සුද්දගෙ කාලේ සාගත ආ හැටි


 

මේ දිනවල රටේ පවතින කතාබහේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ සහල්ය. ජනතාවගෙන් අතිබහුතරයක් බත් කන මිනිසුන් ජීවත් වන රටක බත් නිපදවන සහල්වලට එවැනි මුල් තැනක් හිමිවීම ස්වභාවිකය. බීමට ජලය පවා හිඟවෙන අයුරින් නියඟයක් ඇතිවේ යැයි අනාවැකි කියවෙන මොහොතක බතට සහලුත් නැති වුවහොත් එය අත්‍යන්තයෙන්ම ජාතික අර්බුදයක් නිර්මාණය කරන සිදුවීමක් වනු නොඅනුමානය. එහෙත් යම් ප්‍රමාණයක වර්ෂාවක් ලැබෙමින් පවතින නිසා රටේ ජලය හිඟයක් හෝ ඒ ආශ්‍රයෙන් වගා බිම් පාළුව ගොස් වී නිෂ්පාදනය අඩාල වනු ඇතැයි බියවීමට හේතුවක් නැතැයි යනුවෙන් ද බොහෝ දෙනා අදහස් පළ කරති.

 

රටේ දේශගුණික, දේශපාලනමය හෝ ආර්ථිකමය කුමන සාධකයක් මත හෝ යම් කිසි භාණ්ඩයක් ආනයනය කිරීම මෙන්ම නිෂ්පාදනය අඩුවන බවක් කියවුන වහාම සිදුවන සංසිද්ධියක් වනුයේ එම බඩු සැඟවීමයි. නොඑසේනම් නිෂ්පාදනය අඩු කිරීමයි. එහි නියත ප්‍රතිඵලය වන්නේ උග්‍ර හිඟයක් නිර්මාණයවීම මෙන්ම ඒවා වැඩි මිලට විකුණන කළු කඩයක් ඇතිවීමයි. මෙම ප්‍රවණතාව නිසා සහල් පිළිබඳවද එවැනි කෘත්‍රිම හිඟයක් සහ මිල ඉහළයාමක් ඇති කර ඇති බව රජය පාර්ශ්වයෙන් කියවේ. මෙම වෙළඳ මාෆියාවේ කටයුතු පාලනය කර ජනතාවගේ ආහාරයට ප්‍රමාණවත් සහල් ප්‍රමාණය ලබාදීමට රජය විවිධ ක්‍රමෝපායන් යොදමින් සිටී. එහි ප්‍රථම පියවර වශයෙන් මිල පාලනයක් ගැසට් කර තිබුණි. ඒ හිඟයක් ඇති නොවීම සඳහා ගනු ලබන ආරක්‍ෂක පියවරක් හැටියටය. 


එපමණකින් නොනැවතුණු රජය සහල් ටොන් විශාල ප්‍රමාණයක තොගයක් පිටරටින් ආනයනය කිරීමට තීරණය කළේය. එහෙත් විශාල වී තොග රැස් කරගෙන ඇති මහා පරිමාණ මෝල් හිමියන් එම වී තොග සඟවාගෙන සහල් නිෂ්පාදනය නොකර සිටින බව රජයට වාර්තා විය. ඒනිසා මෙම මෝල් වටලා වී තොග එළියට ගත යුතු යැයි රජයේ බලවත් කැබිනට් ඇමතිවරයෙක් නොබෝදා ප්‍රකාශ කළේය. තිරයෙන් පිටුපස සිදුවෙමින් පවතින දෙය ගැන රජයේ වගකීව යුක්තන්ටම වැටහී ඇති බවට එය කදිම සාක්‍ෂියකි. මෙවැනි පසුබිමක් මත සහල් ආනයනය කිරීම, බෙදාහැරීම සහ අලෙවිය පුද්ගලික අංශයට පැවරීම උද්ගතව ඇති ප්‍රශ්නයට විසඳුමක් නොවන බව අවබෝධවීම නිසා එම ක්‍රියාමාර්ග තුනම රාජ්‍ය අංශයේ ශක්තිමත් ව්‍යූහයක් සහිත ස.තො.සට පවරන බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්ව ඇත්තේ බලවතුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමිනි. 


ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ ආරම්භක ඉතිහාසය දක්වාම සහල් කෙරෙහි අපේ ඇති සබඳතාව විහිදී යයි. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුන වකවානුවේ සිටම අපේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. ආර්යාගමනය සිදු වූයේ කවදාද? එදා සිටම මෙරට කෘෂිකාර්මික රටක් ලෙස සැලකුණි. අනුරාධපුර, පොළොන්නරු රාජ්‍ය සමයන්හිදී මහ සමුදුර පරදන වැව් බැඳ වර්ෂා කාලයේදී ඇළ, දොළ, ගංගා ඔස්සේ මුහුදට ගලා යන ජලස්කන්ධය එම වැව් තුළ රැස්කර වියළි කාලවලදී ගොවි කර්මාන්තය සඳහා රැස්කර තැබීමට අපේ මුතුන්මිත්තෝ කටයුතු කළහ. “අහසින් වැටෙන එක් දිය බිඳක් හෝ නිකරුණේ මහමුහුදට ගලා යාමට ඉඩ නොදෙව්” යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළේ එබැවිනි. එහෙයින්ම මෙරට සහලින් ස්වයංපෝෂිත වූවා පමණක් නොව විදේශයන්ට යැවීමටද හැකි වූ බවට අපේ ඉතිහාසය සාක්‍ෂි දරයි. ශ්‍රීලංකාව “පෙරදිග ධාන්‍යාගාරය” වශයෙන් ප්‍රකට වූයේ එබැවිනි.


මෙවැනි උරුමයකට හිමිකම් කීවේ වූවද නියඟය ඉතා උග්‍ර අතට හැරුණු සමහර යුගයන්හිද ගොවිතැන් පාළු වී බීමට දිය පොදක් සොයා ගැනීමට නොමැතිව මිනිසුන් දුක් පීඩා විඳින ලද අවස්ථාවන්ද ඉඳහිට පැවති බවද ජනප්‍රවාදයේ කියැවේ. අනුරාධපුර රාජධානි සමයේදී දොළොස් වසරක් පුරා පැවති දැඩි නියඟයක් හේතුකොට ගෙන මහා විපතකට මුහුණ දීමට සිදු වූ බව කියවේ. “බැමිණිටියා සාය” නම් වූ එම සාගතය නිසා ඇති වූ ආහාර හිඟය නිසා අනුරාධපුර විහාරවාසී මහා සංඝයා වහන්සේලා ‘කරකොළ’ දානය සඳහා වැළඳූ බව පැරණි වෘත්තාන්තයන්හි දැක්වේ. ඒ වෙනත් ආහාරයක් සොයා ගැනීමට නොහැකි වූ නිසාය. මේ වකවානුවේත් කොස්කොළ, ක්‍රෝටන් කොළ ගැන කථාකරන්නේ ඉතිහාසයේ එවැනි අත්දැකීම් අනුසාරයෙන් යැයි මම අනුමාන කරමි.


සිංහල සංස්කෘතිය, සභ්‍යත්වය සහ ශිෂ්ටාචාරය බිහි වී ඇත්තේ බත සහ ඒ නිපදවන වී වගාව ආශ්‍රයෙන් බව නොරහසකි. ඉතා ඈත අතීතයේදී පවා ‘වැවයි- දාගැබයි.’ වැනි සංකල්පයන් ප්‍රකාශ වී ඇත්තේ එබැවිනි. එහෙත් 1505 දී සිදු වූ පෘතුගීසි ආගමනයත් සමග ඇති වූ යටත් විජිතවාදි බලපෑම නිසා මෙරට කෘෂිකර්මාන්තය විනාශයට පත් වූ බව අපි දනිමු. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන බටහිර ජනවර්ග තුනෙහිම පාලන යුගයන්හිදී මෙරට ගොවිතැන දියුණු කිරීමට ඔව්හු උනන්දුවක් නොදැක්වූහ. ආහාරයෙන් ස්වයංපෝෂිත ජනතාවක් දිගුකලක් තමන් යටතේ වහල්භාවයෙන් රඳවා තබා ගත නොහැකි බව ඔව්හු දැන සිටියහ. අනෙක් ජාතීන් දෙකට මේ රටින් අල්ලා ගත හැකි වූයේ බොහෝ කොට අල්ලාගෙන පාලනය කළ හැකි වූයේ මුහුදුබඩ පළාත් පමණකි. අනෙක් ප්‍රදේශ ද ආක්‍රමණය කිරීමට සමත් වූ නමුදු සමස්ත ලංකාවේම පාලනය කිසි කලෙකත් ලන්දේසින්ට හෝ පෘතුගීසින්ට අයත් වූයේ නැත. එහෙත් ඉංග්‍රීසින්ගේ තත්ත්වය එයට වඩා වෙනස් විය. 1815 මාර්තු දෙවැනිදා මහනුවරදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගින් ශ්‍රී ලංකා රාජ්‍යය මුළුමනින්ම ඉංග්‍රීසි පාලනයට භාරදීමට මෙරට ප්‍රභූවරු කටයුතු කළහ. ඔවුනට එරෙහිව 1818 දී උඩරට කැරැල්ල ආරම්භ වූයේ ඌව - වෙල්ලස්ස ප්‍රදේශයෙනි. කුඹුරු ලක්‍ෂයක් තිබුණේ යැයි නමින්ම කියවෙන වෙල්ලස්ස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර වැව් අමුණු කඩා බිඳ දමන ලද්දේ යළි සිංහල පාලනයක් ඇතිකර ගැනීමේ ශක්තිය පවතින්නේ ස්වයං පෝෂිත ජාතියකට පමණක්ය යන පදනමේ පිහිටමිනි.


වෙළඳාම අරමුණු කර ගෙන සමුදුරට බැස විදේශයන් තම ග්‍රහණයට ගැනීම ආරම්භ කළ බටහිර ජාතීහු නිරන්තරයෙන්ම වෙළඳාම මූලික කොට සැලකූහ. තමන්ට යටත් රටවල නිපදවන සහල් ශ්‍රී ලංකාවට ආනයනය කර සපයා දීමෙන්ද ඔව්හු අධික ලාභ ලැබූහ. මෙම ක්‍රමයට හුරු වූ මෙරට වැසියන්ද තම අභිමානවත් ඉතිහාසය හා උරුමය අමතක කොට නව ක්‍රමය ආදරයෙන් වැලඳගත්හ. එය උපහාසයෙන් යුතුව හඳුන්වන ලද්දේ “නැවෙන් කටට” ප්‍රතිපත්තිය යනුවෙනි. සුද්දන්ගේ රජයේ රැකියාවකට ගොස් මාසික වැටුපක් ලබාගෙන එම මුදලෙන් ආහාර මිලදී ගැනීමට හැකියාව තිබියදී මඬේ ලගිමින් අව්වේ වේලෙමින් අත්වල කරගැට එනතුරු කුඹුරු කොටන්නේ කුමකටදැයි මෙරට තරුණයෝ සිතන්නට පටන් ගත්හ. කුඹුරු ගොවිතැන නොවැදගත් හා සමාජය පිළිනොගන්නා රැකියාවකැයි යන අදහස ඔවුන්ගේ සිත්සතන්හි රෝපණය විය. ඒනිසා ශ්‍රී ලාංකික තරුණ පරපුර තම සම්ප්‍රදායික ක්‍ෂේත්‍රය වූ ගොවිතැනින් ඈත් වූහ. තම වගා බිම් බලහත්කාරයෙන් මුඩුබිම් පනත යටතේ අත්පත් කරගත් බි්‍රතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද උඩරට වතු වගාවල සේවය කිරීමටද උඩරට මධ්‍යම කඳුකරයේ සිංහල ගැමි ජනයා එකඟ නොවූහ. මෙම හේතුව නිසා දකුණු ඉන්දියාවෙන් කුලීකරුවන් මෙරටට ගෙන්වීමට බි්‍රතාන්‍ය වතු හිමියන්ට සිදුවිය. සුද්දන් මෙම තත්ත්වය විස්තර කළේ “සිංහලයා කම්මැලියෙකි” යනුවෙනි. 


එමෙන්ම යටත් විජිතවාදී පාලකයන් පනවනු ලැබූ විවිධාකාර බදු නිසාද මේ රටේ වී වගාව ක්‍රමයෙන් අඩු වී ගිය බව කියනු ලැබේ. හරකුන් ඇතිකිරීම පිළිබඳව නීති පැනවීම කුඹුරේ වනාතට සහ කණු ප්‍රවේණිය යනුවෙන් හැඳින්වෙන බිම් කොටස් රජයට පවරාගෙන විශාල වතුවලට විකිණීම ආදී ක්‍රියාමාර්ග නිසා ගොවිතැන දුර්වල වූ බවද කියැවේ.


මෙම සියලු කරුණු නිසා බි්‍රතාන්‍යයන් මෙරට සම්පූර්ණ පාලනය භාරගෙන වසර පනහක් ගත වෙද්දී උග්‍ර සහල් හිඟයක් සහ සාගතයක් ඇති වූ බව පැරණි වාර්තාවල දැක්වේ. ඒ 1886 දී ය. මෙම තත්ත්වය ගැන සිය නිගමනය ප්‍රකාශ කළ එකල ආණ්ඩුකාර සර් හර්කියුලීන් රොබින්සන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව අමතා ප්‍රකාශ කළේ මෙම සාගතය ඇතිවීමට හේතුව සිංහලයාගේ අලසකම බවයි. ඒ ගැන පිළිතුරු දෙන 1866-10-11 වැනිදා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මෙසේ පළ කර තිබුණි. “ගොයි කර්මාන්තය දියුණුවට මෙරට වාසීන්ගේ අලසකම සහ මන්ද්‍රෝත්සාහය බාධාවක් යැයි උතුමාණන් වහන්සේ විසින් කියා තිබෙන නමුත් වී ගොවිතැනට වැව් අමුණු බන්දවා අනුබල දුන්නේ වී නම් අලසයෝ දැන් සිටින ප්‍රමාණය ඉතා ස්වල්ප කලකින් අඩුවෙනවාට අනුමාන නැත. පිටරටින් ගෙනෙන හාල් පිටරටින් ඇවිත් සිටින්නන්ටම පමණක් නොව නුවරවල් ස්වමීපයේ සිටින බොහෝ ස්වදේශිය වාසීන්ගේ ආහාරය පිණිසත් වියදම් වෙයි. මේ ගොවිතැනට යෝග්‍ය බිම් විකිණීමට පහසු විධියක් සලස්වා ඒවා වැඩකිරීම අත් නොහරින ලෙසට රේන්දයක් නියම කළේ නම් බොහෝ දෙනා ඒවා වැඩ කරන්නට ඕනෑ කරනවා ඇත”


මේ සහල් ප්‍රශ්නය ගැන කරුණු පැහැදිලි කරන තවත් පුවත්පත් වාර්තාවක් මෙසේය. “ඒ වෙනුවට මුදලෙන් ගෙවන්ට ගියොත් ගොයි රාළ ණය වෙන්ට ඕනෑ. එක එකා හම්බවුනු දවසට මුදල ගෙවනවා නොවේදැයි කල්පනාවෙන් අඹු දරුවන් එකතුවී වී ටික තම්බාගෙන කෑවාම මුදල පොලීවීමෙන් නොහොත් හිඟ හිටින ණය එකතුවීමෙන් කුඹුරු කෑල්ලක් විකිණෙන්නට කාරණා පැමිණෙයි. නොබෝදා මඩබද්ද පැවතුන කාලය ඇතුළත අවුරුද්දකට කුඹුරකට සිලිම් තුන හතරක් බැගින් ගෙවන්ට නියම වූ එම මුදල හතර පස් අවුරුද්දේ ඒවා එකතු වී එය ගෙවා ගන්ට බැරුව බොහෝ අයගේ ඉඩම් විකුණුනා අපි දනිමු. පාවර ගොඩ තිබුන දවසේ වියෙන් ඔත්ත ගෙවන සිරිත පැවැත්තුවානම් ඒ අසරණ ගොයින්ට ඒ හැටි වෙන්නේ නැහැ. එසේ කළා නම් ඔවුන්ගේ ඉඩම් තවම ඔවුන්ට භුක්ති විඳින්ට පුළුවන් වෙනවා ඇති” 


