සූරිය මලෙන් උපන් බොරලුගොඩ සිංහයා


තම බිරිඳ හා දරුවා සමග සිරබත් කෑ විප්ලවීය නායකයකු මෙරට වී නම් ඒ වෙනකෙකු නොව බොරලුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධනය. ඒ ඉන්දීය නිදහස් සටනට සම සමාජවාදීන් සමග සම්බන්ධ වූ චෝදනාව මතය.


1945 මැයි මස 30 වැනිදා අමාත්‍ය ඒ. පී. ජයසූරිය විසින් දේශපාලන සිරකරුවන් මුදවාහැරීමේ යෝජනාව ගෙනැවිත් සම්මත කර ගනු ලැබිණි. එහෙත් සුදු පාලකයෝ විප්ලවවාදීනට බුරුලක් නොදුන්හ. එබැවින් පුරා දින 14 ක් සිර මැදිරිය තුළ මාරාන්තික උපවාසයකට එළැඹුණ අතර අනතුරුව ඔවුන් නිදහස් කෙරිණ. 


පාරම්පරික ධනය, දේපොළ හා නිලතල තිබියදී නිර්ධන පන්තියේ ජනතාව අතරට වැදී සුද්දන්ගෙන් බැට කෑම පිලිප්ගේ ඉරණම විය. 


සුදු පාලකයන්ගෙන් ලැබුණු විදානාරච්චි පදවියක් ඉසිලුවද පිලිප්ගේ පියාණන් වූ දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන හෙවත් බොරලුගොඩ රාලහාමි සතු වූ සිංහල බෞද්ධ අභිමානයෙහි අඩුවක් නොවිණ. 
ඔහුගේ ක්‍රියාමාර්ග අනුමත නොකළ සුදු පාලකයෝ වරදක් පටවා ඔහු අත්අඩංගුවට ගෙන නඩු අසා මරණ දඬුවම නියම කළහ. පිලිප් පුතා මුරකාවල් නොතකා රජ මැදුරට ගොස් ආණ්ඩුකාරවරයාට කරුණු දක්වා පියා මරණයෙන් බේරා ගත්තේය. 


1901 ජනවාරි 11 වැනිදා අවිස්සාවේල්ල, බොරලුගොඩ දී උපත ලැබ ගමේ පාසලෙන් අකුරු කර ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා වේල්ස් කුමාර විදුහලටත් කොළඹ ආනන්ද මහා විදුහලටත් ඇතුළත්ව උසස් අධ්‍යාපනය උදෙසා ඇමරිකාවට යැවූ පිලිප්ට පෙර අපර දෙදිග භාෂා ශාස්ත්‍රයට අමතරව දේශපාලන දැනුම ද නිරතුරුවම ලැබිණ. 


ඒ අනුව ඇමරිකාවේ විප්ලවකාරී ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමග රංචු ගැසී බි්‍රතාන්‍ය අදිරදවාදයට හා වර්ණභේදවාදයට එරෙහිව සටන් මඟට බට පිලිප් ඉන්දියානු ශිෂ්‍ය සංගමයේ ට්‍රොට්ස්කි කණ්ඩායමට එක් විය. ඔහුට මිත්‍රයන් පිරිසක්ද එහිදී හමු විය. 


පසු කලෙක මෙරට සමාජවාදී චින්තනයේ නියමුවන් වූ ඇන්. ඇම්. පෙරේරා, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා හා ඇස්. ඒ. වික්‍රමසිංහ වැනි සහෝදරවරුන්ය. දකුණු කොළඹ තරුණ සමිතියට බැඳී අප රට තුළ ද නිදහස් අරගලයට පන්නරය දුන්නේය. 


සුද්දන් හඳුන්වා දුන් පොපි මල වෙනුවට දුක් විඳින ජනතාව නගා සිටුවන අරමුණින් හඳුන්වා දුන් සූරියමල තුළින් නිදහස පිළිබඳ පණිවිඩුය ගෙන ආවේය. 1934 දී ගම් නියම් ගම් පුරා පැතිර ගිය මැලේරියා වසංගතය නිසා රෝගිව අසරණ වූ තුන් කෝරලයේ ජනයා වෙත ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව ආහාර පාන ද සපයා දුන්නේ සූරියමල් ව්‍යාපාරය තුළිනි. 


1935 දෙසැම්බර් 9 වැනිදා පිලිප් ඇතුළු වාම බලවේගය විසින් මරදාන ලෝරන්ස් විදුහලේ දී ලංකා සම සමාජ පක්ෂය බිහිකරන ලදී. 


1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වාම බලවේගයේ තීරණාත්මක සාධකයක් විය. පිලිප් අවිස්සාවේල්ල දිනුවේ පැරණි සභාපති ෆොරැස්ටර් ඔබේසේකර පරදවමිනි. ඇන්. ඇම්. රුවන්වැල්ල දිනුවේය. රුහුණු ගොවිපුත් ඩී. එම්. රාජපක්ෂයේ සහය ඔවුන්ට හිමි විය. 


සම සමාජයේ පූර්ණ අනුග්‍රහයෙන් සුළුතර මහජන නියෝජිතයකු වූ කන්දයියා වෛද්‍යනාදන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායක ධුරයට පත් කර ගැනීමට යෝජනා කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් විය. ජයග්‍රහණය කළේ ප්‍රැන්සිස් මොලමුරේය. එයින් අනතුරුව නව ප්‍රගතිශීලී යෝජනා මාලාවක් සමසමාජය මගින් ගෙන එන ලදි. 


පොලිස් හා අධිකරණ කටයුතු ස්වභාෂාවෙන්ම සිදු විය යුතු බවට ඔවුන් ගෙන ආ යෝජනාව 1936 නොවැම්බර් මස 30 වැනිදා සම්මත විය. ගංගා ඇළ දොළ ඇසුරින් ජල විදුලිය නිපදවා එම බල ශක්තියෙන් ගම පෝෂණය කළ යුතුය යන ඔවුන්ගේ යෝජනාව පිළිගැනිණි. 


සුදු පාලකයන්ගේ හෙංචයියන්ට භාර දුන් ගම්මුලාදෑනි රටේ මහත්තයා විදානආරච්චි වැනි පරගැති නිලතල අහෝසි කළ යුතු යැයි ඔවුන් ගෙන ආ යෝජනාවද සම්මත වූ අතර වහාම පිලිප්ගේ පෙරළිකාර පියාණන් තම ගම්මුලාදෑනි තනතුරෙන් ඉල්ලා අස්විය. 


වතුකරයේ සේවයට ඉන්දියානු කම්කරුවන් ගෙන ඒමට එරෙහිව පිලිප් සහ ඇන්. ඇම්. ලා සටන් වැදුණු අතර එම කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට තරම් කෘතවේදී වූහ. ඒ සඳහාම කම්කරු සංගමය ගොඩනැගූහ. 


දේශීය ගොවියාට බිත්තර වී සැපයීම, ජල බද්ද නැති කිරීම ආදී කෘෂි ක්ෂේත්‍රයට බලපාන යෝජනා මාලාවක් ද රජ සබයට ගෙන එනු ලැබිණ. මෙම යුග පෙරළිය ගැන බියපත් වූ පාලකයෝ ජනතා රැස්වීම්වලට ප්‍රහාර එල්ල කිරීමටත් පිලිප් ඇතුළු පිරිසට ව්‍යාජ චෝදනා එල්ල කර සිර භාරයට ගැනීමටත් උපක්‍රම සෙවූහ. 


වරක් පිහි ඇනුම් චෝදනාවක් පටලවා පිලිප් සිර භාරයට ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ කරන ලද්දේ කොල්වින්ගේ නීති තර්ක නිසාය. 


එකල මානව හිමිකම් පිළිබඳ සුදු ජාතික ක්‍රියාකාරිකයකු වූ බ්‍රේස්පෝඞ්ල් නමැත්තා මෙරටින් පිටුවහල් කිරීමට සුදු පාලකයන්ට ඕනෑ විය. පිලිප්, ඇන්. ඇම්. කොල්වින් හා රොබට් ඇතුළු සහෝදරවරු එතැනදී ගත්තේ බ්‍රේස්ගර්ඩල්ගේ පැත්තය. ඇන්. ඇම්. රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ද කොල්වින් අධිකරණය තුළද මෙම සටන ගෙන ගියහ. බ්‍රේස්ගර්ඩල් පිටුවහල් කිරීමේ ආඥාව නිකුත් කළ වහාම ඔහු අතුරුදන් වුනි.


වෙරළුවත්ත ප්‍රදේශයේ ගල් ගුහාවක සහ බදුල්ලේ පාළු වෙළෙඳසැලක ඔහු සඟවා සිටි බව කියැවේ. ඔහුට සහයෝගය පළ කිරීමට ගාලුමුවදොර දී පැවැත් වූ රැලියකට පොලිස් ඇසට වැලි ගසා ඔහු ගෙන්වාගෙන පසුව පලා යාමට සැලැස්වූ බවට අපූරු කරුණු ද අතීතයෙන් ඇසේ.


සම සමාජය ඒ වන විට සෑම ක්ෂේත්‍රයක ව්‍යාප්තව තිබූ බැවින් සැම තැනම ඔවුන්ට උපකාරවීමට පාක්ෂිකයෝ සැදී පැහැදී සිටියහ. රටින් පලා ගිය පිරිස ඉන්දීය නිදහස් සටනෙහි නියැළි දේශප්‍රේමින්ට එක්වූහ. පිලිප් ඇතුළු පිරිස වෙස්වළාගෙන ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල දිවි ගෙවමින් තම ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට ඇප කැපව ක්‍රියා කළහ. වරක් පිලිප් ගුරුසාමි ලෙසින් වෙස් වළා ගත්තේය. බිරිඳ කුසුමා ද වෙස්වළාගෙන ඔහුට එක් වූවාය. වරක් ඇය තෙප්පමක නැගී ඔහු සොයා ගියාය. 


ඇමරිකානු සරසවි මිතුරකු වූ ජයප්‍රකාශ් නාරායන් සමග නිදහස් සටනට පිළිපන් පිලිප් මෙරට කම්කරු ජනතාවගේ වීරයා බවට පත් වූයේ 1947 කම්කරු වැඩ වර්ජනයට නායකත්වය දීමෙන් රත්මලාන සවුත් වෙස්ටර්න් බස් වර්ජනයේ දී බස් ධාවනයට ඉඩ නොදී දොරටුවේ නිදා ගත් අයුරු පැරැන්නන්ට මතකය.


1947 දී අවිස්සාවේල්ල අසුන වැඩි ඡන්දයෙන් දිනුවත් බස් සේවකයන් උසි ගැන්වීමේ වරදට පිලිප්ට තුන් මසක් සිරබත් කෑමට නියම විය. ඒ නිසා ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබූ පිලිප්ගෙන් ගිළිහුණු ධජය අතට ගත් කුසුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 1952 මහ මැතිවරණයේදී ඇය එම ජය තහවුරු කළාය. 


පිලිප්ලා ගොඩ නැගූ ලංකා සම සමාජය බොල්ෂෙවික් ලෙනින් පක්ෂය සමග එක් වූ බැවින් පිලිප් නව පක්ෂයක් බිහි කළේය. ඒ විප්ලවකාරී සම සමාජයයි.


මහජන එක්සත් පෙරමුණේ නායකත්වය දරමින් පංච මහා බලවේගය ඒකරාශී කරමින් බණ්ඩාරනායකයන් ඇරැඹු පෙරළියට අත දීමට පිලිප්ගේ පක්ෂය ද එක් විය.


ඔවුන්ගේ මුල්ම ජයග්‍රහණය වූයේ කටුනායක හා ත්‍රිකුණාමලය සුදු යුද කඳවුරු ඉවත් කර ගැනීමය. ඉංග්‍රීසි බස බටහිර ආර නිසා අසාධාරණයට ලක් වූ ස්වදේශික සිංහල හා දමිළ ජනතාවට තම ජාතික උරුමයන් රැක දීමේ දැවැන්ත පියවර රැසක් ගනු ලැබිණ. ආහාර හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරමින් දේශීය කෘෂි ආර්ථිකය නංවාලීමට පිලිප් ගුණවර්ධන නමැති දේශමාමකයා කළ යුග මෙහෙවර විශිෂ්ටය. ගම්බද ඉඩම් කැබලි කිරීම හා ගොවීන්ගේ ශ්‍රමය සුරා කෑම ආදී අසාධාරණයන්ට එරෙහිව කුඹුරු පනත ගෙන එමින්ද දස අවුරුදු කෘෂි සැලැස්ම හඳුන්වා දෙමින් ද සමාජවාදයේ අණසක පැතිරවූ පිලිප් අඳ ගොවියාගේ අයිතිය සුරකිමින් අතරමැදි ධනවාදීන් නිහඬ කළේය. 


වී අස්වැන්නෙන් හතරෙන් තුනක් ගොවියාට හා එක් කොටසක් ඉඩම් හිමියාටත් ලැබෙන පරිදි නීති සැකසිනි. වී ගොවිතැනට සමගාමීව දේශීය කෘෂි භෝග වගාවට අත දුන් අතර සමුපකාර ක්‍රමයට පොහොර හා කෘෂි උපකරණ ලබා දුන්නේ පිලිප්ගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළිනි. 


වරාය හා බස් ව්‍යාපාරය වැනි දේශීය ධනපතින්යන් අත තිබූ සේවාවන් ජනසතුකරණය කිරීමේ සමාජවාදී ක්‍රියාදාමයේ ප්‍රතිඵල අද ද භුක්ති විඳිමු. 


දේශපාලන යටිකූට්ටුකම් කුමන්ත්‍රණ හා හැලහැප්පීම් නිසා බණ්ඩාරනායක පිලිප් සබඳතාවට කණකොකා හැඬු අයුරු ප්‍රගතිශීලින් සිහි කරන්නේ බලවත් කම්පාවෙනි. 


1972 නව ජන රජයේ අරුණලු දකින්නට පළමුව 1972 මාර්තු මස 26 වැනිදා 73 වියේ පසු වූ පිලිප් ගුණවර්ධනයෝ දැයෙන් සමුගත්තෝය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි