පවතින ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරෙන්නේ බලයට පත්වන්නට පෙර ඔවුන් දුන් “සූකිරි පෙරොන්දු” ඉටු නොවීම නිසාය. විපක්‍ෂය කරන්නේ පැරණි පොරොන්දු අලුත්වැඩියා කර නව පොරොන්දු සමග පාලන බලය ඉල්ලීමයි. එහෙත් එම පොරොන්දු ඉටුකළ හැකි ඒවාදැයි විමසන බුද්ධියෙන් බලන්නේ ඡන්දදායකයන් අතළොස්සක් පමණි.
වසර 70ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට පාලනය කෙරෙන මේ රටේ අද සිදුවන්නේ එම ක්‍රමයටය.
“පාන් නැතුව බත් කන්නම්.
සීනි නැතුව තේ බොන්නම්”
60 දශකයේ මෙවැනි අපූරු සටන්පාඨ මැයි පෙළපාලිවලදීද ඇසුණි. ඒහෙත් බලය ලැබූ පසු එම “පරිත්‍යාගශීලි” බව දක්නට නොවිණ.
සිංහලය පැය විසිහතරෙන් රාජ්‍ය භාෂාව කිරීමටත් බුදුදහමට ප්‍රධාන තැනදීමටත් 50 දශකයේ ප්‍රධාන දේශපාලන නායකයෝ පොරොන්දු වූහ. 1956 මහජන ආණ්ඩුව බලයට පත්වී එම පොරොන්දු ඉටුකළ අතර ජනසතු ව්‍යාපාරය තුළින්ද එවැනි ප්‍රගතිශීලී යෝජනා රැසක්ම ඉටු කෙරිණි.
60 දශකයේ දරුණු සහල් හිඟයක් ඇතිවූ විට ඩඞ්ලි සේනානායක ආණ්ඩුවත් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවත් ප්‍රතිපත්ති දෙකක් අනුගමනය කළහ. “හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම්” අගමැතිනිය හැඟුම් බරව කී අතර චීන සහල් ගෙන් වීමට සමත් වූවාය. ඩඞ්ලි සේනානායක ආණ්ඩුව සේරු දෙකක් සහල් සලාකය ලබාදෙමින් ජනතා ප්‍රසාදයට ලක්වූ නමුත් පසු කලෙක එක සේරුවක් කපා අනෙක නොමිලේ දීමට සිදුවිය.
සහල් සේරුව ශත 25 සිට ශත 75ට වැඩිකිරීම නිසා රටතුළ හර්තාල් තත්ත්වයක් පැන නැගිණි. එය කෙතරම් ව්‍යාප්ත වූවාද යත් අගමැති ඩඞ්ලිගේ උදරාබාධය උග්‍ර වූ අතර ඔහුට අගමැතිකම අතහැර සිටීමටද සිදුවුණි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන බවට පොරොන්දු වී පසුව වැඩිකළ සෑම අවස්ථාවකම ජනතා අප්‍රසාදය නැගී ආ අතර සහනාධාර දීමටත් මිල සූත්‍ර හදුන්වාදීමටත් ආණ්ඩුවට සිදුවිය. නමුත් ඒවා ප්‍රශ්නවලට පැලැස්තර පමණක් විය.
ඉන්ධන මිල හෙවත් තෙල් මිල ලෝක වෙළෙඳපොළේ වැඩිවන වාරයක් පාසා අපේ රටේ ඒවායේ මිල ගණන් වැඩිවූයේ මධ්‍යම රාත්‍රි නිකුත් කෙරෙන අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනි. ඇතැම්විට අය - වැය ලේඛනයෙන්ද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන්නේ දැයි අදද ජනතාව විමසිල්ලෙන් සිටිති. අයවැය ලේඛනය ජනතාවට තීරණාත්මක ලියැවිල්ලක් වූ වකවානුවක් විය. ලෝක වෙළෙඳපොළ යනු කුමක්දැයි නොතේරෙන ජනතාව ඊට ශාප කළේ අපේ පාලකයන් ඇඟ බේරා ගනිද්දීය.
තෙල් හෙවත් ඉන්ධන මිල වැඩිවීම කුප්පි ලාම්පුවේ සිට අහස් යානය දක්වා භාවිතා කරන ජනතාවට තදින් බලපායි. බස් ගාස්තු ඉහළ යාම ඇඟෙන් ඇටයක් ගලවනවා මෙන් දුප්පත් ජනතාවට දැනෙයි. එදා ප්‍රාදේශීය මන්ත්‍රීවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බක්කි කරෙත්තෙන් ප්‍රාදේශීය සභාවට හෝ පාර්ලිමේන්තුවට පැමිණ විරෝධය පළ කළහ.
දේශීය පේෂ කර්මාන්තයට අතහිත දීමට සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩු සමයේ රෙදි සීමා කළ අතර ඊට විරෝධය පළ කිරීමට හිටපු ඇමැති විජයානන්ද දහනායක පාර්ලිමේන්තු එන්නට සූදානම් වූයේ අමුඩ කෙටියකින් සැරසීගෙනය. මෑත කාලයේදී ගොවි අයිතිය ඉල්ලා අමුඩ පිටින් “මොඞ් ගොවියෝ” කොළඹ ආහ. මැතිනියගේ සමයේ රටපුරා සබන් හිඟයක් නිර්මාණයවූ අතර ඊට විරෝධය පළකිරීමට විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වූ එජාප වේදිකාවට පැරණි නිළි දෙනවක හාමිනේ පිවිසුණේ ඇඟපුරා කසමින්ය.
“ඕකිගේ කැසිල්ල, අරින්න සබන් බාර් එකක් මදිවෙයි” හිටපු ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ආර්. එස්. පෙරේරා ඊට බැණ වැදුණේය.
රට බතින් බුලතින්, ඇඳුම් පැලඳුම් වලින් නව නිවාස වලින්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩු මිලට දීමෙන් හැම ගෙදරටම විදුලිය, ජලය, සෞඛ්‍ය සේවය, ගමනා ගමන සේවය, අධ්‍යාපන සේවය වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන බවත් දූෂණය, වංචාව, අල්ලස, භීෂණය අතුගා දමන බවටත් පොරොන්දු දී බලයට ආ දේශපාලනඥයෝ ඒවා ඉටුකිරීමට කල් මරද්දී එම තත්ත්වය විපක්‍ෂයට ආයුධ සැපයීමක් බඳුවිය. මැතිනියගේ කාලේ පොල් ගෙඩියක් රුපියල් 70ක් වූ අතර රණසිංහ ප්‍රේමදාසත් පොල් බෑ දෙකක් රැගෙන පාර්ලිමේන්තුවට ආවේය.
කතානායකතුමනි මේ පොල් බෑය රුපියල් 35යි, අනිත් බෑයත් 35 යි. අපි බලයට ආවාම බෑ දෙකම තිස්පහට දෙනවා යැයි දිවුරූ අතර පොල් මිල අඩුවූවේ එම පොරොන්දු ඉටු වූ නිසාද පොල් අස්වැන්න වැඩිවූ නිසාදැයි රහසකි.
1994 දී චන්ද්‍රිකා කුමාරතුංග රට භාරගන්නා විට පාන් රත්තල රුපියල් 5.50 ක් වී තිබුණ අතර “මං බලයට ආපු විගසම පාන් රාත්තල රුපියල් 3.50ට දෙනවා” යැයි ඇය දුන් පොරොන්දුව ඉටුකිරීමට සමත් වූවාය. එහෙත් 1978 දී ජේ. ආර්. ජයවර්ධනගේ රජයෙන් ස්ථාපිත කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඇයදුන් මූලික පෙරොන්දුව නම් දෙවරක්ම විධායක ජනපතිධූරය ඉසිලු ඇය ඉටු නොකළාය.
1994 පෙර කාලය තුළ සිදුවූ දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව බලයට ආ විගස පරීක්‍ෂණ පවත්වා වරදකරුවන් ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැවිත් දඩුවම් කරන බව චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඡන්දයේදී පොරොන්දු වී තිබිණ.
“දුෂණය හා භීෂණය නැතිකිරීම ඇයගේ ප්‍රධාන ඉලක්කය හා සටන් පාඨය වූ අතර අනෙක් සටන් පාඨය වූයේ විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දීමය. නමුත් විවෘත ආර්ථිකයේ අමානුෂික මුහුණුවර තුරන් කරන්නට කිසිම ජනනායකයකුට හැකිවී නැති බව රටතුළට කුණු කුඩු, ගණිකාවන්, මහා පරිමාණ සොරුන්, අපරාධකරුවන් හා ජාත්‍යන්තර හොර ජාවාරම්කරුවන් හා රටට නොගැළපෙන භාණ්ඩ ගලාඒමෙන් පෙනී යයි.
2005 දී මහින්ද යුගය ආරම්භ විය. එතුමාගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ ත්‍රස්තවාදයක් යුද බියක් නතර කරන බවය. මෙතෙක් සියලු පාලකයන්ගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව එය වුවද එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටුකළේ විධායක ජනපති මහින්ද රාජපක්‍ෂ විසිනි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්‍ෂක හමුදාවේ නොමද ක්‍රියාකාරී සහයෝගයද ඊට ලැබිණ.
එහෙත් මහින්ද යුගයේ ඉටු නොවූ ප්‍රබල පොරොන්දුව වූයේ විධායක ජනපති ක්‍රමය නැතිකිරීමයි. එය 18 වන සංශෝධනය එතුමා එනතුරුම රටේ ඔඩු දුවන ප්‍රශ්නයක් වී තිබිණ. එතුමා ඉටුකළ තවත් පොරොන්දුවක් වූයේ ගොවි ජනතාවට රුපියල් 350ට පොහොර සහානාධාරය ලබාදීමයි.
මෛත්‍රිපාල සිරිසේන නව ජනාධිපතිතුමාගේ ඡන්ද පොරොන්දුවද විධායක ජනපති ක්‍රමය නැති කිරීම 18 වන සංශෝධනය අහෝසි කිරීම, ජනපති ධූරයේ බලය කප්පාදුව ආදියයි. එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් විසදාගත නොහැකි පඹගාලක රට පැටලී ඇති බව එතුමා ඇතුළු ප්‍රජාතන්ත්‍රය ගරු කරන පක්‍ෂවලට තේරී ඇති බව පෙනේ. සියලු මැතිවරණ කටයුතු පඹගාලක පැටලී ඇත.
මෙම රජයට බලයට පත්වනතුරුම බලයට පත්වූ ආණ්ඩු හැමකින්ම ප්‍රධාන දේශපාලන පොරොන්දුව නම් ඉටු නොවිණ. තව තවන් අණසක පතුරුවාලමින් බලයේ ආශාවෙන් මත්වී ඡන්ද පොරොන්දු අමතක කළ පාලකයෝ ජේ. ආර්. ගේ ගැටයෙහි තව තවත් සිරවූහ. එම ව්‍යවස්ථාව වෙනස් කරලීමට ආණ්ඩු බලය අසමත් වූයේ ජාතියේ අවාසනාවටද සුළු ජාතීන්ගේ පදයට නැටීමට සිදුවීම නිසා දැයි නොවැටහේ.
කෙසේ වෙතත් ජනසතු ව්‍යාපාරත් රජය සතු ව්‍යාපාරත් යළිත් දේශීය ධනපතියන්ට විකිණීම කෙරෙහි රජයේ අවධානය යොමුවූ අතර බටහිර වෙළෙඳ බලවතුන් රටතුළ ආයෝජනය කිරීමට එකඟ වූ නමුත් කුණු කොල්ලයට දේශීය ව්‍යාපාර ඔවුනට විකිණීමට චන්ද්‍රිකා ආණ්ඩුව හා යු.ඇන්.පී. පාලනය පියවර ගත් බවට චෝදනා නැගිණි.
අද වනවිට විවෘත ආර්ථිකයේ සීමාවන් පවා බිඳ හෙළමින් බටහිර රටවල් මෙන්ම චීනය ඉන්දියාව වැනි ආසියානු බලවතුන්ට මෙරටේ සංවර්ධනය සඳහා භූමිභාග පවා පවරා ඇත්තේ දිගු කාලීන බදු හා ණය ප්‍රතිපත්ති මතය. අනාගත පරපුරම ණය කාරයන් බවට පත්කර පාවාදී ඇතැයි දේශපාලනඥයෝ එකිනෙකාට චෝදනා කර ගනිති.
යුඇන්පියේ දේශපාලනඥයන්ගේ දූෂණ වංචා අල්ලස් මගඩි පිළිබඳ ලිපිගොනු තවත් ළඟ ඇතැයි 2010 දී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ජනතාවට පෙන්වූ අතර කිසිවකුටත් නඩු පවරා දඩුවම් දීමට ඔවුහු අසමත්වූ නිසා එය ඡන්ද පොරොන්දුවලටම සීමා විය. අදවනවිට බලයේ සිටින එක්සත් ජාතික පෙරමුණු රජයද ජනතාවට පෙන්වූ රාජපක්‍ෂ යුගයේ අපරාධ දූෂණ රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි වාහන, රත්තරන් පොලු පිළිබඳ චිත්‍රය අද අතේ පත්තු වූ ඡන්ද බේගලයක් බවට පත්ව ඇත. කිසිදු පරීක්‍ෂණයක් නඩුමගට යොමුකර ඔප්පු කිරීමට රජය අසමත්ව තිබේ.
පාලක දෙපිරිස අතර කාලෙන් කාලෙට ක්‍රියාත්මක වන ‘ඩීල් සහ සන්තෝසම්’ නිසා එකනෙකා පිටකසා ගන්නවා මිස දූෂකයන් හෙළිදරව් නොකරන බවට ඇතැම්හු චෝදනා කරති. දෙපිරිසයේම වැරදි සොයන ජවිපෙ සහ විකල්ප සංවිධාන පවා ඡන්ද පොරොන්දු කඩමින්, ජනතාව මුලාකරන පිරිසට දඩුවම් ලබා නොදෙන්නේද ඩීල් සහ සන්තෝසම් නිසා දැයි මැදහත් ජනතාව සැක පහළ කරති.
‘මේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පූර්ව ආදර්ශමත් දේශපාලන පෙරළිකාරයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ලෙඩ ඇදේ වැතිරි සිටියද 78 විධායක ජනපතික්‍රමය ඇතුළත් ව්‍යවස්ථාවට දැඩි විරෝධය පෑවේය.
ඇන්. ඇම්. තම මිතුරා මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්නට මෙසේ පවසා තිබිණ.
“බලනව ඔසී. මේ මනුස්සයා කරන්න යනදේ. කොච්චර භයානකද? රටේ ප්‍රජාතන්ත්‍රවාදි ආයතන අල්ලාගෙන අසීමිත බලයක් එක මිනිහෙකුට පවරා ගන්නවා කියන්නේ පාර්ලිමේන්තුවේ මළගම තමයි.”
මෙහෙම ගියහම ආයෙත් පාර්ලිමේන්තුවට හරි අධිකරණයට හරි කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ ඔසි. ඒවායේ අභිමානයක් ගෞරවයක් තනි මිනිහෙකුට යටවෙනවා. මිනිසුන්ට වෙන්නේ මිනිහට අවනතව නමස්කාර කරගෙන දෙන දෙයකින් සෑහීමට පත්වෙලා ඉන්න. ඕක තමයි අනාගත ලංකාවේ දේශපාලනය.
තමා මියයන තුරුම මෙම අනතුරු ගැන ජනතාව දැනුම්වත් කරන බවත් ඉතිරි හරිය රැකගැනීම ජනතාව සතු බවත් ඇන්. ඇම්. මරණය පෙනී පෙනී පැවසීය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි