හියු තීරණාත්මක වෙයි


 

හිටපු කතානායක හියු ප්‍රනාන්දු මහතා මාධ්‍ය නිදහස මහ ඉහළින් අගය කළ දේශපාලනඥයෙක් විය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව එය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන් වු පෙරළිකාර දේශපාලනඥයෙකි. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක රජය පත්තර පනත පාර්ලිමේන්තුවට ගෙනා අවස්ථාවේ එයට විරුද්ධව ඡන්දය ලබා දීම නිසා පත්තර පනත පරාජය වීම අවසානයේ සිදු වූයේ රජය විසුරුවා හැර මහ මැතිවරණයකට යාමටය.

 

හියු ප්‍රනාන්දු මහතාගේ පුත් රියෙන්සි ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධව සිය මතකය අවදි කළේ මෙසේය. 


“1964 දෙසැම්බර් මාසයේ දවසක තමා සිරිමාවෝ මැතිනියගේ රජය ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ පත්තර පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ එතකොට කථානායකවරයා වශයෙන් සිටියේ අපේ තාත්තා. ලේක් හවුස් ආයතනය රජයට ලොකු තර්ජනයක් කියා තමා ඒ ආයතනය රජයට පවරා ගන්න පත්තර පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබුණේ. පත්තර පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඒ පිළිබඳව ඡන්ද විමසීමක් තිබ්බා. ආණ්ඩු පක්ෂයේ 13 දෙනෙක් පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ද පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඡන්ද එක සමාන වී තිබු නිසා තීරණාත්මක ඡන්දය වී තිබුණේ කථානායකවරයාගේ ඡන්දයයි. ඒ නිසා දෙසැම්බර් මාසයේ ආණ්ඩුව විසුරුවා හරින්නට සිදු වුණා. එදා පත්තර පනත ගෙනා දවසේ බහුතරයක් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට ඇවිත් තිබුණේ නැහැ කියා තාත්තා අපිත් එක්ක කිව්වා. 
හියු ප්‍රනාන්දු කියන දේශපාලනඥයාගේ චරිතයෙන් වර්තමාන බොහෝ දේශපාලනඥයන්ට ඉගෙන ගත හැකි පාඩම් බොහෝ යැයි හැඟී ගියේ ඔහුගේ පුතා රියෙන්සි ප්‍රනාන්දු කී සමහර කතා නිසාය. 


තාත්තා එයාගේ දේශපාලන බලය යොදවා අපිට කොළඹ ලොකු ඉස්කෝලවලට දැම්මේ නැහැ. තාත්තාට නිල රථ තිබුණා. ඒත් ඒවා පෞද්ගලික වැඩවලට යොදා ගත්තේ නැහැ. අපි ඉස්කෝලේ ගියේ ආවේ බස් එකෙන්. හවසට මමයි අයියයි අපට ඕනෑ ගමන් බිමන් ගියේ පාපැදියෙන්. තාත්තාගේ නිල රථවල රියැදුරත් එක්ක කොළඹ ඉඳලා ගෙදර ආපුවාහම ඔවුන්ව ඒ රියැදුරුගේ ගෙවල්වලට පිටත් කර හරිනවා. සමහර දවස්වලට තාත්තා තනියම වාහනය එළවාගෙන එයාගේ රාජකාරි ගමන් බිමන් යනවා. 


තාත්තාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් ලබා දී තිබුණා. 


ඒත් තාත්තා මට මොන ආරක්ෂාවක් ද රාලහාමිලා පොත් අත්සන් කරලා ගෙදර යන්න කියනවා. තාත්තා ආරක්ෂකයෝ පිරිවරාගෙන ගමන් බිමන් ගියේ නැහැ. තාත්තා එහෙම ගමන් බිමන් යන්න කැමැත්තක් දැක්වුයෙත් නැහැ. මම ගමේ මිනිහා. මම සාමාන්‍ය මිනිහෙක්. මේ තනතුරු කවදා හරි නැතිව යනවා. එදා ඉඳලා මට ආරක්ෂාවත් නැතිව යනවා. ඉතිං එහෙම එකේ මට මොකටද  ආරක්ෂාවක් කියා තමා තාත්තා නිතරම කිව්වේ. 


තාත්තා ඔය කතානායකකම මැති ඇමතිකම් කරන කාලයේ පවා පාරේ තනියම ඇවිද ගෙන යනවා. ඒ කාලයේ මේ පැත්ත අද වගේ ලොකු දියුණුවක් නැහැ. පොල් අතු සෙවිලි කරපු ගෙවල් තමා වැඩි පුරම තිබුණේ. තාත්තා කාගේ හරි ගෙදරක පොල් අතු සෙවිල්ලනවා කියා දැන ගත්තාම ඒ ගෙදර සොයා ගෙන ගිහින් පොල් අතු සෙවිලි කරන්න උදව් පදව්කරලා තේ කහට එකක් බීලා ගෙදර එනවා. තාත්තා තනතුරු තානාන්තර වලින් ඔළුව ඉඳිමුවා ගෙන හිටිය කෙනෙක්. නොවේ. මළ ගෙයක් ගැන දැන ගත්තාම නොවරදවාම යනවා. රෑ බෝ වෙනකම් මළ ගෙදර කට්ටිය එක්ක කතා බස් කර කර ඉන්නවා.


ඒ කතානායක හියු ප්‍රනාන්දු මහතාගේ බාල පුත් රියෙන්සි ප්‍රනාන්දු මහතානේ හඬයි. 


රියෙන්සි මහතා මෙසේ ද කීය. 


“තාත්තා මහ මැතිවරණවලට තරග කරද්දී කාගෙන්වත් මුදල් ආධාර ඉල්ලන්න ගියේ නැහැ. කවුරු හරි ඡන්දයට වියදම් කරන්න කියා ආධාර මුදල් පරිත්‍යාග කරන්න ආවත් ඒ ආධාර මුදල් කාරුණිකව ප්‍රතික්ෂේප කළා. එක එක්කෙනාගේ මුදල් එක් රැස් කරලා දේශපාලනය කරන්න ගියේ නැහැ. අපේ බාප්පා කෙනෙක් හිටියා එයා හොඳ සල්ලිකාරයා. එයාගේ නම පීටර්. පීටර් බාප්පා තමා තාත්තාගේ හැම මැතිවරණයකටම තරග කළ අවස්ථාවේ සල්ලි වියදම් කළේ. පීටර් බාප්පා ඒ විදිහට මුදල් වියදම් කළෙත් කිසිම ලාභ අපේක්ෂාවකින් නොවේ. 


අපේ අක්කා උපාධිධාරිනියක්. එයාට හොඳ කථිකත්වයක් තියෙනවා. මැතිවරණ කාලවලදී තාත්තත් එක්ක වේදිකාවලට නැගලා කතා කරනවා. තාත්තාගේ දේශපාලන කටයුතුවලදී ඇය ලොකු අත්වැලක් වුණා. ඇය අයි. වී. ප්‍රනාන්දු ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනෑ. අපේ තාත්තා මැති ඇමතිකම් කෙරුවත් කථානායකවරයා වෙලා හිටියත් අපි සාමාන්‍ය විදියට සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වුණා. තාත්තා අපට එහෙම ඉන්න තමා පුරුදු කරලා තිබුණේ. කවදාවත් තාත්තාගේ දේශපාලන බලයෙන් අපි කවුරුත් අයුතු ප්‍රයෝජන ගන්න ගියේ නැහැ. 


හියු ප්‍රනාන්දු මහතාව තුන් වරක්ම ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති අතර ඔහු ජීවිතය බේරා ගෙන ඇත්තේ අනුමයෙනි. 
ඒ ගැන තොරතුරු හෙළි කරමින් රියෙන්සි මහතා මෙසේ කීය. 


වෙන්නප්පුව තෝප්පුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට ගිය වෙලාවේ මුලින්ම තාත්තාට වෙඩි තිබ්බේ 1950 ගණන්වල ආයෙත් පාරක් මාරවිල මුදුකටුවේ රැස් වීමකට ගිය වෙලාවේ වෙඩි තිබ්බා. ඒ 1956 වසරේ. ඊට පස්සේ වෙන්නප්පුව නයිනමඩම තාත්තාගේ ගෙදර දී වෙඩි තිබ්බා. ඒ වෙඩි තිබ්බේ 1988 - 89 භීෂණ කාලයේ මේ තුන්වතාවේදීම තාත්තාගේ ජීවිතය බේරුණා. 88 - 89 භිෂණ කාලයේ වෙඩි තියපු වෙලාවේ එක් වෙඩි උණ්ඩයක් තාත්තාගේ ඔළුවට අඟල් 1 1/2 ක් උඩින් ගියේ. මාත් ඒ වෙලාවේ තාත්තා ළඟ හිටියේ. තාත්තා එදා පුදුම බේරිල්ලක් බේරුණේ. තව පොඞ්ඩෙන් තාත්තා ඉවරයි. තාත්තාට තුන් පාරක් වෙඩි තැබුවත් ඒ තුන් වතාවේම වෙඩි තැබු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බැරිවුණා. 


88 - 89 භීෂණය කාලයේ වෙන්නප්පුව ප්‍රදේශයේ භීෂණය මඩින්න උතුරේ ක්‍රියාත්මක වූ එක්තරා ද්‍රවිඩ සංවිධානයක සාමාජිකයන් තරුණයෙක් පැමිණ සිටියා. මේ කණ්ඩායම් ක්‍රියාත්මක වුණේ ඒ කාලයේ හිටිය පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුගේ මෙහෙය වීමේන්. මේ ද්‍රවිඩ සංවිධානයේ කට්ටියක් තාත්තාට වෙඩිතැබු බවට ආරංචි අපට ලැබුණා යැයි ද ඔහු කීය. 


වයඹ පළාත් සභා මන්ත්‍රී ටේ‍රජිත් ප්‍රනාන්දු කියන්නේ හියු ප්‍රනාන්දු මහතාගේ මවගේ සහෝදරයෙකි. 


පළාත් සභා මන්ත්‍රී ටේ‍රජිත් ප්‍රනාන්දු මහතා මාමා ගැන සිය මතකය අවදි කළේ මෙසේය. 


අපේ මාමා අවංක දේශපාලනඥයෙක්. ඔහු කවදාවත් මුදල් පසු පස හඹා ගිය කෙනෙක් නොවේ. දේශපාලනයෙන් හරි හම්බකර ගෙන පෝසත් වුණ කෙනෙක් නොවේ. තියන දේවලුත් නැති කර ගත්ත කෙනෙක්. ඒකට ඕනෑ තරම් සාධක කරුණු කාරණා කියන්න පුළුවන්. 


වළං කර්මාන්තය ජීවිකා වෘත්තිය කර ගත් පිරිසක් ඉන්න හිටින්න තමාගේම කියා තැනක් නැතිව අසරණ වෙලා හිටියා. මේ බව අපේ මාමාට දැන ගැනීමට ලැබුණා. ඒ වකවානුවේ වෙන්නප්පුවේ හිටියේ නික්ලස් කියලා ඩී.ආර්.ඕ. මහත්මයෙක් (වර්තමානයේ ප්‍රාදේශීය ලේකම්) මාමා නිකලස් ඩී.ආර්.ඕ. මහත්තයාට කතා කරලා කිව්වා වළං කර්මාන්තයෙන් ජීවත් වන මේ කට්ටියම පදිංචි කරන්න ඔවුනට කියා හොඳ ඉඩමක් හොයා දෙන්න කියා. 


ඩී.ආර්.ඕ. මහත්තයා නයිනමඩම බොරලැස්ස පාර අක්කර 7 1/2 ක විතර හොඳ ඉඩමක් තියනවා සර් කියා අපේ මාමාට කියා තිබෙනවා. ඒ ඉඩම වෙන කාගෙවත් නොවේ. අපේ මාමාගේ සහෝදරයෙක් වන වින්සන් ප්‍රනාන්දුගේ. මේ බවක් ඩී.ආර්.ඩී. මහත්තයා දැනගෙන ඉඳලා නැහැ. ඔය කියන ඉඩම මගේ සහෝදරයාගේ. ඒ වුණාට කමක් නැහැ. ඒ ඉඩම රජයට පවරා ගෙන අපි ඒ මිනිස්සුන්ට බෙදා දෙමු කියා යෝජනා කර තිබෙනවා. අවසානයේ තමාගේ සහෝදරයාගේ ඉඩම රජයට පවරාගෙන වළං කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යන අය අතරේ බෙදා දුන්නා. 1960 වසරේ තමා ඒ ඉඩම වළං කර්මාන්තයෙන් ජීවිකාව ගෙන යන අය අතරේ බෙදා දුන්නේ යැයි පළාත් සභා මන්ත්‍රීවරයා කීය. 


ගුරුවරු වෙනුවෙන්ම ගුරු ජනපදයක් දීමට කටයුතු කර ඇත්තේ ද හිටපු කතානායක හියු ප්‍රනාන්දු මහතාය. 


වෙන්නප්පුව කොලොන්ජාඩියේ පිහිට වු මෙම ගුරු ජනපදය ගුරු පවුල් 60 ක් පමණ ඉඩම් ලබා දී පදිංචිකරවා ඇත්තේ 1956 වසරේදීය. 


ඒ ගුරු ජනපදය අදටත් තිබෙන බව පළාත් සභා මන්ත්‍රී ටේ‍රජිත් ප්‍රනාන්දු මහතා පවසයි. 


ඒ කාලයේ අද වගේ ප්‍රදේශයේ ලොකු දියණුවක් තිබුණේ නැහැ. වැඩි හරියක් තිබුණේ පොල් අතු සෙවිලි කරපු ගෙවල්. මමා එදා ඉඳන්ම ගෙදරක පොල් අතු සෙවිළි කරනවා කියා දැන ගත්තොත් ඒ ගේ සොයා ගෙන යනවා. ගිහින් පොල්අතු සෙවිලි කරන්න උදව් වෙනවා. කට්ටියත් එක්ක එකට වාඩිවෙලා කහට කෝප්පයක් එහෙම බීලා තමා ගෙදර එන්නේ. ඔහු ඒ තරම්ම නිහතමානී දේශපාලනඥයෙක්. මළ ගෙයක් වුණොත් අවසන් කටයුතු සිදු කරනකම්ම ඒ මළ ගෙදර යනවා පක්ෂ පාට බැලුවේ නැහැ. අපේ මාමාගේ තිබුණ ඒ නිහතමානිකම අදටත් මේ ප්‍රදේශයේ විතරක් නොවේ අවට ප්‍රදේශවල ඉන්න වයසක උදවිය ගෞරවයෙන් සිහිපත් කරනවා. 


ඒ පළාත් සභා මන්ත්‍රීවරයාගේ හඬයි. 


හියු ප්‍රනාන්දු මහතාගේ ජීවිතයේ තවත් රසවත් තොරතුරු ඉදිරියේදිත් කියවමු.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය