ජාතික දේශපාලනයේ දෙවැනි පෙළ නායකයෝ - 02
1959 දී චීවරධාරියකුගේ රුදුරු වෙඩිපහරකින් බණ්ඩාරනායක මහතා මියයන විට ශ්‍රීලනිපයේ මිළඟ නායකයා ලෙස ඔටුනු පලඳින්නට ජ්‍යෙෂ්ටයෝ රැසක් පෙළගැසී සිටිහය. එහෙත් බණ්ඩාරනායක නම ගෙන යන්නට හැකියාව ඇති පවුලේ කෙනෙකු ඒ අතර නොවිණ. කනිටු දියණිය චන්ද්‍රිකා, දෙටු දියණි සුනේත්‍රා හා ළමාවියේ සිටි අනුර රාජ්‍ය තන්ත්‍රයට ගෙන ඒම උගහට විය.
අගමැති බණ්ඩාරනායක ඝාතනය වූදා පටන් අගමැති තනතුරේ වැඩ බැලුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය විජයානන්ද දහනායකය.
තම සැමියාගෙන් ගිළිහුණු ශ්‍රීලනිපයේ නායකත්වය සිය අතට ගැනීමට සිරිමාවෝ මැතිනියට සිදුවූයේ පාක්ෂිකයන්ගේ බලපෑම් නිසාය. එහෙත් ශ්‍රීලනිපයේ ක්‍රියාකාරී දේශපාලන චරිතයක් ලෙස හඳුනා නොගත් සිරිමාවෝ මැතිනිය පක්ෂය තුළ වූ අර්බුදය සමථයකට පත්කරමින් 1960 ජුලි මහමැතිවරණයේදී නායකත්වය ගෙන ජයග්‍රහණයක් පක්ෂයට ලබාදුන්නාය.
සී. පී. ද සිල්වා ඇතුළු කණ්ඩායම නියෝජ්‍ය නායකත්වය දරමින් පාලනය ගෙන ගියෝය. අගමැතිනිය සිරිමාවෝ සැමියා ගිය මගෙහිම යමින් ජනසතු ව්‍යාපාරය ඇතුළු ප්‍රගතිශීලිී ජනතාවාදී වැඩසටහන් රැසකට මුල්තැන දුන්නාය.
ශ්‍රීලනිපයේ රජරට නායකයා ලෙස විරුදාවලි ලැබූ මෛත්‍රීපාල සේනානායක, සී. පී. ද සිල්වා, පී. බී. ජී. කළුගල්ල එහි ප්‍රධාන ජනතා යෝධයන් රැසක් ඇය වටා සිටි අතර නායකත්වය ඔවුන්ට හිමිවනු ඇතැයි ජනතාව විශ්වාස කළහ. මෙතෙක් එජාපයේ මෙන්ම ශ්‍රීලනිපයේ ප්‍රධාන විරුද්ධවාදින් ලෙස කළ එදිරිවාදිකම් වලින් මිදී ශ්‍රීලනිපයේ ජනසතු ව්‍යාපාරය ඇතුළු සමාජවාදී පියවරවල් ගැන පැහැදුණු සමසමාජ නායකයන්වූ ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි ආදීන් මෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ටී. බී. සුබසිංහ, පීටර් කෙනමන් ආදින්ගේ විශ්වාසය දිනාගැනීමට සිරිමාවෝ මැතිනිය සමත්වූවාය.
එපමණක් නොව ඇගේ පාලන සමයේදී උතුරු - නැගෙනහිර සුළු ජන කොටස්වල විශ්වාසය දිනාගැගීමටද සමත්වූ නිසා රටේ ආර්ථිකය හා සංවර්ධනය වඩාත් ධනාත්මකවිය. එහෙත් ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයන් නායකත්වයට පෙළගැස්වීමෙහිලා ඇය අසමත් වූවාය. 1964දී රාජාසන කතා විවාදය වැඩි ඡන්දයෙන් පරාජයවීම නිසා ආණ්ඩුවට ගෙදර යාමට සිදුවිය.
