වර්තමානයේ වෙසෙන හැම දේශපාලනඥයෙකුටම පාහේ රජයෙන් නිල වාහන ලැබී තිබේ. ඒ අතරින් ද ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් සුවිශේෂී වන්නේ ඔවුන්ට නිල වාහන කීපයක්ම රජයෙන් ලැබී ඇති බැවිනි. එවැනි නිල වාහන බොහොමයක්ම පාවිච්චි කරන්නේ ඔවුන්ගේ නෝනලාය. එහෙමත් නැත්නම් බේබිලාය. ඒ සඳහා වැයවන ඉන්ධන වියදම දැරීමට සිදුවන්නේ රජයටය.
එහෙත් මීට වසර හතළිහකට හෝ පනහකට ඉහත කාලයේ විසූ දේශපාලනඥයන් වැඩි දෙනෙකුට නිල වාහන නොතිබිණි. තිබුණත් ඒවා යොදාගනු ලැබුවේ නිල ගමන් බිමන් සඳහා පමණි. ඒ අනුව ඔවුන් වැඩි දෙනෙක් තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගනු ලැබුවේ තමන් සතු වාහනයක්ය. නැතහොත් බස් සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන්ය.
එසේම රජයේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට පහළින් සිටින දේශපාලනඥයන්ටද රජයේ නිල වාහන නොලැබුණු නිසා තමන් සතු පෞද්ගලික වාහන නොමැති එවැන්නන් හුරුපුරුදු වී සිටියේ පොදු ප්‍රවාහන සේවාවන් මගින් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමටය.
හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ද වූ ආචාර්ය දි. මු. ජයරත්න මහතා ජාතික දේශපාලන තලයට ප්‍රවිශ්ටවීමට පෙර උඩපළාත් කඳුකර පහළ ගම්කාර්ය සභාවේ සභාපති වශයෙන් කටයුතු කළේය.
එකල ගම් සභාපතිවරුන්ට නිල වාහනයක් ලැබී නොතිබුණෙන් ඔහු තම පෞද්ගලික මුදලින් මෝටර් රථයක් මිලදී ගෙන තිබුණේය. දිමු එලෙස වාහන හිමියෙකු වුවද ඔහුට වාහන පැදවීමට හැකියාවක් නොතිබිණි. එහෙයින් ඔහුට ගමනක් බිමනක් යාමට අවශ්‍ය වූ විට නිකම් ඉන්නවනම් වරෙන් මලයා පොඩි ගමනක් යන්න යි කියමින් ළඟ පාතක සිටි රියපැදවීමට දත් කවුරුත් හෝ අඬගසා ගෙන තමන්ගේ අවශ්‍යතාව සපුරා ගත්තේය.
මොකක්ද පොඩි නිලමේ වාහනයකුත් ගෙදර තියෙන එකේ ඕක ආංබාං කරන හැටි ඩිංගක් ඉගෙන ගන්නකෝ යි තම සමීපතමයන් කොතෙකුත් කීවද ඔහු දිනෙන් දිනම එය කල් දැමුවේය.
අනේ මට ඔය වාහන එළවන්න හරි කම්මැළියි මලයා... යි කී දිමු රිය පැදවීම ගැන උනන්දුවක් නොදැක්කුවද තමන් මෝටර් රථයේ ඉදිරි අසුනේ ගමන් කරන විට රියැදුරා විසින් කරන කියන හැම දෙයක් ගැනම උකුසු ඇස් දල්වා බලා සිටියේය.
ඒ නිසා මට වාහන එළවන්න බැරිවුණත් ඩ්‍රයිවර් කෙනෙක් වාහනයට නැගලා හෑන්ඞ් බ්‍රේක් බුරුල් කරලා ගියර් එක නිව්ට්‍රල් කරලා ස්ටාට් කරන හැටි හොඳට බලාගෙන තිබුණා. හරියටම කියනවා නං වාහනය ස්ටාර්ට් කරලා ගියර් එක දාලා ක්ලච් එක බුරුල් කරන ගමන් ඇක්ස්ලේටරය යන්තමින් පාගලා වාහනය ඉදිරියට ගන්න හැටිත් මම හොඳට අල්ලාගෙන තිබුණා. යි කියමින් සිනාසෙන හිටපු අගමැතිවරයාට දිනක් තමන් සතු එම මද දැනුමෙන්ද ප්‍රයෝජනයක් ගැනීමට හැකිවූ අවස්ථාවක් උදාවී තිබුණේ අහම්බෙනි.
