ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන කාර්යයෙහිලා අප්පුහාමිලාගේ භූමිකාව ගැන කතිකාවතක් ගොඩනැගී ඇත්තේ ඉතා අවම මට්ටමෙනි. ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යපාරයන්හි අප්පුහාමි භූමිකාවක් 1947 දී හෝ 1952 මැතිවරණ ක්ෂේත්‍රය තුළ ද දක්නට නැත. ගම්කාර්ය සභා හෝ සුළු නගර සභා ආයතන තුළදී අප්පුහාමි භූමිකාවක් දක්නට තිබුණ ද ජාතික මට්ටමෙන් මතුවූ අවස්ථාවක්ද දක්නට නැත.
අප්පුහාමි භූමිකාව ගැමි ජන පදනම තුළ සුවිශේෂී වුව ද නාගරික පරිසරය තුළ දක්නට නොමැතිවීම ද විශේෂත්වයකි. ග්‍රාමීය දේශපාලන වට පිටාව තුළ අප්පුහාමි භූමිකාව එක්සත් ජාතික පක්ෂය සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වුවද වමේ ව්‍යාපාරය සමග බද්ධ වූ ආකාරයක් දකින්නට හැකිවන්නේද අවම මට්ටමෙනි.
ගමේ පන්සල පාසල සහ සමිති සමාගම් අංශය තුළ විවිධ නම්වලින් යුත් ලොකු අප්පුහාමි, පොඩි අප්පුහාමි, සුළු අප්පුහාමි, ගොඩපර අප්පුහාමි, වශයෙන් අප්පුහාමිලා දක්නට ඇත. එහෙත් වත්මන් ගැමි සමාජය තුළ අප්පුහාමිලා දක්නට නැත්තේ සමාජ විකාශනයත් සමගිනි.
1947 සහ 1952 මහා මැතිවරණවලදී අප්පුහාමි භූමිකාවක් අපට දක්නට නොමැත. එහෙත් 1956 මහා මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සුවිශේෂී අප්පුහාමි කෙනෙකු සිටි නමුත් ඔහුගේ අප්පුහාමි නාමය හෙළිදරව් නොවිය.
1956 පටන් 1965 දක්වා ලාංකීය දේශපාලන තලයෙහි ප්‍රබල භූමිකාවක් වූ වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ සම්පූර්ණ නාමය කෝනාර මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි බව ප්‍රකට නොවිය. ඌව වෙල්ලස්සේ ඓතිහාසික අරගලයන්ට නායකත්වය දුන් අප්පුහාමිලා ගැන වැලිමඩ මන්ත්‍රී කේ. ඇම්. පී. රාජරත්න ඔහුගේ සාරගර්භ දේශනයන්හි දී නිතර සිහිපත් කළේය. පාර්ලිමේන්තුවේ දී ද අමතක නොකළේය.
1960 ජුලි 20 වැනි දින පැවැති මහා මැතිවරණයේ දී එජා පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල ඡන්ද කොට්ඨාසය සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ සත්‍යවාදී මෝටර් ස්ටෝර්ස් හිමි ඇන්. ඇම්. අප්පුහාමි ඉදිරිපත්ව ඇත. ඒ මහා මැතිවරණයෙන් ඒ මහතා පරාජය විය. 1965 මහා මැතිවරණයට ඇන්. ඇම්. අප්පුහාමි තරග නොකළේය. 1965 පිහිටවූ එජාප පෙඬරල් සභාග රජයෙන් ඇන්. ඇම්. අප්පුහාමි උත්තර මන්ත්‍රී මණ්ඩලයට (සෙනේට් සභාවට) පත් කෙරිණි.
උත්තර මන්ත්‍රී මණ්ඩලයට පත්වූ එකම හා අවසාන අප්පුහාමි වශයෙන් ඇන්. ඇම්. අප්පුහාමි ඉතිහාස ගතවේ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෙනේට් මන්ත්‍රී මණ්ඩලය අහෝසි කෙරිණි.
අප්පුහාමිලාගේ දේශපාලන වංහුං ගැන කතා කරන කල්හි බණ්ඩාරවෙල ආර්. ඇම්. අප්පුහාමිලා “ඩබල” ගැනම විශේෂයෙන් සටහන් කළ යුතුවේ.
1970 මහ මැතිවරණයට එජාපයෙන් ද ශ්‍රීලනිපයෙන් ද තරග වැදුණේ ආර්. ඇම්. අප්පුහාමිලා දෙදෙනෙකි. ශ්‍රීනිපයේ අපේක්ෂක ආර්. ඇම්. අප්පුහාමි වැඩි ඡන්ද 2940ක් ලබා බණ්ඩාරවෙල මන්ත්‍රීධුරයට පත්විය. 1977 මහා මැතිවරණය ජුලි මස 21 වැනිදා සිදුවිය. ආර්. ඇම්. අප්පුහාමිලා දෙදෙනාම තරග පිටියට පිවිසියහ. එජාපයේ ආර්. ඇම්. අප්පුහාමි වැඩි ඡන්ද 4577ක් ලබා බණ්ඩාරවෙල මන්ත්‍රී ධුරයට පත්විය.
1977 මහා මැතිවරණයේදී ජී. ඒ. කේ. අර්නෝලිස් අප්පු (ස්වාධීන) පොළොන්නරුව ඡන්ද කොට්ඨාසයට තරග කළේය. එම මැතිවරණයේදීම කේ. එම්. එම්. අප්පුහාමි (ස්වාධීනව) මහියංගනයට තරග කර ඇත.
එබඳු දේශපාලන වටා පිටාවක් පැවතුන ද 2017 අගෝස්තු 17 වන දින පැවැති මහා මැතිවරණයෙන් පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි ජයග්‍රහණය කිරීම සුවිශේෂීව සඳහන් කළ යුතු වේ.
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සුළු කාලයක් තුළ පාර්ලිමේන්තුවේත් මාධ්‍ය ක්ෂේත්‍රයේත් අවධානයට ලක්වූ ප්‍රබල චරිතයක් බවට පත්ව ඇත.
ඒ සමඟම මහත් ආන්දෝලනයකට ලක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටුවේ පුට් නෝට් කණ්ඩායම ද හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ද සම්බන්ධ බව වාර්තාවීමෙන් යළිත් අප්පුහාමිලාගේ භූමිකාව ද ජනාදරයට පත්ව ඇත.
එදා අප්පුහාමි ගැමි සමාජය තුළ කෙතරම් ජනාදරයට පත්ව සිටියා ද යත් ගමේ ගොයම් පාගන කමතට තේ පානයට ගෙනා පිට්ටු කෑලි සහ පොල් බෑය හොරෙන් අනුභව කළ අප්පුහාමි කෙනෙකුට උපහාස වශයෙන් ගමේ කොලු කට්ටිය පැබැඳු මෙම කවියද අපි නැවත සිහිපත් කරමු.
“අප්පුහාමි පිට්ටු හොරා - පොල් බෑයට තට්ටු කළා”
බන්ධුල ආර්. ගුලවත්ත