මේ ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය විශේෂයෙන් සහල් හිඟය උග්‍ර වී සාගතයක තත්ත්වයකට ජනතාව ඇදවැටුණි. රට වැස්සනට ආහාරය පිණිස සහල් නොමැතිවීමෙන් මහා අර්බුදයක් නිර්මාණය විය. 1866 ඔක්තෝබර් මාසය එළඹෙන විට රට පුරා බඩගින්න රජ කරන්නට විය. හාල් බුසල් පන් දහසක් සපයාගෙන පොලිසිය යොදවා බුසල් කාල බැගින් බෙදාහැරීමට කටයුතු යොදා තිබුණි. ඒ ගැන පුවතක් පළ කරන 1886 ඔක්තෝබර් 18 වැනිදා ඥානාර්ථ ප්‍රදීපය පත්‍රය මෙසේ පළ කළේය. “අපේ පසුගිය පත්‍රය නිකුත් කළාට පසු හාල් ගණන් බොහෝ වැඩි වී දැනට බුසලයක් සිලින් 16කට විකුණති. කොළඹ හරි වීදියේ ගුදන්වල තිබෙන හාල් ටික විකිණීමට ප්‍රථමයෙන් පිටින් හාල් නොගෙනාවොත් මෙහෙත් දුර්භික්‍ෂයක් හටගන්නවා සත්තකයි. දුගීන්ගෙන් බොහෝ දෙනෙක් දැනට කන්නේ එක වේලයි. සමහරෙකුට එපමණකුත් නැහැ. ඉන්දියාකරේ නොබෝදා දුර්භීක්‍ෂ වැදී ආහාර හිග වී දුගීන්ට අමාරු පැමිනුන විට එහි සිටිනා ධනවත් අය ඔවුන්ට උපකාර කළ බව ප්‍රවෘත්ති පත්‍රවල සඳහන් කර තිබුණා අපි දුටිමු. අපේ රටෙත් සිටින ධනවත් මහත්තැන් ඒ යහපත් ආද්‍රිසය ගෙන ප්‍රසිද්ධ සම්මුතියක් රැස් කර දුගීන්ට උපකාර කිරීමට සිතට ගත්තේ වී නම් කොපමණ හොඳද?..... මෙහෙම සන්ධිවලදී වෙන රටවල ආණ්ඩු කාරයෝ පීඩා විඳින්නන්ට සහාය වෙති. නමුත් අපේ රටේ ආණ්ඩුකාරයෝ මේ වනතුරුම කිසි සහායක් වීමට සිතට නොගෙන සිටින බව දැකීම අපට මහත් කණගාටුවකි. ආණ්ඩුවේ මුදල් භාණ්ඩාගාරයේ නිදන් කර තිබෙන මුදලින් ටිකක් මෙහෙම වතාවකදීවත් වියදම් කරන්ට නරකවදෝ”


කරුණු මෙසේ යෙදෙද්දී බඩගින්න උසුලාගන නොහුණු ජනයා නීති විරෝධී කටයුතුවලට පෙණඹුනහ. සහල් වෙළඳසැල් කඩා ඒවා මංකොල්ල කන පරිසරයක් උදාවිය. කොළඹ  පමණක් නොව ගාල්ල සහ මහනුවර ආදී ප්‍රදේශවල සහල් ගබඩා කඩා ඒවා පැහැර ගැනීම දිගටම පැවතුණි. මෙම තත්ත්වය නිසා රටේ ජනතාව විඳින දුක් වේදනා සමනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් මගින් ආණ්ඩුකාරවරයාට කරුණු දැක්වීමටද පිරිසක් කටයුතු කළහ. එම පෙත්සම මෙසේය.


“වංශාධිපති සර් හර්කියුලස් රොබින්සන් ලංකාද්වීපයේ උතුමාණන් වහන්සේ ප්‍රමුඛව නීති ප්‍රතිපාදක මන්ත්‍රී සභාවට ලංකාවාසී පොදු ජනයා විසින් ඔප්පු කර සිටින යාඥා පත්‍රයයි.


යටත් භාවයෙන් ඔප්පු කර සිටින්නේ මෙහි පහත නම් සඳහන් වෙන ලංකාද්වීපයේ නොයෙක් පළාත්වල වැසි සිංහල දෙමළ ජාතියේ අප සියල්ලෝම ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අපට දෙවා වදාරා තිබෙන නොයෙක් යහපත් ප්‍රයෝජනවත් වැඩදායක යෝජනාවල් නිසා මුළු හිතින් ස්තුති කරමු.


මෙම ද්ව්පයේ වාසී අප සියල්ලන්ගේම ශරීර පහසුව පිණිස අපට පැවරී තිබෙන යම් යම් දේ සම්පාදනය කර දුන් කරුණාවන්ත වූ ආණ්ඩුව විසින් අපේ ශරීර රක්‍ෂාව පිණිස අවශ්‍ය වූ ආහාරය සපයා ගැනීම පිණිස අපට පැමිණී තිබෙන අමාරුකම් සහ බාධාවන් ස්වල්ප වශයෙන්වත් ඒත්තු ගෙන ඊට සෑහෙන උපකාරයක් සලස්වා දෙනවා ඇත යන ප්‍රාර්ථනාවෙන් ඔබ වහන්සේලාගේ සභාවට මෙම යාඥාපත්‍රය එවීමට කල්පනා කළෙමු.


ශ්‍රී ලංකාවාසී වූ අපේ ප්‍රධාන ආහාරයට සහල් පිටරටවලින් මෙහි ගෙනවුත් විකුණන ගනනට අපෙන් බොහෝ දෙනෙක් මේ වෙනතුරු මුදල් දී අසරණකමින් අපේ ජීවිකාව රැක ගතිමු.....
මතු සම්බන්ධයි.