‘71 දී විජේවීර අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියගේ කතාව


රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා තරුණ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා කොළඹ ගෝල්ඞ්ෆේස් පිට්ටනියේ දී වෙඩි පහරකට ගොදුරු වී මැරුම් කෑවේ යුද හමුදාවේ අත්අඩංගුවට පත් වීමෙන් පසුවය. 


විජේවීර මහතා හමුදා අත්අඩංගුවට පත් වූයේ උලපනේ ප්‍රදේශයේ නිවසක බිරිය හා දරුවන් සමග රහසිගත ජීවිතයක් ගත කරමින් සිටියදීය. 


ගෝල්ෆේස් පිට්ටනියේ දී වෙඩි කා මියගිය ජ.වි.පෙ. නායකයාගේ සිරුර බොරැල්ල කනත්තේ ආදාහනාගාරයක දී දැවී ගියේ අප්‍රසිද්ධියේ වුවත් පසු කාලයක එය සිදු වූයේ කෙසේ දැයි ප්‍රසිද්ධියට පත් විය. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා 1971 වසරේ පොලිස් අත්අඩංගුවට පත් වී ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පැවති උපවාසයකට සහභාගි වීමට ආ අවස්ථාවේය. 


පොලිසිය එදා ඔහු අත්අඩංගුවට ගත්තේ විජේවීර බවට හඳුනාගෙන නොවේ. විජේවීර සමග කෙලී සේනානායක ඇතුළු තවත් ජවිපෙ නායකයන් කිහිප දෙනෙකුම අම්පාරේ දී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. විජේවීර අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා දුන් සහකාර පොලිස් අධිකාරිවරයාවත් ඔහු කවුදැයි කියා හඳුනාගෙන තිබුණේ නැත. 


පොලිසියට ගෙනා අවස්ථාවේ ඔහු හඳුනා ගත්තේ අම්පාර පොලිසියේ මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි. සහාකර පොලිස් අධිකාරිවරයෙක් ලෙස එවකට අම්පාර කොට්ඨාසයේ රාජකාරි කළ එල්. එච්. පී. ද සිල්වා මහතාගේ නියෝගයක් අනුව විජේවීර කියා නොදැන ඔහු අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායමේ උපපොලිස් පරීක්ෂක සැම්සන් සමරසිංහ මහතා ද සිටියේය. 


වසර 20ක පමණ කාලයක් පොලිස් සේවයේ නිරතව සිටි උපපොලිස් පරීක්ෂක සමරසිංහ මහතා මේ වන විට විශ්‍රාම ලබා ඇත. ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර 1971 වසරේ දී පොලිසියට කොටු වූ අන්දම ගැන විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක සමරසිංහ මහතා වචනවලට පෙරළා කිව්වේ මේ අන්දමිනි. 


මම පොලිස් සේවයට බැඳුණේ 1970 වසරේ පෙබරවාරි මාසයේ 14 වැනිදායි. කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මා පුහුණුව ලබා අවසන් වී ඒ වසරේම ජුලි මාසයේ අම්පාර කොට්ඨාසයේ රාජකාරියට ගියා. මා රාජකාරියට වාර්තා කළේ අම්පාර මූලස්ථාන පොලිසියටයි. එවකට එහි මූල්සථාන පොලිස් ස්ථානාධිපති තනතුර දැරුවේ ටෙරි විලියම් කියන මහත්තයා. සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සිටියේ එල්. එච්. පී. ද සිල්වා කියන මහත්තයා. ඔහු යටතේ තමා අපේ පොලිසියත් පාලනය වුණේ. 


අම්පාර ප්‍රදේශයේ සංවර්ධන කටුයතු කළ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ සේවකයන් වැඩි පිරිසක් 1971 වසරේ පෙබරවාරි මාසයේ උඩවලව ප්‍රදේශයට මාරු කළා. ඔවුන්ව මාරු කර තිබුණේ අම්පාර ප්‍රදේශයේ ඔවුන්ට පැවරී තිබුණ කාර්යයන් ගෙන් වැඩි කොටසක් අවසන් කර තිබූ නිසයි. 


මෙම ස්ථාන මාරු වීම් ලබාදීමට එරෙහිව ස්ථාන මාරු වීම් ලැබූ සේවකයන් පිරිසක් ඉඟිනියාගල පාරේ ප්‍රධාන වැඩ පොළ පාරේ ද එහි ප්‍රධාන ගේට්ටුව අසල ද කල්මුණේ පාරේ පිහිටි දැව ඉරුම වැඩපොළ (බ්‍රවුන් හංදිය) හා පොලිසිය ඉදිරිපිට පාරේ ජල සැපයුම් අංශය අසල උපවාසයක් ආරම්භ කර තිබුණා. 


ස්ථාන මාරු අවලංගු කරන තෙක් මෙම උපවාසය අඛණ්ඩව කරගෙන යන බව ඔවුන් ප්‍රකාශයට පත් කර තිබුණා මට මතකයි. 


මේ කියන ස්ථානවල පොල් අතු මඩු තනා ඒවායේ තමා සේවකයන් උපවාසයේ නිරත වෙලා හිටියේ. උපවාසකරුවන් සියලු දෙනාම සුදු ඇඳුම් ඇඳගෙන තමා මේ උපවාසයට සහභාගි වෙලා උන්නේ. උපවාස පැවැත්වෙන ස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. ඉඟිනියාගල මාර්ගයේ ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන වැඩපොළ අසල උපවාසකරුවන් සිටි ස්ථානයේ රාජකාරියට මා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් යෙදෙව්වා. එදින උදේ 6.00 සිට සවස 6.00 දක්වා අපිට එතැන ආරක්ෂක රාජකාරියේ නිරත වීමට සිදුවී තිබුණා. අප එහි ප්‍රධාන මුර කුටියේ රාජකාරියේ නිරතව සිටියා. පාරේ යන එන සමහරුන් උපවාසකරුවන් එක්ක කතා බස් කර කර ගියා. ඊට වඩා යමක් සිදු වුණේ නැහැ. 

 


එදා සවස 5.00ට විතර සහකාර පොලිස් අධිකාරි එල්. එම්. පී. ද සිල්වා මහතා ඉඟිනියාගල පොලිසියට යන අතරවාරයේ අප රාජකාරි කරන ස්ථානයට පැමිණියා. ඒ වෙනකොට උපවාසකරුවන් එක්ක සරොම් හා කමිස ඇඳගත් හතර පස් දෙනෙක් කතා බහ කරමින් සිටියා. අප දුටුවා උපවාසකරුවන් රැඳී සිටි ස්ථානය අසල හිල්මන් වර්ගයේ කාර් රථයක් ද නතර කර තිබුණා. ඒ අය කවුද කියා සහකාර පොලිස් අධිකාරි සිල්වා මහතා අපෙන් ප්‍රශ්න කළා. මේ අය උපවාසකරුවන්ට කරදයක් හිරිහැරයක් කරන්න ආපු කට්ටියක් ද දන්නේ නැහැ කියා සහකාර පොලිස් අධිකාරිවරයා පවසා ඒ අය ගැන අපෙන් තොරතුරු විමසුවා. අපිට උත්තර දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඔවුන් කවුද කියා අපි නොදන්න නිසා. රැවුල හා කොණ්ඩය වවා ගත් කෙනෙකුත් ඒ අය අතර හිටියා. 


මේ පුද්ගලයන් අම්පාර පොලිසියට අරගෙන යන්න කියා සහකාර පොලිස් අධිකාරිවරයා අපට නියෝග කළා. ඔහු ඉඟිනියාගල පොලිසියට ගොස් එනකම් පොලිසියේ රඳවා තබා ගන්න කියා සහකාර පොලිස් අධිකාරිවරයා අපට වැඩිදුරටත් නියෝග කළා. සහකාර පොලිස් අධිකාරි සිල්වා මහතාගේ නියෝග අනුව අපි ඔවුන්ව අම්පාර පොලිසියට කැඳවාගෙන ගියා. පස් දෙනෙක් සිටියා. මේ පස් දෙනාම ඇවිත් තිබුණේ හිල්මන් කාර් රථයෙන් “අපි ඔවුන් පස්දෙනා ඒ කාර් රථයට ගොඩ කරවා ආරක්ෂාවට පොලිස් කොස්තාපල් කෙනෙක් ද යොදවා පොලිසියට එක්කරගෙන ආවා. පස් දෙනාම පොලිසියේ බංකුවක් මත වාඩි කරවා අපි එතැනින් ඉවතට ගියා.” 


අම්පාර මූලස්ථාන පොලිසියේ එවකට මහජන සම්බන්ධතා නිලධාරියා ලෙස රාජකාරි කළේ පොලිස් කොස්තාපල් එදිරිවීර (1605) කියන නිලධාරියායි. කොස්තාපල් එදිරිවීර බංකුව උඩ වාඩි වී සිටින අය ළඟට ගිහින් ඔවුන් කවුද කියා විපරම් කර බැලුවා. ඊට පස්සේ කොස්තාපල් එදිරිවීර මේ පස් දෙනාම ගෙනාවේ ඇයි කියා අපෙන් විමසා සිටියා. සහකාර පොලිස් අධිකාරිතුමාගේ නියෝගයකට අනුව ගෙනා බවත් ඔහු එනතෙක් පොලිසියේ රඳවා තබා ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන් බවත් අප පැවසුවා. 


පොලිස් කොස්තාපල් එදිරිවීර අපිව පොලිසියේ චෝදනාගාරය පිටු පස්සට එක්ක ගෙන ගියා. බංකුවේ වාඩි වෙලා ඉන්න පස් දෙනාගෙන් තුන් වැනියාට වාඩි වෙලා ඉන්න කෙනා කවුද කියා දන්නවාද කියා ඇසුවා. ඔහු තමා කොණ්ඩය හා රැවුල වවා ගෙන හිටියේ. අපි කිව්වා එයා කවුද කියන්න අපි දන්නේ නැහැ. අනිත් හතර දෙනා හඳුනන්නේ නැති බවත් කිව්වා. බංකුවේ තුන් වැනියාට වාඩි වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර කියා කොස්තාල් එදිරිවීර අපිට පැවසුවා. විජේවීර ගැන අසා තිබුණාට ඔහු දැකලා තිබුණේ නැහැ. 


ඊට පස්සේ මොකද වුණේ? මම විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාගෙන් විමසුවෙමි. 


විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක සමරසිංහ මහතා ඒ ගැන තොරතුරු හෙළි කරමින් මෙසේ කීය. 

 


මේ වෙන කොට වෙලාව රෑ 7.00 විතර වෙලා තිබුණා. විජේවීර ඇතුළු පස් දෙනා පොලිසියට ගෙනවිත් ඒ වෙනකොට පැය දෙකක් විතර ගත වෙලා තිබුණා කියා තමා මට මතකයේ තිබෙන්නේ. සහකාර පොලිස් අධිකාරි සිල්වා මහත්තයා රෑ 7.00ට විතර අම්පාර පොලිසියට ආවා. සහකාර පොලිස් අධිකාරිවරයා ද විජේවීර කියා හඳුනාගෙන තිබුණේ නැහැ. කොස්තාපල් එදිරිවීර සහකාර පොලිස් අධිකාරිවරයාට කිව්වාට පස්සේ තමා ඔහුත් ඒ බව දැන ගත්තේ. සහකාර පොලිස් අධිකාරිවරයා මේ බව දැන ගත්තට පස්සේ විජේවීරට අතින් සංඥා කර අපරාධ විමර්ශන අංශයට කැඳෙව්වා. 


අපරාධ විමර්ශන අංශයට ඔහු කැඳවා සහකාර පොලිස් අධිකාරිවරයා ඔබට ද විජේවීර කියන්නේ කියා විමසුවා. මම තමා විජේවීර කියන්නේ කියා ඔහු සහකාර පොලිස් අධිකාරිවරයාට පැවසුවා. සහකාර පොලිස් අධිකාරිවරයා විජේවීර එක්ක බොහොම සුහදව කතා බස් කර කර සිටියා. අපි දුටුවා සහකාර පොලිස් අධිකාරි සිල්වා මහත්තයා කොළඹ ඉහළ පොලිස් නිලධාරීන්ට විජේවීර ගැන දැනුම් දුන්නා. ඉහළ පොලිස් නිලධාරීන්ගේ නියෝග මත විජේවීර හා ඔහුත් එක්ක හිටිය අනික් හතර දෙනාත් අත්අඩංගුවට ගත්තා. කෙලී සේනානායක අම්පාර හා උහන ජේ.වී.පී. නායකයන් දෙන්නා සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියැදුරා විජේවීර එක්ක අත්අඩංගුවට ගත් අනිත් හතර දෙනා බවට පසුව දැන ගැනීමට ලැබුණා. 


මෙසේ අත්අඩංගුවට ගත් විජේවීර යාපනය කොටුවේ සිර කර තබා තිබෙනවා. 1971 වසරේ අප්‍රේල් මාසයේ කැරැල්ල පටන් ගත්ත අවස්ථාවේත් ඔහු සිටියේ යාපනය කොටුව සිර මැදිරියේ. ඔහු සිර බාරයෙන් මුදා ගැනීමට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊබට් සිල්වා සමාගමේ බස් රථයක් කුලියට ගෙන එයින් යාපනයට ගොස් තිබෙනවා. යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණය අසලින් කොටුවට ඇතුල් වීමට උත්සාහ කළ අවස්ථාවේ ඇති වූ ගැටුමකින් පොලිස් වෙඩි කා සිසුන් කිහිප දෙනෙක්ම මැරුම් කා ඉතිරි සිසුන් අත්අඩංගුවට ගත් බව අපට ආරංචි වුණා. 


අපි අත්අඩංගුවට ගත්ත රෝහණ විජේවීර පසු කාලයක නිදහස ලබා පැමිණ තිබුණා. ඊට පස්සේ ඔහු 1982 ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වුණා. 1990 ගණන්වල මම යාපනයේ රාජකාරියට ගොස් සිටි අවස්ථාවක යාපනය කොටුවට ගියා. මෙන්න මේ සිරමැදිරියේ තමා විජේවීර රඳවා සිටියේ කියා සහෝදර නිලධාරියෙක් මට ඒ සිර මැදිරිය පෙන්නුවා යැයි විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක සැම්සන් සමරසිංහ මහතා කිව්වේ කතා බහ නිමා කරමිනි.

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : අන්තර්ජාලයෙනි