එල්.ටී.ටී.ඊ කඳවුරක් විනාශ කර පොළොන්නරුව සෝමාවතී චෛත්‍යය මුදවාගෙන ඇත්තේ පොලිස් නිලධාරියකු නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසිනි. ඒ බව සනිටුහන් කෙරෙන ඡායාරූප සෝමාවතී චෛත්‍යයේ සංඝාරාමයේ අදටත් තබා ඇත. ඒ පොලිස් නිලධාරියා එවකට පොළොන්නරුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. එල්. බී. අප්පුහාමි මහතාය.
අප්පුහාමි මහතාට මුහුණ දෙන්නට සිදු වූ මෙම සටන අහඹු සිදුවීමකි. ඒ වන විට සුංගාවිල පාලමෙන් එපිට සෝමාවතී කැලෑව තනිකර එල්.ටී.ටී.ඊ සංවිධානයට යටත්ව පැවැතිනි. පාලමෙන් එපිට කැලෑව දෙසට එදා කිසිවකුට යා නොහැක. ගියානම් ගියේ සුංගාවිල ගමේ මුස්ලිම් මිනිසුන් පමණි. ඒ ඔවුන්ගේ හරක් බලන්නටය. දිනක් මෙසේ හරක් රැගෙන සෝමාවතී කැලෑවේ තණපිටිවලට යන සුංගාවිල මුස්ලිම් වැසියෙක් හදිසියේ පොළොන්නරුව පොලිසියට පැමිණියේය. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අප්පුහාමි මහතා හමුවිය.
ඔහු අප්පුහාමි මහතාට දුන් පණිවිඩය වූයේ සෝමාවතී චෛත්‍යයේ ගඩොල් ගලවමින් එය බිමට සමතලා කිරීමේ කටයුත්තක එල්.ටී.ටී.ඊ සංවිධානය යෙදී සිටින බවය. ඒ 1997 අවසන් භාගයේ දිනයකි.
එවකට මහවැලි ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුම්වත් කළ අප්පුහාමි මහතා සෝමාවතී චෛත්‍යය බේරා ගැනීමේ සටනට යන්නට සූදානම් විය. එවකට පොළොන්නරුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇස්. ඇම්. වික්‍රමසිංහ මහතාගේ ද අවසරය ඔහුට ලැබුණි. පොලිස් නිලධාරින් මෙන්ම ග්‍රාමාරක්‍ෂකයන්ගෙන් ද සමන්විත සියයක පමණ කණ්ඩායමක් සුදානම් කරගත්තේය. මෝටාර්, එල්.එම්.ජී. වැනි බර ආයුධ ද සූදානම් කර ගත්තේය.
සෝමාවතී පාරේ සුංගාවිලින් එහාට ඒ වන විට රථ වාහන යා නොහැකිය. පාරේ ඒ තරමටම වළවල්ය. එබැවින් අප්පුහාමි මහතා මේ සඳහා යොදගත්තේ ටේලර් සහිත ට්‍රැක්ටර්ය. අවි ආයුධ සහ පොලිස් පිරිස් ඒවායෙහි දමාගෙන සෝමාවතියට යන්නට පිටත් වුණි. සුංගාවිල හමුදා කඳවුර ළඟ දී මේ පිරිස නැවැත් වූයේ ඉන් එහාට යාමට අවසර දිය නොහැකි බව කියාය. එහෙත් අප්පුහාමි මහතාගේ ගමන නවත්වන්නට ඔවුන්ට නොහැකි විය. ඔහුට යා හැකි වූයේ කිලෝමීටර් 35 කණුව ආසන්නය දක්වා පමණි. ඉදිරියෙන් විශාල වෙඩි ප්‍රහාරයක් එල්ල වුණි. ඒ එල්.ටී.ටී.ඊ.යෙනි.
ඒ කොටස කිලෝ මීටරයටක් වඩා දුර පාර තනි කෙළින් පෙනෙන කොටසකි. එහි ඉදිරියෙන් පෙනෙන්නට ඇත්තේ වඩාත්ම උස නැති වැව් කණ්ඩියක් වැනි ගල්තලාවකි. එය එල්.ටී.ටී.ඊ යට ස්වභාවි ක බංකරයක් වී තිබුණි. එම ගල්වැටිය දක්වා කෙළින්ම ඇති පාර ගල්වැටිය ඉදිරිපිටින් වමට වංගුව හැරී සෝමාවතිය දක්වා යාමට ඇත.
සෝමාවතී චෛත්‍යය එදා වනගතව තිබූ අයුරු.
කෙළින්ම ඇති පාරේ එන පොලිසියට එල්.ටී.ටී.ඊය වෙඩි තබන්නේ මේ ස්වාභාවික බංකරයක් වූ ගල්වැටියට මුවා වී සිටය. පාරේ සිට පොලිසිය තබන වෙඩි වදින්නේ ගල්වැටියටය. මේ පිහිටීම උඩ පොලිසියට කිසිසේත් මුහුණට මුහුණ දී සටනක් දිය නොහැකි විය. එබැවින් අප්පුහාමි මහතා තම කණ්ඩායමට උපදෙස් දුන්නේ උඩින් ගොස් ගල්තලාවට එපිටින් වැටෙන සේ මෝටාර් වෙඩි එල්ල කරන ලෙසය. එය සාර්ථක විය. ඊට මුහුණදිය නොහැකි වූ ගල්තලාවෙන් එපිට සිටි එල්.ටී.ටී.ඊ තුවක්කුකරුවෝ පලා ගියහ. ඒ සමගම වම්පස කැලෑවේ සිට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වුණි. ඒ දෙසට ද මෝටාර් ගැසීමෙන් එය ද නැවතිනි.
කොටි ත්‍රස්තවාදීන් පොලිසියට සැඟවී පහර දුන් දිග්ගල ගල් කන්ද.
ඉදිරියට ගිය පොලිසියට ගල් වැටිය ඉදිරිපිටින් වමට වංගුව හැරී යන විට සෝමාවතී චෛත්‍යය පෙනේ. ඈත සිටම පොලිසිය දුටුවේ චෛත්‍ය උඩ නැග සිටි පුද්ගලයන් හතරපස් දෙනෙකු චෛත්‍යයෙන් හතරැස් කොටුවේ ගඩොල් ගලවා බිම දමමින් එය හාරන බවය. එය දුටු තැන සිටම පොලිසිය ඒ දෙසට මෝටාර් වෙඩි කිහිපයක් එල්ල කළේය. ඒ සමග ඔවුන් බිමට වැටෙනවා පෙනුණි.
සියලු ප්‍රහාර මැඩ පවත්වාගත් පොලිසියට චෛත්‍යය වෙත ළඟාවීමට හැකි විය. විදුලි කණුවක් දිගේ නැග චෛත්‍යයට ගොඩ වූයේ දක්ෂ පොලිස් නිලධාරියකු වූ සැරයන් දිසානායක මහතාය. ඔහු ගොස් බලද්දී චෛත්‍යයේ හතරැස් කොටුව අඩි පහක් පමණ ගැඹුරට ගඩොල් ගලවා හාරා තිබුණි. එසේ හාරා තිබෙන්නට ඇත්තේ නිධන් ගන්නට විය හැකිය.
මෙහිදී වගකිව යුතු නිලධාරියකු හැටියට අප්පුහාමි මහතා ගත් තීරණයක් වූයේ හතරැස් කොටුවේ හාරා ඇති වළ කොන්ක්‍රීට් පුරවා වසා දැමීමටය. උප පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ට්‍රැක්ටර් රථයක් සමඟ පිටත් කළේ කොන්ක්‍රීට් ගල් සහ සිමෙන්ති රැගෙන ඒමටය. මහවැලි ගඟ ඇත්තේ ඒ ආසන්නයෙන්මය. එයින් අවශ්‍ය තරම් වැලි ඇදගන්නට තවත් කණ්ඩායමක් යෙදවිය. සෙසු පිරිස යෙදවුයේ ඒ වන විට සම්පූර්ණයෙන් වල්බිහිව තිබූ චෛත්‍ය භූමිය එළිපෙහෙළි කරන්නටය. චෛත්‍යය මත විශාල පඳුරක් ද වැඩී තිබුණි. එයද කපා ඉවත් කළේය.
ඒ ගමන මොවුහු ආපසු ගියේ එසේ චෛත්‍ය භූමිය සුද්ධ පවිත්‍රකොට කොන්ක්‍රීට් දමා හතරැස් කොටුව ද පිළිසකර කොට ආගමික වතාවත්ද ඉටුකිරීමෙන් අනතුරුවය. අදටත් සෝමාවතී චෛත්‍යයේ ඇත්තේ නිදන් වස්තු ආරක්‍ෂාවට කොන්ක්‍රීට් කළ හතරැස් කොටුවයි.
වදාකඩ නවරත්න
ඡායාරූප : කැළුම් සංජීව ධර්මදාස