එහිදී නියෝජ්‍ය නායක අමැති සී. පී. ද සිල්වා ඇතුළු 14 දෙනෙක් ඊට එරෙහිව ඡන්දය භාවිතා කළහ. “සී. පී. ද සිල්වා මගේ පිටිපස්සෙන් ඉදන් පිහියෙන් ඇන්නා”
බණ්ඩාරනායක මැතිනිය එම පරාජය විග්‍රහ කළේ එලෙසිනි. 1965 වනවිට සියලු වාසි එක්සත් ජාතික පක්ෂය වෙතට කැරකී පැමිණ තිබිණ. අනුර බණ්ඩාරනායක නමැති චරිතය කරළියට එන්නේ 1965 සිටය. එතෙක් ඔහු ආසියාවේ රිදීසිනූව නමින් ප්‍රකටවූ බණ්ඩාරනායක මැතිඳුන්ගෙන් ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ප්‍රකටවූ සිරිමාවෝ මැතිනියගෙත් එකම පුත්‍රයා පමණි. ශ්‍රීලනිපයේ ප්‍රබල ජ්‍යෙෂ්ඨයන් රැසකට අගමැති තනතුර කිසිදා නොලැබිණි. එම කෙනෙහිලිකම්වලට එරෙහිව පක්ෂය අත්හැර යාමට පිරිසක් තීරණය කළහ.
1965 සිට පැමිණි සෑම මැතිවරණයක්දීම අනුර පුතා ඍජුවම මැදිහත්වී මවටත් පක්ෂයටත් දිරිදුන්නේය. ඔහු දීවා රෑ නොබලා ගම් දනව් සැරිසරමින් ගැමි ජනතාව හමුවිය. අධ්‍යාපනය අවසන්කර 1974 දී සියරට ආවේ නැගී එන තරුණ නායකයා ලෙසිණි.
1965 දී යළිත් එජාපය බලයට පැමිණියේ ඩඞ්ලි අගමැති කරවමිනි. විපක්ෂ නායක වූයේ සිරිමාවෝය. මෙම යුගයේ fමෛත්‍රීපාල සේනානායක ආදී කොටසක් පක්ෂය ශක්තිමත් කළහ. 1966 දී හමුදා කුමන්ත්‍රණයක් මුවාවෙන් හේන්පිටගෙදර නාහිමියන් ඇතුළු ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගැනිණ. යළි යළිත් සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හා රජයේ ක්‍රියාකාරකම් නිසා එජාප ආණ්ඩුව පිරිහිණ. ජේ. ආර්. ජයවර්ධනගේ බලය ඉස්මතු විණ. මේ නිසා එජාපය දෙකඩවන ලකුණු පහළවිය. 1970 මහ මැතිවරණය එනවිට වාමාංශික පක්ෂද විපක්ෂ නායිකාව සමඟ සමගි සන්ධානයකට පත්ව සිටියහ. එහෙයින් එම මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට තිබූ බාධාවක් ඉවත්වී ජයගත් ශ්‍රීලනිපයේ නායිකාව සිරිමා අගමැතිනිය වුවාය.
එහෙත් මැතිනියට හා ඇයගේ සමීපතයන්ට ආණ්ඩුව නිසි එල්ලය කරා ගෙන යාමට බාධාකරමින් එතෙක් අළුයට ගිනි මෙන් රහසේ සංවිධානය වෙමින් සිටි ජ.වි.පෙ. තරුණයෝ අවි අමෝරාගෙන කැරැල්ලක් ඇතිවිය.