දිමූලාගේ මහගෙදර තිබුණේ ගම්පොළ දොළුවේ හන්දිය පෙනෙන තෙක් මානයකය. දිනක් මහනුවරට යාම සඳහා ලකලෑස්තිවී නිවසෙන් එළියට බසිනවිට තමන් දන්නා අඳුනන කෙනෙකු ළඟ පාතක සිටින බවක් නොපෙනිණි. ඒ සමගම කිසිවකු පාරේ ගමන් කරන බවක් පෙනුණෙන් දිමූ ඔහුට අත්පුඩියක් ගසා කතා කළේය.
“මලයා නුවර පැත්තෙ ද යන්නේ?”
“ඔව් පොඩි නිලමේ මම මේ වැඩට යන ගමන්”යි කී ඔහු ඊළඟට කියා සිටියේ මහනුවරට යනතුරු තමන්ට මෝටර් රථය පදවාගෙන යාමට හැකියාවක් ඇතත් ආපසු පැමිණීමට නොහැකි බවය. ඒ අනුව ඔහු ලවා රිය පදවාගෙන දිමු මහනුවරට ආවේය.
හරි මලයා කාරෙක අන්න අතනින් නතර කරලා මල්ලි යන්න යි කී ඔහු තම සුපුරුදු තිප්පොළ අබියස රිය නතර කර රියැදුරුට සමු දුන්නේය.
කොහොම හරි මට එදා පැය දෙක තුනක විතර වැඩක් තිබුණේ. ඉතින් මගේ ඒ වැඩ ටික ඉවර වෙලා වාහනේ ළඟට එනකොටත් දන්න අඳුනන කෙනෙක් ඒ පැත්ත පළාතකවත් හිටියෙ නෑ. පස්සෙ මම වාහනයට නැගලා මට මතක තිබුණු විදියට කොහොම හරි කාරෙකත් ස්ටාට් කරගෙන පාරට දැම්මා. දැන් ඔන්න මම තනියම වාහනය එළවගෙන ගලහ පාරෙන් හැරිලා දොළුව පැත්තට යනවා. හැබැයි යන්නෙ පළමුවැනි ගියර් එකේ. දෙවැනි තුන්වැනි ගියර්වලට දාන හැටි මම දැනගෙන හිටියෙ නෑ.
මෙකල තරම් වාහන කන්දරාවක් එකල නොතිබුණ ද පසුපසින් පැමිණි වාහන කීපයක්ම ඔහුගේ වාහනය පසුකර ගෙන ගොස් තිබුණේ තමන්ට ඉඩ නොදී පාර පුරා යන මේ කරදරකාරයාට යටි සිතින් බැණ වදිමිනි.
මහනුවර සිට දොළුවේ දිමූලාගේ මහ ගෙදරට සැතපුම් දොළහකට වඩා නොතිබිණි. කෙසේ වෙතත් දිමු ඒ වනවිටත් සැතපුම් අටක් හෝ දහයක් පමණ දුරක් පසුකර තිබුණේය. මීට පෙර මෝටර් රථයක් පදවා නොතිබුණත් තමන්ට එම දුර ප්‍රමාණය කිසිදු ආපදාවකින් තොරව තරණය කිරීමට හැකිවූ අයුරු ගැන සිහියට නැගෙත්ම ඔහුගේ මුවඟට සිනාවක් නැඟුනේ ඉබේටමය.
දොළුවේ අපේ මහ ගෙදර පේනතෙක්මානයේ තියෙනවා පොඩි බෝක්කුවක්. දැන් මම එතනින් මෙහාට එන්නේ කොහොමද කියල හිත හිතා එතනින් හරවන කොටම “දඩාන්” ගාලා වැදුණේ නැතැයි බෝක්කු බැම්මේ මොනවද කාරෙක බෝක්කු බැම්මෙ වදින සද්දෙට අපේ ගෙදර හිටිය මිනිස්සුත් දුවගෙන ආවා. යි කියන දිමූට මතක ඇති අන්දමට එම අනතුර නිසා ඔහුගේ වාහනයට බලවත් අලාභයක් සිදුවී තිබුණේය. එදා සිට අද දක්වාම වසර හැටකටත් වැඩි කාලයක් තිස්සේ ඔහු වාහනයක් පැදවීමට ඉදිරිපත් නොවීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි