“ යට කළ මහ වගුරු බිමකි එහි නැඟ එන නව නුවරකි ”


ආමර්වීදියේ දී දැයට අහිමි වූ දෙවැනි විධායක ජනාධිපති-02

1960 මාර්තු මැතිවරණයේ දී මැද කොළඹින් ප්‍රථම වරට මැති සබයට පත්ව ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමේ වරය හිමි කරගත්තේය. 1965 දී ඩඞ්ලි සේනානායක රජයේ පළාත් පාලන උප ඇමැතිවරයා ලෙස පත්වූ ඔහු 1968 දී එම ඇමැති ධුරයට පත්වූවේය. වසර 1968 සැප්තැම්බර් 16 වැනිදා ඇමැති තනතුරට පත් ප්‍රේමදාස මහතාට එම තනතුරේ කටයුතු කිරීමට තිබුණේ වසර එකහමාරක පමණ කෙටි කාලයකි. උප ඇමැති කාලයේ සිටම නව සංකල්ප ඔස්සේ විශාල වැඩ කොටසක් ඉටුකිරීමට ඔහු සමත් විය. පූට්ටු ගෙවල් යනුවෙන් ප්‍රචලිතව ගිය වැඩසටහන් මගින් ගමට රටට දැනෙන ක්‍රියාවලියක් ඉටුකිරීමට ප්‍රේමදාස මහතා සමත් විය.


ප්‍රශ්න තමා ළඟට එනතුරු නොසිට ඔහු ප්‍රශ්න සොයාගෙන ලංකාව පුරා පළාත් පාලන ආයතන වෙත ගියේය. ඒවාට කඩිනමින් විසඳුම් ලබා දුන්නේය. එකල බොහෝ දෙනෙක් මවිතයට පත් කළ මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය ද එවැන්නකි. “යට කළ මහ වගුරු බිමකි එහි නැග එන නව නුවරකි” යනුවෙන් එම පරිශ්‍රයේ සවිකර ඇති දැන්වීම් පුවරුවේ සඳහන් අන්දමටම අතීතයේ එම භූමිය පැවති ආකාරය දැක ඇති අයෙකුට එම පරිවර්තනය අදහාගත නොහැක්කකි. එම නිවාස යෝජනා ක්‍රමය විවෘත කරමින් නිවාස ඇමැති ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ එබැවිනි. “මැද කොළඹ මැද පිහිටි මාළිගාවත්තේ වගුරු බිමේ එදා තිබුණු තත්ත්වය තමුන්නාන්සේලාට මතක ඇති. පැල්පත් අටවාගෙන, මැසි මදුරුවන්, මඩ ගොහොරුවලින් වට වී එදා අධික දුගී තත්ත්වයක සිටි පැල්පත්වාසීන් අද දෙමටගොඩ ඥානවිමල පාරේ තුන්මහල් නිවාසවල ජීවත්වන බව තමුන්නාන්සේලා දන්නවා. එහි විසූ පැල්පත්වාසීන්ට ගෙවල් ලබාදී ඒ වගුරුබිම් ගොඩකර අංගසම්පූර්ණ නව නගරයක් එහි ඉදිකිරීමට මා වැඩපිළිවෙළක් සකස් කළා. අක්කර 75 ක විශාල වගුරුබිම අද සකලාංග සම්පූර්ණ නව නගරයක් බවට පත්වේගෙන එන හැටි තමුන්නාන්සේලාට පෙනෙනවා. පවුල් 3200 කට ඉඩ ඇති සුවපහසු නවීන අංගසම්පූර්ණ නිවාස, වෙළඳ මධ්‍යස්ථාන, කඩපිල්, රෝහල්, පාසල්, ක්‍රීඩාංගණ, පුස්තකාල, ප්‍රජාසාලාවල් ආදී සෑම මහජන පහසුකමක්ම එහි ඉදිවේගෙන එනවා. මේ භූමියේ ඉදිකර ඇති මැද කොළඹ රෝහලෙන් දැනටමත් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් ඉටු වෙනවා. මැද කොළඹ නිවාස හිඟයෙන් පෙළෙන වැසියන්ට සහනයක් සලස්වමින්, නගරයක් තුළ නගරයක් ගොඩ නැංවීමට විධිවිධාන යොදා මිස මා නැවතත් ඡන්දය ඉල්ලන්නට තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ නැතැයි 1965 මහා මැතිවරණයේ දී මා කළ ප්‍රකාශය තමුන්නාන්සේලාට මතක ඇති. අද මා තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ ඒ ප්‍රකාශය ජීවමාන අන්දමින් ඉටු කිරීමෙන් බව තමුන්නාන්සේලා පිළිගන්නවා ඇති.”


ජේ. ආර්. ජයවර්ධන මහතගේ නායකත්වයෙන් 1977 දී බලයට පත්වූ රජයේ සභානායක, නිවාස අමාත්‍යධුරය භාරගත් ප්‍රේමදාස මහතාට 1978 ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිධුරය හිමි විය. එතෙක් වරප්‍රසාද ලත් පන්තියේ ආභරණයක්ම පැවැති එම ධුරය සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි ඒ මහතාට හිමිවීම ගැන බොහෝ දෙනා මවිතයට පත් වූහ. 1989 දී ජනතා වරමින් විධායක ජනාධිපති ධුරයට පත්වීමේ භාග්‍යය ලැබුවේය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට භාර ගැනීමට සිදුවූයේ දෙකොන පත්තු කරන ලද විලක්කුව කැයි ඒ මහතාම කීප වරක්ම ප්‍රකාශ කළේය. ගරිල්ලා යුද්ධයක් බවට පරිවර්තනය වූ බෙදුම්වාදී අරගලය උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත දිවයින පුරාම භීතිය රජ කරවමින් ත්‍රස්තවාදය පැතිරී තිබුණි. යුද්ධයට විසඳුමක් වශයෙන් ඇති කරගන්නා ලද ජේ. ආර්. - රජිව් ගිවිසුමට එරෙහිව දකුණේ බිහිවූ සටන් රැල්ල රටම ගිනිගත් ස්වභාවයක් දැන්වීය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහාත් කැරලිකාරි බලවේග මර්දනය කිරීම පිණිසත් බොහෝ මතභේදකාරී හා දැඩි තීරණ ගැනීමට සිදුවූ අතර අවසානයේ ජනාධිපතිතුමාද ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූවේ දෛවයේ සරදමකට මෙනි.


මෙම අනුවේදනීය සිදුවීම 1993 මැයි මස දෙවැනිදා පුවත්පතක පළකර තිබුණේ මෙසේය.


ආමර් වීදියේ බෝම්බ පුපුරවා ජනාධිපතිතුමා ඝාතනය කරයි.


ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා ඊයේ (මැයි පළමුවැනිදා) දවල් කොළඹ සිදුවූ බෝම්බ පිපිරීමකින් අභාවප්‍රාප්ත වූ බව දිවයින සාතිශය සංවේගයෙන් යුතුව ශ්‍රී ලංකාවාසී මහජනතාව වෙත දැනුම් දෙයි.


ඊයේ දවල් 12.45 ට


මෙම බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ ඊයේ දහවල් 12.45 ට පමණ කොළඹ ආමර් වීදියේදී ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාළිය නිරීක්ෂණයකට ලක්කරන අවස්ථාවේදීය.


මෙහිදී අවට සිටි තවත් දහහත් දෙනෙක්ද මිය ගියහ. සියයකට අධික පිරිසක් බරපතළ තුවාල ලබා මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තම නිල රියෙන් ආමර් වීදියට පැමිණි ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂ පෙළපාළිය නිරික්ෂණයට ලක්කිරීම සඳහා විශේෂ කාර්ය බළකායට අයත් ලෑන්ඞ් රෝවර් රථයකට ගොඩ වී ඇතැයි ආරංචි මාර්ග දක්වයි.


පාපැදිකරු නතර කරද්දී


මේ අවස්ථාවේ දී පෙට්ටියක් බැඳගත් පාපැදිකරුවකු ජීප් රිය අසලට පැමිණීම ගැන සැක සිතූ ජනාධිපතිතුමාගේ පරිවාරක නිලධාරි මොහිදින් මහතා එම පාපැදිකරු නතර කිරීමට ඉදිරියට පැන ඇතැයි එම ආරංචි මාර්ග කියයි.


පාපැදියේ තිබූ අධිබලැති බෝම්බය පිපිරී ඇත්තේ එම අවස්ථාවේ දී බවත් ඊට ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කීප දෙනෙක් ද ගොදුරු වී ඇත. මියගිය අය වශයෙන් පහත දැක්වෙන අය ද හඳුනාගෙන ඇත. මොහිදින් (ජනාධිපතිතුමාගේ පරිවාර නිලධාරි) ජයන්ත පෙරේරා (සුචරිත ශාලාවේ) කේ. ආරියසේන, සේගු මොහිදින් මොහමඞ්, සරත් මහින්ද (සහකාර පොලිස් අධිකාරි) සිරිමල් පෙරේරා (සහකාර පොලිස් අධිකාරි) ධර්මරත්න (විශේෂ කාර්ය බළකාය) රොනී ගුණසිංහ (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි) නීල් ගුණසේකර (පොලිස් කොස්තාපල්) යන මහත්වරු.


මෙම සංවේග ජනක සිදුවීමෙන් වසර විසි පහක් ගතව තිබේ. යුද්ධය නිමා වී ඇත. එකල සිදුවූ භයානක අපඅරාධ ගැන කතා කරන අයද මේ වන විට අඩුය. දැන් ඇත්තේ යුද්ධයෙන්  ඇතිවූ සිත් වේඳනා සමනය කිරීම යැයි බොහෝ දෙනා කියති. සියලු ගැටලු විසඳිය හැකි යැයි අපි මොහොතකට සිතමු. එහෙත් මෙසේ අකාලයේ විනාශ වී ගිය දහස් ගණනක් වූ ලංකා මාතාවගේ උදාර දූ පුතුන්ගේ ජීවිත ආපසු ලබා දිය හැක්කේ කාට ද? ජනාධිපතිවරයාගේ සිට දුප්පත් අසරණ ගැමියා දක්වා සියලු දෙනාගේම ජීවිත ලක් මාතාවට අතිශයින්ම අගණේය. එහෙත් යළි කිසි දිනෙක එම ජීවිත හිමිකරුවන්ට නොලැබෙන බව නිසැකය. එය සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම මුහුණ දෙන ඛේදවාචකයක් නොවන්නේද?


දේශපාලන චරිත පිළිබඳව නිරන්තරයෙන්ම මත දෙකක් ඉදිරිපත්වීම සාමාන්‍ය ස්වභාවයකි. එයට හේතුව වන්නේ දේශපාලන වශයෙන් තමා දරන මතයට සාපේක්ෂව මත ඉදිරිපත් කිරීම සිදුවන බැවිනි. විශේෂයෙන් ප්‍රේමදස චරිතය පිළිබඳව අපේ අත්දැකීම එබඳුය. එහෙත් ඔහු ජනාධිපතිධුරය දැරූ කාල වකවානුව තුළ ශ්‍රී ලාංකේය ජන සමාජය මුහුණ දුන් වාස්තවික තත්ත්වයන් ද සලකා එම නිගමනයන්ට එළඹීම වඩාත් සාධාරණ බව සටහන් කිරීමට කැමැත්තෙමි.

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