කළු ජූලියේ අමතක නොවන මතක-02
කඳවුරෙන් එළියට ඇවිත් වාහනය පණගන්වාගත් පිරිස එක පිම්මේ ගියේ සිද්ධිය වූ ස්ථානයටය.
මෙම පිරිස පිටවී යාමත් සමගම පලාලි කඳවුරෙන් පණිවුඩය නිකුත් කෙරුණේ අනවසරයෙන් පිරිසක් කඳවුරෙන් පිටවී ගිය බවය. ඒ මැසේජ් එක හමුදාපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරයට ද ඇසෙන්නට විය. මේ ආරංචිය දැනගත් හමුදාපතිවරයා කොළඹ යාම පසෙක දමා නැවත පලාලි යාමට තීරණය කොට ගුරුනගර් කඳවුරට හෙළිකොප්ටරය බැස්සවිය. එතැන සිට රථ දෙකකින් ආරක්ෂක නිලධාරින් පිරිවරාගෙන අපි ඉන්න දෙසට ආවා. ඒවන විට අපි පිරිස සිටියේ බිම් බෝම්බය පුපුරා ගිය ප්‍රදේශයේ. අපි පිරිස එතැනට ගිය සැණින්ම හමුදාපතිවරයා පැමිණීම නිසා අප ගිය අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වුණා.
හමුදාපතිවරයා ආ සැණින්ම අපේ පිරිස ළඟ තිබූ වෙෆන් සියල්ලම ඔහුගේ භාරයට ගත්තා. ඒ ගමන්ම අපි විසිනව දෙනෙක් අත්අඩංගුවට ගත්තා. බඩගින්නයි, වේදනාවයි, කෝපයයි නිසා අපට කරකියා ගත හැකි දෙයක් වුණේ නැහැ. හමුදාපතිවරයාගේ කෝපය ද ඉහවහා ගොස් තිබූ බව ඔහුගේ මුහුණ තුළින්ම දැක ගන්නට තිබුණා.
අනුරාධපුර බන්ධනාගාරයට බාර දීමට අපේ පිරිස රැගෙන ආවත් අපිව බන්ධනාගාරයෙන් බාරගත්තේ නැහැ. පසුව අනුරාධපුර පොලිසියට අප පිරිස බාර දුන්නා. මේ වන විට වේලාව සවස හයට ආසන්න වී තිබුණා. නිල ඇඳුමෙන් සිටි අප පිරිසට උදේට සහ දවල් ආහාරයට කිසිවක් නොවූ නිසා බඩගින්නද වැඩිවෙමින් තිබුණා. පොලිසියෙන් වතුර ඉල්ලාගෙන පානය කොට බඩගින්න අඩුකර ගැනීමට උත්සාහ කළා.
හමුදා සෙබළුන්ගේ වියෝවීම නිසා කෝපයට පත් අප පිරිස ඔවුන්ගෙන් පළිගැනීමට ගිය බව අසා දැනගත් පොලිසියේ නිලධාරින් අපට දැක්වූයේ ගෞරවයක්. ඉහළ පිළිගැනීමක් ද වුණා. අපට අවශ්‍ය කෑම බීම සියල්ලම ගෙනැවිත් දුන්නා.
මෙම සෙබළු ඝාතනයත් සමගම රට පුරාම ජනතාවගේ නැගී සිටීමක් ඇති වුණා. ද්‍රවිඩ ජනතාවගේ නිවෙස්වලට වෙළෙඳසල්වලට පහර දෙමින් ගිනි තබමින් රට පුරාම ගිනි ජාලාවක් බවට පත්වී තිබුණා. පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණා. ජූලි විසි හතර වැනිදා වන විට අප පිරිස අනුරාධපුර පොලිසියේ ඉන්න බව අනුරාධපුර ජනතාවට දැන ගන්නට ලැබී තිබුණා. ඒ පිරිස වැල නොකැඩී අපි වීර සෙබළුන් හැටියට සලකා බලන්නට ආවා. ඒ පිරිසට පොලිසිය ඇතුළට එන්න ලැබුණේ නැහැ. කෑම, බීම, ඇඳුම් පැලඳුම් පවා ගෙනැවිත් දීමට තරම් ඔවුන් සූදානමින් සිටියා.
පොලිසියට එන ජනතාවගේ ප්‍රමාණය මොහොතින් මොහොත වැඩි වෙන්නට වුණා. මේ පිරිස පොලිසියට පාලනය කරගැනීමට ද නොහැකි වුණා. අනුරාධපුරයේ සිට අප පිරිස අරගෙන ගියේ තඹුත්තේගම පොලිසියට. පොලිසිය ප්‍රධාන පාරේ සිට ටිකක් ඇතුළට පිහිටා තිබිණි. තඹුත්තේගම පොලිසියෙන් ද අපට කෑම ලෑස්ති කර තිබුණා.