කැරැල්ල මැඩපවත්වන විට සැලසුම් පමාවී තිබුණු අතර වගා සංග්‍රාමය තුළින් දේශීය ආර්ථිකය නගාසිටුවීම සිරිමාවෝ බණ්ඩාරනායක දැරූ ප්‍රයත්නයට හොඳ ප්‍රතිචාර නොලැබිණ. ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් අබිබවා දෙවන පෙළ නායකත්වයට අනුර බණ්ඩාරනායක සූදානම්ව සිටියේය.
1977 වනවිට ඔහු කෙතරම් ජනතා විශ්වාසයක් දිනාගත්තේද යත් ඔහු තරග වැදුණේ පාරම්පරික අත්තනගල්ලේ නොව වතු කම්කරු ජනතාව නියෝජනය කරන නුවරඑළිය - මස්කෙළිය අසුනිනි. 1977 මුළු රටින්ම ශ්‍රීලනිපය අන්ත පරාජයක් ලබද්දී දෙවෙනි පෙළ නායක අනුර ඡන්ද 49,000ක් ගෙන ජය ලැබීය. 1977 දී මහ මැතිවරණයෙන් එජාපය දිනවා ජනපති ධුරය ලබා 1978 ව්‍යවස්ථාව කණපිට පෙරළා විධායක ජනපති ධූරය ලබාගත් ජේ. ආර්. ගේ දෙවනපෙළ වූයේ රණසිංහ ප්‍රේමදාස, ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත් මුදලි, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර ආනන්ද තිස්ස ද අල්විස් යනාදි අති ප්‍රබලයන්ය.
එහෙත් අද වනවිට එම නායකයන් බොහොම දෙනෙක් ත්‍රස්තවාදීන් අතින් ඝාතනය වී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වී ඇත්තේ ජේ. ආර්. ගේ බෑනණුවන් වන අගමැති රනිල්ය.
ජේ. ආර්. ගේ දෙවන පෙළේ ප්‍රමුඛයන් වූ රණසිංහ ප්‍රේමදාස හා ඩී. බී. විජේතුංග හට එජාපය නියෝජනය කරමින් ජනාධිපති වීමට භාග්‍ය ලැබිණ. එහෙත් එම වාසනාව ශ්‍රීලනිපයේ දෙවනපෙළ නායකයන්වූ මෛත්‍රීපාල සේනානායක සී. පී. ද සිල්වා, අනුර බණ්ඩාරණායක වැනි ජ්‍යෙෂ්ඨයන්ට නොලැබුණේ දෛවයේ සරදමකිනි. සිරිමාවෝ මැතිනියගෙන් පසු නායකත්වය හිමිවන ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායක වෙතැයි යන අනාවැකිය නිෂ්ප්‍රභ කරමින් බණ්ඩාරනායක පවුලේ දෙවැනි දියණිය චන්ද්‍රිකා දෙවරක් ජනපතිනිය වූවාය. අනුරට ලැබුණු උසස්ම තනතුර කථානායක ධුරය පමණි. වරක් පක්ෂය සමඟ භේදබින්නවී එජාපයට එකතුවීමට තරම් ඔහු අවාසනාවන්ත විය.
චන්ද්‍රිකාගේ අනුප්‍රාප්තිකයාවූයේ 1956 විප්ලවයේදී බණ්ඩාරනායක මැතිඳුන්ගේ දකුණු අත මෙන් සිටි ඩී. ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ පුත් මහින්ද රාජපක්ෂය. එතුමාද දෙවරක් ජනපති පදවිය දැරීමට තරම් වාසනාවන්තවිය. මහින්ද සහ අනුර ගජ යහළුවෝ වූහ. ඔවුන්ට එක්ව දිගු ගමනක් යන්නට තිබූ වරම දෛවය විසින් වෙනස්කරන ලදී. අනුරට මෙන්ම මහින්දටද ශ්‍රීලනිප නායකයා වීමට තිබූ බාධා තවමත් අවසන් නැත. අද ප්‍රධාන පක්ෂ දෙකේම දෙවැනි පෙළ ආන මිරිඟුවක් පමණි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි