පළමු විධායක ජනපතිගේ නොපළ කතා - 04
ජේ.ආර්. ළමුන් කෙරෙහි දැක්වු ඇල්ම හා ආදරය ගැන අප හා පැවසුවේ මෙසේය.
ජේ.ආර්. හාමු මාදම්පේ වත්තට ආපුවාම නිතරම පොත්පත් කියවනවා. තිණිපිටි වැව් ඉස්මත්තට ගිහින් සමහර වෙලාවට ගොඩක් වෙලා යනකම් පොත්පත් කියවමින් ඉන්නවා. කොළඹ ඉඳලා එද්දී පොත්පත් අරගෙන එනවා. මාදම්පේ ගෙදර ඉන්නකොට ටවුන් එකට ගිහින් ජේ. ආර්. හාමුට පත්තරේ එහෙම මම ගෙනවිත් දීලා තිබෙනවා.
ඒ කාලයේ මගේ දරුවෝ හතර දෙනා ඉස්කෝලේ යනවා. ජේ. ආර්. හාමු වත්තට ආපුවාම ළමයි ළඟට අඬ ගහලා ඔළුව එහෙම අතගාලා හොඳට ඉගෙන ගන්න ඕනෑ කියා කියනවා. මගේ ළමයින්ට විතරක් නෙවේ. වත්තේ වැඩ කරන අයගේ අනිත් ළමයින්ටත් එහෙම කියනවා. අවුරුද්ද අන්තිමේදී ළමයින්ට පොත්පත් ඉස්කෝලෙට ඕනෑ අනෙකුත් දේවල් පවා අරගෙන ඇවිත් දෙනවා.
එතුමා මියයනකම්ම සෑම අවුරුද්දකම නොවරදවාම පොත්පත් වත්තේ වැඩ කරන අයගේ ළමයින්ට ගෙනවිත් දෙන එක සිදුකළා. මාදම්පේ එතුමාට අයත් අනිත් වතුවල වැඩ කරන සේවකයින්ගේ ළමයින්ටත් පොත්පත්, පාසල් උපකරණ සෑම අවුරුද්දකම අවසානයේ අරගෙන දුන්නා. එතුමා ළමයින්ට දැක්වුයේ පුදුමාකාර ඇල්මක්, ආදරයක්. රටේ අගමැති, විධායක ජනාධිපති වෙලා හිටියා කියා කිසිම වෙනසක් තිබුණේ නැහැ. හැමදාම එක වගේ තමා එතුමා සිටියේ. වත්තට ආපුවාම ගත කරන හැටි දැක්කාම එතුමා පුදුම සරල ජීවිතයක් ගත කළ කෙනෙක් බව අපට තේරුම් ගිය කාරණයක් යැයි ද සිරිවර්ධන මහතා කීය.
ජේ. ආර්. විධායක ජනාධිපති තනතුර දරණ කාලයේ මාදම්පේ වත්තට පැමිණ සිටි අවස්ථාවක වෙච්චි අලකලංචියක් ගැන සිරිවර්ධන මහතා සිය මතකය අවදි කළේ මෙසේය.
ජේ. ආර්. හාමු ජනාධිපති වෙලා ඉන්න කාලයේ ආර්යාවත් එක්ක වත්තට ඇවිත් ඉද්දි තමා මේ සිද්ධිය වුණේ එතුමා ආර්යාවත් එක්ක පොල් අතු සෙවිලි කර ලැටිස් ගසා තිබුණ ගෙදර රෑ ගත කරමින් සිටියා. එදා මහ වැස්සක් තිබුණ දවසක්. ඒ වාගේම කුණාටුවක් වගේ මහ හයියෙන් සුළඟ හමනවා. තිණිපිටි වැවත් තියන නිසා සුළඟ තවත් හයියෙන් හමන එක වැඩියි. ලන්තෑරුමක් වත් පත්තු කරන්න බැහැ. සුළඟ තිබෙනවා. වින්සන් ජයමහ මහත්තයා එතුමාටයි ආර්යාවයි කළුවරේ තියන්න බැරි නිසා ඒ වෙලාවෙම මාදම්පේ විදුලිබල මණ්ඩලයට කතා කර කිව්වා මාදම්පේ ටවුන් එකේ ඉඳලා තාවකාලිකව වයර් ඇදලා ලයිට් දමා දෙන්න කියා. විදුලිබල මණ්ඩලයෙන් ඒ වෙලාවෙම ආවා. ඒත් ජේ. ආර්. හාමු කිව්වා තව ටිකකින් හරියයි. එතකොට ලන්තෑරුම් පත්තු කර ගන්නවා. ලයිට් අවශ්‍ය නැහැ. තමුන්නාන්සේලා ආව එක ගැන ස්තූතියි කියා. ඊට පස්සේ විදුලිබල මණ්ඩලයේ සේවකයෝ යන්න ගියා. එලිනා ආර්යාවත් ජේ. ආර්. හාමුගේ කැමැත්තට ඉඩ දීලා නිකම් හිටියා.
මාදම්පේ ටවුන් එකේ ඉඳලා එගොඩයාගම වත්තට එන්න තියන පාර ඒ කාලේ හරිම අබලන්. කරත්ත පාරක්. ජේ. ආර්. හාමු පාර තාර දමා හදනවාටත් කැමති වුණේ නැහැ. කිහිප වරක්ම පාර තාර දමා හදන්න සුදානම් වුවාත් ජේ. ආර්. හාමු ඒකට ඉඩ දුන්නේ නැහැ. මගේ වත්තට එන්න තියන පාර හදන්න ඕනෑ නැහැ කියා එතුමා කියනවා මා අසා තිබෙනවා. ජේ. ආර්. හාමු ඉන්නකම් පාර හැදීමක් සිද්ධ වුණේ නැහැ යැයි කියා සිරිවර්ධන ඒ අතීතය සිහිපත් කළේ සිනාසෙමිනි.
ජේ. ආර්. හාමු පළාකොල ජාති කන්න හරිම ආසයි. කංකුන් ගොටුකොළ හා මුඟුණුවැන්න අපි වත්තේ වවා තිබුණා. ඒවා කඩා හදලා එතුමාට කන්න උයනවා. මස් වර්ග කිසිම දෙයක් කෑවේ නැහැ. ඒත් දැල්ලෝ, කකුළුවෝ, ඉස්සෝ කන්න හරිම කැමැතියි. ජේ. ආර්. හාමු වත්තට එන්න කලින් වින්සන් ජයමහ මහත්තයා හලාවත මුහුදු වෙරළට ගිහින් දැල්ලෝ, කකුළුවෝ, ඉස්සෝ අරගෙන එනවා. ඒ වාගේම කැවුම් කන්නත් හරිම ආසයි. කොච්චි කඬේ පැත්තේ කඩයකින් කැවුම් අරගෙන එනවා.
ගස්ලබු, අඹ වාගේ පලතුරු කන්නත් කැමැත්තක් දැක්වුවා. වත්තේ හරියට අඹ ගස් හා ගස්ලබු ගස් තිබුණා. මේ ගස් වලින් කඩා ගන්න අඹ හා ගස් ලබු අපි ජේ. ආර්. හාමුගේ වෝඞ් ප්ලේස් මන්දිරයට අරගෙන යනවා. අපිට එතුමා ගමන් වියදම් දෙනවා. ජේ. ආර්. හාමු පිටරටවල සංචාර වල ගියාම තෑගි වශයෙන් ඒ කාලයේ ලැබුණු ගස් වර්ග මාදම්පේ වත්තේ ගෙනත් සිටුවනවා. සියම් රටෙන් ලැබුණු පොල් ගස් එහෙම එහි සිටුවා තිබෙනවා. ඒ පොල් ගස් තවමත් වත්තේ තිබෙනවා.
සියම් පොල් ගහකින් ගත්ත ගෙඩියක් අපේ ගෙදරත් සිටුවා තිබෙනවා. ඒ ගහෙන් ඵලදාවත් ලැබෙනවා. ජේ. ආර්. හාමු මතක් වෙන්න කියා තමා සියම් පොල් ගහකින් ගෙඩියක් ගෙනත් අපේ වත්තේ හිටෙව්වේ.
ජේ. ආර්. ඔහුගේ වතුවල සේවකයන්ට හොඳින් සලකා ඇත. ඒ ගැන අදහස් දක්වමින් සිරිවර්ධන මහතා කිව්වේ මෙවැනි කතාවකි.
ජේ. ආර්. හාමු එතුමාගේ වතුවල වැඩ කරපු සේවකයින්ට හොඳට සැලකුවා. පඩි නියමිත වෙලාවට ගෙව්වා. හැම අවුරුද්දකම බෝනස් එකකුත් අපිට දුන්නා. සේවක අර්ථ සාධක අරමුදලට පවා නියමිත වෙලාවට මුදල් යැව්වා. වත්තට ආපුවාම මොනවා හරි ප්‍රශ්න තියෙනවාද කියා එහෙම අහපු අවස්ථා තිබුණා. හොඳට ඉන්න ඕනෑ කියා එහෙම කියනවා. දරුවන්ට හොඳට උගන්වන්න හොඳ තැනකට අරගෙන යන්න කියා වත්තේ සේවකයන් වන අපට ජේ. ආර්. හාමු වත්තට ආපුවාම ඕනෑ තරම් කියා තිබෙනවා. ඒ තරමට එතුමා සේවකයින්ට හිතවත්.
අගමැති ජනාධිපති වුණාට පස්සේ නම් දවසකට දෙකකට වඩා හිටියේ නැහැ. හලාවත පැත්තේ තියෙන රැස්වීමකට ආවොත් නොවරදවාම මාදම්පේ වත්තට ඇවිත් යන්න එනවාමයි. ඊට අමතරව නිදහසේ දවසක් දෙකක් ඉඳලා යන්න ඕන වුණාම ආර්යාවත් එක්ක ඇවිත් යනවා.
එතුමා මාදම්පේ එගොඩයාගම වත්තට ඇවිත් ඉන්න ලොකු කැමැත්තක් තිබුණා. සමහරවිට තිණිපිට වැව වත්ත මායිමේ තිබුණ නිසා වෙන්න පුළුවනි.
වත්තේ හරියට අඹ ගස්, ගස්ලබු ගස්, කජු වගේ පලතුරු ගස් ගොඩක් තිබුණා. ඒවායේ ඵලදාව හැදෙන කාලයට ඒවා කඩා විකුණන්න දුන්නේ නැහැ. මෙවායින් කොටසක් ජේ. ආර්. හාමු මහත්තයාගේ වෝර්ඞ් ප්ලේස් ඒකේ බංගලාවට ගෙනහින් දුන්නා. වැඩි හරියක් ඵලදාව වත්තේ වැඩ කරන සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල අයට බෙදා දෙන්න කියා තමා එතුමා ජයමහ මහත්තයට උපදෙස් ලබා දී තිබුණේ යැයි සිරිවර්ධන මහත්තයා කියා සිටියේ අමතකව තිබූ යමක් මතකයට නගමිනි.
පිටරටක ජේ. ආර්. හාමුට තෑගි ලැබුණු ගසක් කටුනායක ගුවන් තොටුපළේ සිට ආරක්ෂක අංශ විසින් මාදම්පේ වත්තට ගෙනැවිත් සිරිවර්ධනට බාර දී ගොස් ඇත.
අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා මෙන්ම ලොවම පිළිගත් කෘතහස්ත දේශපාලනඥයෙක් වුවත් ජේ. ආර්. හරිම සරල ජීවිතයක් ගෙන ගිය ගැමිකමට ආදරය කළ අයෙක් බවට මේ ඇවතුම් පැවැතුම් කදිම සාධක නොවෙත්ද? යන හැඟීම මේ කතාව කියවන ඔබගේ හදවතේ ඇති වන්නට ඇතැයි නිසැකය.
මේ ඇතැම් කතා මීට පෙර හෙළිදරව් වු ඒවා නොවිය හැකිය.
ජේ. ආර්. හාමු ජනාධිපති වුණාට පස්සේ දවසක එගොඩයාගම වත්තේ ගෙදරට ආපු වෙලාවක මුලින්ම නැකතට අකුරු කියෙව්වා වින්සන් ජයමහ මහත්තයාගේ දුව දැන් පෞද්ගලික බැංකුවක ලොකු රස්සාවක් කරනවා.
ඒ සිරිවර්ධන මහත්තයාගේ මතක ගබඩාවේ තිබු තවත් කතාවකි.
එගොඩයාගම වත්තට ඉතිරි වන්නට ජේ. ආර්. හාමුට දෑවැද්ද වශයෙන් එලීනා හාමුගෙන් ලැබිලා තිබුණ ගල්මුරුව, පොතුවිල, මනක්කුලම හා ඉස්සන්මැඩිල්ල කියන වතු ටික සේරම හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා ඉඩම් ඇමැති වෙලා ඉන්න කාලයේ ගෙනා ඉඩම් පනත යටතේ එවකට පැවැති රජයට ගත්තා. අද ඔය කියන හරේන්ද්‍රගම උදා කළ ගම්මානය පසු කාලයක ආර්. ප්‍රේමදාස මහත්තයා හැදුවේ ජේ. ආර්. හාමුට අයත් ඉඩමේ තමා යැයි ද සිරිවර්ධන මහතා පවසයි.
ජේ. ආර්. හාමු මියගියාට පස්සේ රවි ජයවර්ධන හාමු එගොඩයාගම වත්ත විකුණන්න තීරණය කළා. රවී ජයවර්ධන මහත්තයා එයාගේ තාත්තාට අයිති ඉඩම වික්කේ වත්ත බලාගත්තු වින්සන් ජයමහ මහත්තයාට අක්කර හයක් ලබා දීලා මට අක්කර 02 ක් දුන්නා. අනිත් සේවකයින්ටත් ඉඩම් ලබා දුන්නා. මම අදටත් ගෙයක් හදා ගෙන පදිංචි වෙලා ඉන්නේ රවී ජයවර්ධන හාමු දුන්නු ඉඩමේ. ජේ. ආර්. හාමුටයි රවි හාමුටයි විතරක් නෙමේ එලිනා හාමුටත් අදටත් අපේ තියෙන්නේ ලොකු ගෞරවයක් හා භක්තියක් යැයිද කතාබහ නිමා කරමින් සිරිවර්ධන මහතා කීය.
තොරතුරු සොයා යාමේදී සහාය වු මාදම්පේ සේනානායක විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය, එගොඩයාගම පදිංචි ගාමිණි සිල්වා මහතාට විශේෂ ස්තූතිය පුද කරමි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය : මාදම්පේ එස්. හේරත්