තඹුත්තේගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාලයන්ගේ සහෝදරයෙක්. ඔහු සමග අපි පිරිස ඉතා මිත්‍ර වුණා. ඔහු අපට ටොෆි චොකලට් පවා ගෙනැවිත් දුන්නා.
මේ සිද්ධියෙන් පස්සේ ගෙවල්වල ඉන්න අය බියෙන් ඉන්නා බව සිතුණා. මම විවාහ වෙලා වැඩි දවසක් ගත වුණෙත් නැහැ. මට ගෙදරට පණිවිඩයක් ලබාදීම තදින්ම අවශ්‍යතාවයක් තිබුණා.
සාජන් මහත්තයා කවුද පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා එතැන සිටි සැරයන්වරයකුගෙන් මම විමසා සිටියා.
අම්බලන්ගොඩ ගිනිගේ මහත්තයා කියලා කෙනක්.
සැරයන්වරයාගේ එම වදන් පිටවීමත් සමගම මට ඇති වුණේ ලොකු ශක්තියක්. එතෙක් හිතේ තිබූ විඩාව දුක මොහොතකට කොහේ ගියාද දන්නෙ නැහැ. මම ඒ සැණින්ම පොලිසියේ ඕඅයිසී මහත්තයා හමුවීමට ඔහුගේ කාර්යාලයට ඇතු`ඵ වුණා.
ඔහුත් “එන්න, එන්නැයි” මා දුටු සැණින් මහත් ළෙන්ගතු කමකින් මෙන් ආරාධනය කළා.
“සර්.. මම අම්බලන්ගොඩ”
“අම්බලන්ගොඩ...? අම්බලන්ගොඩ කොහේද?”
“මම අම්බලන්ගොඩ ඌරවත්තෙ”
“ඉතිං මමත් අම්බලන්ගොඩ..”
“ඔව් මේ සාජන් මහත්තයෙකුගෙන් ඇසුවම තමයි කිව්වේ ඔබතුමා අම්බලන්ගොඩ කියලා. ඒකයි මම කෙළින්ම මුණගැහෙන්න ආවේ.”
මා මා ගැන සියලු විස්තර ප්‍රකාශ කළ විට ඉතිං මගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියලා ඕ.අයි.සී. මහත්තයා ඇසුවා.
“සර් මේ වන විට අපේ ගෙවල්වල උදවිය බයවෙලා ඇත්තේ. මට ගෙදරට කෝල් එකක් දෙන්න අවශ්‍යයි.”
“මෙන්න ෆෝන් එක ඕන තැනකට කෝල් ගන්න”
පොලිස් ස්ථානාධිපතිවරයා ඉතා නිර්ලෝභීව දුරකථනය මා ළඟට ළං කළා.
ඒ වන විට ගෙවල්වලට දුරකථන පහසුකම් තිබුණේ නැහැ. ඌරවත්තේ බී.කේ.බී. ඔයිල් මිල්ස් ආයතනය තිබුණා. දැන් එම ආයතනය වැසී ගිහින් අවුරුදු ගණනාවක් වෙනවා. මම කෑම්ප් එකේ සිටිද්දීත් ගෙදරට හදිසි දුරකථන ඇමතුම් ගන්නේ එම ආයතනයටයි. මගේ මල්ලිත් සේවය කළේ ඒ ආයතනයේ.
26 වැනිදා රාත්‍රී අටට විතර ඇති දුරකථන ඇමතුම ගන්නා විට දී කරුණාසේන මුදලාලි ඒ වන විටත් තෙල් මෝලේ හිටියා. ඔහු හඳුනන නිසා මම සියලු විස්තරය කිව්වා. මම විවාහ වෙලා ඒ වන විට ගත වී තිබුණේ සති දෙකයි. මගේ වෙඩින් එකට කරුණාසේන මුදලාලිත් ආවා.
මම විස්තර කිව්වට පසු දැන්මම ගෙදරට ගිහින් පණිවිඩය කියන්නම් කියලා කිව්වා. ඊට පසුවදා අපි පස් දෙනා බැගින් වැටුප් සහිතව අනිවාර්ය නිවාඩු මත ගෙවල්වලට එව්වා. සති අන්තයේ ළඟම පොලිසියට ගොස් වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නා. මේ අතරවාරයේ දී ගෙදරටත් පොලිසියෙන් ඇවිත් අපි ගැන සොයා බැලුවා.
මාස පහකට පමණ පසු එනම් 1984 දෙසැම්බර් දහසය වැනි දින 9.00 පැයට පනාගොඩ ලංකා පාබළ හමුදා කඳවුරට රපෝර්තු කරන ලෙස විදුලි පණිවිඩයක් මගින් දැනුම් දුන්නා.
අපි විසිනව දෙනාම කෑම්ප් එකට ඇවිත් සිටියා. මාස කිහිපයකට පසු මිතුරන් පිරිස හමුවීමත් ලොකු සතුටක් වුණා. එතැනින් ට්‍රක් රථයකට නංවාගෙන කොළඹ යුද හමුදා මූලස්ථානයට ගෙනාවා.
“ඔබ සියලු දෙනාම වීර සෙබළුන් හැටියට පිළිගන්නවා. තම ජීවිතය ද පරදුවට තබා රට දැය වෙනුවෙන් ඉදිරිපත් වීම අගය කරනවා. හැකි ඉක්මනින් හමුදාවට වාර්තා කරන්න.”
හමුදාපතිවරයා ඔහුගේ දේශන ශාලාවට අපි සියලු දෙනා කැඳවා ප්‍රකාශ කළා.
“සර්... අපි පඩි සහිත අනිවාර්ය නිවාඩු යවලා තිබෙන්නේ. ඒ වුණත් තවම පඩි ලැබුණේ නැහැ. මුලින්ම අපේ වැටුප් ලබා දෙන්න.”
පිරිස එක හඬින් ඉල්ලා සිටියා.
“මුදල් ඇමැතිතුමා සමග සාකච්ඡා කරලා පඩි දෙන්නම්. හැකි ඉක්මනින් සේවයට වාර්තා කරන්න”යි කියූ හමුදාපතිවරයා ඒ සැණින් නැගිටල ගියා. ඔහු ගිය පසු අපි කට්ටියක් ආවා.
අපට පඩි ලැබුණෙත් නැහැ. අපි සේවයට ගියෙත් නැහැ. මේ වන විට උතුරේ යුද්ධය කෙමෙන් කෙමෙන් උත්සන්න වුණා. දින දෙකෙන් තුනෙන් යාපනය ඇතුළු උතුරේ තැනින් තැන ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවෙන්නට වුණා. අපි ගෙදර හිටියා. රැකියාවක් නැතුව බොහෝ දුක් වින්දා. මේ සිද්ධියට මුහුණ දෙන විට මම විවාහ වෙලා සති දෙකයි ගත වුණේ. එන්න එන්න ආර්ථික අහේනිකම් ඇති නොවුණා නොවෙයි. එහෙත් අපේ දෙපැත්තෙම ඥාති පාර්ශ්වයේ උපකාරයෙන් ජීවිතය බොහොම අමාරුවෙන් ගැටගසා ගත්තා.
වසර එක හමාරකට පමණ පසු එනම් 1985 ජනවාරි දහඅට වැනි දින මූලස්ථානය 1/ශ්‍රී.ල.පා.හ. ගුරුනගර් කඳවුර යාපනය යන කඳවුරෙන් ලිපියක් ලැබුණේ යුද්ධ හමුදා සේවයට කැඳවීම යන ශීර්ෂ පාඨයෙන් යුතුවයි. එහි සඳහන් වී තිබුණේ,
“අනිවාර්ය නිවාඩු සිටිනු ලබන ඔබ පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නැවත සේවයේ යෙදවීමට අදහස් කර ඇත.
(අ) ඔබ අනිවාර්ය නිවාඩු යවනු ලැබූ අවස්ථාවේ උසුලන ලද නිලය වන සා.සෙ. නිලයට 1/ශ්‍රී.ල.ප.හ වෙත බඳවා ගනු ලැබේ.
(ආ) බඳවා ගැනීමෙන් අනතුරුව රාජකාරි සඳහා වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය වෙත ද්විතීයනය කරනු ලබන අතර එහි ආරක්ෂක රාජකාරීන්ට හෝ ඔබගේ පුහුණුවීම/සුදුසුකම් අනුව රාජකාරීන්ට යොදවනු ලැබේ.
2. මේ පිළිබඳව ඔබගේ කැමැත්ත නොපමාව ලිපියක් මගින් මෙම මූලස්ථානය වෙත දන්වා එවන මෙන් ඉල්ලා සිටිමි.
කපිතාන්,
අණ දෙන නිලධාරි වෙනුවට
මෙයින් අපේ නිලය පහත් කර තිබුණේ. පසුව රටේ යුද තත්ත්වය එන්න එන්නම වැඩිවූ නිසා අපි ලිපියට පිළිතුරක් යැව්වේ නැහැ.
මේ වන විට රත්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුණේ නීතිඥ අසෝක සෝමරත්න මහතායි. එතුමාට දැනුම් දී තිබුණා අපට රැකියාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයට යොමු කළා.
1986 අප්‍රේල් මස තුන්වැනි දින යුද හමුදා වැටුප් පාලක හා ලේඛන භාර නිලධාරි කර්නල් ඩී. එල්. තන්ත්‍රිආරච්චි මහතා ලිපියක් එව්වා. සේවය අනවශ්‍ය හේතුවෙන් යුද හමුදාවෙන් අස්කළා කියලා.
බළපිටියේ එස්. ඒ. වයි. ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි