විදුලකර පිරිවෙනේ භික්‍ෂු සටන් - 05
භාරතයේ ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා සම්ප්‍රදයානුකුලව විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කරයි.
සිංහල භාෂාවට අපූරු වදන් වැලක් එක්කිරීමට මෙම වියතා සමත්විය. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ධනේෂ්වර පන්තියට යෙදෙන නමක් වූ ‘ජනතා විරෝධී’ යන්නට සමාන වදනක් එතෙක් සිංහල භාෂාවේ නොවීය. ප්‍රතිගාමී යන වදන ඊට හඳුන්වා දුන්නේ සිරි සීවලී හාමුදුරුවෝය. ප්‍රතිගාමී යන්නට විකල්ප වදන නම් ප්‍රගතිශීලි යන්නය. එයද සිරිසීවලි හිමියන්ගේ නිර්මාණයකි.
එසේම ධනවාදය, සමාජවාදය, උප කුලපති, සංස්කෘතිය, ජ්‍යාමිතිය, වාතාවරණය, පරිසරය, මනෝවිද්‍යාව, ශ්‍රම ශක්තිය, පෝෂණය, භෞතිකවාදය ආදී වදන් රැසක් උන්වහන්සේ සිංහලයට හඳුන්වා දුන්නේය. “සිසී” යනුවෙන් උන්වහන්සේ ලියූ පොත්වලින් වඩාත් ජනප්‍රියවූයේ “මගේ මාමා” නමැති ගැමිකතාවයි.
“සීවලී හාමුදුරුවෝ වඩිනවා” යන්න ඇසූ සැණින් බණගෙදරකට, සම්මන්ත්‍රණයකට හෝ දේශපාලන වේදිකාවට බාල තරුණ මහලු ජනතාව රැස්වූයේ හොඳ කියුම් ටිකත් අහගන්නටය.
50 - 60 - 70 මැතිවරණ වලදී දිගින් දිගටම දේශන පවත්වා වැස්සට, පින්නට අසුව සෙම් කෝප වී අසනීප වූ උන්වහන්සේ රාත්‍රී ඝන අඳුරේම තමන්ට අයත් මොරිස් මයිනර් රියෙන් පෑලියගොඩ පිරිවෙනට වඩිමින් සිටියහ.
හාමුදුරුවන්ට අමාරු බව වැටහුණු රියැදුරු බණ්ඩයියා රථය සෙමින් ධාවනය කළේය.
“හාමුදුරුවනේ බේත් ටිකක් ගමුද?’‘ ඔහු ඇසීය.
“ඕන නෑ බණ්ඩයියා” සීවලී හිමියෝ දෑස පියාගෙන හුන්හ. “පුළුවන් නම් කොත්තමල්ලි ටිකක් අරන් ගිහින් තම්බගෙන බොමු” සිරි සීවලි හාමුදුරුවෝ ඉංග්‍රීසි බෙහෙතට වඩා දේශීය බෙහෙතට ආදරය කළ බව නොරහසකි.
එහෙත් එම යුගයේ කොත්තමල්ලි හිඟයක් රටපුරා පැවතිණි. බණ්ඩයියා රථය නවතා සුපිරි වෙළෙඳසල් කිහිපයකටම ගොස් බැලූ නමුත් කොත්තමල්ලි නොවීය.
“කොත්තමල්ලි නම් නෑ හාමුදුරුවනේ”
“තමුසෙ කොහෙද බැලුවේ” හාමුදුරුවෝ ඇසූහ. අන්න අර පුංචි ලෑලි කඬේ බලනවා. අන්තිම ලෑල්ලත් වහන්න කලින් ගිහින් බලනවා. හාමුදුරුවෝ කුඩා එළියක් පෙන්වා කීහ.
පුදුමයකි, එහි ඕනෑ තරම් කොත්තමල්ලි විය.
“බලන්ට බණ්ඩයියා ලොකු මිනිස්සු ළඟ නැති ගුණදායක දේවල් පොඩි මිනිස්සු ළඟ තියෙනවා කියන්නෙ ඕකනෙ” යළි රිය ධාවනය වෙද්දී සිරිසීවලී හිමියෝ කීහ.
බණ්ඩාරනායක අගමැතිතුමා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය විවෘත කිරීමේ උත්සව සභාව ඇමතූ අයුරු.
භික්‍ෂු දේශපාලනයට එරෙහි එජාප රජයට පක්‍ෂපාත මහජන නියෝජිතවරු ඇතුළු කථිකයෝ විද්‍යාලංකාර පිරිවෙන පතුරු යනතුරු විවේචනය කළහ. එක්තරා දේශපාලන නොවන රැස්වීමකදී සිරිසීවලී හිමියන් වේදිකාවේ සිටියදී ප්‍රභූ දේශපාලනඥයෙක් දේශපාලන භික්‍ෂූන් හැඳින්වූයේ දවල්ට බණ කියා රෑට හොරකමේ යන දෙබිඩි චරිත ලෙසිනි.
“දේශපාලනය කරන චීචරධාරීන් දවල්ට රටට බණ කියලා රෑට හොරකමේත් නොහොබිනා දුරාචාර ගමන් වලත් යනවා. එහෙම අයගෙන් සාසනය බේරගන්න එක අපගේ වගකීමක්.” දේශපාලනඥයාගේ කතාවෙන් පසු සිරිසීවලී හිමියෝ නැගී සිටියහ. “මේක දේශපාලන රැස්වීමක් නොවෙයි. අලුත් පරම්පරාව අප කියන කරන දේ ගැන බලා සිටින නිසා මේක නොකියාම බැහැ” යැයි කතාව ඇරඹූහ.
“දුරාචාරය” ගැන ගරු ඇමැතිතුමා කතාකළා. මං නම් හිතන්නේ දුරාචාරය කියන්නේ දවල්ට බණ කියලා රෑට දඩාවතේ යන භික්‍ෂුවක් කියන උදාහරණය ඊට ගැළපෙන්නේ නෑ. ඒක හරියටම මහ දවල් සුදු ඇඳගෙන පාරේ රවුම් ගහන මහජන මන්ත්‍රී කෙනෙක් වගේ කියලා මට පේන්නෙ.
දේශපාලනඥයාට හීන්දාඩිය දැමූ අතර සිරිසීවලි හිමියන්ගේ අදහස තේරුම්ගත් ජනතාව කොක් හඬලා සිනාසුණහ.
බි්‍රතාන්‍ය කිරීටයට මෙරට යටත්ව තිබූ යුගයේ බි්‍රතාන්‍ය කුමාරවරයෙක් මෙරට සංචාරයක් සඳහා පැමිණි අතර ඔහුගේ භාෂා පරිවර්තක ලෙස සිරිසීවලී හිමියෝද වැඩම කළහ. වෙනත් සංචාරක මග පෙන්වන්නන්ට වඩා සත්‍යවූත්, පුරාවිදා්‍යාත්මක වූත්, ශාස්ත්‍රීයවූත් දේශීය අනන්‍යතාව විදහා පෙන්වන අර්ථකථනයකුත් විදේශීය අමුත්තන්ට ලබාදීමේ කුසලතාව සිරිසීවලී හිමියන්ට විය.
තිස්සමහාරාම පූජා භූමිය අසල පිහිටි පැරණි සුවිසල් කොහොඹ රුක අසල කුමරා නැවතුණේය. එහි කොළ මිටක් රැගෙන රස බලන මෙන් උන්වහන්සේ කුමරාගෙන් ඉල්ලා සිටියහ.
“හරිම තිත්තයි”
“එහෙනම් විහාරය පැත්තට තියෙන කොළ වලින් හපලා බලන්න” උන්වහන්සේ පැවසූහ.
පුදුමයකි. එම කොළ ඉතා පැණි රසය “එහෙම වුණේ කොහොමද?” කුමාරයා උන්වහන්සේගෙන් විමසුවේය.
“ඒක තමයි බුද්ධාගමේ තියෙන හරය. පැත්තක් තිත්තයි, අනිත් පැත්ත රසයි” සිරිසීවලී හිමියෝ පහන් සංවේගය, පළකරමින් කියාදුන්හ.
විද්‍යාලංකාර පිරිවෙනේ නිර්මාතෘ රත්මලානේ ධර්මාලෝක නාහිමි, දෙවැනි පරිවේනාධිපතිව වැඩවිසූ රත්මලානේ ධම්මාරාම නාහිමි, තෙවන පරිවේනාධිපතිව වැඩවිසූ ලුණුපොකුණේ ධම්මානන්ද නාහිමි, සිව්වන පරිවේනාධිපති වැඩවිසූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර උපකුලපති නාහිමි, පස්වන පරිවේනාධිපතිව වැඩවිසූ යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි, සයවන පරිවේනාධිපතිව වැඩවිසූ නාත්තන්ඩියේ පක්‍ද්ක්‍දාකර නාහිමි සහ වත්මන් පරිවේනාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ආදී නාහිමිවරුන් කලින් කලට දේශපාලන මතවාද සුළි සුළංවලට ගොදුරුව ඉන් ජයග්‍රහණය ලැබූ කීර්තිමත් මහ සඟරුවන වෙති.
එසේ වුවද මෙම මතවාද නිසා අල්පමාත්‍රයකින් හෝ තම භික්‍ෂුත්වය මෙන්ම අනන්‍යතාව කෙලෙසා නොගත් ආදර්ශමත් පරපුරකි.
එසේම මෙම ශාසනික හා දේශපාලනික අර්බුදවලදී උන්වහන්සේලාට ධෛර්ය, ශක්තිය හා ආශිර්වාද ලබාදුන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ශ්‍රීමත් නිකැලස් ආටිගල ආදීකොටගත් විද්‍යාලංකාර දායක සභා ප්‍රභූවරුද අමතක කළ නොහැකිය.
ඡායාරූප / සටහන :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි