සදා කල්හි පුවත් මවන ආණ්ඩුකාර පුරාණය
02 වැනි කොටස
බස්නාහිර පළාත් සභාවේදී පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රීධූර 41ක්ද ප්‍ර.එ.ජා. පෙරමුණට ආසන 17ක්ද වශයෙන් ලැබෙද්දී එ.ජා.පයට ලැබුණේ මන්ත්‍රීධූර 41ක් පමණි. වයඹ පළාතේදී පොදුජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධුර 18ක් සහ එයට සහයෝගය පළ කළ ප්‍ර.එ.ජා.පෙ. මන්ත්‍රී ධුර 09ක් අයත්ව තිබුණි. එක්සත් ජාතික පක්‍ෂයට ලැබුණු මන්ත්‍රී ධුර 25 කි.
ඉතා පැහැදිලි ලෙසම මැතිවරණ ප්‍රතිඵල තුළින් මහ ජනතාවගේ අභිලාෂය පෙනෙද්දීත් රජයේ බලපෑම මත ක්‍රියා කළ දකුණේ සහ වයඹ ආණ්ඩුකාරවරුන් දෙදෙනා ජයග්‍රාහකයන්ට බලය ලබා නොදීමට ක්‍රියා කළහ. බස්නාහිර පළාතේ මහ ඇමැති තනතුර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පිරිනැමුණු නමුදු දකුණේ සහ වයඹ පළාත්වලදී තත්ත්වය අවුල් සහගත විය.
දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස පො.එ.පෙ. කණ්ඩායම් නායක අමරසිරි දොඩන්ගොඩ මහතාට දිවුරුම් දීමට අවස්ථාව ලබා නොදීමට දකුණු පළාතේ ආණ්ඩුකාර ඇම්. ඒ. බකීර් මාකර් මහතා ගත් ක්‍රියාමාර්ගය මෙම අවුල් සහගත තත්ත්වයට හේතු විය. මෙම අවස්ථාවේදී තම අයිතිය වෙනුවෙන් මුහුණට මුහුණලා සටන් කිරීමට පො.එ.පෙ නායකයෝ තීරණය කළහ. ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට ප්‍ර.එ.ජා පෙරමුණේ සම්පූර්ණ සහාය ලබා දෙන බව දිවුරුම් පෙත්සම් මගින් ප්‍රකාශ කර තිබුණද වයඹ ආණ්ඩුකාර මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතා සහ දකුණු පළාතේ ආණ්ඩුකාර ඇම්. ඒ. බකීර් මාකර් මහතා එම ඉල්ලීම් සැලකිල්ලට නොගත්හ. මේ ගැන අධිකරණය හමුවට ගොස් තම හිමිකම ඔප්පු කළ නමුදු ආණ්ඩුකාරවරු තම තීරණය වෙනස් නොකළහ. දකුණේ ආණ්ඩුකාරවරයා ගාල්ල කොටුවේ පිහිටි තම කාර්යාලයෙන් අතුරුදහන්ව සිටියේ මහ ඇමතිවරයාට සහ ඇමැතිවරුන්ට දිවුරුම් දීමේ අවස්ථාව වළක්වාලීමටය. මෙම තත්ත්වය පරාජය කිරීමට මූලිකත්වය ගත්තේ එවකට විරුද්ධ පක්‍ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් වූ මහින්ද රාජපක්‍ෂ සහ රිචඞ් පතිරණ යන මහත්වරුය. මෙම සිදුවීම පිළිබඳව පසුව ප්‍රබල ඇමතිවරයෙකු වූ මහින්ද අමරවීර මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙසේය.”
“ආ ඔය එන්නෙ. හැබැයි ඔය එකෙකුටවත් මෙතනින් නම් යන්න දෙන්න එපා. කුලු පොලු රැගත් පනහක හෝ හැටක පොලිස් පිරිසක්ද සමග ගාලු කොටු දොරකඩ අසල රැකවල්ලාගෙන සිටි තරු පටි පැලඳි පොලිස් ලොක්කෙකු එසේ කීවේ කොටුව තුළට යාම සඳහා තමන් ඉදිරියට එමින් සිටි පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දෙස රෞද්‍ර බැල්මක් හෙළමිනි. මොනම හේතුවක් නිසාවත් මෙම පිරිසට කොටු පවුර තුළ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයට යාම සඳහා කොටු දොරකඩින් ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස ඒ වන විටත් ඔහුට අණ ලැබී තිබුණි. එවකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ සහ රිචඞ් පතිරණ, වැනි මන්ත්‍රීවරුන් පෙරටුකොටගෙන කෑ කෝ ගසමින් තමන් ඉදිරියට එන පළාත් සභා මන්ත්‍රීවරුන් දෙස බැලූ පොලිස් ලොක්කාට එන පොට හොඳ නැති බව දැනුණේ අත් දැකීමෙනි. අනතුරුව ඒ අසල තිබුණ මාර්ග බාධකය පාර හරහට දමන ලෙස තම පොලිස් පිරිසට අණකළ ඔහු “එන්න එපා ඉස්සරහට. ආවොත් වෙඩි තියනවා.” කියමින් කෑ ගැසීය.
එහෙත් පොලිස් අණ නොතකමින් මහින්ද සහ රිචඞ් මන්ත්‍රීවරු පාර හරහා දමා තිබූ එම යකඩ වැටවල් දෑතින් තල්ලු කරමින් ඉදිරියට යත්ම ඔවුන් අනුගමනය කළ සෙසු පිරිස එම මාර්ග බාධක පෙරළා දමමින් කොටුව තුළට වැදුණා. අපි එදා ඒ යකඩ වැටවල් කඩාගෙන කොටුව ඇතුළට යන කොට අර පොලිස් භටයන්ට කරන්න දෙයක් නැතිවුණා. ඒ අතරෙ ඒ අයත් අප පස්සෙන් ආණ්ඩුකාර කාර්යාලයට ආවා. එතන පොලිසිය විතරක් නෙමේ. ආමි එකෙනුත් හිටියා. මගෙ හිතේ ටී 56 එහෙමත් අපේ පැත්තට මානාගෙනයි හිටියෙ. කොහොම හරි ආණ්ඩුභාර කාර්යාලය තිබුණේ ඒ ගොඩනැගිල්ලෙ ඉහළ මාලයෙ. අපි ඒ දොරටුවත් බලෙන්ම ඇරගෙන උඩට එනකොට ආණ්ඩුකාර නිල කාමරය වහලයි තිබුණේ. ඒ දොරටුව ළඟ ආමි එකෙනුයි, පොලිසියෙනුයි සෑහෙන පිරිසක් හිටියා අපි තරප්පු පෙළ නැගලා උඩට එනකොට ඒ සේරම අපි දිහාට තුවක්කු එල්ල කළායි කියමින් 1993 ඔක්තෝම්බර් 12 වැනිදා දකුණු පළාත් සභා මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා හමුවීමට අමරසිරි දොඩන්ගොඩ මහතා කැඳවාගෙන ගිය පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුහුණපෑමට සිදුවූ දහසකුත් එකක් අතවරයන් පිළිබඳව විස්තර කරන මහින්ද අමරවීර මහතා පවසන්නේ සියයක් පමණ පොලිස් හා හමුදා පිරිසක් තමන් දෙසට තුවක්කු මානාගෙන සිටි අයුරු දුටු සෑම කෙනෙකුගේම පාහේ හදගැස්ම මොහොතකට නතර වූ බවයි.
“අපි මැරෙන්නේ එක පාරයි යකෝ., පුළුවන් නම් වෙඩි තියපියව්” තරප්පු පෙළ නගිමින් සිටි ඇම්. කේ. රංජිත් මරු විකල්ලෙන් මෙන් මහ හඬින් කියත්ම මහින්ද රාජපක්‍ෂ සහ රිචඞ් පතිරණ මහත්වරු එම භට පිරිසද පෙරළාගෙන ආණ්ඩුකාරයාගේ නිල මැදිරියට කඩා වැදුණහ. මේ වෙනකොට දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට කටයුතු කළේ බකීර් මාකර් මහත්තයා. කොටුදොරකඩ ඉඳලම මුර දාලා තිබුණු හැටියට ඔහු කොහොත්ම හිතන්න නැතුව ඇති අපි තමන්ගෙ කාර්යාලයට බලහත්කාරයෙන් කඩාගෙන එයි කියලා. කොහොම හරි හතළිහක් විතර එකපාරටම කඩා වැදුණාම ආණ්ඩුකාරතුමා කොපමණ කලබල වුණාද කියනවා නම් ඉබේටම පුටුවෙන් නැගිට්ට වුණා. හැබැයි ඊළඟ මොහොතේ එතුමා සන්සුන් වෙලා අපට හොඳින් කතා කළා.” “මන්ත්‍රීතුමා ඇයි මේ කලබල කරන්නෙ. අපි ටිකක් නිවී සැනසිල්ලේ කතා කරමු” කී ආණ්ඩුකාරවරයා සියලු දෙනාටම අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටියද එතරම් පිරිසකට එම නිල මැදිරිය තුළ ආසන පහසුකම් නොතිබුණි. එහෙයින් ඇතමුනට පුටු ඇඳි මත පමණක් නොව ජනෙල් පඩිවල පවා වාඩි වීමට සිදුවූ බව මහින්ද අමරවීර මහතාට මතකය. ආණ්ඩුකාරවරයා පිරිස සන්සුන් කර තේ පැන්වලින් පවා සංග්‍රහ කළද දොඩන්ගොඩ මහතාට ප්‍රධාන අමාත්‍යධූරයේ දිවුරුම් දීමට ඉඩ සලසා දෙන බවක් නොපෙනුණි. ඔහු දිගින් දිගටම කියා සිටියේ ඒ පිළිබඳව තමාට ඉහළින් උපදෙස් ලබාගෙන කටයුතු කිරීමට සිදුවන බවයි.” මොනවද? ආණ්ඩුකාර තුමා ඉහළින් උපදෙස් ගන්නෙ. මේ ප්‍රශ්නෙ ගැන කටයුතු කරන්න”යි කියමින් එහි නීතිමය තත්ත්වය පැහැදිලි කළ මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් අනතුරුව දැඩි ස්වරයෙන් කියාසිටියේ අමරසිරි දොඩන්ගොඩ මහතාට මහ ඇමති ලෙස දිවුරුම් දීමට ඉඩ සලසා නොදුනහොත් තමන් කිසිවෙකු මෙම ස්ථානයෙන් පිට වී නොයන බවයි.
“හැබැයි අපි ඔබතුමාට යන්න දෙන්නෙත් නැහැ.” රිචඞ් පතිරණ මන්ත්‍රීවරයා කියා සිටියේය. දාඩිය මුගුරු දමාගෙන සිටි ආණ්ඩුකාරවරයා දහ පහළොස් පොළකට දුරකථනයෙන් කථා කළේය. මේ වෙනකොට අපිත් එක්ක හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් හුඟක් තරහ ගිහිල්ලයි තිබුණෙ. මොකද ඒ අයත් ඒ වෙනකොට ගෙවල්වලින් ඇවිත් දවස් තුනක් වෙනවා. අරයා උස්සනවා. මෙයා උස්සනවා කියලා ලොකු රාවයක් පැතිරිලා තිබුණු නිසා අපි සේරමලා වගේ හිටියෙ ටිකක් බයෙන්. කලින් දවසෙ අපි නතරවෙලා හිටියෙත් රිචඞ් පතිරණ මන්ත්‍රීතුමාගෙයි දොඩම්ගොඩ මන්ත්‍රී තුමාගෙයි ගෙවල් දෙකේ. ඒ නිසා පිරිසගේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබුණේ. ආණ්ඩුකරවරයාගේ වැනෙන සුලු ප්‍රතිපත්තිය නිසා ඒ වන විටත් අමරසිරි දොඩන්ගොඩ මහතා තම පිරිස සන්සුන් කරගෙන සිටියේ බලවත් වෑයමකිනි. එනපොට හොඳ නැති බව දුටු ආණ්ඩුකාරවරයා අන්තිමේදී යුක්තියට සාධාරණත්වය හා නඩු තීන්දුවට හිස නැමීය. “හරි එහෙනම් අපි ඒ රාජකාරිය කරමු” යි කී ඔහු අමරසිරි දොඩන්ගොඩ මහතාට දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට ඉඩ දුන්නේ ඒ හැර වෙනත් විකල්පයක් නොවුණු නිසාය”
පෙර සඳහන් කළේ මහින්ද අමරවීර මහතාගේම වචනවලින් එම සිදුවීම විස්තර කළ ආකාරයයි. පළාත් සභා ආරම්භ කළේ විශාල ජීවිත පරිත්‍යාගයකින් සහ රුධිර ගංගාවක් මතින් බව පෙර සඳහන් කළෙමි. එසේ දුක් ගැහැට මතින් ස්ථාපනය කළ පළාත් සභා තුළින් අපේක්‍ෂා කළ මහඟු සේවයක් විය. බලය පතා, වෙනම රාජ්‍යයක් ඉල්ලා, සටන් වැදුණු ලේ පිපාසිත බෙදුම්වාදය පරාජය කර, දෙමළ ජනයා සමග සමගියෙන්, සංහිදියාවෙන් යුතුව ජීවත්වීමට පදනමක් සැලසීම එම සභා ඇති කිරීමේ අරමුණ විය. එහෙත් එය ඉටුවූවාද යන්න සලකා බැලිය යුතු කරුණකි. බලයේ සිටින ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ ප්‍රමුඛ පුද්ගලයන්ගේ දූ දරුවන්ට “සෙල්ලම් ගෙයක්” බවට පත්ව ඇතැයි ජනයා චෝදනා කරනු අපට නිතර ඇසේ. එමෙන්ම ජනයාට සේවය කිරීමට වඩා තමන්ගේ නඩත්තුවට රාජ්‍ය අරමුදල් වැය කරන ආයතනයක් බවට පත් ව ඇතැයිද චෝදනා කරනු දුම්රියේදී බස්රියේදී අපට ඇසේ.
මොන්ටෙස්කියු නමැති ප්‍රංශ දේශපාලන චින්තකයාගේ සංකල්පයක් මත බලය බෙදා හැරීම නම් වූ මතවාදය ගොඩනැගී ඇති බව අපි ඉගෙනගෙන ඇත්තෙමු. මේ මගින් නොයෙක් ගැටලු විසඳාගත් අවස්ථා ගැනද අපි දනිමු. ඒ සා වැදගත් ක්‍රියාමාර්ගයක් පටු අරමුණු වෙනුවෙන් ලඝු කිරීම අතිශයින්ම කනගාටුදායක සිදුවීමකි. මේ දිනවල සිදු කෙරෙන නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමද හුදු දේශපාලන මතිමතාන්තරවල සාර්ථකත්වය උදෙසා නොව ජාතීන් අතර සංහිදියාව, දේශයේ සංවර්ධනය හා ජාතියේ ප්‍රගමනය සඳහා සිදු කරන්නක් වන්නේ නම් පුරවැසියන් වශයෙන් අපි උදක්ම සතුටු වන්නෙමු.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි