කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ කෘතියෙනි.
2010 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් සතියකට දෙකකට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එක් දවසක උදේ 06.30ට පමණ මට දුරකථනයෙන් කථා කළේය.
‘විමල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්න ඕන කියලා මතයක් තියෙනවා. ඒ ගැන මොකක්ද ඔයාගෙ මතය?’
එකවරම අසන ලද මේ පැනයට පිළිතුරු දීමට මට කාලය උවමනා නොවිණි.
‘ඒක නම් කරන්න එපා ජනාධිපතිතුමනි, ඔය මනුස්සයා එළියෙ හිටියොත් කට වරද්දා ගෙනම ටික කාලෙකින් දේශපාලන වශයෙන් ඉවර වෙයි. ඇතුළට දැම්මොත් නම් එයා එන්නේ වීරයෙක් වෙලා.’
මගේ පිළිතුර එසේ විය. මදක් නිහඬව සිටි ජනාධිපතිතුමන් කියා සිටියේ හමුදා විනය උල්ලංඝනය කිරීම නිසා හමුදාව පවසන්නේ ඒ පිළිබඳ හමුදා නීතියට අනුව පියවර ගත යුතු බවත් එසේ නොකළහොත් එය හමුදාව තුළ විනය සම්බන්ධව නරක පූර්වාදර්ශයක් වනු ඇති බවත්ය.
‘ජනාධිපතිතුමනි මේක හමුදා ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක්. හමුදාව පැත්තෙන් විතරක් බලලා තීරණ ගත්තොත් ඒක දේශපාලනිකව වරද්දා ගැනීමක් වේවි’
‘හොඳයි විමල් අපි බලමුකෝ.... කියමින් ජනාධිපතිවරයා දුරකථනයෙන් මිත්‍රශීලීව සමු ගත්තේය. ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ කවුරුන් විසින් කරන ලද පෙලඹවීම මත දැයි මා අදත් හරියටම දන්නේ නැත. කවුරුන් විසින් වුවත් එයද වැරදි තීරණ කරා ජනාධිපතිවරයා පෙලඹීම පිණිස යොදවනු ලැබූවන් වෙතින් සිදු කෙරෙන්නට ඇතැයි මම විශ්වාස කරමි.
යුද හමුදාපතිවරයාව සිටියදී සරත් ෆොන්සේකා කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ න්‍යාය පත්‍රය අනුව යමින් දේශපාලන මෙහෙයුමකට අවතීර්ණව සිටි බව සැබෑය. එහි දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඔහු යුද හමුදාපතිවරයාව සිටි අවසන් කාලයේ නිතර නිතර හමුවු බවද සත්‍යයකි. අසීමාන්තික හා නිර්දය උන්නතිකාමි පුද්ගලයකු වූ ෆොන්සේකා එකී බලවේග විසින් දේශපාලනයට ගෙන එන ලද බවද සැබෑය. ඒ කුමක් වුවත් එය යුද හමුදා නීතිය යටතේ විසඳිය යුතු ප්‍රශ්නයකට වඩා සමාජ දේශපාලන මතවාදය යටතේ විසඳිය යුතුව තිබූ ප්‍රශ්නයකි.
2015 ජනාධිපතිවරයා යුද ජයග්‍රහණයේ හා ආර්ථික වර්ධනයේ ඇඳුමින් පමණක් සැරසී ජයගත නොහැකි බව අප ප්‍රසිද්ධියේම අනතුරු ඇඟවූයේ 2014 මුල සිටය. සතුරා අත රැඳි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයේ අවිය අප අතට ගත යුතු බව හා එමගින් සතුරා අවි රහිත තත්ත්වයකට පත්කළ යුතු බව අපගේ මතය විය. සැබැවින්ම 2015දී සිංහල ඡන්දදායකයා අතුරින් මහින්ද රාජපක්ෂ කඳවුරේ සිට හංස කඳවුරට මාරු වූයේ බොහෝ දුරට රාජ්‍ය සේවකයන් හා නාගරික මැද පන්තිය ය. බොහෝ දුරට දිළිදු ජන සමාජය හංස ප්‍රෝඩාවට ගොදුරු නොවිණි. මේ බව කල් තියා වටහා ගැනීමේ හැකියාව ආණ්ඩුවේ තීරණ ගන්නා කිහිපදෙනා තුළ නොපැවතිණි.
ජනාධිපතිවරයා වෙත යන යන තැනදී ලැබෙන උද්‍යෝගිමත් මහජන ප්‍රතිචාර විසින් එක්තරා අන්දමක ස්වයං මෝහනයක් ඇතිවී තිබිණි. සද්භාවයෙන් යුතුව ඇතිවීමට නියමිත අනතුර කල් තබා පෙන්වූ අප ද ආණ්ඩුව අතහැර ගියද ප්‍රශ්නයක් නැතැයි සිතන උද්දච්ඡ මානසිකත්වයකට ඒ ඇතැමුන් පත්ව තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයා අවසාන මොහොතේදී මැදිහත්ව කිසියම් ප්‍රමාණවත් නොවන්නා වූ හෝ සම්මුතියක් ඇති නොකර ගැනුණේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන තැනට කරුණු අප ඉදිරිපිට ද පිළියෙල වී තිබිණි. අපට අවශ්‍ය වූයේ මහෞෂධ භූමිකාව ඉටු කිරීමටය. එමගින් අප කල් තබා දුටු අනතුර පරාජය කරන තැනට ආණ්ඩුව ගෙන ඒමටය. එසේ නොමැතිව ජනාධිපතිතුමන් ඇසීමට ප්‍රිය කරන වදන් වෙතින් දෙසවන් පුරවා සැබෑව නොඇසෙන තත්ත්වයකට එතුමන්ව පත් කිරීමට නොවේ.
බටහිර න්‍යාය පත්‍රය සමග එඩිතරව හැපුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට බටහිර වෙතින් එල්ල කෙරෙන සැලසුම් සහගත වූ සූක්ෂම ප්‍රහාරය ප්‍රමාණාත්මකව හඳුනාගත හැකි වූයේ නැත. සතුරාට අවශ්‍ය පුද්ගලයන් ඇතැම් තීරණාත්මක රාජ්‍ය තනතුරු වෙත පත් කෙරුණේ ඒ පිළිබඳ අප කල් තබා කරන ලද අනතුරු ඇඟවීම් නොසලකාය. මේ සියල්ල මෙහි සටහන් කරන ලද්දේ එක් වරක් නොව කිහිප වරක් සිතා බලා ය.
කෙසේ වෙතත් විනාශයේ හා දෙකඩ වීමේ ඉම දක්වා ඇද ගෙන ගොස් තිබූ රටක් ඒ බිහිසුණු ඉරණමෙන් නිදහස් කර ගත් මේ නායකයා අතහැර යාමට මේ අඩුපාඩු හේතු විය හැකි නොවේ.
ඉතිහාසය නිර්මාණය කරන්නේ මූලිකව නායකයින් විසිනි. නමුත් ඒ ඉතිහාසය ඔවුන් වෙත ඇති කොට දෙනු ලබන රාමුව තුළය. යැයි කීවේ කාල් මාක්ස්ය. නායකයෙක් යනු එක් අතකින් ඉතිහාසයේ සහ ඓතිහාසික තත්ත්වයන්ගේ සිරකරුවෙකි යැයි කීවේ වෙනිසියුලාවේ විසූ කීර්තිමත් ජනාධිපති දිවංගත හියුගෝ චාවේස්ය.
අභිමානවත් අතීතයකට හිමිකම් කියන වාමාංශික පක්ෂවල වත්මන් නායකයන් පවා තම ආත්මය විදේශ ඔත්තුසේවා හමුවේ විකුණා දමා ඇති යුගයක රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටු කළ මෙහෙය සුළුකොට තැකිය හැකි නොවේ. එහෙත් ඒ ආදරය හා ගෞරවය විසින් අප අපගේ සත්‍ය දුබලතා හඳුනා ගැනීමේ හැකියාව අහිමි කර ගත යුතුද නැත.
2015 ජනවාරි 09 වැනිදා දහවල් වෛද්‍ය වසන්ත බණ්ඩාර දුරකථනයෙන් මා ඇමතුවේය.
‘විමල් සහෝදරයා. මොකද කරන්නේ දැන්’
‘මහින්ද එක්කම පැරදුන අපි දැන් මහින්ද එක්කම නැගිටින්න ඕනෙ. දිනන්න ඕනෙ.’
ඒ මා ඔහුට දුන් පිළිතුර විය. මහින්ද රාජපක්ෂයන්ගේ පරාජය එතුමා සමගම වන නව ජයග්‍රහණයක පදනම බවට පෙරළා ගතයුතු බව මගේ විශ්වාසය විය.
ජාතිය, සමස්තයක් ලෙස අකෘතඥ වී ඇතැයි මැතිවරණ ප්‍රතිඵලයෙන් නොපෙනිණි. විවිධ වර්ණ වෙතින් හැඩ ගැන්වුණු බහුවිධ හතුරු කල්ලි, විදේශ ඔත්තුසේවා සහාය ද ලබමින් දියත් කරන ලද දැවැන්ත මෙහෙයුමෙන්ද මහින්ද පරදවා ඇත්තේ ලක්ෂ 04ක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකිනි. උතුරේ දෙමළ ජනතාවගේ ද සියයට 80ක පමණ වූ ඡන්ද ප්‍රකාශ කිරීමක් සැබෑ වශයෙන්ම සිදු නොවූ බව ද මගේ විශ්වාසය විය.
එසේ වූයේ නම් එය මහ මැතිවරණයේදී ද දක්නට හැකිවිය යුතුය. තම දෙමළ නායකයන් ජයග්‍රහණය කරවීමේදී පවා දක්නට නොවුණු අසාමාන්‍ය ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපතිවරණයේදී උතුරේ වැටෙන්නට හැකියාවක් නැත. පරිගණක ඉංජිනේරුවරයකු වූ ආශූ මාරසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ මේ අසාමාන්‍ය ප්‍රතිඵලයේ රහස් දන්නා පුද්ගලයන්ට සැලකීම අවශ්‍ය නිසාය.
මේ සියලු කරුණු මත පැරදුණු මහින්ද සාමාජීය වශයෙන් නැවත බලවත් වනු ඇති බව මම හඳුනා ගතිමි. ඒ විශ්වාසය මත ක්‍රියාත්මක වීමේ ධෛර්ය වඩවාලීම අවශ්‍ය විය. දැනට සිදු කෙරෙන පරිදි ඒ යුගය දෙස බැලිය යුත්තේ පීඩාවට පත් මිනිසුන්ගේ නෙත්වලින් පමණක් නොවේ. ජයග්‍රාහී මිනිසුන්ගේ නෙත්වලින් ද බැලිය යුතුය. ජයග්‍රාහී මිනිසුන්ගේ සංඛ්‍යාව පීඩාවට පත් මිනිසුන්ගේ සංඛ්‍යාවට වඩා ගිණිය නොහැකි තරමට විශාලය.
ස්ටාලින්ගේ යුගය ගැන මහාචාර්ය ඇලෙක්සැන්දර් සිනොවියෙෆ් නම් වූ බුද්ධිමතාගේ මේ විග්‍රහය රාජපක්ෂ යුගය සම්බන්ධව ද අදාළ වේ. එහෙත් අද බලයේ සිටින්නවුන් හා ඊට කත් අදින වම්මුන් උත්සාහ දරන්නේ ඒ යුගය පිළිබඳ අවසාන නිගමනය ඉන් පීඩාවට පත් මිනිසුන්ගේ නෙත්වලින් පමණක් තීරණය කිරීමටය. අප ඊට ඉඩ දියයුතු නැත. ලතින් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී වීරයකු වූ සිමොන් බොලිවර් ප්‍රකාශ කරන ලද්දේ “හොඳම ආණ්ඩුව කියන්නේ තම ජනතාවට උපරිම සන්තුෂ්ටියත් උපරිම දේශපාලන ස්ථාවරත්වය සහ උපරිම සමාජ ආරක්ෂාවත් උදාකර දෙන ආණ්ඩුවයි” යනුවෙනි. මහින්ද රාජපක්ෂ පාලන යුගයට ද එතෙක් පැවැති ආණ්ඩුවට සාපේක්ෂව මේ කියමන බොහෝ දුරට ගැළපෙන බව මගේ විශ්වාසයයි.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්