සෝමාරාමට ලැබුණු මරණ දඬුවම


 

 

මත්ද්‍රව්‍ය වරදකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මරණීය දණ්ඩනයට නියම කර ඇති පුද්ගලයන් හතර දෙනෙකු එල්ලා මරා දැමීමට තමා අනුමත කර ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කිරීමත් සමග සමාජගතවූ මහා ආන්දෝලනය මේ වන විට ඉහළම තලයට උණුසුම්ව පවතී. මරණීය දණ්ඩනය පැනවීම හොඳ බව කියන්නෝද බහුල වෙති. එය ලෝකය සම්මත කොටගෙන ඇති මානව හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කරන්නක් බවත් එම ක්‍රියාව වනචාරී ගෝත්‍රික සමාජයක ගතිලක්ෂණ පෙන්නුම් කරන නිසා වර්තමාන සමාජයට නොගැළපෙන ක්‍රියාවක් බව කියන්නෝද වෙති.


මේ දෙකොටසටම අයිති නැති පිරිසක්ද සිටිති. ඔවුන් කියන්නේ මෙය කිසිදා සිදු නොවන හුදු වචන මාලාවක් පමණක් වන නිසා කලබල වීමට දෙයක් නොමැති බවයි. 
මරණීය දණ්ඩනයට දිගු ඉතිහාසයක් තිබේ. බි්‍රතාන්‍යයේ රජ කළ පළමුවැනි චාර්ල්ස් රජුගේ හිස ගසා දැමුවේ එරට පාර්ලිමේන්තුවට එරෙහිව යුද්ධ කිරීම නිසාය. ශ්‍රී ලංකාවේදී ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරා දැමුවේ සිය සැමියා රජුට එරෙහිව කටයුතු කළේ යැයි ඇතිවූ සැකය නිසාය. එම පවුලේ දරුවන්ගේ හිස් ගසා දැමුණි. බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය පලවා හැරීම සඳහා සටන් කිරීමේ වරදට කැප්පෙටිපොළ මහ නිලමේ ඇතුළු සිය ගණනක් දෙනා හිස ගසා මරා දැමුණි. අප මේ විමසීමට බඳුන් කරනුයේ මෙරට ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා ඇති මිනිස් ඝාතනයක වැරදිකරුවා වූ තල්දූවේ සෝමාරාම නම් වූ අපරාධකරුට මරණීය දඬුවම පැනවීමේ සිද්ධියයි. 
ලේ නොසෙල්වූ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් මගින් 1956 දී පැවති රජය වෙනස් කර නව රජයක් පත්කර ගැනීම සිදුවිය. එම පෙරළිය හේතුකොට ගෙන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්විය. ඒ මහතාගේ 1956 මැතිවරණ ව්‍යාපාරය ගැනද මොහොතක් අපේ සැලකිල්ල යොමු විය යුතුය. එතෙක් දේශපාලන ක්‍ෂේත්‍රයේ වැඩි තැනක් ලබා නොසිටි බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා මෙම මැතිවරණ ව්‍යාපාරයේ වැඩි බරක් දැරූ බව ප්‍රකට කරුණකි. එතෙක් බලවන්තයන්ගේ අවධානයට ලක් නොවුණු සමාජ කණ්ඩායම් පෙරමුණට ගෙන පංච මහා බලවේගයක් නිර්මාණය කරන ලද අතර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග එකී පංච මහා බලවේගය තුළ නියෝජනය විය. එහි ප්‍රධානම සමාජ කණ්ඩායම වූවේ මහා සංඝයාවහන්සේලාය. සිංහල භාෂාව, සංස්කෘතිය, සාහිත්‍ය, කලාව සහ දේශීය සාරධර්ම යටත් විජිත පාලනය යටතේ වැනසී ගිය බවත් ඒවා නැවත පුනරුත්ථාපනය කර ගැනීමට නම් බණ්ඩාරනායකයන් බලයට