පරිපාලන නීති ක්‍රියාත්මක කිරීම සහ විවිධ දූෂණ වංචා විමර්ශනය සඳහාත් වරින් වර විවිධ කොමිසම් පත්කිරීම සිදුකෙරේ. කොමිසම් සහ කමිටු පත්කිරීම්වලට දශක හය හතක පමණ ඈත අතීතයක් ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සුදුසු ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ඩොනමෝර් කොමිසම පිහිටුවීම ඉතිහාසයේ ප්‍රථම කොමිසම ලෙස හැඳින්විය හැකිය. එය සිදුවූයේ එක්දහස් නවසිය විසිහතේ වසරේදීය. ලංකා ජාතික සංගමයේ ඉල්ලීම මත එය සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවට ඡන්ද බලය ලැබීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රබල කොමිසමක් පත්කරනු ලැබුවේ එක්දහස් නවසිය පනස්හයේ වසරේදීය. ගල්ඔය කොමිසම යනුවෙන් නම් කර තිබූ එම කොමිසම පත්කරනු ලැබුවේ එවකට හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසිනි. 1956 ඇති කළ එහි සභාපතිවරයා වූයේ සර් ලලිත රාජපක්ෂ මහතාය. දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය එම කොමිසම අවලංගු කරන ලෙස විරුද්ධ පක්ෂය මහත් ආන්දෝලනයක් ද ඇති කළේය.
ගල්ඔය ජනපද ව්‍යාපාරයේ කටයුතු අවුල්වීමත් ජාති භේද කෝලාහල ඇතිවීම පිළිබඳවත් විභාග කිරීම සඳහා එම කොමිසම එදා පත්කරනු ලැබීය. කොමිසම පත්කිරීමට හේතුවූ කරුණුත් එය අවලංගු කරන ලෙස ඇතිවූ උද්ඝෝෂණ පිළිබඳවත් දිනමිණ පුවත්පත එදා වාර්තා කර තිබුණේ මෙසේය.
“පසුගිය ජූනි මාසයේ රාජ්‍ය භාෂා පනත සම්මත වීමත් සමඟ ගල්ඔය නිම්නයේ සිදුවූ දරුණු ජාති භේද කෝලාහල හා ගල්ඔය ජනපද ව්‍යාපාරයේ පාලනය අවුල් වීම ආදී කරුණු සම්බන්ධයෙන් විභාගකර බැලූ වාර්තාවක් සැපයීම සඳහා පත්කරන ලද ගල්ඔය කොමිසම අවලංගු කිරීමට යන බව දැනගන්නට තිබේ. ගල්ඔය කොමිසමේ ඉරණම ගැන අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම කොමිසමේ සභාපති සර් ලලිත රාජපක්ෂ මහතා සමග ගිය සති අන්තයේ සාකච්ඡාවක් ද පැවැත්වීය.
මෙම කොමිසම දෙතුන් දිනක් සාක්ෂි විභාග කිරීමෙන් පසු දින නියමයක් නැතිව කල්තබන ලදී. කොමිසමේ රැස්වීම කල්තබන ලද්දේ දින නියමයක් නැතිව වුවද ලබන ජනවාරි මාසයේ මුල්හරියේදී සාක්ෂි විභාගය නැවත ඇරඹීමේ බලාපොරොත්තුවක් තමා තුළ වී යැයි කොමිසමේ සභාපති ලලිත රාජපක්ෂ මහතා පැවැසීය.
මහජන මතය අනුව කොමිසමේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් කිරීම අගමැතිවරයාගේ උපදෙස් පිට ආණ්ඩුකාරතුමා විසින් කළ යුත්තක් හෙයින් ඒ ගැන යමක් කීමට තමාට නොහැකි යැයි ද ඒ මහතා කීය. ගල්ඔය කොමිසම අවලංගු කළ යුතුද නැද්ද යන්න තමාගේ සැලකිල්ලට භාජනය වී පවතින්නේ යැයි අගමැතිවරයා කීය.
මේ කොමිසමෙන් වැදගැම්මකට ඇති වැඩක් සිදුනොවනු ඇතැයි කියමින් කොමිසම අවලංගු කර දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ගල්ඔය මිටියාවතේ කලබල සිදුවී දැනට හය මාසයකටත් වැඩි කාලයක් ගතවී තිබීමත් කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට බොහෝ දෙනෙක් කැමැති නොවීමත් නිසා කොමිසමෙන් ප්‍රයෝජනයක් නොවනු ඇතැයි බොහෝ දෙනෙකු කියා සිටීමත් යන දෙකරුණ කොමිසමේ අනාගතය සම්බන්ධයෙන් සැලකිල්ලට භාජනය වී ඇත. කොමිසම සම්බන්ධයෙන් මහජනයා දරන මතය කුමක්ද? යන්න අගමැතිවරයා විසින් තීරණයක් ගැනීමට පෙර සොයා බලනු ඇත. කොමිසම ඉදිරියට අවුත් සාක්ෂි දීමට අය සුලබ නොවුණද නිර්නාමික සහ අත්සන් සහිත පෙත්සම් හා සන්දේශ 900ක් පමණ කොමිසම වෙත ලැබී තිබේ” යනුවෙන් එම පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබිණි.
මේ අයුරින්ම වරාය වැඩකරන ආණ්ඩුවේ කම්කරුවන්ගේ දුක්ගැනවිලි සොයා බැලීම සඳහා පත්කරන ලද කොමිසමක් ද අවලංගු කිරීමට පැවැති රජයට සිදුවිය. එම කොමිසම පත්කර තිබුණේ ගමනාගමන උප ඇමැති හෙන්රි අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙනි.
සභාපතිකම කොමිසම අවලංගු කරයි. යනුවෙන් 1958 ජනවාරි පළමු වැනිදා “දිනමිණ” පළකර තිබූ පුවත්පත් වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
“මේ කොමිසම අවලංගු කිරීමට මට බලයක් ඇතත් නැතත් එය මම අවලංගු කරමි. මින්පසු මගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකරන කිසිදු කොමිසමක් නැතැයි කී උප ඇමැතිවරයා තමාට නොදන්වා මේ කරුණ සඳහාම වෙනත් කොමිසන් සභාවක් පත්කරමින් ගමනාගමන ඇමැතිවරයා සහ අගමැතිවරයා කළ ක්‍රියාව ගැන සිය අප්‍රසාදය පළකරන බව ද කීය.
දේශපාලන බලපෑම් සෙවීම සඳහා 1961 වසරේදී තවත් කොමිසමක් පත්කිරීම පිළිබඳව එවකට පැවැති රජය අවධානය යොමු කළේය. එයට හේතුවූයේ අගමැති බණ්ඩාරනායක මහතාගේ ඝාතනයයි. ඒ පිළිබඳව ප්‍රථමවරට වාර්තාවක් පළකරනු ලැබුවේ දිනමිණ පුවත්පතේය. 1961 මැයි 05 වැනිදා දේශපාලන බලපෑම් සොයන කොමිසමක් යනුවෙන් එය පළකර තිබුණේ මෙසේය.
“බණ්ඩාරනායක ඝාතනයට හේතු වූ දේශපාලන බලපෑම් ගැන සොයා බැලීම සඳහා හැකි ඉක්මනින් කොමිසන් සභාවක් පත්කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි. දැන් නඩු විභාගය අවසන්ව ඇති බැවින් කොමිසන් සභාවක් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු දැනටමත් අගමැතිනියගෙන් ඉල්ලා ඇත. කොමිසන් සභාවක් පත්කිරීමේ අවශ්‍යතාව ගැන මන්ත්‍රීවරු ඊයේ කතා කළහ. නඩු තීන්දු ගැන දැන ගන්නට ලැබුණු වහාම මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සාකච්ඡා කළේ කොමිසන් සභාව පත්කිරීමේ අවශ්‍යතාව ගැනය. පසුගිය වර්ෂයේ අගෝස්තු 08 වැනිදා අග්‍රාණ්ඩුකාරවරයා කළ රාජාසන කථාවෙන් ද කොමිසන් සභාවක් පත්කරන බවට පොරොන්දු දෙන ලදී. ආණ්ඩුකාරවරයා රජයේ ප්‍රතිපත්ති පැහැදිලි කරමින් කළ කතාවේ මෙසේ සඳහන් විය.
“දිවංගත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය පිළිබඳ දේශපාලන සම්බන්ධතා පරික්ෂා කර බැලීම පිණිස කොමිසමක් පත්කරනු ලැබේ.” යනුවෙන් 1961 මැයි මාසයේදී එවකට පැවැති රජය ප්‍රතිඥාවක් ලබාදුන්නේය. කොමිසන්වලට අමතරව කමිටු පත්කිරීම් ද වරින් වර සිදුවූ බැව් දක්නට ලැබිණ.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව පරික්ෂා කිරීමට ද 1963 වසරේදී කොමිසමක් පත්කිරීමට නියම විය. ඒ සඳහා කොමිසමක් පත්කළ යුතුයැයි ඇමැති මණ්ඩලයට යෝජනා කරනු ලැබුවේ අධිකරණ ඇමැතිවරයා විසිනි. ඒ පිළිබඳ පුවත්පත් වාර්තාවක් පළවී තිබුණේ මෙසේය. එය පළවූයේ 1963 ජනවාරි මාසයේ 18 වැනිදාය.
රජයේ භාෂාව ගැන කොමිටියක්
රජයේ භාෂා ප්‍රතිපත්තිය කෙතෙක් දුරට ක්‍රියාත්මක කර ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට රජයේ නිලධාරීන්ගෙන් යුත් කොමිටියක් ලබන මාසය තුළදී පත්කරනු ඇත. අධිකරණ ඇමැති සෑම් පී. සී. ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ගැන අගමැතිත් මුදල් ඇමැතිවරයාත් සමග සාකච්ඡා කළ යුතු යැයි ඇමැති මණ්ඩලය තීරණය කර ඇත්තේ අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය අනුවය. එක්දහස් නවසිය හැත්තෑ එකේ වසරේදී විදේශ විනිමය පිළිබඳව කොමිසමක් පත්කිරීමට එවකට පැවැති රජය කටයුතු යෙදීය. ඒ පිළිබඳව 1971 අප්‍රේල් හය වැනිදා පුවත්පත් වාර්තාවක් පළවූයේ මෙසේය.
විනිමය ගැන කොමිසමක්
විදේශ විනිමය නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබඳ කටයුතු කිරීමට රාජකීය කොමිසමක් පත්කිරීමට රජය සූදානම් වෙයි. විදේශ විනිමය සහන පනත යටතේ හෙළි නොකරන ලද විදේශ විනිමයන් ගැන සොයා බැලීම ද මෙහිදී සිදුකෙරෙනු ඇත. විවිධ අන්දමේ විදේශ විනිමය වංචා මගින් සමහර අවස්ථාවලදී රුපියල් තිස්කෝටියක් පමණ මුදල් ප්‍රමාණයක් රජයට වංචා කර ඇති බව පෙනී ගොස් ඇත. විදේශ විනිමය සහන පනත යටතේ සහනය සලසා ඇති අන්තිම දිනය වන මැයි 31 වැනිදායින් පසුව ඒ සටහන් කර ඇති සියලු විදේශ වත්කම් ප්‍රකාශ ගැන සැලකිල්ලට යොමුකරනු ඇත. එයින් පසුව මේ යටතේ විදේශ වත්කම් හෙළි නොකර ඇති අය සම්බන්ධව සෙවීමට මෙම කොමිසම පත්කෙරේ යනුවෙනි. මේ අයුරින් බලයට පත්වන සෑම රජයක්ම වරින්වර කොමිසම් පත්කිරීම බෝවෙන රෝගයක් බවට පත්වී තිබිණි. එහෙත් බොහෝ විට එම කොමිසන් වාර්තා මගින් කරනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොවන බවට ද බොහෝ විට ආන්දෝලන ඇතිවිය.
කොමිසන් පත්කිරීම් අතරින් හැටේ දශකයේ තවත් ප්‍රබල කොමිසමක් වූයේ පුවත්පත් කොමිසමයි. එම කොමිසමේ සාක්ෂි විභාගය 1964 මැයි මාසයේදී අවසන් විය. පත්තර කොමිසමේ නිර්දේශයන්ට පටහැණිව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදන්නේ යැයි විරුද්ධ පක්ෂය බලවත් විරෝධයක් ගෙනාවේය. එයට ප්‍රධාන වූයේ ලේක්හවුස් ආයතනය පිළිබඳ ඇතිවූ අර්බුදයයි. පුවත්පත්වලට රජය මැදිහත්වීමත් පුවත්පත් ඒකාධිකාරියත් එම අර්බුදයට හේතුවිය. පුවත්පත් කොමිසමේ නිර්දේශ ප්‍රකාශයට පත්වීමෙන් පසු පක්ෂය ඒ සඳහා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව පත්‍ර ජනසතුවට විපක්ෂ විරෝධය යනුවෙන් වාර්තාවක් 1964 ඔක්තෝබර් 17 වැනිදා දවස පුවත්පත පළ කළේය. එහි සඳහන් වූයේ පත්තර කොමිසමේ නිර්දේශයන්ට පටහැණිව ක්‍රියාකරන බවට සඳහන් කරමින් විපක්ෂ නායකයින් හයදෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් අගමැතිනිය වෙත යවන ලද බවය. එයට ඇතුළත් කර තිබූ පත්තර කොමිසමේ වාර්තාවේ අංක 221 හා 222 යන ජේදවල මෙසේ සඳහන් වේ.
පත්තර ඒකාධිකාරය කැඩීම සඳහා ඉදිරිපත් කර ඇති ක්‍රමය සකස්විය යුත්තේ පත්‍ර මණ්ඩලයක් පත්කිරීමෙන් හා පවත්වාගෙන යාමෙනි. එසේ පත්කරන පත්‍ර මණ්ඩලයේ සාමාජිකයන් අස්කිරීමේ බලය පිටස්තර මොනයම් දේශපාලනඥයකුට හෝ දී තිබේ නම් එබඳු පත්‍ර මණ්ඩලයකට ලේක්හවුස් ආයතනය පවරා දෙන්නට කොමිසම කොහෙත්ම යෝජනා නොකරයි යනුවෙනි.
කොමිසන් පත්කිරීම් පිළිබඳව වරින්වර මතුවූ ගැටලු තත්ත්වයන් නිසා ඒවා පත්කිරීම් සීමා කළ යුතු බවත් ඒවායින් සිදුවන්නේ මුදල් වියදම් කිරීමක් බවත් දැඩි ලෙස විවේචනය වන්නට විය. ඒ පිළිබඳව 1968 වසරේදී දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කිරීමට පැවැති රජයට සිදුවිය. ඒ වන විට පත්කර තිබූ කොමිසන් මගින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක නොවීම නිසා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයැයි වගකිව යුතු අංශ ප්‍රකාශ කළහ. කොමිසන්වල ක්‍රියාකාරීත්වය සඳහන් වාර්තාවක් 1968 වසරේ පෙබරවාරි 25 වැනිදා එවකට පැවැති දවස පුවත්පත ප්‍රධාන පුවතින් හෙළි කළේය. එම පුවත ඒ අයුරින්ම මෙසේය.
“යම් යම් කරුණු පිළිබඳව පරික්ෂණ පැවැත්වීම සඳහා පත්කරන රාජකීය කොමිසන් සහ පරික්ෂණ කොමිටි ඉතාම අත්‍යාවශ්‍ය කරුණකදී පමණක් පත්කිරීමට රජය තීරණය කොට තිබේ.
මේ ආකාරයෙන් කොමිසන් සහ පරික්ෂණ කොමිටි ඉතාම අත්‍යවශ්‍ය කරුණකදී පමණක් පත්කිරීමට රජය තීරණය කොට තිබේ.
මේ ආකාරයෙන් කොමිසන් සභා හා කොමිටි පත්කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇත්තේ රජයේ වියහියදම් අඩුකර ගැනීම සඳහා පමණක් නොව මෙතෙක් පත්කරන ලද කොමිසන් සභා සහ කොමිටි මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් ද ක්‍රියාත්මක වී නොමැති නිසාය.
අත්‍යවශ්‍ය කටයුතුවලදී මෙන්ම අනවශ්‍ය දේවල් පිළිබඳ සොයා බැලීමට ද කොමිසන් සභා සහ කොමිටි පත්කොට ඇති බවට රජයට විපක්ෂය මගින් බොහෝ අවස්ථාවලදී චෝදනා එල්ල කොට ඇත. ඇතැම් කොමිසන් සභා සහ කොමිටි මගින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපහසු බව ද එවැනි කොමිසන් වාර්තාවන්ගෙන් සිදුවන යහපතක් නොමැති අතර විශාල මුදලක් නිකරුණේ වැයවන බව ද රජයට පෙනී ගොස් ඇත. මේ අනුව අත්‍යවශ්‍ය සිද්ධියකදී වුවද කොමිසන් පත්කරන්නේ නම් ඒක පුද්ගල කොමිසමක් වශයෙන් පත්කොට වියදම් අඩුකිරීමට රජය පියවර ගනු ඇත.
කොමිසන් සභාවක් පත්කළ යුතු අවස්ථාවක් හැරෙන්නට, සිදුවන සිද්ධියකදී හෝ යම්කිසි ස්ථානයක දූෂණ වැනි දෙයක් සොයා බැලීමේදී ඒ සඳහා ස්වාධීන මණ්ඩල පත්කොට එමගින් එවැනි දෙයක් ගැන පරික්ෂා කර බැලීම රජයේ අදහස වී ඇත. සතොස කොමිසම, ටෙලිෆෝන් කොමිසම, තේ කොමිසම, පොලිස් කොමිසම, විද්‍යාලංකාර කොමිසම, පේරාදෙණිය සරසවි කොමිසම යන කොමිසන් සභා මේ රජය බලයට පත්වීමෙන් පසුව පත්කරන ලද කොමිසන් සභාවලින් සමහරකි. රජය පත්කළ අනෙකුත් කොමිටි අතර විදේශ විනිමය කොමිටිය, ගෙවල් කුලී කොමිටිය, ලාභ බෙදීමේ කොමිටිය, දෝවේ අනතුර පිළිබඳ සොයා බැලීමේ (ලංගම) කොමිටිය ද ආදී වශයෙන් ගණනාවක් තිබිණ.