හැමදාමත් අලුත්වන අමරණීය චේ


 

මිනිසකු සතු උතුම්ම සම්පත තම ප්‍රාණය බව අමතුවෙන් කිව යුතු නොවේ. එම වටිනා ධනය තමාට යම්කිසි වාසියක් සඳහා නොව අනුන් සඳහා කැප කළ හැකි කෙනෙක් වෙතොත් ඔහු නිසැකවම වීරයෙකි. තමාට අබමල් රොනක ප්‍රයෝජනයක් නොලැබෙද්දී සාර්ථකත්වයට පත් කරගෙන ඇති තමාගේ ජීවිතය අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් විශේෂයෙන් සකලවිධ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස පුද කළ අල්ප වූ වීරයින්ගේ නාමාවලියට අර්නස්ටෝ චේ ගුවේරා නාමය ද එක්ව තිබේ.


ඔහු උපන්නේ ඈත ලතිත් ඇමරිකානු දේශයක් වූ ආර්ජන්ටිනාවේය. බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත්ව සරු දිවිපෙතක් ගත කිරීමේ මග විවරව පවතිත්දී ඒකාධිපති පාලකයන්ගේ යකඩ සපත්තුවට යටවී සිටින දුගී දුප්පත් ජනතාවගේ විමුක්තිය සඳහා තුවක්කුව අත දරා සොල්දාදුවෙකු ලෙස මැක්සිකෝවේදී සහ කියුබාවේදී සටන් කළේය. කියුබානු විප්ලවය සාර්ථක කර ගැනීමෙන් පසු කියුබානු ඇමති මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් වූ චේ ගුවේරා එම තනතුරු පමණක් නොව අඹුදරුවන්ද හැර දමා තවත් ලතින් ඇමරිකානු රාජ්‍යයක් වූ බොලීවියාවට ගියේය. එරටේ ක්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදී ධනවාදී සහ පිඩාකාරී පාලනයට එරෙහිව සටන් කරන කොමියුනිස්ට් ගරිල්ලා සංවිධානයකට එක්ව බොලිවියානු සමාජවාදී විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා සටන් වැදුණේය. බොලිවියාවේ ඈත එපිට කඳුකර පළාතක් හරහා ගලා යන යුරෝ නමැති ගංගාවේ නිම්නයේ දුෂ්කර පෙදෙසකදී 1967 ඔක්තෝබර් අට වැනිදා මරා දමා තිබුණි. මෙවැනි සිදුවීමක් ලෝක ඉතිහාසයෙන් සොයාගත හැකි දැයි මම නොදනිමි. මෙවැනි නොනවතින විප්ලවවාදීත්වයක් දැරූ චේ ගුවේරා නම් වූ එඩිතර විප්ලවවාදී සටන්කාමියා ලොව පුරා අදටත් වෙසෙන දසදහස් සංඛ්‍යාත විප්ලවවාදී අනුගාමිකයන්ගේ පරමාදර්ශය බවට පත්වෙමින් ගෞරවයට පත් වන්නේය.


ඔහුගේ මරණයෙන් හරියටම පනස් වසරක් ගෙවී ගොස් ඇත. චේ ගුවේරා අදටත් ලෝකයට අමතකව ගොස් නැත. ඔහුගේ සටන් මග අනුමත කළත් නැතත් ලෝකයේ ඈත දේශ දේශාන්තරවල පවා ‘චේ’ යන එක අකුරින් ඔහුගේ හැඩරුව කියුම් කෙරුම්, ගැන හඳුනා ගැනීමට බොහෝ දෙනා සමත් වෙති. ලෙනින් විප්ලවාදී නායකයෙකි. ඔහු සෝවියට් සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවීය. ඔහු නැවතුනි. සෝවියට් නායකයා බවට පත්විය. මා ඕ සේතුං චීන විප්ලවයේ ජයග්‍රහණය සහතික කළේය. ඉන්පසු ඔහු සභාපති මා ඕය. කියුබානු විප්ලවයෙන් බලයට පත්වූ පිදෙල් කස්ත්‍රෝ නොබෝදා මිය ගියේ එරට රාජ්‍ය නායකයා වශයෙනි. පිදෙල්ගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝ යටතේ පවතින්නේ පිදෙල් රාවුල් සහ චේ ඇතුළු තවත් විප්ලවවාදීන් විසින් පිහිටුවන ලද කියුබානු විප්ලවවාදී ආණ්ඩුවයි. 1957 දී කියුබානු සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු ඇති කළ රජයේ කර්මාන්ත ඇමැතිවරයා වූවේ අර්නස්ටෝ චේ ගුවේරාය. ඔහු තම තනතුරු හැරදමා බොලිවියාවට සංක්‍රමණය වුවේය. එසේ නොවි ස්වාභාවික මරණයක්ද නොලබා ජීවත් වූවා නම් ඔහු අදත් කියුබාවේ ඇමතිවරයෙකි. මේකා සැපසම්පත් සහිත ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ තිබියදී ඔහු මියගියේ කුසගින්නට ආහාරයක් 

හෝ පිපාසයට දිය බිඳක් හෝ නොමැතිව දැඩි ලෙස තමා පිඩාවට පත් කළ ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටියදී වෙඩි වැදීමෙනි.
මේ ගැන ඔහුගේ බොලිවියානු දින පොතේ සඳහන් කර ඇත. නිසැක වශයෙන්ම අපි මේ ගරිල්ලා මෙහෙයුම පටන් ගත්තට පස්සේ මහත් සේ අමාරුකම්වලට මුහුණ දෙන්න සිදුවුණ මාසයක්. අපේ සියලුම රහස් ගබඩාවල් හමුදාවෙන් සොයාගෙන තිබෙනවා. ඒක තමයි අපට වැදුන විශාලම පහර. කෑම නැතුව.... මානසික වශයෙනුත් අපට ඒක මරු පහරක් වුණා. අපේ මිනිස්සු දෙන්නෙක් මැරිලා. අපිත් දැන් ඒ වගේමයි. බොහොමත්ම අමාරු කාලයක් ගෙවමින් ඉන්නවා. අපි දැන් ජීවත් වෙන්නේ අශ්ව මස්වලින් විතරයි. මිනිස්සුන්ගේ මානසික ශක්තිය බින්දුවටම බැහැලා කම්බා අපේ සේනාංකය අවසර ඉල්ලුවා. අපි අල්ලලා තියාගෙන ඉඳලා නිදහස් කරපු අය යුද හමුදාවට උන් දන්න සියල්ලම කියන්න ඇති. මිනිස්සු ඔක්කොම සිත් අධෛරයට පත්වෙලා. අපේ ඉදිරියට යාමට ඒකත් බලපෑමක් වෙලා. ඒ නිසා යුද හමුදාවට බරපතළ ප්‍රහාර දෙන්න පුළුවන්කමකුත් අපට නැහැ.”

 

ලෝකයේ නොයෙකුත් රටවල විප්ලවවාදී අරගලය උදෙසා ජීවිතය කැප කර සිටින සටන් වදින බොහෝ ජනයාට පරමාදර්ශයක් සහ නම ඇසූ පමණින් ආශ්වාදය, සටන්කාමීත්වය හා පන්නරය ගෙනදෙන මෙම සටන්කාමියා කව්ද?ඔහු අනුගමනය කළ ක්‍රියා මාර්ගය කුමක්ද යන්න අපි වටහා ගනිමු. ජීවිතයේ කිසි දිනක චේ ගුවේරාගේ සටන් මග අනුව කටයුතු කළ අයෙකු නොවුවත් මම ඔහුගේ ජාත්‍යන්තරවාදී ගුණයට හිස නමමි. එවැන්නන් ලෝකයේ අති දුර්ලබ බැවිනි.

 


“ඕනෑම කොමියුනිස්ට්වාදියෙක් ජාත්‍යන්තර වාදියෙකි. ඔහු ජාති, ආගම්, ගෝත්‍ර හා කුල මල භේදවලින් භින්නව නොයන්නේය. සමස්ත ලෝකයම සිසාරා විප්ලවයේ රතු ධජය ලෙළදෙන තුරු කොමියුනිස්ට්වාදීහු සටන් වදිති. එය ඔවුන්ගේ මග හැරිය නොහැකි ඓතිහාසික කාර්යභාරය වන්නේය” තුන්වැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ මහා සමුළුව අමතා ලෙනින් මෙසේ ප්‍රකාශ කළ බව සඳහන් වේ. එනිසා චේ එම නිර්දේශය මුළුමනින්ම අනුගමනය කළ ඉහළම පෙළේ කොමියුනිස්ට් වාදියකුයි, මම සටහන් කරමි. වචනයෙන් පමණක් ක්‍රියාත්මක වන නොයෙකුත් මතවාදයන් රජ කරන ලෝකයක චේ ගුවේරා යන නම ඔහුගේ වියෝවෙන් අඩ සිය වසරකට පසුවත් එම සටන් මග අනුගමනය කරන දස දහස් සංඛ්‍යාත පිරිසකට පන්නරය සහ ආශ්වාදය ගෙන දෙන්නේ ඒ නිසාය.


දුප්පත්කම මන්දපෝෂණය සහ රෝග පීඩා බහුල ලතින් ඇමරිකානු රටවල ධනය සහ ශ්‍රමය බොහෝ සෙයින්ම සූරා කෑම කරගෙන යනු ලබන්නේ විදේශීය බහුජාතික සමාගම් විසිනි. දේශීය සමාගම් හෝ පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ව්‍යවසායන් අතීතයේදී පැවතියේ බොහෝ සෙයින්ම අඩුවෙනි. එහෙත් ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ දොන් අර්නස්වෝ ගුවේරා ආර්ජන්ටිනාවේ සෑහෙන තරමේ  ධනවතෙක් වූවේය. ඔහු විවාහ කර ගත්තේද ධනවත් හා වැදගත් පවුලක රූමතියක වූ සීලියා ලින්චි මෙනවියයි. මෙම දෙපළගේ දරුවෙකු ලෙස  1928 ජූනි මස14 වැනිදා එරට රොසයිරෝ නගරයේදී උපත ලැබූ බිළිඳාට මව විසින් නම් කරනු ලැබුවේ අර්නස්ටෝ ගුවේරා යනුවෙනි. බටහිර ක්‍රමය අනුව සහ සිය සැමියා කෙරෙහි වන ගෞරවය නිසාද සැමියාගේ නම දරුවාට තැබීමට සීලියා ලින්චි මාතාව කටයුතු කළාය. පසුව ‘චේ’ නමින් ලොව පතළ වූවේ මෙම දරුවාය.


ධනවත් පවුලක් වූ නිසා දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට මෙම දෙමාපියන්ට හොඳ වත්කමක් තිබුණි. සීලියා සහ ඇනාමාරියා යන දියණියන් දෙදෙනා ගෘහ නිර්මාණ ශිල්පිනියන් බවට පත්වූ අතර රොබෙටෝ නීතීඥයෙකුද ජූවාන් මාටින් සැලසුම් ශිල්පියෙකුද වූහ. 
ලාබාල අර්නස්ටෝද ඉහළ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් යුතුව එම දෙමාපියෝ ඔහු රොසයිරෝ නගරයේ ඩීන් ෆියුනෙස් රාජ්‍ය විද්‍යාලයට ඇතුළත් කළහ. ඉන්පසු බුවනෝස් අයර්ස් අගනගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය විද්‍යාව හදාළේය. ඔහු අධ්‍යාපනය නිම කළේ බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත් වීමෙනි.


කුඩා කල සිටම පොත් කියවීමේ රුසියෙකු වූ චේ සල්ෆාරි ජුලියක් වෙර්නේ ඇලෙක්සැන්ඩර් ඩූමා. වික්ටර් හියුගෝ. ජැක් ලන්ඩන් ආදී ලෝක පූජිත ලේඛකයන්ගේ පොත් කියවීමට හුරු පුරුදුවී සිටියේය. එපමණක් නොව ලතින් ඇමරිකාවේ ප්‍රකට ලේඛකයන් වූ පෙරූ රාජ්‍යයේ සිරෝ ඇල්ජිරියා ඉක්වදෝරයේ ජෝර්ජ් ඉකාස් සහ කොලොම්බියාවේ ජෝසේ රිවර්නාස් ආදීන් ලියූ නවකතා සියල්ලම කියවීමට ඔහුට  තිබුණේ  පිපාසයක් වැනි අවශ්‍යතාවකි. ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රගතිශීලි මත දරන දුප්පතාගේ දුක දන්නා එම තේමාවෙන් පොත් ලියූ අය වූහ. ඔවුන්ගේ පොත්වල වැඩි වශයෙන්ම සඳහන් වූ මාතෘකාවක් වූවේ ධනපති රටවලට අයත් බහුජාතික සමාගම් මගින් ස්වදේශික ජනතාව වූ රතු ඉන්දියානුන් හා වහල්ලුන් සේවයෙහි යොදාගෙන කරනු ලබන ශ්‍රම සූරා කෑම ගැනය.ධනපති පවුලක උපත ලදුවක් චේගේ සිත තුළ මානවවාදී සහ සමාජවාදී අදහස් රෝපණය වීමට මෙම පොත් කියවීම හේතු වූ බව ඒ පිළිබඳව කරුණු සොයා බැලූ පර්යේෂකයන්ගේ මතය වී ඇත. බොලිවියාවේ මැක්සිකෝවේ මෙන්ම කියුබාවේද කටුක යුද බිම්වල දවස ගෙවද්දී පවා මෙම පොත් කියවීමේ පුරුද්ද මෙම මහා විප්ලවවාදියා තුළ තිබුණු බව ඔහුගේ සමකාලිනයන් දක්වා ඇත. තවදුරටත් උස් මහත් වෙද්දී තමා ලද අත්දැකීම් චේ මෙසේ තම දිනපොතෙහි සටහන් කර තිබේ.


“1918 දී අපේ විශ්වවිද්‍යාලයෙදීත් ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයුවා අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට බලකරමින් උද්ඝෝෂණය කළා. එහයෙින් ලතින් ඇමරිකාවේ සියලුම විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම අසීරු තත්ත්වයට පත්වුණා.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