සීගිරියට වින කළ අමනයෝ


 

 

“සීගිරිය විනාසයි” සීගිරි ලලනාවන්ටත් ඇසිඞ් ගහලා. මූණවල් ගන්න දෙයක් නෑ.”


එසේ දෙස් විදෙස් මාධ්‍යවල පොල්ගෙඩි අකුරින් පළවූයේ 1967 ඔක්තෝබර් 15 වැනිදාය. මෙම පුවත ආණ්ඩුව තුළ ද ජාත්‍යන්තරයේ ද මහත් ආන්දෝලනයකට ලක්විණි. පරිසර ගවේශකයෝ ද පුරාවිද්‍යාඥයෝ ද දේශපාලනඥයෝ ද මහත් කැලඹීමට පත්වූහ.


සීගිරිය අවට පාසල් ද පන්සල් ද වැඩබිම් විස්මයෙන් හා බියෙන් ඇළලී ගියේය. එකල මාධ්‍ය විස්තර කළ පරිදි ගැමියෝ ඉහළට ගත් හුස්ම පහළට නොගෙන බලා සිටි අතර සංවේදී හදවත් ඇත්තෝ හඬා වැටුණහ.
සීගිරිය තම ජය භූමිය කරගත් මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ ද හඬා වැලපුණු බව පළ විය. වහ වහා සීගිරි ගල ඉසව්වට පැමිණි රසිකයන්ට ඉන් ඔබ්බට යාම තහනම් කරන ලදී.


“මොකද වෙලා තියෙන්නේ?” ඔවුහු ඇසූහ.
“සීගිරි ලලනාවන්ගේ රූප කඩලා කොළ පාට විෂ දියරයක් ගහලා විනාශ කරලා.” තතු දත්තෝ තමන් කළ හපන්කමක් මෙන් විස්තර කළහ. දඹුල්ල පොලිසියෙන් ආරක්ෂක සංවිධාන තර කර තිබිණ. අගමැති ඩඞ්ලි සේනානායක වහා අවශ්‍ය පියවර ගන්නා මෙන් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලට නියෝග කළේය.
ඊරියගොල්ල අමාත්‍යවරයා සීගිරි චිත්‍ර විනාශය ගැන ඇසූ මොහොතේ සිට උද්වේගතර ලීලාවෙන් හැසිරුණේ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේට දොස් පවරමිනි.


නිදහස ලැබී ගත වූ වසර 20 ට මෙරටට දරුණුම සංස්කෘතික විනාසය සිදුවූයේ එදිනය. එහි චෝදනාව කෙළින්ම එල්ලවූයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට මෙන්ම යූඇන්පී පාලනයටය. අද මෙන් ෆේස්බුක් හෝ රූපවාහිනි නාළිකා නොවූ එම යුගයේ කටකතා පැතිර යන්නට වූයේ රොකට් වේගයෙනි.
සීගිරි චිත්‍ර මතට වීසිකර තිබුණේ ගොරෝසු කොළ පැහැති තීන්ත වර්ගයකි. මෙය කාම උන්මත්තයකුගේ ක්‍රියාවක් ද, අන්තගාමීන්ගේ ක්‍රියාවක් ද නැතහොත් දේශපාලනික ක්‍රියාවක්දැයි මතවාද ඇති වූ අතර සීගිරිය අවට ගම් නියම්ගම් පීරා තරුණ දඩම්බරයන් රැසක් අත්අඩංගුවට ගන්නා ලද අතර පොලිසිය ඔවුන්ට හොඳින් සංග්‍රහ ද කළහ.
මේ අතර පුරාවිද්‍යා වැඩබිමෙහි සේවය කළ දෙමළ කම්කරුවකු වූ මුරුගන්ද අතුරුදන් වී තිබිණ. අද වන විට ද සීගිරි චිත්‍ර විනාශ කළ සාහසිකයන් අත්අඩංගුවට ගන්නට පොලිසියට නොහැකි වී ඇත.


