සෙනෙට් සභාවේ සිට මැතිනිය රට කරවයි


1959 සැප්තැම්බර් 26 වැනි දින බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සසල වූ අතර අගමැති වශයෙන් බණ්ඩාරනායක මහතාගේ ඉතිරි ධුර කාලය ඩබ්. දහනායක වෙත පවරා දීමට අග‍්‍රාණ්ඩුකාරයාට සිදුවූයේ බණ්ඩාරනායක මහතා විදේශගතවීමට සූදානම්ව අගමැති ධුරයේ වැඩ ආවරණය කිරීමට දහනායක මහතා නම් කර ඒ වන විටත් ලිපියක් ලබාදී තිබුණු බැවිනි. නමුත් දහනායක මහතා අමාත්‍ය මණ්ඩලයේ හොඳ හිත දිනාගෙන වැඩකිරීමට අසමත් වූයෙන් ඇමැතිවරු ඉවත් කරමින් තමන්ට හිතවත් අය පමණක් තබා ගැන්මට කටයුතු කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ ආණ්ඩුව පවත්වා ගෙන යාමට අසමත් වීමය.


ඒ අනුව 1959 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර 1960 ජනවාරි 04 වැනිදා නාමයෝජනා දිනය ලෙසත් 1960 මාර්තු 19 වැනිදා මහ මැතිවරණය පවත්වන දිනය ලෙසත් ප‍්‍රකාශයට පත් කළේය. බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් ශ්‍රීලනිපයට පැහැදිලි නායකත්වයක් නොමැති වූ අතර සභානායක සී. පී. ද සිල්වා මැතිවරණය මෙහෙය වීය.


හිටපු අගමැති දහනායක මහතා ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය නමින් නව පක්‍ෂයක් පිහිටුවා අපේක්‍ෂකයින් 101ක් සමග තරග කළේය. අවසානයේ ප‍්‍රතිඵලය වූයේ එ.ජා. පක්‍ෂය ආසන 50ක් හා ශ්‍රීලනිපය ආසන 46ක් වශයෙන් ජයගැනීමය. ආසන 151කින් ලබාගත් මේ ප‍්‍රතිඵලය ආණ්ඩුවක් පිහිටුවීමට ප‍්‍රමාණවත් නොවූ නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඞ්ලි සේනානායක තවත් සුළු පක්‍ෂවල සහයෝගයෙන් ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය.


නමුත් අග‍්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඉදිරිපත් කළ රාජාසන කතා ස්තුති යෝජනාවේදී රජය පරාජයට පත්විය. විපක්‍ෂ නායක ධුරය දැරූ ශ්‍රීලනි පක්‍ෂයේ සී. පී. ද සිල්වාට ආකර්ෂනීය නායකත්වයක් නොතිබුණු නිසා පාක්ෂිකයෝ බණ්ඩාරනායක මැතිනියට නායකත්වය ගැන්මට ආරාධනය කළහ. මේ අතර රාජාසන කතා ස්තුති යෝජනාවේදී පරාජයට පත්වූ රජය නැවත මහ මැතිවරණයක් සඳහා 1960 ජූලි 20 වැනිදා ප‍්‍රකාශයට පත් කළේය. නාමයෝජයා භාර ගැනීම 1960 මැයි 20 වැනිදා ලෙසද ප‍්‍රකාශයට පත්විය. 


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව රටේ සෑම පාක්‍ෂිකයෙක්ම ප‍්‍රකාශ කරද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාරගත්තාය. 1960  මාර්තු  මැතිවරණයේදී මෙන් නොව බණ්ඩාරනායක මැතිනිය ලංකා සම සමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය සමග නිතරග ගිවිසුමක් ඇතිකර ගනිමින් 1960 ජූලි 20 මැතිවරණයට ශි‍්‍රලනි පක්‍ෂය මෙහෙය වූවාය. 1960 මාර්තු මැතිවරණයේදී එ.ජා. පක්‍ෂය ඡුන්ද 908,996 ලබද්දී ශ්‍රී ලංකා සම සමාජ, කොමියුනිස්ට් පක්‍ෂය වෙත වෙනම තරග කර ඡුන්ද 1,112,303 ලබා තිබීම නිසා ජූලි මැතිවරණය ගැන ජනතා විශ්වාසය වැඩිවිය.


බණ්ඩාරනායක මැතිනිය පක්‍ෂය මෙහෙයවනු ලැබුවත් ආසනයකට තරග නොකළාය. පසුව මැතිනියගේ ඡුන්ද කොට්ඨාසය වූ අත්තනගල්ල ශ‍්‍රීලනි පක්‍ෂයෙන් තරග කර ජයගත්තේ ජේ. පී. ඔබේසේකර මහතාය. ඔහු වැඩි ඡුන්ද 17,612කින් අත්තනගල්ල ජයගත්තේය. 


මැතිවරණයෙන් පසු  නිකුත්වූ ප‍්‍රතිඵලවලට අනුව ශ්‍රීලනි පක්‍ෂය ආසන 75 හා ලංකා සම සමාජ පක්‍ෂය ආසන 12ද කොමියුනිස්ට් පක්‍ෂය ආසන 04 වශයෙන් ආසන 91ක් ජයගෙන තිබුණි. එ.ජා. පක්‍ෂයට හිමිවූයේ ආසන 30කි. මුළු ආසන 151න් බහුතරයක් ලැබීම නිසා ශ්‍රීලනි පක්‍ෂයට ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ලැබුණි. පාර්ලිමේන්තුවට පත්කරන මන්ති‍්‍රවරු 06 දෙනාද පාක්‍ෂිකයන් වීම නිසා ශක්තිය තවත් වැඩිවිය. පත් කළ මන්ත‍්‍රීන් වූයේ දොස්තර ඇල්.  ඕ. අබේරත්න, දොස්තර ඇම්. පී. ද්‍රහමන්, බද්යුද්දීන් මොහොමඞ්, ආර්. ඇස්. වී. පෝලියර්, ආර්. සිංහල්ටන් සැමන් හා බී. කේ. ආර්. එස්. තොන්ඩමන්ය.


සෝල්බරි ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ලෙස හැඳින්වූයේ මහජන මන්තී‍්‍ර මණ්ඩලය මෙන්ම අග‍්‍රාණ්ඩුකාරයා පත්කරන මන්තී‍්‍රන් ගෙන්  සැදුම්ලත් උත්තර මන්තී‍්‍ර මණ්ඩලය හෙවත් සෙනට් සභාව යන දෙකිනි. මහජන මන්තී‍්‍ර මණ්ඩලය සෑම විටම මහජාතිය වූ සිංහලයින්ගේ බලයට යටත් වන නිසා සුළුජාතීන්ට වැඩිපුර නියෝජනය ලබාදීමට මෙම උත්තර මන්තී‍්‍ර මණ්ඩලය සකස් කරන ලදී. සුළුජාතික, ආගමික, උගත් හා විවිධ සමාජ මට්ටම්වල ප‍්‍රබුද්ධයින් ඒ සඳහා පත්කරනු ඇතැයි විශ්වාස කරන ලදින් මහජන මන්ත‍්‍රී මණ්ඩල පනතක් වැඩිදුරටත් සාකච්ඡුා කිරීම මෙම මණ්ඩලයේ පරමාර්ථය විය.


මෙම මණ්ඩල දෙකින් එකක මන්තී‍්‍රවරයකු නොවන කෙනකුට අමාත්‍ය ධුරයක් දැරීමට නොහැකි වූ විධි විධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අඩංගු වූ අතර සම්ප‍්‍රදායික වශයෙන් අධිකරණ අමාත්‍ය ධුරය උත්තර මන්තී‍්‍ර මණ්ඩල සාමාජිකයකුට හිමිකර දෙන ලදී.


මේ අනුව ශ්‍රීලනිප නායිකාව ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ධුරය දැරීමට නම් මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ නිසා උත්තර මන්ත‍්‍රී මණ්ඩලයට පත්වීම අත්‍යාවශ්‍ය වූයෙන් අග‍්‍රාණ්ඩුකාරවරයා ඇය උත්තර මන්ති‍්‍ර මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත්කරන ලදී. එසේ පත්වීම් ලැබූ මැතිනිය 1960 ජූලි 23 වැනිදා අග‍්‍රාමාත්‍ය රාජ්‍ය ආරක්‍ෂක හා විදේශ කටයුතු ඇමතිනිය වශයෙන් පත්වී 11 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක්ද තෝරා ගන්නා ලදී. එසේ පත්වූ කැබිනට් මණ්ඩල වරින්වර වෙනස් කරන ලද වුවත් 1964 ජූනි මාසයේදී ලංකා සම සමාජ පක්‍ෂය ඇතුළු වාමාංශික කොටස් ආණ්ඩුවට එක් කර ගනිමින් සභාග රජයක් ගොඩනගන ලදී. පක්ෂ දෙකටම එකතුවිය හැකි පොදු කරුණු 13ක් පදනම් කර ගනිමින් බිහිකළ සභාග රජයටද වැඩි කළක් යාමට නොහැකි වූයේ මන්තී‍්‍රවරු 14 දෙනකු එකවර විපක්‍ෂයේ අසුන් ගැනීම නිසාය. 1964 නොවැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවේ 06 වන සැසිවාරය අග‍්‍රාණ්ඩුකාරවරයා විවෘත කරන ලද අතර 1964 දෙසැම්බර් 03 වැනිදා ඒ පිළිබඳව විවාදය අවසන් කරමින් පැවැත්වූ ඡුන්ද විමසීමේදී ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරමින් සී. පී. ද සිල්වා ප‍්‍රමුඛ 14 දෙනෙකු විපක්‍ෂයේ අසුන් ගත්තේ එක් වැඩි ඡුන්දයකින් රජයේ යෝජනාව පරාජය කරමිනි. මේ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනියට සිදුවූයෙන් 1960 ජූලි 23 දින සිට 1964 දෙසැම්බර් 03 දක්වා සෙනට් මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍ර ධුරයක් දරමින් අවුරුදු 4 1/2කට ආසන්න කාලයක් මැතිනිය රට පාලනය කළාය. පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිට මන්ත‍්‍රී මණ්ඩල වාද  විවාද සවන් දුන් ඇය මහජන මන්තී‍්‍ර මණ්ඩලයේ වාඩි නොවී රට පාලනය කළ එකම අගමැතිවරිය වූවාය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 1965 මාර්තු මහ මැතිවරණයට ඇය අත්තනගල්ල ආසනයට තරග කර වැඩි ඡුන්ද 16,535කින් ජය ගත්තාය.


බණ්ඩාරගම සමරසේන මුදලිගේ