හමුදාපතිවරුන්ගේ සීතල යුද්ධය


ඊළාම් සටනේ මහ මුහුදේ යුද්ධය 26


යුද ජයග්‍රහණයට දස වසරකි. ඒ යුද ජය ග්‍රහණය නිර්මාණය වූයේ මරණයට අභියෝග කළ වීරෝදාර රණවිරුවන්ගේ අයස්කාන්ත මැදිහත් වීමෙනි. ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පරිත්‍යාග කළ මව්බිමේ සුජාත දූ පුතුන්ගේ ඒ උත්තම පූජාවන් වර්තමානයට මතු නොව අනාගතයටද දෑසක්ව පැලඳවිය යුතුය.


තිස් වසරක යුද්ධය තුන් වසරකින් නිමා කිරීමේ මෙහෙයුමේදී නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාවට සැපයූ නායකත්වය නොවන්නට ඉතිහාසය වෙනස් විය හැකිව තිබිණි. මේ ඒ ඉතිහාසයෙන් වසන් කළ නොහැකි කතාවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ තම යුද අත්දැකීම අළලා ලියූ ‘අධිෂ්ඨානය’ කෘතියෙන් මේ උපුටනය අනාගත පරපුර වෙනුවෙනි.

 


L.T.T.E  ය පරාජය කොට දමිළ වැසියන් L.T.T.E  ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා දියත් කරන ලද මානුෂීය මෙහෙයුම යන අතරේ යුද හමුදාපති සරත් ෆොන්සේකාත් මාත් අතර සීතල යුද්ධයක් පැවතුණ බව ද බොහෝ දෙනා දන්නා රහසකි. මේ සම්බන්ධයෙන් නොයෙක් කටකතා ගොතා මෙම තත්ත්වය තව තවත් රසකර නොයෙක් දෙනා අතර ප්‍රචාරය කළ බව ද මම දනිමි. එහෙත් සරත් ෆොන්සේකා හා මා අතර ඇති වූ අරගලයේ සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි මාගේ මතක සටහන් ලිවීමේදී ලියා තැබිය යුතු යැයි මම සිතමි.


සරත් ෆොන්සේකා හා මා අතර ගැටුම පාසල් වියේ පටන් පැවති එකක් යැයි ඇතැම් පුවත්පත්වල පවා පළවිය. සැබැවින්ම පාසැල් වියේදී අප දෙදෙනා අතර එබඳු ගැටුමක් තිබුණේ නැත. අපි දෙදෙනාම එක්තරා කාල වකවානුවකදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගතිමු. ඔහු මට වඩා වසර දෙකකින් වයසින් ජ්‍යෙෂ්ඨ වූ අතර මට වඩා වසරකින් ඉහළ  පන්තියක අධ්‍යාපනය ලබමින් සිටියේය.


අප දෙදෙනාම පාසැලේ පිහිනුම් කණ්ඩායම හා වෝටර් පෝලෝ කණ්ඩායම නියෝජනය කළ අතර 1969 මෙම කණ්ඩායම් දෙකෙහිම නායකයා ඔහු විය. ඔහු නායකත්වය දරද්දී මම එම කණ්ඩායම් දෙකෙහිම සාමාජිකත්වය දැරුවෙමි. 1970 වර්ෂයේ එම කණ්ඩායම් දෙකෙහිම නායකත්වය දැරුවේ මාය. අපි දෙදෙනාම ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෝ වීමු. ඊට අමතරව මම පාසලේ බාලදක්ෂ නායකයාද, නිවාස මලල ක්‍රීඩා නායකයෙක් සහ ආනන්ද විද්‍යාලයේ පළමු රැජින බාලදක්ෂයාද වීමි. සරත් ෆොන්සේකා විද්‍යාලයීය ශිෂ්‍යභට කණ්ඩායමේද සිටියේය.


මෙසේ පාසල් වියේ පටන් දැන හඳුනාගෙන සිටි නමුදු අප අතර ලොකු මිත්‍රකමක් තිබුණේ නැත. සරත් ෆොන්සේකා 1970 වර්ෂයේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳුණු අතර මම 1971 වර්ෂයේ ශිෂ්‍යභට නිලධාරියකු ලෙස නාවික හමුදාවට බැඳුණෙමි. හමුදාවට බැඳුණු පසු ආනන්ද - නාලන්ද වාර්ෂික ක්‍රිකට් ක්‍රීඩා තරගයකදී වරක් හෝ දෙවරක් ඔහු හමුවී කථාබහ කර තිබූ නමුත් ඊට අමතරව මිත්‍රකමක් තිබුණේ නැත. නමුත් හමුදා දෙකක සේවය කරන ආදි ආනන්දීයන් දෙදෙනෙකු ලෙස දුටු තැන කතාබහ කළෙමු.
1992 වර්ෂයේ මා සේවය කළේ ශ්‍රී ලං.නා.නෞ ‘වික්‍රම’ නෞකාවේය. මෙම කාලසීමාවේදී මාගේ රාජකාරි චර්යාව වූයේ දින 21 මුහුදේ මුර සංචාරය කොට, එම රාජකාරියෙන් පසු ත්‍රි’මලය වරායේ නෞකාව නවතා, නෞකාවේ දෙවැනි නිලධාරියාට නෞකාව භාර දී දින 7ක නිවාඩු ගතකිරීමට මාගේ නිවසට පැමිණීමය. මෙය නාවික හමුදා මූලස්ථානයේ අනුමත කර තිබුණ පිළිවෙතකි. 1992 වර්ෂයේ අප්‍රේල් මස මෙසේ මාගේ අනුමත නිවාඩු ලබාගෙන නිවසට පැමිණ සිටින විට එවකට බටහිර ප්‍රදේශය භාර නාවික ආඥාපති ලෙස කටයුතු කළ කොමදෝරු තිසේරා දුරකථනයෙන් කථා කරමින්.


“වසන්ත මට දැනගන්න ලැබුණා ලීව් (නිවාඩු)  ආව කියලා. කොහොමද මේ සැරේ පැට්‍රෝල් එක, L.T.T.E යෙන් ප්‍රශ්න තිබුණේ නැද්ද?”
“නැහැ සර්, කියන්න තරම් විශේෂයක් නැහැ. සර්ගේ උසස්වීමට අපේ සුබපැතුම් සර්.”
“තැන්ක් යූ වසන්ත. ඒක තමයි මම මේ වැඩිපුරම කතා කළේ. හෙට මගේ ප්‍රොමෝෂන් පාටි එක තියෙනවා. ඒකට එන්න ඕනෑ.”
“සර් දන්නවානේ. මේ කාලේ මම කිසිම දේකට කොහේවත් වොර්ඞ් රූම් (නිලධාරි නිවාසය) එකකට යන්නේ නැහැ කියලා. පුළුවන් තරම් හැංගිලා වගේ තමයි ඉන්නේ. ඒක නිසා වරදවා තේරුම් ගන්න එපා සර්, මාව ඔය පාටියෙන් එක්ස්කියුස් (නිදහස්) කරන්න.”
“ඔය විදියට හැංගිලා ඉන්න හදන්න එපා. මම හෙට වාහනයක් ගෙදරට එවනවා. නොවරදවාම එන්න” කියා ඔහු දුරකථනය විසන්ධි කළේය. ඔහු නාවික හමුදාවේ මා බැඳුණු කණ්ඩායමට පෙර කණ්ඩායමේ සාමාජිකයෙක් වුවත් හින්දි චිත්‍රපට නිසා අප අතර මිත්‍රත්වයක් තිබුණි.


මා එසේ පිළිතුරු දීමට හේතුවක් තිබිණි. 1987 දෙසැම්බර් මස සිට 1991 අගෝස්තු 31 වැනිදා වනතෙක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා යටතේ නාවික හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙහෙයුම් ලෙස මම ක්‍රියා කළෙමි. මෙම තනතුරට සමාන්තරව මාණ්ඩලික සංඥා නිලධාරී, මාණ්ඩලික ක්‍රීඩා නිලධාරී සහ මාණ්ඩලික මාධ්‍ය නිලධාරී ලෙස තවත් තනතුරු තුනකම කටයුතු එකවර කළෙමි. 1991 මාර්තු මාසයේදී පමණ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආනන්ද සිල්වාට හෘදයාබාධයක් සෑදී රෝහල් ගත කෙරුණි. මෙම කාලසීමාව තුළ නාවික හමුදාවේ ඊළඟ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා සුවවී නැවත රාජකාරීයට එනතෙක් නාවික හමුදාවේ වැඩ බැලීමට පත් විය.
මෙසේ ඔහුව වැඩ බැලීමට පත්කර දෙවැනි දිනයේදී ඔහුගෙන් මට දුරකථන පණිවුඩයක් ලැබිණ.
“කරන්නාගොඩ, ආර් යූ කෝඩිනේටින්ද මීඩියා?” (ඔබ මාධ්‍ය සම්බන්ධීකරණය කරනවාද?)
“ඉයස් (ඔව්) සර්”


“ෆ්රොම් නව් ඔන්වර්ඞ්ස් යූ මස්ට් ගිව් පබ්ලිසිටි ෆෝ ද නේවි විත් අ පන්ච්” (ඔබ මෙතැන් සිට නාවික හමුදාවට විශේෂ ප්‍රසිද්ධියක් ලැබෙන ලෙස කටයුතු කළ යුතුයි.)
ඔහුගේ මේ ප්‍රකාශයට මම පුදුම වීමි. නාවික හමුදාපතිවරයා අසනීප වී රෝහල් ගත වී සිටින විට එම කාලය තුළ වැඩබලන නාවික හමුදාපතිට වැඩිදුර ප්‍රසිද්ධියක් ලබාදී ඔහු වයිස් අද්මිරාල් ආනන්ද සිල්වාට වඩා දක්‍ෂයෙක් යැයි පෙන්නුම් කරන ලෙස මට කියයි. මේ වන විටත් මම මාගේ උපරිමයෙන් නාවික හමුදාවට අවශ්‍ය ප්‍රසිද්ධිය ලබාදෙමින් කටයුතු කරමින් සිටියෙමි. අසනීප වී සිටින වයිස් අද්මිරාල් ආනන්ද සිල්වාව පහත දමා කටයුතු කරන්නේ කෙසේද? එය මට කොහෙත්ම නොකළ හැකි දෙයකි. 
‘සර්, මම වයිස් අද්මිරාල් ආනන්ද සිල්වාට වැඩ කරපු ආකාරයටම ඔබටත් වැඩ කරන්නම්.”


රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුට මාගේ පිළිතුරට තදින්ම කේන්ති ගියේය. ඔහු මට පරුෂ වචනයෙන් බැණවැදී දුරකථන සම්බන්ධතාව නිමා කළේය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා රෝහලේ  සිටින කාලය තුළ මාව නාවික හමුදා මූලස්ථානයෙන් ඉවත් කිරීමට තුන්වරක්ම වැඩබලන නාවික හමුදාපති උත්සාහ කළේය. පළමු අවස්ථාවේදී වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මගින් එය අවලංගු කළේය. ඊට සති තුනකට පසු රන්ජන් විජේරත්න මහතා බෝම්බ ප්‍රහාරයකින් මියගියේය. ඉන්පසුව දෙවන වරටත් මාගේ සේවා ස්ථාන මාරුවීමේ සංඥාව රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු නිකුත් කළේය. මෙවර වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා, එවකට අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග මැතිතුමා මගින් එම මාරුවීමත් අවලංගු කළේය. පසුව වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා මහතා සුවය ලබා නැවත රාජකාරියට පැමිණ 1991 වර්ෂයේ ජූනි මස 1 වැනිදා සිට විශ්‍රාම යෑමට පෙර මාස තුනක නිවාඩු ලබා ගත්තේය. 


රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු නැවත වැඩබලන නාවික හමුදාපති ලෙස පත් කරන ලදී. එම පත්කිරීමෙන් පසුව ඔහු පළමුවෙන්ම කළ එක් කටයුත්තක් වූයේ තුන්වන වරටත් මාගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක කිරීමයි. මෙවරද ඩී. බී. විජේතුංග අගමැතුමා මගින් වයිස් අද්මිරාල් ආනන්ද සිල්වා එය අවලංගු කරන ලදී. මෙම අවස්ථා තුනේදීම මම ස්ථාන මාරු වී යන බව දන්වා අලුත් තනතුරේ වැඩභාර ගැනීමේ අවශ්‍යතාවය වයිස් අද්මිරාල් ආනන්ද සිල්වාට පෙන්වා දුන්නෙමි. එහෙත් ඔහුගේ විශ්වාසවන්තයෙක් ලෙස ඔහු නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා තෙක් ඔහුට සේවය කරන ලෙස ඉල්ලා සිටියෙන් මට එයට එකඟ වීම හැර වෙන කළහැක්කක් නොතිබුණි. මෙම තත්ත්වය යටතේ රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු මාත් සමඟ ඉතාමත් උරණ වන බව සහ ඔහුගෙන් බැටකෑමට සිදුවන බවද මම හොඳින් දැන සිටියෙමි.


1991 සැප්තැම්බර් මස 1 වැනි දින නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු වැඩභාරගත් දාට පසුදාම මාව ‘වික්‍රම’ නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස පත් කර යැවීය. මා එම තනතුරේ ගත කළ කාලය තුළ මා හට යම්කිසි දඬුවමක් දීමට හෝ යුදාධිකරණයක් ඉදිරිපිටට ගෙන ඒමට මට විරුද්ධව 8 වතාවක් පරීක්‍ෂණ මණ්ඩල පත් කෙරුණි. එහෙත් මා වරදක් කර නොතිබීම හෝ මාගේ අතින් අතපසුවීම් නොවීමට මා වගබලාගත් නිසා එම පරීක්‍ෂණ මණ්ඩලවලට මා වරදකරුවකු කළ නොහැකි විය. 1992 සැප්තැම්බර් මස 11 දින මා හට මුහුදේදී වෙඩි වැදුණු අවස්ථාවේදීද පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කළේ මට විරුද්ධව මිස නොසැලකිලිමත්කමින් අවිය හැසිර වූ නාවිකයාට විරුද්ධව නොවේ. මෙවන් පසුබිමක් යටතේ සමහර නිලධාරීන් මා පිළිබඳව නොයෙකුත් ගොතන ලද චෝදනා නාවික හමුදාපතිවරයාගේ කණේ තබා ඔහුව සන්තෝෂ කර ඔවුන්ගේ අවශ්‍ය කාර්යයන් සඳහා පහසුවෙන් නාවික හමුදාපතිගේ අවසරය ලබාගත්හ. එම කාලවකවානුවේ ‘කරන්නාගොඩ’ යන නම තහනම් වචනයකි. මාගේ නෞකාවේ නිලධාරීන් හැරුණු විට අනෙකුත් නිලධාරීන් මා  නිලධාරී නිවාසයකට එනවිට ලාදුරු රෝගියෙකු දුටු විට මෙන් මගහැර යන තත්ත්වයක් තිබුණි.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප අන්තර්ජාලයෙනි