ජේ. ආර්. ජයවර්ධන රජය පෙරළීමට කුමන්ත්‍රණය කළ නැක්සලයිට්කාරයෙක් බව කියමින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියක රඳවා සිටි කාලයේ ෆීලික්ස් පෙරේරා මහතා ලැබූ අත්දැකීම් හා කටුක ජීවිතයේ මතක සටහන් යළි මෙසේ පෙළගස්වන්නෙමු.
සිර ගෙදර මා ඉතා කටුක හා දුෂ්කර ජීවිතයක් ගත කළා. එහෙම වුණත් පසුකාලයක මගේ දේශපාලන භූමිකාවට එය මහත් පන්නරයක් වූ බව ද සඳහන් කරන්න ඕනෑ. සිරගෙදර දී මට රෑට වැසිකිළියාමට පුංචි පනිට්ටු දෙකක් පමණක් ලබාදී තිබුණා. පනිට්ටුවලට වැසිකිළි යාමට නොහැකි නිසා රෑට කෑම ගත්තේ නැහැ. වතුරවත් බිව්වේ නැහැ. ටික කාලයක් යද්දී මාව ලෙඩ වුණා. කෑම හරියට නොලැබුණ නිසා ගැස්ට්‍රයිටිස් රෝගය හැදුණා.
දවල් රෑ දෙකේම වෝල්ට් 250 බල්බයක් මා රඳවා සිටි සිර මැදිරියට දමා තිබුණා. මේ බල්බ් එකේ එළියට සිර මැදිරියේ තියන රස්නය දෙගුණ තෙගුණ වුණා. රෑට ඉවසන්න බැරි රස්නයක් තිබුණේ ඒ හින්දා සිර මැදිරියේ බිමට වතුර ඉහළා නිදා ගන්න පුරුදු වුණා. එහෙම කළේ රස්නය නැති කර ගැනීමට උපක්‍රමයක් වශයෙන්. ඒ හැරෙන්න වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. රෑට නිදාගත්තේ නිරුවතින්. රස්නය නිසා ඇඳුමක් ඇඳගෙන ඉන්න බැහැ. දවල් කාලයට සිර මැදිරියේ ඉන්නේ යට ඇඳුම පිටින්. එළියට ගන්න අවස්ථාවල තමා උඩුකයට ඇඳුමක් ඇඳගත්තේ. ඉහළින් ආ නියෝගයක් නිසා අපට මේ විදිහට කරන බව දැනගත්තා. බන්ධනාගාරයේ ඉන්න නිලධාරීන් පවා අපට කරන මේ අමානුෂික ක්‍රියාව පිළිබඳව කනගාටුවට පත්ව සිටියා. ඔවුන් ද අසරණව සිටියා.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ෆීලික්ස් පෙරේරා මහතා බැලීමට බන්ධනාගාරයේ චැපල් අංශයට එන විට අපූරු තෑග්ගක් ගෙනැවිත් ඇත.
මැතිනිය ගෙනා ඒ තෑග්ග ෆීලික්ස් පෙරේරා මහතාට ලොකු අස්වැසිල්ලක් සහනයක් වී තිබේ.
මහ මෙරක් වටිනා ඒ තෑග්ග ගැන ඔහු කී කතාවයි මේ.
බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ ඉන්න කාලයේ නිදාගන්න මට කොට්ටයක් තිබුණේ නැහැ. කොට්ටයක් නැති නිසා ලොකු අමාරුවක වැටිලා හිටියේ. තියන කරදර මදිවට කොට්ටයක් නොමැතිවීම ඇත්තෙන්ම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒත් ඉතිං කරන්න දෙයක් නෑනේ. කාට මේ අවනඩුව කියන්නද? ඔන්න දවසක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මාව බලන්න ආවා. මැතිනිය අතේ කොට්ටයක් තියෙනවා දැක්කා. “මැඩම් මොකද මේ කොට්ටයකුත් අරගෙන” කියා මම ඇසුවා. “ෆීලික්ස් ඔයාට දෙන්න තමා මේ කොට්ටය අරගෙන ආවේ” කියා මැතිනිය කිව්වා. ඔයාට කොට්ටයක් නැති බව දැනගන්න ලැබුණා. ඒකයි මම කොට්ටයක් අරගෙන ආවේ එහෙම කියා මැතිනිය මට කොට්ටය තෑගි කළා. එදා ඉඳලා මම කොට්ටය හිසට තබාගෙන නිදාගත්තා. මැතිනිය මාව බලන්න ඇවිත් ගියාට පස්සේ පෙරට වඩා මට සැලකිලි වැඩිවුණා. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ තමා මාව ඒ කාලයේ රඳවාගෙන සිටියේ.
එක දවසක් හරි වැඩක් වුණා යැයි කියමින් හිර ගෙදරදී අත්විඳි තවත් අත්දැකීමක් ගැන ෆීලික්ස් පෙරේරා මහතා විස්තර කෙළේ මේ අන්දමිනි.
“මාව රඳවා සිටියේ දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටි සිර කුටියකට යාබදවයි. එහි කොරිඩෝවක් තිබුණා. දවසකට පැය භාගයක් එහි ඇවිදින්න අවස්ථාව සලසා දුන්නා. නාන්න පැය 1/4ක් ලබා දෙනවා. නාන්න වතුර ටැංකියක් ළඟට අරගෙන යනවා. මම රෝගාතුරව සිටිය නිසා දවසක් චැපල් වාට්ටුවේ ඉඳලා බන්ධනාගාර වෛද්‍යවරයා ළඟට එක්කගෙන ගියා. වෛද්‍යවරයා වෙත කැඳවාගෙන යන තෙක් මාව එහි තිබූ බංකුවක වාඩි කෙරෙව්වා. මම වාඩිවී සිටි බංකුව ඉදිරිපිට මුහුණලා තිබූ බංකුව මත වාඩි වී සිටි කෙනෙක් මොකක්ද කරපු මඩර් එක කියා විමසුවා. මම මඩර් එකකට ඇතුළට ආපු කෙනෙක් නෙමේ මම ජා-ඇල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක. රජය පෙරළන්න හදනවා කියා අල්ලාගෙන ආවා. මම ෆීලික්ස් පෙරේරා කියා ඔහු සමග පැවසුවා.
මා මේ බව පවසනවාත් එක්කම වාගේ අර මනුස්සයා එක පාරටම මහ හයියෙන් කෑ ගසා කිව්වා, මේ මහත්තයා මගේ චැපල් වාට්ටුවේ රඳවා තබා ගැනීම වැරැදියි කියා. පසුව මාව සී.ආර්.පී. එකට දැම්මා. මා වෙනුවෙන් පෙනී සිටියේ එවකට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායකයාව සිටි කුට්ටුමනී බව දැනගැනීමට ලැබුණා. ඔහුට හොඳට සිංහල කතා කරන්න හැකියාවක් තිබුණා. මාව දරුණු අපරාධකාරයන් රඳවා සිටි ස්ථානයෙන් ඉවත් කළේ කුට්ටුමනී කෑ ගසපු නිසයි. පසුකාලයක බන්ධනාගාරය තුළදීම කුට්ටුමනී ඇතුළු පිරිසක් මරා දමා තිබුණා.
ෆීලික්ස් පෙරේරා මහතා හිරේ ඉන්න කාලයේ සිදුවූ අදටත් ඔහුගේ හදවත සසල කරවන හිත තිගස්වන අනුවේදනීය සිද්ධියක් හදවතේ ගැඹුරුම තැන තැන්පත් වී තිබේ.
ඒ සිද්ධිය මතක් වන මතක් වන මොහොතක් පාසා ඔහුගේ සිත කම්පනයට පත්වේ.
බිරිඳට පමණක් මාව බලන්න සෑම දිනකම පැය කාලක වේලාවක් වෙන් කර දි තිබුණා. බිරිඳ මාව බලන්න සෑම දිනකම නොවරදවාම හිර ගෙදරට එනවා. අපි දෙන්නා කතා බස් කරන කාලය තුළ සී.අයි.ඩී. එකේ නිලධාරින් ඒ කතා බහ සේරම පටිගත කරගන්නවා. හිර ගෙදරින් දෙන කෑම මම කෑවේ නැහැ. ඒ කෑමවලට වස දමා දෙයි කියා භයක් මට තිබුණා. බිරිඳ දවස් ගාණක් මාව බලන්න හිර ගෙදරට ආවේ නැහැ. හැමදාම මාව බලන්න ආපු බිරිඳ එක පාරටම හිර ගෙදරට එන එක නැවැත්තුවේ මොකද කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා. මේකට හේතුව දැන ගන්න කිසිම ක්‍රමයක් මට තිබුණේ නැහැ. බිරිඳගේ නොපැමිණීම ගැන නිතරම කල්පනා කළා. බිරිඳටත් මම බලන්න එන එක තහනම් කරලා ද දන්නේ නැහැ කියාත් සිතුවා.
හිරගෙදරින් දෙන බත් කන්නත් බයයි. බඩගින්නේ ඉන්නත් බැහැ. හිරකාරයෝ එයාලට දෙන බත් එක කාලා ගෙනල්ලා මට කන්න කියා දුන්නා. හිරකාරයෝ ඔවුන් එය කාලා මට දුන්නේ කෑමවලට වස මුසු කර නොමැති බව තහවුරු කරන්නයි. හිරකාරයෝ මට ගොඩක් හිතවත් වෙලා හිටියා. අපරාධවලට සම්බන්ධවෙලා හිරේට ඇවිත් හිටියත් ඔවුන් තුළත් මනුස්සකම තිබුණා.
ඔන්න දවස් පහකට විතර පස්සේ බිරිඳ මාව බලන්න හිර ගෙදරට ආවා. මෙච්චර කාලයක් මොකද මාව බලන්න ආවේ නැත්තේ කියා බිරිඳගෙන් විමසුවා. ඇය කඳුළු පුරෝගෙන කී කතාව අසා ඉබේටම මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියා. හිතට කියන්න බැරි වේදනාවක් ඇති වුණා යැයි ෆීලික්ස් පෙරේරා මහතා එම වසර 35කට පමණ ඉහතදී සිදුවූ ඒ සිද්ධිය ගැන මෙනෙහි කරමින් කීය.
“මාව බලන්න බිරිඳ ගෙදරින් එළියට ඇවිත් කාර් එකට නැගලා තියෙනවා.
කාර් එකට ගොඩ වුණාට පස්සේ තමා එයාගෙ හෑන්ඞ් බෑග් එක මතක් වෙලා තියෙන්නේ. ඒ නිසා බිරිඳ කාර් එකෙන් බැහැලා ආයෙත් හෑන්ඞ් බෑග් එක ගේන්න ගෙදරට ගිහින් තියෙනවා. අපේ ගෙදර ඇතුළේ පොකුණක් හදලා තියෙනවා. බිරිඳගේ ඇතුළට යද්දී අපේ පොඩි දුව සුභානි පොකුණේ වතුර මත පාවෙමින් ඉන්නවා දැකලා. එතකොට පොඩි දුවගේ වයස මාස නමයයි. බිරිඳ කෑගසාගෙන පොකුණේ වැටිලා පාවෙමින් හිටිය සුභානි දුව උස්සා අරගෙන තිබෙනවා. බිරිඳගේ කෑ ගැසීම ඇසී ගෙදර හිටිය අනිත් අයත් දුවගෙන ඇවිත්. දුව යාන්තමට හුස්ම ගන්නා බව තේරුම් ගිහින් තියෙනවා.
ඊට පස්සේ කෘත්‍රිම ස්වසනය දීලා කොළඹ පෞද්ගලික රෝහලකට අරගෙන ගිහින් තිබෙනවා. දොස්තර මහත්වරු ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබුණා. තව තත්පර කිහිපයක් ගියානම් දුව මිය යන බව දොස්තර මහත්වරු කියා තිබෙනවා. දවස් 19ක් දුව රෝහලේ ප්‍රතිකාර ලබා ගත්තා. එදා අනූනමයෙන් ජිවිතය බේරා ගත්තු සුභානි දුව වයඹ පළාත් සභා මන්ත්‍රී සුමාල් තිසේරා එක්ක විවාහ වෙලා ඉන්නවා. බිරිඳ මාව බලන්න එනකොට දුව අම්මා පස්සෙන් එනකොට පොකුණට වැටෙන්න ඇති කියා පසුව අපි සැක කළා.
සුභානි දුවට මේ වෙච්ච සිද්ධිය අසා මට කියන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා. දුව බලන්න යන්න හැකියාවක් නොමැතිකම ගැන මට පුදුම වේදනාවක් ඇති වුණා. තාත්තා කෙනෙක් හැටියට මම ඒ වේදනාව උසුලාගෙන හිටියේ බොහොම අමාරුවෙන්. බිරිඳ මාව බලන්න ඇවිත් නැත්තේ මේ ගැන මට කියන්න බැරි නිසයි. දුවට හොඳටම සුවය ලැබුණට පස්සෙ තමා මාව බලන්න ආවේ. කොහොම වුණත් දුව දවස් 19ක් රෝහලේ නැවතී සිටියා යැයි ෆීලික්ස් පෙරේරා මහතා පැවසුවේ වේදනාබර අතීතය මෙනෙහි කරමිනි.
වරාය පොලිසියේ හා හමුදාවේ රඳවාගෙන සිටි කාලය තුළ සෑම දිනකම උදේ 9.00ට පමණ රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට අරගෙන යනවා. හතරවැනි තට්ටුවේ රඳවා තබාගෙන සවස වෙනකම් ප්‍රශ්න කරනවා. ආපසු අරගෙන යනවා. හිර ගෙදරට ආවට පස්සේ තමා බිරිඳට පමණක් පැය කාලක් මාව බලන්න ඉඩ දුන්නේ. හමුදා අත්අඩංගුවේ ඉන්න කාලයේ මම කොහේ ඉන්නවද කියන එක අපේ ගෙදරට දැනුම්දීමක් කරලා තිබුණේ නැහැ. මා ඉන්නා තැන සොයා ගැනීමට ඔවුන් රටේම තියෙන බන්ධනාගාරවලට ගිහින් තියෙනවා. ඒත් මා ඉන්නා තැනක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා. මේ නිසා බිරිඳ ඇතුළු පවුලේ සේරම දෙනා දැඩි පීඩනයකින් හැඬු කඳුළින් කාලය ගත කර තිබෙනවා.
බන්ධනාගාරයේ රඳවාගෙන සිටිය කාලයේ බිරිඳ මට කෑම ගෙනාවා. ඔසී අබේගුණසේකරට කෑම ගෙනාවේ ඔහුගේ බිරිඳ සුරංගනී හා කැලණියේ හිටපු නගරාධිපතිවරයකු වන සරත් මහතාය. බන්ධනාගාරයෙන් දෙන කෑම බීම කන්න අපි කවුරුත් බය වුණා. ඒ මොකද කියනවා නම් වස මුසු කරලා කෑම කන්න දීලා අපිව මරා දමාවි කියන බය තිබුණ නිසයි.
මම බන්ධනාගාරයේ ඉන්නා කාලයේ මගේ බිරිඳගේ නංගිගේ විවාහ මංගල්‍යයෝත්සවය තුඩැල්ල පල්ලියේදී පැවැත්වුණා. ඒ විවාහයේ බිරිඳගේ නංගිගේ පැත්තෙන් සාක්ෂියට අත්සන් කරන්න ආවේ හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා. එතකොට ඡන්දයෙන් පැරදිලා දවස් පහයි. බිරිඳගේ නංගිගේ විවාහ මංගල්‍යයේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ සී.අයි.ඩී. එකේ අය පල්ලියට පැමිණ සෙවිල්ලෙන් සිටියා කියා පසුව මට දැනගැනීමට ලැබුණා.
රෑ වෙනවා එළිවෙනවා කියා දැනගන්න වේලාවක් බලාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හිර ගෙදර උදේට හිරකාරයන්ට කෑම උයන්න පොල් බිඳින හඬින් තමා දැනගන්නේ එළිවෙලා කියලා. දිනයක් දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ගෝල්ෆේස් එක පැත්තෙන් එක දිගට රතිඤ්ඤා හඬ දවසක් මහ රෑ ඇසුණා. එදා නත්තල් කියා දැනගත්තා. ඊට පස්සේ තවත් දවසක් කලින් දවසෙ වගේ එක දිගට හතර වටින් රතිඤ්ඤා පත්තු වෙන හඬ ඇසුණා. එදා ජනවාරි 01 වැනිදා කියා දැනගත්තා. මාව රඳවා සිටිය හිර කුටියට එහා හිර කුටියේ රඳවා සිටියේ ඔසී අබේගුණසේකර. ඒත් අපි දෙන්නට දෙන්නා පෙනෙන්නේ නැහැ. අපේ සිරකුටි ළඟින් කාණුවක් වැටී තිබෙනවා. ඔසී උදේ පාන්දරට ඒ කාණුවට කට තියා සුබ අලුත් අවුරුද්දක් වේවා ෆීලික්ස් කියා කිව්වා. මාත් ඒ විදියටම කාණුවට කට තබා ඔබටත් එසේම වේවා කියා ඔසීට සුබ පැතුවා අද වගේම මතකයි. මේ නිසා සෑම ජනවාරි 01 වැනිදාකම මට ඔසීව මතක් වෙනවා.
ඒ ෆීලික්ස් පෙරේරා මහතාගේ හඬයි.
හිරගෙදරින් නිදහස් කළ ආකාරය ගැන හෙළි කරමින් ඔහු මෙසේ කීය.
දවසක් රෑක මාව නිදහස් කළා. ඊට පස්සේ ඒ මහ රෑම මාව බන්ධනාගාර බස් එකකින් ජා-ඇල පිහිටි නිවසට කැඳවාගෙන ආවා. මම නිදහස් වෙලා ආවා දුටු බිරිඳ ඇතුළු පවුලේ අය පුදුම සතුටට පත් වුණා. ඒ වගේම මම නිදහස් කළා ගෙදර ඇවිත් කියා ආරංචි වී මගේ පාක්ෂිකයෝ ආධාරකරුවෝ හිතවතුන් වැල නොකැඩී අපේ ගෙදරට එන්න පටන් ගත්තා.
ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට කළ ඉල්ලීමක් අනුව දවස් 20කට විතර පස්සේ ධර්මසිරි හා ධර්මසිරිවර්ධන යන දෙදෙනා නිදහස් කළා. ඊට පස්සේ තමා මාව නිදහස් කළේ.
මම හමුදාවට ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව කරගෙන ගියා. අත්අඩංගුවට අරගෙන රොක්හවුස් හමුදා කඳවුරේ රඳවාගෙන සිටියදී ඒ කොන්ත්‍රාත් එක තහනම් කළා. හමුදා අත්අඩංගුවේ ඉන්න කෙනකුගෙන් හමුදාවට ආහාර ගන්න යුතුකමක් නැහැ කියා තමා ඒ ටෙන්ඩරය තහනම් කර තිබුණේ. ඒ විතරක් නෙමේ, මගේ තවත් ව්‍යාපාර 15ක් එවකට පැවැති රජය විසින් තහනම් කළා. මේ සේරම කළේ මගෙන් පළිගන්න. ඒත් මා මේ කිසිවකින් සැලුණේ නැහැ.
දේශපාලනය වෙනුවෙන් හිරබත් කෑ ෆීලික්ස් පෙරේරා මහතාට ඔහු කාලයක් තිස්සේ කරගෙන ආ ව්‍යාපාර ද අහිමි වූයේ දේශපාලනය නිසාමය.
ඒත් ඔහු කරගෙන ආ ජනතා මෙහෙවර නවතා දැමුවේ නැත.
රජය පෙරළීමේ කුමන්ත්‍රණකාරයෙක් නැක්සලයිට්කාරයෙක් කියා අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරයේ රඳවා සිටියත්, අපි කිසිම කෙනෙකුට චෝදනාකරලා ගොනුකරලා අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. නිකරුණේ අපිව බොරු චෝදනා කරලා අත්අඩංගුවට ගත්තා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම එක්තරා පිරිසක් ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට බොරු කියා ඔහු නොමග යවා තිබෙනවා. ඒ නිසා තමා අපිට මේ විදිහට බන්ධනාගාරයේ තපින්න සිද්ධ වුණේ. අපේ පක්ෂයේ අයගේ කුමන්ත්‍රණයක් නිසා අපි කට්ටියක් අන්තිමේදී නිකරුණේ දුක්වින්දා යැයි ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.
විජය කුමාරතුංග මහතා ගැන ෆීලික්ස් පෙරේරා මහතා කියන කතා ඊළඟට කියවමු.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය