2010 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු සරත් ෆොන්සේකා බන්ධනාගාරෙ ඉදලා තමයි පාර්ලිමේන්තුවට ආවේ මුල් දවස්වල. එයාට ලොකු පිළිගැනීමකුත් තිබුණා. මේ අතරෙ ඔහුගෙ නඩුව විභාග කරන්න පටන් ගත්තා. නඩුව විභාග කළාට පස්සේ අවුරුදු දෙකක සිරදඬුවමක් හම්බවුණා. මේ තීන්දුවත් එක්ක ඔහුගේ මන්ත්‍රීධුරයත් අහෝසි වුණා. මේ අහෝසිවීමත් එක්ක ඒ වෙනුවට පත්වුණේ ජයන්ත කැටගොඩ. ජයන්ත එක්සත් ජාතික පක්ෂෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන්නෙ නැතුව සරත් ෆොන්සේකා නියෝජනය කරන දේශපාලන පක්ෂෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඊළඟ ස්ථානයේ හිටියේ. ඒක නිසා තමයි සරත් ෆොන්සේකාගේ පුරප්පාඩුවට ඔහුට එන්න පුළුවන් වුණේ.
මේ අතරේ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයකුත් ක්‍රියාත්මක වුණා. දේශපාලන පළිගැනීමක් උඩ කරපු සිරගත කිරීමක් කියලා තමයි ඔහුව නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය දියත් වුණේ. එක්සත් ජාතික පක්ෂයට ඕනෑ වුණා සරත් ෆොන්සේකා අඩුම තරමේ ජනාධිපති සමාව යටතේ හෝ නිදහස් කර ගන්න.
අපි පක්ෂය ඇතුළෙ මේක සාකච්ඡා කරලා රනිල් වික්‍රමසිංහයි, මමයි වැලිකඩ බන්ධනාගාරෙට ගිහින් සරත් ෆොන්සේකා මුණ ගැහුණා. සරත් ෆොන්සේකාට රනිල් වික්‍රමසිංහ කිව්වා එයාව නිදහස් කරගන්න සාකච්ඡා කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණගැහෙන්න පක්ෂය තීරණය කළා කියලා. සරත් ෆොන්සේකා කිව්වා “ඒක කරන්න එපා” කියලා. ඔහු ඒකට කැමති වුණේ නෑ. මහින්දගෙ සමාවෙන් එළියට එන්නෙ නෑ කියල තමයි ඔහු දිගටම කිව්වේ. ඒත් අන්තිමට ආවෙත් එහෙම තමයි. රනිල් වික්‍රමසිංහ කිව්වා කොහොම හරි එළියට එන එක වැදගත් නිසා ඒක කරමු කියලා. එළියට ඇවිත් ආපහු දේශපාලනය පටන්ගමු කියලා අපි ඔහුට කිව්වා. සරත් ෆොන්සේකා ඒකට එකඟ වුණේම නෑ. මහින්ද රාජපක්ෂගෙ වුවමනාවට නිදහස් කරනවනම් ප්‍රශ්නයක් නෑ. ඒත් තමන්ට එක ඉල්ලන්න බෑ කියලයි ඔහු පස්සේ කිව්වේ. රනිල් වික්‍රමසිංහ කිව්වෙ ඔහු ඉල්ලන්නම් කියලා.
අපි මේ ගැන මහින්ද රාජපක්ෂට දැනුම් දුන්නා. එතකොට ඔහු දැනුම් දුන්නේ සරත් ෆොන්සේකා හෝ ඒ පවුලේ කෙනෙක් ලිඛිතව ඉල්ලුවොත් ජනාධිපති සමාව දෙන්න පුළුවන් කියලා. අපි මේක සරත් ෆොන්සේකට කිව්වා. එයා ඒකට කැමති වුණේ නෑ.
සරත් ෆොන්සේකා මේ අදහසේ හිටපු නිසා අපි ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ට කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා. පොඩි හාමුදුරුවො කිව්වා මැදිහත්වෙලා තමන්ගෙ ඉල්ලීමක් විදියට මේක ඉදිරිපත් කරන්නම් කියලා. පොඩි හාමුදුරුවො මට කිව්වා ඒකට අවශ්‍ය ලියුම හදලා එවන්න කියලා. අපි ලියුම හදලා පොඩි හාමුදුරුවන්ට දුන්නා.
මේ අතර සරත් ෆොන්සේකගෙ අදහස වුණේ ඔහු වෙනුවෙන් දේශපාලන උද්ඝෝෂණ ව්‍යපාරයක් කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය මේ තරම් සරත් ෆොන්සේකා වෙනුවෙන් මැදිහත් වුණේ 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීම නිසා. හැබැයි මහ මැතිවරණයේදී ඔහු වෙනත් දේශපාලන පක්ෂයක් හදාගෙන වෙන් වුණා. ඒත් ඔහු අසරණවෙලා ඉන්න වෙලාවෙ අපේ පක්ෂයක් විදියට ඔහුට යුතුකමක් ඉටු කරන්න ඕන කියලයි කල්පනා කළේ.
අපේ පක්ෂය තීරණය කළා සරත් ෆොන්සේකා නිදහස් කරගන්න. ආණ්ඩුවට දැනෙන විරෝධතා ව්‍යාපාරයක් කරන්න. මේ වෙලාවෙ දයාසිරි ජයසේකර යෝජනා කළා රෑට මේ උද්ඝෝෂණය කරමු කියලා. ටිකක් වෙනස් දෙයක් කරන්න ඕනෑ නිසා එහෙම කරමු කියලයි දයාසිරි ඒ යෝජනාව ගෙනාවේ. පන්දම් එහෙම පත්තු කරගෙන බන්ධනාගාරෙ ළඟ ඉඳලා පෙළපාළියක් යමු කියලා තීරණය කළා. රෑ කරන මේ වැඬේ ටිකක් අවදානම් එකක් කියලත් අපිට තේරුණා. ඒත් කොහොම හරි මේක කරමු කියන අදහසට ආවා.
අපි කොහොම හරි මේ උද්ඝෝෂණ පෙළපාළිය පටන් ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ පිරිස එක්ක තමයි මේක කළේ. ලොකු පිරිසක් සහභාගී කරවගත්තෙත් නෑ. පුංචි බොරැල්ලෙ ඉඳලා බන්ධනාගාරෙ ළගින් බොරැල්ලට එන්න තමයි සැලසුම් කරලා තිබුණේ. පෙළපාළිය පටන් ගන්න මොහොතට මට සහභාගී වෙන්න බැරි වුණා. අනිත් අය වැඬේ පටන් අරගෙන ගියා. මම එනකොට ටිකක් පරක්කු වුණා. මම එනකොටම ආරංචි වුණා පෙළපාළියට පහර දෙනවා කියලා. රෝසි සේනානායකගේ වාහනේට එහෙමත් පහර දීලා තිබුණා. මම එතෙන්ට කිට්ටු වෙනකොට බොරැල්ලේ අපේ සංවිධායක ජයන්ත සිල්වා කිව්වා එතැනට යන්න එපා ගහනවා” කියලා. මම වෙන පාරකින් එතෙන්ට ගියා. එතකොට ගොඩක් අයට තුවාලත් වෙලා තිබුණා. වාහන වලටත් අලාභ හානි වෙලා තිබුණා. ආරංචි කරලා බලනකොට ඒක කරලා තිබුණෙ තිලංග සුමතිපාලගෙ කට්ටිය කියලා වාර්තා වුණා. පස්සේ අපි පාර්ලිමේන්තුවෙත් ඉන් පිටත් මේ සම්බන්ධයෙන් තිලංගට විරුද්ධව විරෝධය දැක්වුවා. පහරදීම නිසාම මේ උද්ඝෝෂණයට ලොකු ප්‍රචාරයකුත් ලැබුණා.
මේ අතරේ සරත් ෆොන්සේකාගෙ සිදුවීම අන්තර් පාර්ලිමේන්තු සැසිවාරයටත් ගෙනියන්න දොස්තර ජයලත් ජයවර්ධන ක්‍රියා කළා. ටිරාන් අලස්ලත් සරත් ෆොන්සේකා නිදහස් කරගන්න වෙන පැත්තකින් ක්‍රියාත්මක වුණා. ටිරාන්ල සාකච්ඡා කරලා තිබුණා ජනාධිපති මහින්ද එක්ක මේ ගැන. අන්තිමට මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකට ජනාධිපති සමාව ලබා දුන්නා. මුලදි සරත් ෆොන්සේකා අකමැති වුණත් ජනාධිපති සමාව යටතෙම තමයි එළියට එන්න වුණේ.
තව කොටසක් ලබන සතියට....
ප්‍රියන්ත කොඩිප්පිලි