රජය සීගිරි චිත්‍ර විනාශය ගැන සෙවීමට කොමිසමක් ද පත්කළ අතර එහි සභාපතිවරයා වූයේ ප්‍රසිද්ධ විද්වතකු වූ එස්. එෆ්. ද සිල්වා මහතාය. ජනතාවගෙන් දෝෂ දර්ශනයට ලක් වූ ආචාර්ය ගොඩකුඹුර වහාම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් ඉන්දියානු රසායන විද්‍යාඥ ආර්. බී. ලාල් සමග කතාබහ කර ඉතාලියේ වෙසෙන ඉපැරැණි චිත්‍ර සංරක්ෂකවරයකු මෙන්ම රසායනික විද්‍යාඥයකු වන ලුසියානෝ මරන්සි මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කළේය.


එතෙක් දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය තහනම් කලාපයක් විය. හිටපු අමාත්‍ය සරත් අමුණුගම එකල මාතලේ දිසාපතිවරයාය. එතැන් සිට ඇරඹුණේ සීගිරි ලලනාවන් බේරා ගැනීමේ මෙහෙයුමයි. අමාත්‍ය ඊරියගොල්ල ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට විශේෂඥ උපකාර ඉල්ලා පණිවුඩ යැවීය. අවසානයේදී සංස්කෘතික වස්තුන් හැදෑරීමේ හා සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්ථානය විසින් ලුසියානෝ මරන්සි 1967.10.22 දින මෙරටට එවීමට පියවර ගනු ලැබිණ.
සීගිරි විනාශයෙන් පසු චාල්ස් ගොඩකුඹුර මහතා කොමසාරිස් පදවියෙන් විශ්‍රාම ගිය අතර දක්ෂ රසායන විද්‍යාඥයකු මෙන්ම විශිෂ්ට පරිපාලකයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා පුරා විද්‍යා කොමසාරිස් පදවියට අමාත්‍යවරයා විසින් පත්කෙරිණ.


“පණිවුඩය ලද වහාම තවරන ලද තීන්ත ඉවත් කිරීම සඳහා රසායන ද්‍රව විශාල ප්‍රමාණයක් අරන් මගේ තැවරීමේ කණ්ඩායම සමග එදා සවස මම සීගිරියට ගියා. එදා හරිම වැස්ස. සීගිරි ළඳුන් මත තවරා තිබුණේ ලියන තින්ත නොවෙයි දොර ජනෙල් උළුවහු සඳහා යොදාගන්නා තීන්ත වර්ගයක්.”


ආචාර්ය රාජා ද සිල්වා තම පාලන වාර්තාවේ සඳහන් කර ඇති බව සීගිරියේ විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි එච්. එම්. විජේරත්න මහතාගේ ලිපියක දැක්වේ.
“සාහසිකයන් අගුලු ලා තිබූ දොරවල් දෙක උඩින් පැන බිතු සිතුවම් ගුහාවේ අවසාන දොරගුලු යතුරකින් හැර තිබූ බව” පොලිසිය කියයි. ඇතැම් චිත්‍රවල තින්ත උලා විකෘති කර තිබූ අතර අංක 3 දරන චිත්‍රයේ හිස කඩා දමා තිබිණ. පයෝධර පෙදෙසට තීන්ත ගල්වා තිබිණ. කඩා දැමුණු කොටස් හා ඡායාරූප සසඳා සියුම් ලෙස හඳුනාගත් රූප මෙන්ම ඊට යොදාගත් තීන්ත ද අපරාධකරුවන් ගෙනා තීන්ත ද වෙන් වෙන්ව හඳුනාගන්නට ඔවුහු උත්සාහ කළහ.
අලුත් පුළුන් උපයෝගී කරගෙන වරින් වර එම චිත්‍රවල තැවරී තිබූ තීන්ත ඉවත් කිරීමේ මෙම දුෂ්කර කාර්යය අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ ස්ථීර ලේකම් ඇම්. ජේ. පෙරේරා පරික්ෂා කළේය.


ලුසියානෝ මරන්සි මෙරටට ආවහාම කළේ සීගිරියේ ඉතිහාසය, පරිසරය හා ගැමි සංස්කෘතිය ඉතා සහෘද ලෙස ගවේෂනය කිරීමයි. ඔහු ගැමි සිරිත් විරිත් කෙතරම් තීක්ෂණ ලෙසින් උකහා ගත්තේ ද යත් “සීගිරි මහත්මයා” :ඵරග ීසටසරස* යනුවෙන් ඔහු ප්‍රචලිත විය.


ලුසියානෝ මරාන්සි විදෙස් රසායනික තාක්ෂණයට වඩා දේශීය චිත්‍ර තාක්ෂණයට ගරු කළේ අපේ පරගැති චින්තනයට ද අභියෝග කරමිනි. දේශීය බිතුසිතුවම් කලාවේ පීතෘවරයා ලෙස සැලකෙන සෝලියස් මෙන්දිස් කලාව කෙරෙහි කලකිරී මහවැව තම නිවසේ හුදෙකලාව විසූ මෙම යුගයේ ඔහු සොයා ඔහුගේ පාමුලටම ගිය ලුසියානෝ දේශීය චිත්‍ර කලා අමුද්‍රව්‍ය පිළිබඳ උපදෙස් ගත්තේය.


දේශීය ශාක පත්‍ර යුෂ, බිත්තර මදය, පාංශු උපයෝගී කරගෙන තැණූ වර්ණ සංකලනය තුළින් පිටරට තාක්ෂණයෙන් සැදූ වර්ණ ආලේපනවලට වඩා සාර්ථකව සීගිරි චිත්‍ර යථා තත්ත්වයට පත් කළ හැකි වූ බව ලුසියානෝ මරන්සි මාධ්‍යයට පවසන ලදී.

 

 


අද මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් පෞරාණික කිතුනු දේවස්ථානවලට කළ විනාශය ගැන දෙස් විදෙස් විචාරකයන් කම්පා වූ සේම එදා සීගිරි ළඳුන්ට කළ විනාසය ගැන ද ලොව පුරා රසිකයෝ කම්පා වූහ. සංස්කෘතික කටයුතු අමාත්‍ය අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල ප්‍රධාන සංස්කෘතික නිලධාරින් තැනට සුදුසු ලෙස ක්‍රියාකරමින් සීගිරි ළඳුන් බේරා ගත්තත් අපරාධකරුවෝ නීතියේ රැහැණින් පලා ගියහ.


සීගිරියේ තවත් ඓතිහාසික ස්ථානයක් වූ කැටපත් පවුර කුරුටු ගා හානි කළ තරුණ පිරිසක් කලින් අත්අඩංගුවට ගන්නා ලදී. එක් තරුණියක් කොණ්ඩා කට්ටකින් කැටපත් පවුරේ තම අදහස් පළකරන්නට දෝ සූරා තිබිණ. ඇය ද නීතියේ රැහැණට කොටුවූවාය.


කෙසේ වෙතත් 1968.05.09 දින සීගිරි රජදහනේ පැරණි රාජ සභා මණ්ඩපයේ පැවැති රාජකීය උත්සවයකදී සීගිරි චිත්‍ර ගුහාව අමාත්‍ය ඊරියගොල්ල මැතිඳුන් විසින් යළි ජනතාවට විවෘත කරන ලදී. දෙස් විදෙස් රාජ්‍ය නියෝජිතයන් උඩරට නැටුම් ප්‍රධාන පංච තූර්ය නාදය ඔස්සේ කැඳවා ගෙන යන ලදී. එහි නැටුම් මෙහෙයවන ලද්දේ පණිභාරත සූරීන් විසිනි. එදා රජය ක්ෂණිකව ගත් ක්‍රියාමාර්ග නිසා සීගිරි රජදහන චිරාත් කාලයක් මෙහි පවතිනු ඇත.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි