1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.
71 අරගලයෙන් පසු මතුවූ මතවාදී අරගලයේදී ආණ්ඩුව සමඟ සිටි වමේ අවස්ථාවාදීනුත් පක්ෂය තුළින්ම බිහිවූ අවස්ථාවාදීන් හා ද්‍රෝහීනුත් පළකළ මතයක් වූයේ, ජවිපෙ බලහත්කාරයෙන් විප්ලවයක් කිරීමට ගිය බවය. එහෙත් සත්‍යය එය නොවේ. 1971 දී රට තුළ විප්ලවීය තත්ත්වයක් තිබුණේ නැත. අප්‍රේල් අරගලය යනු ධනේශ්වර මර්දනයට එරෙහිව සිදුවූ අවිගත් නැගිටීමකි. මේ පිළිබඳව ඉතාම නිරවුල් ලෙස රෝහණ සහෝදරයා “අප මරාදැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත.” නම් කෘතියේ මෙසේ විස්තර කර තිබේ. ඒ මෙසේය.
විප්ලවීය නැගිටීමක් සිදුවිය හැක්කේ විප්ලවීය තත්ත්වයක් තුළය. නමුත් ධනේශ්වර පංතිය නිර්ධන පංතියට එරෙහිව කරනු ලබන ඉසිලිය නොහැකි පංති මර්දනය විසින්ම විප්ලවීය නැගිටීමක් උදෙසා උචිත විප්ලවීය තත්ත්වයන් උත්පාදනය කරන්නේ නැත. පීඩකයා හා පීඩිතයා අතර වෙනස්වන බල සම්බන්ධතාවන්ගේ අඛණ්ඩ ක්‍රියාදාමය පංති සටනයි. ජනතාව අතර සූරාකන පාලක පංතියට ලැබෙන සහයෝගයේ පදනම පුළුල් කර ගැනීමට එම පංතිය නොකඩවාම විවිධ ක්‍රමවලින් තැත් කරයි. පීඩකයන්ගේ ස්වාධීන, දේශපාලන, සංවිධානාත්මක හැඩගැසුම්වල වර්ධනය මර්දනය කර දැමීමට ඔවුහු උත්සාහ කරති. ඇතැම් විට වරදානය හා මර්දනය යන දෙකින් එකක් අවධාරණය කරමින්ද නැතහොත් ඒවා සම්බන්ධ කරමින්ද පාලක පංතිය ඒ අතර දෝලනය වෙයි. කරකැවෙයි. මේ අඛණ්ඩ අරගලයේදී නිර්ධන පංතිය ප්‍රහාරයේ යෙදී සිටින්නාවූ විවිධ අවස්ථා තිබේ. පාලක පංතිය බෙදී අධෛර්යට පත්වී අවුල් වියවුල් වී පාලක පංතියට ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි, තවදුරටත් පාලනය ගෙනයා නොහැකිව ඇති අවස්ථාවක, ඉතා තීරණාත්මක සංධිස්ථානයන්හිදී නිර්ධන පංති සටන්කාමීත්වයේ ඉහළ හිණිපෙත්තට ළඟාවෙයි. අන්න එවැනි අවස්ථාවකදී රටත් දේශපාලන වශයෙන් පූර්ව විප්ලවීය තත්ත්වයට අවතීරණ විය හැකිය. 1971 දී එවැනි පූර්ව විප්ලවීය තත්ත්වයක් රට තුළ විද්‍යමාන නොවීය.
පංති සටන් මාවත තුළ පක්ෂයක ගමන්මග පිළිබඳවත් රෝහණ සහෝදරයා කර ඇති එම විග්‍රහය අදට වුවද සමහර පැතිවලින් ගැළපේ.
කෙසේ වෙතත් හිරගෙවල් තුළ පක්ෂය දියකර හැරීමට උපක්‍රම සකස්කළ ආණ්ඩුව ඊළඟට අප්‍රේල් නැගිටීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් අය පිළිබඳ නඩු විභාගයකටද සූදානම් විය. ඒ සඳහා සාමාන්‍ය නීති හා අධිකරණ යොදා ගැනීම අත්හල ආණ්ඩුව අතීතයට බලපාන සේ වෙනම නීතිද සම්මත කරගෙන වෙනම අධිකරණ ද පිහිටුවීය.
1971 අප්‍රේල් නැගිටීම තරුණ සංහාරයක් මගින් පරාජය කළ සමගි පෙරමුණු ආණ්ඩුව ඉදිරියේ අභියෝග කිහිපයක් විය. ඉන් පළමුවැන්න තමන් විසින් කරනු ලැබූ මෙම සංහාරය සාධාරණීකරණය කර ගැනීමය. ඒ සඳහා කැරලිකරුවන් වැරදිකරුවන් කළ යුතුවිය. දෙවැන්න මෙම ව්‍යාපාරය යළි හිස එසවීම නැවැත්වීමය. ඒ සඳහා දුර්වල කොටස් දියකර හැරිය යුතු විය. පාවාදෙන්නන් හා ද්‍රෝහීන් දිනාගත යුතු විය. ධෛර්ය සම්පන්න අය දිගුකාලීනව සිරගත කළ යුතු විය. සමගි පෙරමුණ ආණ්ඩුව මෙම වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ඉතාම සංකීර්ණ හා සැලසුම් කරන ලද ක්‍රියාවලියක් ඇරඹීය. ජවිපෙට සම්බන්ධ සියලු නායකයින්ද ක්‍රියාකාරිකයින්ගෙන් සාතිශය බහුතරය ද අත්අඩංගුවේ සිටි බැවින් (මරාදැමූ අය හැර) ආණ්ඩුව තම සැලසුම් ක්‍රියාවට නැගුවේ සිරගෙවල් සහ රැඳවුම් කඳවුරු පදනම් කරගෙනය.
පළමුවෙන්ම අරගලයේ පරාජය පිළිබඳ විවිධ වැරදි මත පතුරුවාලීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ සඳහා අරගලය පාවාදී ආණ්ඩුවේ පැත්තට පලාගිය අයගේ මෙන්ම පරාජයෙන් බලාපොරොත්තු සුන් කරගත් අයගේත් කල්ලිවාදී ලෙස කටයුතු කළ ඇතැම් අයගේත් සහාය ඉතා සූක්ෂම ලෙස යොදා ගන්නා ලදී. සියලු වැරදි රෝහණ විජේවීර සහෝදරයා මත පැටවීමට උත්සාහ කරන ලදී. මෙම උත්සාහය තුළ මතුවූ මතවාදයන් පුද්ගලික මඩ ප්‍රහාරවල සිට න්‍යායික පෙනුමෙන් යුත් නිර්මාක්ස්වාදී විග්‍රහ දක්වා පුළුල් පරාසයක පැවතුණි.
ඉතාම සුළු කරුණු නිසා අත්අඩංගුවට ගෙන තිබූ නඩු පැවරිය නොහැකි ඒ නිසාම නිදහස් කළ යුතුවන අය නිකම්ම නිදහස් කරනවා වෙනුවට ආණ්ඩුව ඔවුනට ‘වරද (භාරගැනීමට බල කළේය. නිදහස්වීමේ අවශ්‍යතාවෙන් පෙළුණු එවැනි බොහෝ දෙනා නිදහස්වීම සඳහා වරද පිළිගත්හ. එලෙස වරද පිළිගත් තවත් පිරිසක් ඊනියා පුනරුත්ථාපන කඳවුරුවලට යවන ලදහ. ඒ ‘නොමග ගිය කැරලිකරුවන්’ පුනරුත්ථාපනය කිරීම සඳහාය. සැබවින්ම පුනරුත්ථාපනය කළ යුතු වන්නේ පවතින දුෂ්ට සමාජ ක්‍රමය වුවත් ආණ්ඩුව එම සමාජය වෙනස් කිරීමට සටන් කළ අය “පුනරුත්ථාපනය” කිරීමට කටයුතු කළේය. මෙලෙස වැරදි පිළිගැනීමට බලකිරීම මගින් විශාල ප්‍රමාණයක් වැරදි පිළිගත් විට කැරලිකරුවන් තම වැරදි පිළිගෙන තිබේයැයි ලොවට පවසා තම වගකීමෙන් මිදීමට ආණ්ඩුව පියවර ගත්තේය. මේ අතරම ආණ්ඩුව අප්‍රේල් අරගලයේ නඩු ඇසීමද ඇරඹීය.
සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරුවහොත් රඳවාගෙන සිටින සියලුම දෙනා නිදහස් කිරීමට සිදුවන බව දැන සිටි ආණ්ඩුව අප්‍රේල් නඩුව සඳහා වෙනමම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කොට ඒ යටතේ වෙනමම අධිකරණයක් පිහිටුවීය. ඒ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවය. මෙය සදාචාර විරෝධී ක්‍රියාවකි. සාමාන්‍යයෙන් ලොව පුරා පිළිගත් සම්ප්‍රදාය සහ සදාචාරය වනුයේ, කිසියම් වරදකට හෝ ක්‍රියාවකට දඬවම් කිරීමේදී එම වරද හෝ ක්‍රියාව කරන විට රටේ පැවැති නීතිය අනුව කටයුතු කිරීමය. එහෙත් දඬුවම් පැනවීම සඳහාම අතීතයට බලපාන ලෙස නීති සකස් කිරීම ස්වභාවික යුක්ති ධර්මයට පටහැණි ක්‍රියාවකි.
එහෙත් සමගි පෙරමුණු ආණ්ඩුවට රැකීමට සාදාචාරයක් හෝ යුක්තියක් තිබුණේ නැත. ඒ අනුව ඔවුන් 1972 දී අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත සම්මත කර කොමිසම පිහිටුවා අප්‍රේල් අරගලයේ ප්‍රධාන නඩු විභාග එහි පැවැත්වීය. ආණ්ඩුවේ මෙම සදාචාරමය නොවන ස්වභාවික යුක්තියට පටහැණි ක්‍රියාවලියට සිය විරෝධය පළකළ රෝහණ විජේවීර සහෝදරයා ඒ ගැන මෙසේ සඳහන් කර තිබිණි.
“ශක්තිමත් හා භක්තිමත් කොමියුනිස්ට්වාදියෙක් වශයෙන් පන්ති සටන් පිළිගන්නා මම ධනේශ්වර සමාජයේ පංති සටන අධිකරණ ආයතන තුළදී ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් අතර ගැටුම ලෙස තේරුම් ගෙන සිටිමි. කුරිරු පාලකයින්ගේ දැඩි චේතනාවත් විනිශ්චය කරන අයගේ දැඩි දුර්වලත්වයත් ජනතාවගේ උදාසීනත්වයත් හේතුකොටගෙන අත්තනෝමතික පාලකයන්ට එවැනි අමානුෂික අයුක්ති සහගත හා අසාධාරණ අණපනත් සම්මත කරගැනීමට හැකි වුවත් යුක්තිය වෙනුවෙන් කැපවී සිටින සාධාරණත්වය වෙනුවෙන් දිවි පරදුවට තබා සිටින මනුෂ්‍යත්වයේ නිර්මලත්වය මුළු හදින් තේරුම්ගත් අවංක මිනිසුන්ගේ පරම යුතුකම මෙවැනි අණපනත්වලට එරෙහිව අභීතව නැගී සිටීම යැයි මම කියමි.” කෙසේ වුවද සදාචාරයට සහ ස්වභාවික යුක්තියට පටහැණි මෙම පනත ආණ්ඩුව විසින් සම්මත කරන ලදුව අපරාධ යුක්ති විනිශ්චය සභා කොමිසම පිහිටුවන ලදී.
සභාපතිවරයා සහ කොමසාරිස්වරයින් 04 දෙනෙකු ඇතුළු පස්දෙනෙකුගෙන් කොමිසම සමන්විත විය. මෙම කොමිසමේ සභාපතිවරයා වූයේ, එවකට විශ්‍රාම ලබාසිටි අගවිනිසුරු එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතාය. සෙසු සාමාජිකයන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වූ ඒ. සී. අලස්, තමෝදරන්, දෙහෙරගොඩ හා රාජරත්නම්ය. රාජරත්නම් අසනීප වූ නිසා ඔහු වෙනුවට ඩී. විමලරත්න විනිශ්චයකාරවරයා පත්කළ අතර ඔහු දිගටම කොමිසම තුළ කටයුතු කළේය. ඉන්පසු ආණ්ඩුව විසින් අප්‍රේල් මහ නඩුවේ විත්තිකරුවන් නම් කරන ලදී. එම නම් කිරීමද පැහැදිලි ක්‍රමයකට කරනවා වෙනුවට තම අරමුණුවලට අනුව කරන ලදී. රෝහණ පෙනී සිටි කිහිපදෙනා සමග රජයේ සාක්කිකරුවන් බවට පත්වූ හා මානසිකව බිඳවැටී අරගලය අතහැර සිටි බහුතර පිරිසක් එකට යොදා මහනඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.
ඒ අනුව අප්‍රේල් මහ නඩුවේ සඳහන් වූ පරිදි විත්තිකරුවන්ගේ නම් පිළිවෙළින් මෙසේ විය. 01. සමරරත්න විතාන ආරච්චිගේ පියතිලක, 02. බෝපගේ ලයනල් හෙවත් ලයියා හෙවත් ලයනල්, 03. උයන්ගොඩ මරදාහේ ජේම්ස් හෙවත් ඌ මහතතයා හෙවත් සෙනෙවිරත්න (ජේ. උයන්ගොඩ), 04. බූස්සබදුගේ අනුර රන්ජිත් කුරුකුලසූරිය හෙවත් රන්ජිත්, 05. බදුගේ මිත්‍රසිරි සුනන්ද දේශප්‍රිය හෙවත් අශෝක, 06. විජේමුණි දේවගේ නිමල්සිරි ජයසිංහ හෙවත් ලොකු අතුල, 08. මහරගේ දොන් නෙවිල් නිමලරත්න හෙවත් නිමල් මහරගේ, 09. සෝමසිරි කුමාරනායක, 10. වසන්ත ද සිල්වා කනකරත්න, 11. ඬේවිඞ් අබේවික්‍රම ගුණසේකර, 12. තේවාහන්දි දිනිදු මිත්‍ර සිල්වා (ටී. ඩී. සිල්වා), 13, පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර, 14. අදුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර, 15. හෙට්ටිආරච්චිගේ කුලරත්න බණ්ඩා හෙවත් පියසිරි, 16. සුනිල් රත්නසිරි ද සිල්වා, 17. විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු හෙවත් විරාජ්, 18. මහ මරක්කල විජේපාල හෙවත් සුමිත් රාජපක්ෂ, 19. බෙන්තොට මුහන්දිරම්ගේ නිහාල් ආනන්ද ද සිල්වා, 20. සැමුවෙල් ඩයස් බණ්ඩාරනායක, 21. වික්‍රම ආරච්චි ඔස්මන්ඞ් ද සිල්වා, 22. ජයකොඩි පතිරණැහැලත්ගේ ප්‍රේමදාස ධනපාල, 23. ලක්ෂ්මන් ගුණරත්න මහදුවගේ හෙවත් තඩි ලක්ෂ්මන්, 24. සුසිල් සිරිවර්ධන, 25. මහින්දපාල විජේසේකර, 26. නන්එදිරි කෙලී මැගෙලියන් සේනානායක 27. පනියන් දේවගේ තේමිස් සිල්වා හෙවත් බටපොළ අතුළ, 28. ඇලඩින් සුභසිංහ හෙවත් සුදු හකුරු සුබසිංහ, 29. ලක්ෂ්මන් චන්ද්‍රසේන හෙවත් කළු ලකී, 30. ලක්ෂ්මන් ජයම්පති මුණසිංහ හෙවත් පොඩි ලකී, 31. කාරියවසම් ගෝනාපීනුවල ගමගේ මෙරිල් ජයසිරි, 32. එන්. ප්‍රේමරත්න හෙවත් චුක්කි ප්‍රේමරත්න, 33. විජේසේන විතාරණ හෙවත් සනත් (සටනේදී මියගොස්) 34. සුසිල් වික්‍රම (සටනේදී මියගොස්), 35. සරත් විජේසිංහ (සටනේදී මියගොස්) 36. මිල්ටන්, 37. ඩබ්ලිව්. ටී. කරුණාරත්න, 38. හේවාබටගේ ප්‍රේමපාල, 39. නයනානන්ද විජේකුලතිලක, 40. ඩී. පී. විමල ගුණේ, 41. ජේ. ඒ. ජී. ජයකොඩි
41ක් වූ මහ නඩුවේ මෙම සැකකරුවන්ට එරෙහිව කොමිසම හමුවේ චෝදනා නැගිණි. එම චෝදනා වූයේ,
01. 1968 ජනවාරි හා 1971 දෙසැම්බර් 31 අකර මහරැජිනට එරෙහිව කුමන්ත්‍රණය කිරීම.
02. ලංකා ආණ්ඩුව බලහත්කාරයෙන් පෙරළාදැමීමට කුමන්ත්‍රණ කිරීම.
03. 1971 අප්‍රේල් 04 හා 71 ජූලි 01 වැනිදා අතර රටේ විවිධ පළාත්වලදී මහරැජිනට එරෙහිව යුද වැදීම.
04. මහරැජිනට එරෙහිව යුද්ධ කිරීමට අනුබල දීමය.
මෙම චෝදනා එක් එක් අයට ගැළපෙන ලෙස වෙන වෙනම ඉදිරිපත් විය. නඩු විභාගය ආරම්භ වීමට පෙර නඩුවට පෙනී සිටිනවාද නැද්ද යන සංවාදය මතුවිය. පක්ෂයේ අදහස වූයේ නඩුවට පෙනී සිට කොමිසම වේදිකාවක් කරගත යුතු බවය. අවසානයේ නඩු විභාගය ආරම්භයේදීම පැමිණිල්ලේ සාක්ෂි බිඳවැටුණි. එවිට ලොකු අතුල, සෝමසිරි කුමාරනායක හා ටී. ඩී. සිල්වා රජයේ සාක්ෂිකරුවෝ බවට පත්වී ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කළහ. ජ.වි.පෙ. දේශපාලන මතය දරමින් නඩුවට පෙනී සිටියේ 41 දෙනා අතරින් රෝහණ විජේවීර, ලයනල් බෝපගේ, කෙලී සේනානායක හා ජේ. උයන්ගොඩ යන 04 දෙනා පමණක් විය.
මතු සම්බන්ධයි.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්