ෆීලික්ස්ගේ වැරදුණු තුරුම්පුව


1973 - 1975ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ බලවත් ආහාර හිඟයක් පැතිරෙමින් තිබුණේය. එකල ලෝකයේ බොහෝ රටවල පැවති ආහාර හිඟයට සමගාමීව ශ්‍රී ලංකාවේද පැතිරුණ එම තත්ත්වයට මුහුණ දීම සඳහා එවකට පැවති සමගි පෙරමුණ ආණ්ඩුව පියවර කීපයක්ම ගෙන තිබුණේ එමගින් මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවන පීඩාකාරී තත්ත්වය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වමිනි.


ඒ අතරින් එක් පියවරක් වූයේ රට පුරා සහල් පොලු, මිරිස් පොලු දමා රට තුළ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ප්‍රවාහනය තහනම් කිරීමය. ඒ අනුව සහල් ප්‍රවාහනය සහ බෙදා හැරීම රජයේ පාලනය යටතේ සිදු කෙරුණේය. ඒ හැර සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ප්‍රධාන නගරයන්හි හෝටල්වල බත් විකිණීම ද සපුරා තහනම් කෙරුණේය. පාන් නිෂ්පාදනය බොහෝ දුරට සීමා කෙරුණු අතර ඒ ඒ පවුල්වල සිටින සාමාජික සංඛ්‍යාව අනුව පාන් බෙදා හැරීම සිදු කෙරුණේද විවිධ සේවා සමුපකාර සමිති මගින් සලාක ක්‍රමයකටය.


සීනි වෙනුවට හකුරු යොදා ගන්නා ලෙස ජනතාවට බල කෙරුණ අතර ඒ දිනවල රටපුරා පැවති හාල් හිඟයට විකල්පයක් වශයෙන් කොස්, දෙල්, බතල, මඤ්ඤොක්කා වැඩි වැඩියෙන් පරිභෝජනය කරන ලෙස රාජ්‍ය මාධ්‍ය හරහා ජනතාව උනන්දු කරවූවේය.


විදෙස් රටවලින් රෙදිපිළි ආනයනය කිරීමද දැඩි ලෙස සීමා කිරීම ද එමගින් සිදු කෙරුණේය. ජනතාවගේ මගුල් තුලා වැනි අවස්ථාවන් සඳහා සහභාගි කරගත හැකි නෑදෑ හිතවතුගේ සංඛ්‍යාව පිළිබඳව ද සීමා බන්ධන පනවා තිබුණේ ද ඊට අදාළ තවත් පියවරක් ලෙසිනි.


ඒ වන විට 1970 මහ මැතිවරණයෙන් පැරදී විපක්‍ෂයට ගොස් සිටි එජාපයේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව විස්සකටත් වඩා පහත වැටී තිබුණේ එම නිසා පාර්ලිමේන්තුව තුළ ද විපක්‍ෂයට නැගිය හැකි වූයේ සිහින් කෙඳිරිලි හඬක් පමණි. එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ක බලයක් හිමිව තිබූ අතර ආණ්ඩුවෙන් විපක්‍ෂයේ හඬට දැක්වුණේ ඉතාමත් අඩු මට්ටමේ සැලකිල්ලකි.


කෙසේ වෙතත් මේ වන විට එජාපයේ නායකත්වයට පත්ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට පෙනී ගොස් තිබුණේ රටේ ඇතිවී තිබෙන මෙම දුර්භික්‍ෂ තත්ත්වය තුළින් තම පක්‍ෂයේ අභිවෘද්ධිය සඳහා මාර්ගයක් පාදාගත හැකි බවය.


“මේ වන විට රට තුළ බලවත් ආහාර හිඟයක් පැතිරෙමින් තිබෙනවා. ආණ්ඩුවට ඊට මුහුණ දීමට තරම් හැකියාවක් නොමැති බවයි පෙනී යන්නේ...” යි කියමින් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ කරුණු දැක්වූ පක්‍ෂ නායක ජේ. ආර්. ගේ අදහස වූයේ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාත්, ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යයේ බලය අවබෝධ කිරීම සඳහාත් පුළුල් ප්‍රහාරාත්මක වැඩපිළිවෙළක් ඇරඹීමට දැන් සුදුසුම කාලය එළඹි ඇති බවය.