පත් කළ යුතුයැයිද එම හිමිවරු විශාල සටනක් ගෙන ගියහ. ගමක් ගමක් පාසා වැඩම කර වේදිකාවලදී මේ ගැන ජනතාව දැනුම්වත් කළ මෙම හිමිවරු නිවෙසක් පාසා වැඩම කරමින්ද ඡන්දදායකයන්ට කරුණු පහදා දුන්හ. බටහිර වෙදකමට සාපේක්ෂව දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමිව තිබුණේ ඉතා අඩු තක්සේරුවේ සැලකිල්ලකි. එනිසා එම පසුබිම වෙනස් කරවා ගැනීමට වෛද්‍ය ප්‍රජාවද මෙම කටයුත්තේ නියැළුනේ මහත් උනන්දුවකිනි. ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වූවේ තම වෘත්තියට ගෞරවනීය ස්ථානයක් ලබා ගැනීමය. බොහෝ දෙනාගේ ශ්‍රම දායකත්වය මත 1956 අප්‍රියෙල් 5, 7, 10 යන තෙදින පැවති ඡණ්දයේදී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පැවති මහජන එක්සත් පෙරමුණ නම් වූ සන්ධානය බලයට පත් වූවේ එහි නායකකාරකාදීන් පවා අපේක්ෂා නොකළ අන්දමේ ජයග්‍රහණයක් ලබමිනි. මේ ඇප කැපවී ආධාර කළ සැවොම අවංකව පොදු පරමාර්ථයෙන් යුතුව කටයුතු කළාහු නොවූහ. සමහරුන් තුළ ආත්මාර්ථකාමී බලාපොරොත්තුද තිබුණි. 
භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රබලතමයෙකු වූවේ කැලණිය රජ මහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හිමිපාණෝය. උන්වහන්සේ අතිශය ධනවත් පුද්ගලයෙකු වූ බැවින් එතුමෝ මැතිවරණ කටයුතු සඳහා ද විශාල මුදලක් පරිත්‍යාග කළහ. මේ සා උදව් උපකාර කර රජය බලයට පත්වූවාට පසු උන්වහන්සේ ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටුකර දීමට රජයට අපහසු විය. මේ නිසා අගමැතිවරයා කෙරෙහි වෛරබැඳගත් බුද්ධරක්ඛිත හාමුදුරුවෝ තමාට පක්ෂ කණ්ඩායමක් ගොඩනගා ගනිමින් අගමැති බණ්ඩාරනායකයන් එම තනතුරින් සහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කර දැමීමට විශාල ව්‍යාපාරයක් දියත් කළේය. එවකට සෞඛ්‍ය ඇමතිවරිය සිටියේ හාමුදුරුවන්ට පක්ෂ මතයකය. සෞඛ්‍ය ඇමති ධුරයට පත්වූ වහාම ඇය හාමුදුරුවන් සහ එතුමන්ට හිතවත්ව සිටි සමීපතයන්වූ වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන, කොළන්නාව නගර සභාපතිව සිටි වෛද්‍ය සී. අමරසිංහ යන තිදෙනා ආයුර්වේද උපදේශක සභාවට පත්කිරීමට කටයුතු කළාය. එහෙත් වසර කීපයකින් සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එම ඇමති පදවිය වෙනස් කර අගමැතිවරයාට හිතවත් අයෙකු සෞඛ්‍ය ඇමති පදවියට පත්කරුණු ලැබීය. ඔහු නව උපදේශක සභාවක් පත් කළ නිසා මෙම තිදෙනාට තනතුරු අහිමි විය. එයට සමගාමීව මෙම ඇමති මාරුව නිසා බොරැල්ල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අක්‍ෂි රෝග විශේෂඥයෙකු ලෙස කටයුතු කළ තල්දූවේ සෝමාරාම නම් තවත් භික්ෂූන්වහන්සේ නමක්ද රැකියාව අහිමිව මෙම පිරිසට එක්ව සිටියහ. 


මේ සියල්ලෝම අගමැති බණ්ඩාරනායකයන් කෙරෙහි බද්ධ වෛරයකින් පෙලෙමින් සිටි අතර කුමන මොහොතක හෝ පළිගැනීමේ චේතනාවෙන් යුතුව සිටියහ. පෙමපණ මහන්සි වී මුදල් වියදම් කර පත් කර ගත් අගමැති අපේ ඉල්ලීමකට ඉඩ නොදෙනවා නම් ඔහු නැති කර දැමිය යුතුයැයි මෙම පිරිස තීරණය කළහ. මෙයට දේශපාලන හේතුද බල පා තිබුණි. ආහාර ඇමතිවරයාව සිටි පිලිප් ගුණවර්ධන මහතා විසින් යෝජනා කර තිබුණු කුඹුරු පනත නිසාත් සමුපකාර බැංකුවක් පිහිටුවීමටද විරුද්ධ බලවත් පිරිසක් රජය තුළ සිටියහ. ඇමති මණ්ඩලයේ බහුතරය ද මේ වනවිට සිටියේ අගමැතිට එරෙහි මෙම කණ්ඩායමට පක්ෂවය. මුලින්ම ඇමති මණ්ඩලය අගමැතිවරයාට විරුද්ධව වර්ජන ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කර තිබුණි. රජයේ ජනසතු ප්‍රතිපත්තියට මොවුහු විරුද්ධව සිටියහ. ඒ කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්ති රජය මගින් ක්‍රියාත්මක කරන්නේයැයි චෝදනාවක් ද සමගිනි. 
පවතින දේශපාලන තත්ත්වය තමාට අහිතකර ලෙස සිදුවෙමින් පවතින බව අගමැතිවරයා අවබෝධ කරගෙන සිටියේය. එනිසා ජ්‍යොතිෂ උපදෙස් කෙරෙහිද යොමු වූ එතුමා දින කීපයක් රටින් පිටව සිටීමට තීරණය කර ඒ පිළිබඳ වැඩ පිළිවෙළක්ද යොදා තිබුණි. වැඩ බලන අගමැති ලෙස අධ්‍යාපන ඇමති විජයානන්ද දහනායක මහතා නම් කර අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාට නිර්දේශ ලිපියද බාර දී තිබුණි. 1959 සැප්තැම්බර් 28 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නගරය බලා යාමටත් නියම කරගෙන තිබුණු නමුත් එයට ඉඩ නොලැබුණි. 


සැප්තැම්බර් 25 වැනිදා උදේ බොහෝ දෙනෙක් කොළඹ රොස්මිඞ් පෙදෙසේ අගමැති මැදුරට පැමිණ සිටියේ අගමැති බණ්ඩාරනායක මහතා හමු වී යම් යම් අවශ්‍යතා ඉටුකර ගැනීමටය. තව දෙදිනකින් අගමැතිවරයා විදේශගතවන බව මාධ්‍යයෙන් ප්‍රසිද්ධව තිබුණු නිසා පැමිණි පිරිස වඩාත් වැඩි වූ බව කියනු ලැබේ. එම මොහොතේ අගමැති මැදුරේ සිටි ඇන්. විජේබාහු විජේසිංහ මහතා පසුව පොලිසියට දුන් කටඋත්තරයේ මෙසේ සඳහන් විය. උදේ 9.25 ට පමණ මා අගමැති මැදුරට පිවිසෙද්දී අභිනව ඇමෙරිකානු තානාපති බර්නාඞ් ගප්ලර් මහතා සමග අගමැතිතුමා සාකච්ඡාවක යෙදී සිටියේය. මද වේලාවකට පසු බණ්ඩාරනායක මහතා ගප්ලර් මහතා සමග නිවසේ ආලින්දයට පැමිණ ගප්ලර් මහතා මෝටර් රියට නැගී පිටත්ව යනු බලා සිටිනු ඊළඟට මම දුටුවෙමි. ඒ අතර රාජනීතිඥ ඇන්. ඊ. වීරසූරිය මහතා ආලින්දයේ අසුනක වාඩිවී සිටිනු දුටු අගමැතිතුමා ඔහු නිවසේ අමුත්තන් පිළිගන්නා සාලය වෙත කැඳවාගෙන ගියේය. ඒ අවස්ථාව වන විට භික්ෂූන් වහන්සේලා දෙනමක් ආලින්දයේ අසුන්ගෙන සිටියහ. එක් හිමි නමක් අගමැති නිවසේ ප්‍රධාන ගේට්ටුවට පිටුපා වාඩිවී සිටි අතර අනෙක් හිමිනම පළමු කී හිමි නමට මදක් ඈතින් වාඩි වී සිටියහ. බණ්ඩාරනායක අගමැතිතුමා පිළිසඳරකින් පසු වීරසූරිය මහතා ආපසු ආලින්දය වෙත කැඳවාගෙන අවුත් ඒ මහතා රියේ නැගී පිටත්ව යන සැටි බලා සිටියේය. මේ වන විට මා සිටියේ අගමැතිතුමාගේ පුස්තකාලය අසලය.


හදිසියේම වෙඩි හඬක් ඇසුණි. ආලින්දයත් පුස්තකාලයත් සම්බන්ධ කරන දොර හරහා ඇද තිබූ රෙදි කඩ ඉවත් කරගෙන මම බැලුවෙමි. භික්ෂුවක් පිස්තෝලයක් රැගෙන බණ්ඩාරනායක මහතාට ඉලක්ක කොට තවත් වෙඩි දෙකක් තබනු මම දුටුවෙමි. අගමැතිතුමා වරක් ඒ පැත්තටත් වරක් මේ පැත්තටත් පැද්දි පැද්දී රවුමට කැරකී ගොස් පුධාන දොරටුවෙන් වහ වහා දුවගොස් ගෙය තුළට ඇතුළු විය. පිස්තෝලය අතින් ගත් භික්ෂුවද අගමැතිවරයා ලුහුබැඳ ගියේය. මා ආලින්දයට දුව යත්ම තවත් වෙඩි හඬ දෙකක් ගෙයි ඇතුළතින් ඇසුනි. ඊළඟට මා දුටුවේ දෙදෙනෙකු විසින් වාරු කරගෙන ආ ලෙයින් තෙත්වී සිටි බණ්ඩාරනායක අගමැතිතුමාය. තවත් වෙඩි හඬක් ඇසුනි. ඒ අගමැතිට වෙඩි තැබූ භික්ෂුවට එල්ල කරන ලද්දකි. බිම වැටී සිටි භික්ෂුවට පහර දෙන ලදී. 


බිම වැටී තිබුණු පිස්තෝලය අහුලාගෙන මම එය පොලිස් නිලධාරියෙකුට බාර දුන්නෙමි. බිම වැටී කෙඳිරි ගාමින් සිටි භික්ෂුව වෙත තිබී විසිරී ගොස් තිබූ දිනපොත අනෙක් භික්ෂුව අහුලාගන්නට තැත් කරනු දුටු මම එයත් මුදල් පසුම්බියත් උදුරා ගත්තෙමි. ඊළඟට මට දකින්නට ලැබුණේ අගමැතිවරයා සිය කැඩිලැක් මෝටර් රථය වෙත ඔසවාගෙන යනු ලැබු ආකාරයයි. රථයේ වාඩි වී සිටි බණ්ඩාරනායක මැතිනියගේ උකුලේ අගමැතිවරයාගේ හිස තබා තිබුණි. පසුව එතනට පැමිණි නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා මහතාට භික්ෂුවගේ දිනපොත සහ මුදල් පසුම්බිය බාර දුන්නෙමි. සිදුවීම වූවේ ඒ ආකාරයටය.


බරපතළ ලෙස තුවාල ලබා සිටි අගමැතිවරයාට ශල්‍යකර්ම කීපයක්ම සිදු කරන ලදී. එවකට ලංකාවේ ප්‍රධානම පෙළේ දක්ෂ වෛද්‍යවරුන් වූ දොස්තර පී. ආර්. ඇන්තනීස්, දොස්තර ටී. ඩී. එච්. පෙරේරා, දොස්තර ඩී. ඇම්. උමගිලිය, දොස්තර පොන්නම්බලම්, මහාචාර්ය බී. ඒ. රණසිංහ, දොස්තර මෙන්ඩිස්, දොස්තර හිලරි ගුණවර්ධන හා දොස්තර යෝගේශ්වරන් යන මහත්වරුන් ඉතා උනන්දුවෙන් ප්‍රතිකාර කරන ලද නමුදු පසු දින එනම් සැප්තැම්බර් 26 වැනි දින උදේ 7.55 ට පරලෝසැපත් වූවේය. දේශයම කම්පාවට පත් විය. රාජ්‍ය ගෞරව සහිතව දේහය හොරගොල්ලේ පවුලේ සොහොන් ගැබේ තැන්පත් කරන ලද්දේ ඔක්තෝබර් දෙවැනිදා පස්වරුවේදීය. 


මෙම අපරාධය සිදු කිරීම වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ගය කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් ඇන්. ඒ. ද ඇස්. විජේසේකර මහතා ඉදිරියේ 1959 දෙසැම්බර් 14 වැනිදා ආරම්භ විය. 


1. කැලණිය රජ මහා විහාරාධිපති මාපිටිගම බුද්ධ රක්ඛිත 
2. වැල්ලම්පිටියේ පදිංචි එච්. පී. ජයවර්ධන
3. කාර්මිකයෙකු වූ අනුර ද සිල්වා 
4. මිනීමරුවා ලෙස චෝදනා ලැබූ තල්දූවේ සෝමාරාම 
5. පොලිස් පරීක්ෂකවරයෙකු වූ නිව්ටන් පෙරේරා 
6. සෞඛ්‍ය ඇමතිවරිය චෝදනා ලැබූහ. 


බණ්ඩාරනායක රජයේ මුදල් ඇමති ස්ටැන්ලි ද සොයිසා මහතාගේ සොහොයුරු ඩිකී ද සොයිසා මහතා ද මෙම ඝාතන කුමන්ත්‍රණය ගැන අත්අඩංගුවට ගෙන සිටි නමුදු ඔහු නිදහස් විය. දවස් 124 ක් පැවති මූලික සාක්ෂි විභාගය අවසානයේ සෞඛ්‍ය ඇමතිවරියද නිදහස ලැබුවාය. නඩුවේ විත්තිකරුවෙකු ලෙස චෝදනා ලැබු කොළොන්නාවේ නගර සභාපති වෛද්‍යාචාර්ය කරෝලිස් අමරසිංහ මහතා රජයේ සාක්ෂිකරුවෙකු වීමට කැමැත්ත පළ කළේය. එනිසා ඔහුද නිදහස ලැබීය. මූලික සාක්ෂි විභාගය අවසාන කළ මහේස්ත්‍රාත් ඇන්. ඒ. ද ඇස්. විජේසේකර මහතා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේය. 


ජූරිසභාවක් සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රාජනීතිඥ ටී. ඇස්. ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වය යටතේ මෙම නඩු විභාගය ආරම්භ විය. ඒ 1961 පෙබරවාරි 22 වැනි දින දීය. එහි තීන්දුව වූයේ 1 වැනි විත්තිකරු වූ මාපිටිගම බුද්ධරක්ඛිත, දෙවැනි විත්තිකාර එච්. පී. ජයවර්ධන සහ සිව්වැනි විත්තිකාර තල්දූවේ සෝමාරාම යන තිදෙනා එල්ලා මැරීමට නියම කිරීමයි. එහෙත් එයට විරුද්ධව විත්තිකරුවෝ අභියාචනා කළහ. අග්‍රවිනිශ්චයකාර හේම බස්නායක, එච්. ඇන්. ජී. ප්‍රනාන්දු, ඇල්. බී. ද සිල්වා, ඇම්. බී. සන්සෝනි හා එන්. සින්නතම්බි යන විනිසුරු පස් කට්ටුවේ තීන්දුව 1962 ජනවාරි 15 වැනිදා නිවේදනය විය. එයින් කියවුණේ මරණ දණ්ඩනයට නියමව සිටි බුද්ධ රක්ඛිත සහ ජයවර්ධන යන දෙදෙනාට ජීවිතාන්ත සිරදඬුවම නියම කරන ලද අතර තල්දූවේ සෝමාරාමගේ මරණ දණ්ඩනය තහවුරු කරන ලද බවයි. මෙයට හේතු වූ සුවිශේෂී හේතුවක් තිබුණි. 1956 දී බණ්ඩාරනායක අගමැතිවරයා බලයට පත්වූ වහාම වෙනම පනතක් ඉදිරිපත් කිරීමෙන් අනාදිමත් කාලයක සිට මෙරට ක්‍රියාත්මක කළ මරණීය දණ්ඩනය අහෝසි කර තිබුණි. 1958 මැයි 9 වැනිදා දරන මරණ දඬුවම අත්හිටුවීමේ පනත මගින් එම සහනය සලසා දී තිබුණේ මානව හිමිකම් සැලකිල්ලට ගනිමිනි. එහෙත් බණ්ඩාරනායක ඝාතනය සිදුවීමෙන් පසු නැවතත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජය නීති පනවන ලදී. 1959 දෙසැම්බර් 02 වැනිදා සිට එය ක්‍රියාත්මක වූ බව උසාවියේදී සඳහන් විය. කෙසේ වුවත් නැවත මරණ දණ්ඩනය නීතිය ක්‍රියාත්මකවීමෙන් පසුව වුවද ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට මරණීය දඬුවම පැනවිය නොහැකි බව පළමු සහ දෙවැනි විත්තිකරුවන්ගේ නීතිඥයෝ අධිකරණය හමුවේ පෙන්වා දුන්හ. එය පිළිගත් අභියාචනාධිකරණය කලින් ඉහළ උසාවියෙන් පනවා තිබුණු මරණ දඬුවම ඉවත් කර ඒ දෙදෙනාට ජීවිතාන්තය තෙක් සිරදඬුවම ලෙස ලබා දෙන ලෙස නියම කළේය. එසේම බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කරන ලදැයි මිනීමැරුම් චෝදනා ලත් තල්දූවේ සෝමාරාම එල්ලා මරා දැමීමට නියම වුණි. 
අධිනීතිඥ ලුසියන් ජී. වීරමන්ත්‍රි මහතා සහ බි්‍රතාන්‍යයෙන් ගෙන්වන ලද නීතිඥයෙකු වූ පීනියාස් ක්වාස් මහතා චූදිත සෝමාරාම වෙනුවෙන් පෙනී සිටිමින් ඉතා දක්ෂ ලෙස ඔහුගේ නිර්දෝෂී බවට කරුණු ඉදිරිපත් කළහ. එහෙත් “අධිකරණයේ දී යුෂ්මතා ගලවා ගැනීම පිණිස උගත් නීතිඥයන් මෙම උසාවිය ඉදිරියේ කොතෙක් වෙහෙස වුවද ඉදිරිපත්ව ඇති සාක්ෂි සලකා බැලීමේදී ගලවාගත හැකි නීතිඥයෙකු මෙලොව තවමත් බිහි වී නැතැයි” ප්‍රකාශ කළ බව එකල පුවත්පත්වල පළවී තිබුණි. 

 

 


එකල පැවති සම්ප්‍රදායික සිදුවීමක් ලෙස බොහෝ දෙනා අනුගමනය කළ පරිදිම තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරී අපරාධකරු ක්‍රිස්තියානි ආගම වැලඳ ගනිමින් පීටර් නමින් බෞතීස්ම ලැබූ බව කියවුණි. අනුන්ගේ මුසාබස්වලට රැවටී හුදු පළිගැනීමේ චේතනාවෙන් මඩනා ලද එමෙන්ම එකල පැවති දරුණුම මත්ද්‍රව්‍ය ලෙස ප්‍රකටව තිබුණු මරිජුවානා භාවිත කිරීමෙන් ලද උත්තේජනයෙන් රටේ රාජ්‍ය නායකයා මරා දැමීමේ වරදට පෝරකයට ගිය සෝමාරාම මෙන්ම බලය ලබා ගැනීම සඳහා කෲර බලවේගයන්ගේ ආධාර ගැනීමෙන් අගමැති බණ්ඩාරනායකයන්ටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බව මෙම ඝාතන සිදුවීමේ සිදුවීම් පෙළගැසි ආකාරය අනුව කෙනෙකුට වටහාගත හැකි වන සත්‍යයයි. බලය ලබාගැනීම සඳහා කුමන හෝ කටුඅත්තක එල්ලෙන දේශපාලනඥයන්ට මෙන්ම බඩගෝස්තරය සරිකර ගැනීමට අපේක්ෂා කරන අනුගාමිකයන්ටද මෙමගින් පෙන්වා දෙන සදාතනික පාඩම එයයි. එහෙත් ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්නා නායකයන් මෙන්ම අනුගාමිකයන්ද විරල බව පෙනේ. මානවවාදී ගුණය පෙරදැරිකරගෙන තම ආණ්ඩුව බලයට පැමිණි වහාම මරණ දඬුවම ඉවත් කර එමගින් සුදාන්ත සමාජයක් බිහි කිරීමට මුල් වූ අගමැතිවරයෙකුට මරණය ළඟා කර දීමට ඔහුගේම අනුගාමිකයෙකු ඉදිරිපත් වීමත් එසේ අත්හිටුවන ලද මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කර පෝරකය මත නැග දිවි පිදීමට එම අගමැතිවරයාගේ ඝාතකයාටම සිදුවීමත් දෛවයේ සරදමක්දැයි මම අනුමාන කරමි.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි