අනතුරුව නිවේදකයා කියා සිටියේ එක් “දිනක් හෝ එල්.ටී.ටී.ඊයට බැඳී සිටි අය නැගිට එන්න” යනුවෙනි. මේ මොහොතේ මට කුමන ඉරණමක් අත්වේදැයි නොදැන මගේ මව හඬන්නට වූවාය. “අම්මේ භය වෙන්න එපා මට මුකුත් වෙන්නේ නෑ” යනුවෙන් පවසා මම මගේ මවගේ බිය තුරන් කළෙමි.
“අම්මේ? මම ගිහින් බාර වෙන්නම්. අම්මා ගෙදර ගොස් නංගිලා එක්ක හොඳින් ජීවත් වෙන්න. මාව නිදහස් කළාම මම ඔයා ළඟට එන්නම්” එසේ කී මම ඇයට ගෙදර යන ලෙස බැගෑපත් වුණෙමි. නමුත් මගේ මව මා දමා යාමට අකැමැති වූවාය.
2009.05.19 වැනි දිනය මට හොඳින් මතකය. එම ගොඩනැගිල්ලේ එක් කොටසක කොටි කාන්තාවෝද තවත් කොටසක කොටි තරුණයෝද රඳවා සිටියහ. එම පිරිස අතර මා හඳුනන අයද සිටියහ. හමුදා නිලධාරීහු අප වෙන වෙනම ගෙන අපගේ නම්, ගම්, වයස, කොටි සංවිධානයට බැඳී කළ රාජකාරි අපෙන් විමසා වෙන වෙනම සටහන් කර ගත්හ. ඔවුහු අපගේ ඡායාරූපද ලබා ගත්හ. ඉතා හොඳින් දෙමළ බස හැසිරවිය හැකි නිලධාරීන් එම රාජකාරිය සඳහා යොදවා තිබිණි.
තොරතුරු ලේඛනගත කිරීමෙන් පසු ඔවුහු බස් රථවලින් අපව වෙනත් ස්ථානයකට රැගෙන ගියහ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට අපව රැගෙන යනු ඇතැයි අප සමඟ සිටි පිරිස් සැක කළහ. එහෙත් අපේ ඉරණම කුමක්දැයි අපි නොදැන සිටියෙමු.
හමුදා නිලධාරින්ට උදව් කිරීම පිණිස දෙමළ තරුණයෝ පිරිසක්ද සිටියහ. එම දෙමළ තරුණයෝ අප නින්දාවට පත්වන ආකාරයට ඉතාම පහත් අන්දමින් අපට බැණ වැදුණහ. “උඹලගේ අහංකාරකම් නිසයි උඹලත් ජනතාවත් දැන් දුක්විඳින්නේ” යනුවෙන් ඔවුහු කීහ. එම තරුණයන්ට හොඳ පිළිතුරක් එම මොහොතේම දීමට සිතුණත් ඒ නිසාම මට ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇතැයි සිතා මම නිහඬ වුණෙමි.
මෙබඳු වේදනාබර අත්දැකීමක සිටි මොහොතක “තමලිනී අක්කේ, තමලිනි අක්කේ” යනුවෙන් කවුදෝ මා අමතනු ඇසිණි. ඒ හඬ ආ දෙස මම බැලුවෙමි. මට කතා කළ දෙමළ තරුණයෝ කිහිප දෙනෙක් එතැනට පැමිණෙන ලෙස මට සංඥා කළහ. ඒ අසල හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ද සිටියහ. මට කුමක්වේදැයි නොදැන බියෙන් එතැනට ගිය මම “ඔව් මම තමයි තමලිනී” යැයි පැවසුවෙමි.
නැවතත් සැකකරුවන් ලියාපදිංචි කරන ස්ථානයට මා රැගෙන ගොස් මාගේ සම්පූර්ණ විස්තර යළිත් ලියාගත් අතර මාගේ ඡායාරූපයක්ද ගත්හ. ඇත්ත ප්‍රකාශ කළහොත් මට සමාව ලැබෙතැයි මම විශ්වාස කළෙමි.
තොරතුරු සටහන් කර ගැනීමෙන් පසුව එම ගොඩනැගිල්ලේම වෙනත් ස්ථානයක මා රඳවා තැබිණි. අනික් අයට මෙන් නොව මා හට විශේෂයක් කර සලකන බව මට දැනුණි. එතැනට පැමිණි හමුදාවේ උසස් නිලධාරියෙක් “වනක්කම් තමලිනි” යැයි මට සුබ පැතුවේය. එම නිලධාරියා දුටු සැණින් මම තැගැස්සී ගියෙමි. මෙම නිලධාරියා මීට පෙර කොහේදී හෝ දැක ඇති බව මට මතක් විය. මම එම හමුව සිහියට නගා ගැනීමට උත්සාහ දැරුවෙමි.
එම උත්සාහය ඵල දරුවේය. සාම සාකච්ඡා පැවති සමයේදී වන්නියට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් සමග ඔහුද පැමිණ සිටියේය. ඒ මාධ්‍යවේදියෙකු ලෙසය. මෙම හමුදා නිලධාරියා වන්නියේදී අපේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් සමග හා අනෙකුත් නායකයන් සමග සාකච්ඡා කළ ආකාරය ද මට සිහිපත් විය.
දෙමළ භාෂාව හොඳින් හැසිරවිය හැකි ඔහු අපගේ නායකයන් සමග සාකච්ඡා කළා පමණක් නොව තේ පැන් සංග්‍රහයන්ටද එක්විය. 2004 වසරේදී යුද බිමේදී වීරවරියක ලෙස මියගිය දෙවැනි ලුතිනන් මාලදිගේ ගුණ සමරු උළෙලකටද මාධ්‍යවේදියකු ලෙස ඔහු සහභාගි විය. ඔහු හමුදා නිලධාරියකු යැයි කිසිම සැකයක් ඇති නොවන ආකාරයට ඔහු ඉතා දක්‍ෂ ලෙස රඟපෑවේය.
මේ ආකාරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ඉතා රහසිගතව අපේ පාලන ප්‍රදේශවලට ඇතුළුවී බුද්ධි අංශ තොරතුරු එක් රැස් කළ නිසා යුද්ධය ඉතා පහසුවෙන් ජයගැනීමට හමුදාවට හැකිවූ බව මම සිතමි.
මම ඔහුව හඳුනාගත් බව දැනගත් හමුදා නිලධාරියා ඉතා ගෞරවණීය ලෙස මා සමග කතා කිරීමට පටන් ගත්තේය.
“තමලිනි ඔයා බයවෙන්න එපා. අනිත් අය වගේ ඔයාව අපි පුනරුත්ථාපන කඳවුරකට යවන්නේ නෑ. ඔබතුමිය නායිකාවක්. ඒ නිසා ඔබතුමිය ගැන තවදුරටත් කරුණු සොයල බලල ඔබතුමිය ගැන රහස් පොලිසිය සමගත් සාකච්ඡා කරල අවශ්‍යනම් පමණක් ඔබතුමියට විරුද්ධව නීත්‍යනුකූල පියවර ගන්නවා” යැයි ඔහු කීවේය.
“බයවෙන්න එපා. ඔබට කිසිදු කායික හිරිහැරයක් නොවන බවට මම සහතික වෙනවා” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
ඉතිරිය ලබන සතියට.
පරිවර්තනය : එස්. තිලෙයිනාදන්