“ආණ්ඩුව හිතාගෙන ඇති දැන් ප්‍රධාන විපක්‍ෂය වූ එජාපයට කිසිවක් කර කියා ගැනීමට නොහැකිය කියලා. අපි ඒ තත්ත්වය නැති කරන්න ඕනෑ.” යි ජේ. ආර්. කළ ප්‍රකාශය කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සියලුම සාමාජිකයෝ එක හඬින් අනුමත කළහ.


“අපි මේ වැඩ බැරි ආණ්ඩුවට විරුද්ධව රට පුරා සත්‍යග්‍රහයක් පවත්වමු” යි කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාවට එජාප නායකයා ද තම අනුමැතිය පළකර තිබුණේ දෙවරක් නොසිතමිනි. ඒ අනුව තීරණය කෙරුණේ යෝජිත සත්‍යග්‍රහයේ මුල් පියවර අනුරාධපුරයේ රුවන්වැලි සෑය අසලින් ඇරඹීම වඩාත් සුදුසු බවය.
මේ අතර එජාපය විසින් ගෙන ඇතැයි කියන එම තීරණය ගැන සියලු තොරතුරු රජයේ බලධාරීන්ගේ කනටද වැටී තිබූණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එජාපයේ එම සත්‍යග්‍රහය ව්‍යර්ථ කිරීම සඳහා රජයේ පූර්ණ අවධානය යොමුවීමය.


“අපි දැන් කොහොමද මේ සත්‍යග්‍රහය නතර කරන්නේ”යි තම ප්‍රධාන පුරෝහිතයාවූ ෆිලීක්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගෙන් විමසූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මොනම හේතුවක් නිසාවත් සත්‍යග්‍රහය පැවැත්වීම තහනම් කිරීමට පියවර නොගන්නා ලෙස ද ඔහුට විශේෂයෙන්ම දැනුම් දුන්නාය. එතුමිය එසේ කීවේ තමන් විසින් එවැනි පියවරක් ගනු ලැබුවහොත් එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැර ගැනීමක් ලෙස අර්ථ දැක්වීමට එජාපයට හැකිවන බැවිනි.


“නෑ... නෑ.... මැතිනිය මම ඒ සත්‍යග්‍රහය තහනම් කරන්නෙත් නෑ! ඒක පවත්වන්න ඉඩ තියන්නෙත් නෑ...!!’ යයි උදාරම් හඬින් කී ෆිලීක්ස් ඩයස් මහතා ඉන් අනතුරුව අගමැතිනියට කියා සිටියේ තමන් කරන්නට යන්නේ කුමක්දැයි ඉවසීමෙන් යුතුව බලා සිටින ලෙසය.


මේ අතර එජාපය මගින් අනුරාධපුර රුවන්වැලි සෑය අසල පැවැත්වීමට නියමිත සත්‍යග්‍රහයට අදාළ සියලු කටයුතු ලහි ලහියේ සිදු කෙරුණේය.


සමහර විට ආණ්ඩුව අපේ සත්‍යග්‍රහය තහනම් කරන්නත් බැරි නෑ...” යි එජාප නායකයා අනුමාන කළ ද එවැන්නක් සිදු නොවීම විශේෂ සිද්ධියක් විය. මේ අතර එජාප සත්‍යග්‍රහය පසුදා පැවැත්වීමට නියමිතව තිබියදී ආණ්ඩුව කළේ රටේ කිසිම ස්ථානයක පස්දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටීම තහනම් කරමින් එවකට පැවැති හදිසි නීති රෙගුලාසි යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය.


“දැන් අපි මොනවද කරන්නේ? අපට සත්‍යග්‍රහය පවත්වා ගන්න බැරි වුණොත් ඒක ආණ්ඩුවේ ජයග්‍රහණයක් වෙනවා”


ආණ්ඩුවේ එම අලුත්ම තුරුම්පුව ගැන ඇසූ එජාප නායකයා තම නීති උපදේශකයන්ගෙන් එලෙස විමසන ලද්දේ සුපුරුදු ලෙස නළල රැළි ගන්වමිනි.


“ඒත් සර් හදිසි නීති රෙගුලාසි කඩකෙරුවොත් අපට හිරේ විලංගුවේ වැටෙන්නයි සිද්ධ වෙන්නේ...!” යි කියමින් තත්ත්වයේ බරපතළ කම ගැන පෙන්වා දුන් ජේ. ආර්. ගේ නීති උපදේශකයන්ගේ තීරණය වූයේ යෝජිත සත්‍යග්‍රහය නතර කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය. එහෙත් යෝජිත සත්‍යග්‍රහය එලෙස අවලංගු කිරීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් වන බව පක්‍ෂ නායකයාගේ පිළිගැනීම විය.


“නෑ... ඒ අයට පුළුවන් තම තමන්ගේ ගෙවල්වල හාන්සි පුටුවල දිග ඇදිලා සත්‍යග්‍රහ කරන්න...!”යි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ෆීලික්ස් ඩයස් ඇමැතිවරයා තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබුණේ රජයේ හදිසි නීති නියෝගවලට පටහැනිව කටයුතු කරන ඕනෑම කෙනෙකුට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන ලෙස තමන් පොලිසියට උපදෙස් දී ඇති බවය. ඒ අනුව එජාපය පත් වී තිබුණේ බරපතළ පඹගාලකය.


“සත්‍යග්‍රහය අවලංගු කෙරුවොත් ඒක ආණ්ඩුවේ ජයග්‍රහණයක් වෙනවා.

 

සත්‍යග්‍රහය පැවැතුවොත් හදිසි නීති නියෝග කඩකිරීමේ හේතුව මත අපට හිරේ යන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ දෙකම අපට අවාසියි.! කී ජේ. ආර්. ජයවර්ධන මහතා තම නළල රැලි ගන්වමින් නිහඬව බලා සිටිය දී ඔහුගේ නීති උපදේශකයන් අතර සිටි තරුණ බැරිස්ටර්වරයකු අමුතුම අදහසක් ඉදිරිපත් කළේය.


“සර්, ආණ්ඩුව හදිසි නීති බලතල යටතේ තහනම් කරල තියෙන්නේ පස් දෙනෙකුට වැඩි පිරිසක් එකතු වෙන එකනේ. එහෙම නං අපි පස්දෙනා පස්දෙනා එකතුවෙලා නියමිත විදියට සත්‍යග්‍රහය පවත්වමු.


තම උපදේශක මණ්ඩලයේ සිටි ළාබාලතම බැරිස්ටර්වරයාගේ එම යෝජනාව ගැන ඇසූ ජේ. ආර්. ටද එය අතිශය කාලෝචිත අදහසකැයි එසැනින් පෙනී ගියේය.
“අන්තිමේදී අපි එදා අනුරාධපුරයට ගිහින් රුවන්වැලි සෑය ඉදිරිපිට පස්දෙනා බැගින් එකට අත් අල්ලා ගෙන සත්‍යග්‍රහය බොහොම ජයට පැවැත්තුවා. හදිසි නීති නියෝග කඩ කිරීමේ චෝදනාව මත අපිව අත්අඩංගුවට ගන්න පොලිස් හමුදාවක්ම ඇවිත් බලාගෙන හිටියත් එවැනි වැරැද්දක් අපි අතින් සිදු නොවුණ නිසා පොලිසියේ අයට පැය ගණනක් බලා ගෙන ඉඳලා ආපසු යන්නයි සිද්ධ වුණේ...” කියමින් පසු කාලයක දී එම සිද්ධිය ආවරණය කළ හිටපු ඇමතිවරයකු සහ පළාත් ආණ්ඩුකාරවරයකු වූ දිවංගත ටිරෝන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ඒ පිළිබඳව පැහැදුණු එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා තමන්ට මොරටුව ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක ධුරය ඊළඟ සතියේ සිටම ලබා දුන් බවය. ඔහු 1977 මහ මැතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂක ඩග්ලස් ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 14,874 කින් පරාජය කරමින් මොරටුව අසුන දිනා ගැනීම එහි දිගුකාලීන ප්‍රතිඵලය විය.

 

 

නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි