“ මට ඇති වරෙන්තුව කුමක්ද ?”


උසාවියේ ගිගුම් දුන් සිංහ හඬ - 02

ඉන්දියාවට පැමිණි පිලිප්ගේ බිරිඳ වූ කුසුමා ගුණවර්ධන මහත්මිය ද පිලිප් හා එක්වූ අතර ඔවුන්ගේ පළමු දරුවා ඉන්දියාවේදී උපත ලැබීය. ඉන්දියාවේ උපන් ඔහුට නම් තැබුවේ “ඉන්දික” නමිනි.


1943 ජුලි 15 වැනිදා පිලිප්, ඇන්. ඇම්. රොබට් ඇතුළු පිරිසක් ඉන්දියාවේ රහස් පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්දියාවේදී “ආතර් රෝඞ්” බන්ධනාගාරයේ රඳවා සිටි ඔව්න් 1943 දෙසැම්බර් මස ලංකාවට ගෙන එන ලදහ. එහෙත් ඉන්දීය පොලිසියට කොල්වින්, ලෙස්ලි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත නොහැකි විය.


1943 දෙසැම්බර් 28 වැනි දින මහනුවර මහේස්ත්‍රාත් ටී. විජේරත්න මහතා ඉදිරියේ සිරගෙයින් පැනයාමේ චෝදනාව මත නඩුව විභාගයට ගැනිණ. ඇන්. ඇම්. හා පිලිප් චෝදනාවට “නිවැරැදිකරු” බව කියා සිටිමින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට කැමැත්ත ප්‍රකාශ කළෝය.


ඇන්. ඇම්. විත්තිකූඩුවේ සිට තමා විත්තිකරු නොව ආණ්ඩුකාරයා විත්තිකරු බව ප්‍රකාශ කරමින් උසාවිය දෙවනත් කළ ප්‍රකාශයක් කළේය. ඇන්. ඇම්. ගේ ප්‍රකාශයෙන් පසු උසාවිය තුළ ගිගුම් දුන්නේ පිලිප් ගේ ප්‍රකාශයයි. 
මේ එම සම්පූර්ණ ප්‍රකාශයයි.


විනිශ්චයකාර මහතාණෙනි,


1940 ජුනි මාසයේ 18 වැනි දින මම සිරභාරයට ගන්නා ලදමි. 1942 අප්‍රේල් 07 දින තෙක් සිර අඩස්සියේ තබනු ලැබ සිටියෙමි. මට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමක් කිසිවිටෙක නොකරන ලදි. අධිකරණයක් මගින් විනිශ්චයක් ද නොකරන ලදී. මා හා සිරකරනු ලැබ සිටි මගේ පක්ෂයේ සහෝදරයන්ද සමග මම විනිශ්චය මණ්ඩලයන්ට සරදමක් වූ ආණ්ඩුකාරයාගේ උපදේශක කොමිටිය ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කළෙමි.
අභියෝගය


මා සිරභාරයට ගෙන සිර අඩස්සියේ තබන ලද්දේ ඇයි? එංගලන්ත බැංකුවේ නියෝජිතයා වූ ද එංගලන්ත ධනපති පන්තියේ අතකොළුවක් වූද සර් ඇන්ඩෘ කැල්ඩිකෝට්ට මං සිර භාරයට ගැනීම සඳහා කවර වරෙන්තුවක් ඇත්දැයි මම මෙහිදී අභියෝගයෙන් ප්‍රශ්න කරමි.


මේ දිවයින පාලනය කිරීම සඳහා හිංසක බලය හැර අන් කවර අයිතිවාසිකමක් බි්‍රතාන්‍ය පාලක පන්තියට ඇත්ද? බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් හට මේ දිවයින පාලනය කිරීමට ඇත්තේ නාසි පාලකයන්හට ඩෙන්මාර්කයේද, නෝර්වේද ජනතාව පාලනය කිරීමටත් ජපන් අධිරාජ්‍යවාදීන්ට සෝමෝසාවද ජාවාවද පාලනය කිරීමටත් ඇති යුතුකමද, අයිතිවාසිකමද තරම් වූ අයිතියක් විනා කිසිසේත් ඊට වැඩි යමක් නොවේ. බි්‍රතාන්‍ය පාලන පන්තිය මුහුදු කොල්ලකාරයන් ලෙස මේ දිවයිනට පැමිණියේය. එදා පටන් ගොඩ කොල්ලකාරයෝ ලෙස මෙහි රැඳී සිටිති. බි්‍රතාන්‍ය අධිරාජ්‍ය ගොඩනගන ලද්දේ දිවා කාලයේ බොරු සාක්කි දීමෙනුත් රාත්‍රී කාලයේ හොර අස්සන් ගැසීමෙනුත්ය.


