළ මැරවර පහරදීමේදී මාදුළුවාවේ සෝභිත හිමියෝ පපුවට වැදුණු යකඩ පොලු පහරින් බරපතළ තුවාල ලැබූහ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට පහර දී මළකුණක් සේ කානුව දිගේ ඇද ගෙන ගිය මැරවරයෝ ගිහි පැවිදි ජනතාවට බයිසිකල් චේන් ගල් මුගුරු හා පුටුවලින් එළව එළවා පහර දී පලවා හැරියහ.
එදා එම සිද්ධියෙන් මැතිව්ගේ හොඳ නම නමැති කිරි බඳුනට ගොම බිඳක් වැටුණා මෙනි. ඔහු ස්වදේශිකයන් අතර අප්‍රසාදයට ලක් විණ.
මේ සියලු සිද්ධීන් ගැන පාපෝච්චාරණයක් කර ජාතියෙන් සමාව ගැනීමට මැතිව් කටයුතු කරනු ඇතැයි බහුතරයක් සිතූ නමුත් ඔහු දිගටම මුනිවත රැක්කේය.
“සිරිල් මැතිව් කතා කරවමු.”
මාධ්‍යවේදියෝ ඒ සඳහා නොයෙක් උප්පරවැට්ටි යෙදූහ.
මැතිව් මහතා සැදැහැවත් බෞද්ධයකු වූ අතර ඔහුගේ සංවිධානය මගින් කැලණි විහාරයේ සිල් ඇත්තන් සැමටම පුන් පෝ දිනවල දන් වැටක් දීම නොකඩවා සිදු විය. එවැනි දිනවල ඔහු නිසැකව දාන ශාලාවට එන බව දත් මාධ්‍යවේදියෝ ඔහු සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලබා දෙන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියහ.
සංවිධායකයෝ වහා ඒ පිළිබඳව කටයුතු කළහ. මාධ්‍ය මේසය සකසා ආසන සකස් කර තිබිණ. හෙට උදේම රටම හොල්ලන විශේෂ ප්‍රකාශයක් සිරිල් මැතිව් කරනු ඇතැයි සිහින මවාගත්හ.
එහෙත් සිදුවූයේ අනෙකකි. මැතිව් දානමාන පිළි ගන්වා දාන ශාලාව වටා යමින් උවසු උවැසියන් සමග බෞද්ධ උරුමයන් ගැන කතා බහ කළා මිස ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී නොවී වාහනයට නැගී පිටව ගියේ අප බලාපොරොත්තු සුන් කරමිනි.
කැලණිය, පොල්හේන විෂ වෙද රෝහල හා වෛද්‍ය ආයතනය සිරිල් මැතිව් පරපුරේ ඇත්තන්ගේ ප්‍රසාදය දිනා ගත් තැනකි. මසකට වරක් වත් එහි පැමිණ වෛද්‍ය සේවක මණ්ඩලය සමග කතා බහ කර අඩුපාඩුකම් ගැන විමසා බැලුවේ මිතුරු ලීලාවෙනි. එහි සංවත්සර උළෙළ හා ප්‍රදර්ශනය පැවැත්වීමට යෙදුණේ මේ කාලයේය. ඒ සඳහා දිවයින පුරා විෂ වෛද්‍යවරු හා ශිෂ්‍යයෝ එක් රැස් වී උත්සව ශාලාව හා ප්‍රදර්ශන ශාලාව මෙන්ම මඟ දෙපසද අත්‍යාලංකාරයෙන් සරසා සකසා ලූහ.
මෙහි සුවිශේෂී අංගයක් වූයේ විවිධ විෂඝෝර සපුන් හා නාගයන් ප්‍රදර්ශනය කිරීමෙන් එම විශේෂ විස්තර කිරීම භාරව සිටි වෛද්‍යවරයා වූයේ විජේපාල වෙදමහත්තයාය. “පච ගහයට” නාග විෂ බෙහෙත් අලෙවි කරන දේශකයකු ලෙස ඔහු කොළඹ ප්‍රසිද්ධය.
අපි ප්‍රධාන අමුත්තා විදිහට මැතිව් මහත්තයට ආරාධනා කරමු.
සංවිධායකයෝ එක හඬින් ඊට එකඟ වුණේ ඔහු වෛද්‍ය විද්‍යාලයේ හිතවතකු නිසාත් එකල ඔහු ලක්දිව රැව්දෙන රැඩිකල් දේශපාලන චරිතයක් නිසාත් මැතිව් මහතා මෙහිදීවත් පෙරළිකාර වැඩක් කරාවි යැයි මාධ්‍යවේදීහු කැමරා ආම්පන්න රැගෙන පෙළගැසුණහ.
“කැලණියේ වීරයාට ජය වේවා!” “අභීත සිංහල සෙන්පතිතුමාට ජයවේවා!”
ආදී උද්යෝගීමත් සටන් පාඨ කියමින් ඔහුගේ අනුගාමිකයෝ සිරිල් මැතිව් මහතා පෙරහැරින් කැඳවා ගෙන ආහ.
වෛද්‍ය විද්‍යාලාධිපති පණ්ඩිත පතිරාජ අමරවංශ මහතා ප්‍රමුඛ වෛද්‍ය මණ්ඩලය වත්මන් අධිපතිනී කල්‍යාණි පතිරාජ නම් ඔහුගේ දියණියත් ආරාධිතයා මල් කලඹ මල් මාලා දී පිළිගත්හ.
ඊළඟ පියවර නාග ප්‍රදර්ශනය විවෘත කිරීමයි. සිරිල් මැතිව් මහතා කිසිසේත්ම සිනහ මුහුණින් සිටි වාචාල දේශපාලනඥයෙකු නොවේ. ඔහුගේ දේශපාලන ජීවිතය තුළම බිය වූ හෝ සිනා සුණු අවස්ථා මා දැක නැත. ඔහු තුළ තිබුණේ රට ගැන ගැඹුරු හැඟීමකි.
වෛද්‍ය විජේපාල මහතා පෙරමගට විත් ඔහු මෙතෙක් පිටුපසට කර සඟවා ගෙන තිබූ මල් මාලාවක් වැනි යමක් අමුත්තාගේ ගෙලට දමනු දුටිමු. ඊළඟ මොහොතේ අප දුටුවේ මරහඬ දිගෙන බියෙන් මුසපත්ව ඉවතට පැන්න මැතිව් මහතාය.
ඔහුගේ ගෙලට දමා තිබුණේ මල් මාලාවක් සේ පටලවා ගැට ගැසූ සුදු නාගයෙකි.
විජේපාල මහතාගේ මේ හිතුවක්කාර ක්‍රියාව නිසා මැතිව් මහතා කෝප වේ යැයි සිතුවද මොහොතකින්ම ඔහු යථා තත්ත්වයට පත් විය. කෝපයට පත් තම ගෝලයන් නිහඬ කළ මැතිව් මහතා අපටත් ඇහෙන්නට කී වදන් තවම රැව් දෙන්නා සේ ය.
“ආණ්ඩුවේ ඉන්නවාට වඩා නයි - පොළඟුන් එක්ක ඉන්න එක වාසනාවක්”
මැතිව්ගේ කියමන පසුදාම මාධ්‍යවල මුල් පිටුවේ පළ විය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි