මුද්දරයෙන් කියන ශිෂ්ට යුගයක ඇරැඹුම-2
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 ජූලි මස 12 වැනි දින පාර්ලිමේන්තුව අමතමින් කළ ප්‍රකාශය.
“කතානායකතුමනි, මා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට ඉඩ ප්‍රස්තා සලසා දීමෙන් මට දැක් වූ විනීත ගුණය ගැන මගේ කෘතඥතාව පළමුවෙන්ම ඔබ වෙත පිරිනමමි. සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධූරයෙන් අද මා අස් වූ බව ඔබ දන්නෙහිය. මේ අවස්ථාව වූ කලී මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙනුත් රටේ මහජනයා සම්බන්ධයෙනුත් තරමක් වැදගත් විය යුතු අවස්ථාවකි. එහෙයින් මෙම අවස්ථාව සම්බන්ධයෙන් කිව යුතු කරුණු ස්වල්පයක් ප්‍රකාශ කර සිටීම සඳහා ඔබගේ අවසරය මම ඉල්ලා සිටිමි.
ඉතා කුඩා කල පටන්ම මගේ ජන්ම භූමියත්, එයට ඉටුකළයුතු සේවයත් පිළිබද ආශාවක් මගේ සිත තුළ නිදන්ව පැවතුණේය. එය වූ කලී ජීවිතය කැප කිරීමක් මෙන් ඇති වූ චේතනාවකි. මේ චේතනාව මුදුන් පත් කිරීම සදහා වැඩ කිරීමේදී මා වෙත ඉදිරිපත් වුණු දුෂ්කරතා රාශියකි. මගේ ජනතා සේවය ආරම්භයේ දීම මගේ ඥාති මිත්‍රාදීන්ගේ අප්‍රසාදයට පත් වීමත් ආත්ම පරිත්‍යාගයක යෙදීමෙත් අවස්ථාව මා වෙත එළැඹුණේය. දැන් මා හමුවට එළඹ තිබෙන්නේත් එබදුම අවස්ථාවකි. දැන් මේ ලැබී තිබෙන මේ අවස්ථාවයේදී මගේ පෞද්ගලික හැඟීම් ප්‍රකාශයට පත් කිරීමට මම බලාපොරොත්තු නොවෙමි. දැන් එළඹී තිබෙන්නේ පෞද්ගලිකත්වය ඉක්ම වූ වැදගත් ජාතික ප්‍රශ්නයකි.
එක්සත් ජාතික පක්ෂය සමුප්පත්තියට පත්වීමේ දී සිංහල මහා සභාව එයට සහාය පළකිරීමේදීත් එම පක්ෂය ආණ්ඩු බලය අතට ගැනීමේ දී එය යටතේ සේවය කිරීමට මා එකඟවීමේදී මා බලාපොරොත්තු වූවේත් ජාතික ආරක්ෂාවටත් ජාතික උන්නතියටත් අදාළ වන ස්ථීරසාර ආණ්ඩු ක්‍රමයක් පිහිටුවා ගැනීමය. ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් වඩා වැදගත් ප්‍රතිපත්ති කලාපයක් ඇති වේ යැයි ද එම ප්‍රතිපත්ති කලාපය අනුව වඩා සාර්ථක ක්‍රියා කලාපයක් ඇති වේ යැයි ද ඒ අනුව වඩා සාර්ථක සේවයක් ඉටු කිරීමට හැකි වේ යයිද මම බලාපොරොත්තු වුවෙමි.
එක්සත් ජාතික පක්ෂයට බැඳීමෙන් මා බලාපොරොත්තු වූ පළමු වන බලාපොරොත්තුව ඉටු වූ බව මෙහිදී කියනු කැමැත්තමි. එය වූ කලී ස්ථිර සාර ආණ්ඩු ක්‍රමයක් පිහිටුවා ගැනීමයි. එහෙත් එම පක්ෂයට බැඳීමෙන් මා බලාපොරොත්තු වූ මහජන සංවර්ධන පරමාර්ථයෝ අත්‍යන්තයෙන්ම ව්‍යවර්ථ විය. ප්‍රතිපත්ති සම්පාදනයෙන් ඇති වන මතභේද අවංක වශයෙන් ගණන් ගැනීමට මගේ අකමැත්තක් නැත්තේය. එහෙත් මහජනයාගේ යහපත සම්බන්ධයෙන් කෙරෙන කටයුතු පිළිබඳව මෙහි පහළ වී ඇත්තේ ඛේදවාචකයකි. අග්නිදිග ආසියාවේ අවශේෂ රටවල් නිදහස සම්බන්ධයෙන් මුහුණ පෑ තත්ත්වයන්ට වඩා පහසු තත්ත්වයක් ඇතිව අපි අපේ ජාතික නිදහස ලබා ගතිමු. අප අතරේ අභ්‍යන්තර භේදයක් නොපැවතුණේ අපේ ජාතික භාණ්ඩාගාරය පිරී පැවතුන හෙයිනි. එය වූ කලී අපේ නිදහස් ලංකාවේ බරපතළ ජාතික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එළඹ පැවතුණ ස්වර්ණමය අවස්ථාවකි. සාමාජික වශයෙන් ද සභ්‍යත්වය වශයෙන්ද ආර්ථික වශයෙන් ද එම අවස්ථාව අප හමුවේ පැහැර හරින ලද්දේය. එහි ප්‍රතිඵලය වූවේ එම ප්‍රශ්නය වඩ වඩාත් උග්‍රත්වයට පත් වීමය. දේශ චාරිකාවේ යෙදෙන්නන්ගේ ඇසින් බලනුයේ නම් මුළු අග්නිදිග ආසියාවේම ලංකාව ඉතා සෞන්දර්ය සම්පන්න දිවයිනකි. එහෙත් මහජනයාගේ පැත්තෙන් බලතොත් අග්නිදිග ආසියාවෙන්ම ලංකාව අතිශයින් දුක්ඛිත බලාපොරොත්තු කඩවුණු අපේක්ෂා විරහිත දිවයිනකි. මෙබදු තත්ත්වයක් නිදහස ලැබීමෙන් පසුව අප ලංකාව වැනි රටක ඇතිවීම අල්ප මාත්‍රයකින්වත් සතුටුදායක නොවේ.
රටේ වැඩි යහපතක් බහුතර මහජනයාගේ ශුභ සිද්ධියක් සඳහා මගේ අදහස්වලට ආණ්ඩු පක්ෂයේ අවශේෂ ඇමතිවරුන්ගේ අදහස් සංසන්දනය කර ගැනීම සඳහා මම හැමවිටම බලාපොරොත්තු ඇති කර ගතිමි. එහෙත් මේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම නිෂ්ඵල බවත් නිරර්ථක බවත් මෑතක පටන් පහළ වන්නට පටන් ගැනුණු ප්‍රශ්න නිසා මට ප්‍රත්‍යක්ෂ වී ගියේය. එහෙත් මහජනයාගේ යහපත සඳහා මෙතැන් පටන් මා දරන්නට යන ප්‍රයත්නය සම්බන්ධයෙන් මා හමුවට එළඹිය හැකි ප්‍රශ්න ඉතාම භාර දූර බවත් මා ඉඳුරා දැන සිටිමි. එහෙත් එම ප්‍රශ්න විසඳීම සඳහා මම හෘදයාංගම ප්‍රයත්නයක් දරන්නෙමි.
අවුරුදු ගණනාවක් මුළුල්ලේ පෞද්ගලික මිත්‍රත්වයකින් යුතුව ආශ්‍රය කළ සහචරයන්ගෙන් වෙන්වීම වූ කලී පෞද්ගලික වශයෙන් මට අත්වුණු සංවේගදායක අවස්ථාවකි. අවුරුදු විසි පහකට අධික කාලයක් මුළුල්ලේ පෞද්ගලික සහයෝගයක් ඇතිව මා සමග ජාතික සේවයෙහි යෙදුණු අග්‍රාමාත්‍යතුමාගෙන් ලැබුණු කරුණාවත් පෞද්ගලික විනීතභාවයත් අප්‍රමාණය. එහෙයින් එතුමන් කෙරෙහි මගේ පවත්නා ගෞරවය හා සැලකීම ඉතා විශාලය. එහෙත් පුද්ගලික ගරුත්වයත් මහජනයා පිළිබඳ යුක්තියත් අතර වෙනස තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට මා අපොහොසත් වෙතොත් මා කරන්නේ ජාතික අපරාධයක් බව මම ඉඳුරා දන්නෙමි. මගේ ජාතියත් ජන්ම භූමියත් පිළිබඳව මගෙන් ඉටුවිය යුතු, යුක්ති ධර්මය කෙබඳු පුද්ගලයෙකු කෙරෙහි වුවද මගෙන් ඉටුවිය යුතු යුක්ති ධර්මයකට වඩා උදාර විය යුතුය. එහෙයින් ඒබ්‍රහම් ලින්කන් අනුව යාමෙන් කිසිවෙකුටත් අනාදරයේ නොයෙදී සැමටම සමාදරයේ යෙදීම මගේ පරමාර්ථය බව කියන්නට කැමැත්තෙමි. මෙසේ කියමින් මා අදහස් කරන්නේ මිත්‍රත්වයෙන් මා කෙරෙහි ගෞරවය දැක් වූ පුද්ගලයන් ගැන පමණක් නොවේ. අමිත්‍රත්වයෙන් මට ගෞරව කළ පුද්ගලයන්ද සමඟය. නොයෙක් විට නොයෙක් විචාරකයන් විසින් උපුටා දක්වනු ලබන ඇක්ටන් සාමිවරයාගේ ප්‍රකාශනයක් මට සිහිපත් වේ. මහජනයාට වටිනා සේවයක් කිරීමේ අදහසින් පටන් ගන්නා කටයුතු ආත්මර්ථකාමී කටයුතු වලින් කිලිටි වූ කල්හි මහජන විපත්තියක් වන්නේය. යනු ඇක්ටන් සාමිවරයාගේ ප්‍රකාශයේ සාමාන්‍ය අදහසය. මගේ ජීවිතය පිළිබඳ ඉතා දුෂ්කර අවස්ථාවක් වූ මෙහිදී මගේ චිත්ත සන්තානයේ රැව් දෙන එක්තරා සැනසිලිදායක චේතනාවක් තිබේ. එය වූ කලී අනුන් අභිභවනය කිරීමේ ප්‍රස්තාව තවමත් මට ලැබී නැතත් තමන් අභීභවනය කිරීමේ අවස්ථාව බෙහෙවින් මට ලැබුණු බවය. මේ වනාහී මගේ සැනසිල්ල සඳහා වන සිතුවිල්ලකි.
මම ලංකාවේ ව්‍යවස්ථාදායකයේ අවුරුදු විස්සක් මුළුල්ලේ ජන සේවයේ යෙදී සිටියෙමි. එයින් පහළොස් අවුරුද්දක් මුළුල්ලේ මම ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කළෙමි. මේ අතරතුර කාලයේදී මගෙන් සිද්ධ වෙන්නට ඇති වැරදි බොහෝ විය යුතුය. එහෙත් එම කාලය තුළදී මගෙන් සැලසුණු සේවය ද බෙහෝ විය යුතුය. මතුවට ද ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෝ වේවයි, මන්ත්‍රීවරයෙකු වශයෙන් හෝ වේවයි සාමාන්‍ය රටවැසියෙකු වශයෙන් හෝ වේවයි මගේ ජන්ම භූමියටත් ජනතාවටත් ඉෂ්ට විය යුතු සේවය නොපිරිහෙළාම ඉෂ්ට වෙනවා ඇත.
මට විරුද්ධව යොමු කරනු ලබන බලවේගය කොතරම් උග්‍රදැයි මම ඉඳුරා දනිමි. අභිමානයත්, ධනයත්, චණ්ඩත්වයත් බලයක් මට විරුද්ධව යෙදේ යැයි සිතිය හැකි ආයුධ සමූහයකි. මේ දරුණු ආයුධ වලින් ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා මා සතුව ඇත්තේ අනතිමානයත්, අවංකභාවයත් මගේ ජනතාව උදෙසා සේවය කිරීමට ඇති අවංක අධ්‍යාශයත් පමණකි. මේ සඳහා මා බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ජනතාවගේ අනුබලය හා ආධාරය මිස බලවතුන්ගේ ආනුභාවය හෝ පරාක්‍රමය නොවේ. මෙම සේවය මම ජාතික අභිමානයකිනුදු අවනතකමකිනිදු ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වන්නෙමි. එහිදී පෞද්ගලික විරුද්ධවාදීත්වය හෝ මිත්‍රත්වය කිසි විටෙකත් මම ගණන් නොගන්නෙමි. මේ අදහස් සමූහය මෙසේ ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ගැන කතානායක තුමනි මම ඔබට ස්තූතිවන්ත වෙමි.
බණ්ඩාරනායක මහතාගේ දේශපාලන ආගමනය “මහා පදවි පූජාව” ලෙසින් විග්‍රහ කරන ලද්දේ එවකට ලංකාදීපයේ පුවත්පත් කලාවේදියකු වශයෙන් කටයුතු කළ ටී. බී. ඉලංගරත්න යන්ය. ලංකාදීපයේ කතෘ ඩී. බී. ධනපාල මහතා බණ්ඩාරනායක මහතාගේ දේශපාලනය වෙනුවෙන් නිර්භයව පෑන මෙහෙය වු සහ සිය පුවත් පතේ ඉඩ ලබා දුන් අභීත පුවත්පත් කලාවේදියකි.
වසර 1947 රජයේ ලිපිකරු වැඩ වර්ජනයේදි නොපසුබස්නා වීර්යයකින් යුතු නායකයකු බිහිවිය. හෙතෙම ටී. බී. ඉලංගරත්නයි. ඉලංගරත්න මහතාගේ මහනුවර “සමාජ වාදී පෙරමුණ” එ.ජා.ප. විරෝධී බලවේගයක් විය. බණ්ඩාරනායක මහතාට මහනුවර සමාජවාදී පෙරමුණ සමග සබඳතා ගොඩනංවා ගැනීමට ආධාරකයක් වූයේ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංකයන් ද ඊට සම්බන්ධව සිටි බැවිනි.
නව එ.ජා.ප විරෝධී බලවේගයක් ගොඩනංවා ගැනීම පිළිබඳ සාකච්ජා මහනුවර සමාජවාදී පෙරමුණේ රැස්වීම් ශාලාව වූ “සිතුමිණ” හි කිහිපවිටක් පැවැත්විනි. නව පක්ෂයක් පිහිටුවීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලද අතර “බෝවල” කමිටුව නම් වේ. රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක එහි සභාපතිවරයා විය. තමරා කුමාරි ඉලංගරත්න සහ ටී. බී. එස් ගොඩමුන්නේ සම ලේකම්වරු වූහ. හඟුරන්කෙත දිසානායක, සී. ආර්. බෙලිගම්මන, නාගරික මන්ත්‍රී ටී. බී තෙන්නකෝන්, කේ. සෙනෙවිරත්න සහ සී. ඒ. සමරසිංහ කාරක සභිකයන් වූහ.
මූලාශ්‍රය - ලක්බිම 2016 සැප්තැම්බර් 04
සිංහල මහා සභාවේ සාමාජිකයන්, මහනුවර සමාජවාදී පෙරමුණේ නායකයන් එක්ව එච්. ශ්‍රී නිශ්ශංකයන් “යමුනා නිවසේ” සාකච්ජා වට කිහිපයක්ම පැවැත්විනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරඹිය යුතු යැයි තීරණය කෙරුණේ එහිදීය.
මතු සම්බන්ධයි.
නිරෝෂණ පීරිස්