1932 දී අධ්‍යාපනය හමාර කොට මම මෙම දිවයිනට ආපසු පැමිණි දා සිටම මගේ පක්ෂයේ සහෝදරවරුන් සමග මධ්‍යම පන්තියේ බුද්ධිමතුන්ද දියුණු වූ කම්කරු පන්තිය ද අතර ශාස්ත්‍රීය සමාජවාදය ප්‍රචලිත කිරීම සඳහා නොනැවතීම යත්න දැරුවෙමි. 1920 - 1930 තෙක් දශකය අතර තුර කම්කරු ව්‍යාපාරය ශාස්ත්‍රීය අවබෝධයෙන් තොරවුවද ඉතා ප්‍රාණවත්භාවයක්ද, සටන්කාමීත්වයක් ද ප්‍රකාශ කළේය. එහෙත් 1930 දී පමණ එහි ප්‍රාණවත්භාවය හීන වී ප්‍රතිගාමි කම්කරු සමිති ව්‍යාපාරයක මඩ ගොහොරුවේ එරී තිබුණි.


මාක්ස්වාදය ප්‍රචාරය කිරීමෙහිලා අවුරුදු තුනක කටයුතුවලින් පසු ජනතාවගෙන් ප්‍රමාණවත් කොටසක් ශාස්ත්‍රීය සමාජවාදී අදහස් දරන අය බවට පත්කළ හැකිවිය. මේ නිසා 1935 දෙසැම්බර් මාසයේදී ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කළ හැකිවිය. ලංකා සමසමාජ පක්ෂය පිළිබඳ ඉතිහාසය මෙරට ජනයා මැනවින් දනිති. කොටින් කියතොත් අප පක්‍ෂය ඇති වුණ දින පටන් මේ රට අධිරාජ්‍යවාදයට  ධනපති පංතියට ද විරුද්ධව සෑම සටනකදීම අප පෙරමුණ ගත් බව මෙහිදී මතක් කරදීම සෑහෙයි.


සිවුවැනි අන්තර් ජාතික ශාඛාව


ලංකා සම සමාජ පක්ෂය ආරම්භයේ සිටම එහි නායකත්වය  ස්ටැලින්වාදී කොමියුනිස්ට් අන්තර් ජාතිකයකට යට නොවී ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ ධර්මය අනුගමනය කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් 1940 මාර්තු මාසයේදී පක්ෂය තුළට රහසේ ස්ටැලින්වාදී මත ගෙන ඒම වළක්වනු සඳහා ස්ටැලින්වාදීන් පක්ෂයෙන් ඉවත් කිරීමට සිදුවිය. 1942 දී ලංකා සමසමාජ පක්ෂය ට්‍රොට්ස්කි සහ අන්තර්ජාතික වාමාංශ පෙරමුණේ නායකයන් විසින් ගොඩනගන ලද සිවුවන අන්තර් ජාතික වාමාංශයේ ලංකා ශාඛාව විය.


ප්‍රජාතන්ත්‍රවාදය හා ෆැසිස්ට්වාදය


1939 සැප්තැම්බර් මාසයේ දෙවන ලෝක මහා යුද්ධය ඇරඹුණු අවස්ථාවේදී ලංකා සම සමාජ පක්ෂය එම යුද්ධය අධිරාජ්‍ය යුද්ධයක් බව පැහැදිලිවම හඳුන්වාදී පාලන පන්තියේ පරාජය ප්‍රාර්ථනා කරන්නා වූ විප්ලවකාරී ප්‍රතිපත්ති අනුගමනය කළේය. ලංකා සම සමාජ පක්ෂයේ පාක්ෂික සහෝදරවරුන් හා මම ද පන්ති සටන උග්‍ර කිරීමෙහි ද, බි්‍රතාන්‍ය අධිරාජ්‍ය විරෝධී සටනෙහි ද යෙදී සිටියෙමු. යුද්ධ නම් වූ දේශපාලනය අනෙක් මාර්ගයන්ගෙන් එනම් වඩාත් හිංසක වූ මාර්ගවලින් ඉදිරියට පවත්වාගෙන යාමෙකි. යුද්ධයක ස්වරූපය තීරණය කරනු ලබන්නේ එම යුද්ධය පවත්වාගෙන යන පංතිය විසිනි. වෙළඳපොළ අල්ලා ගැනීම සඳහාද, අමුද්‍රව්‍ය ලබාගනු සඳහා ද විජිතයන් අත්පත් කර ගනු සඳහා ද මේ යුද්ධය ආරම්භ කරන ලදි.

 

 

මතු සම්බන්ධයි.

 

ඊ. එල්. ජයන්ත ද සොයිසා
ඡායාරූප : අන්තර්ජාලයෙනි