අගමැතිවරයාට වෙඩි තැබූ අවස්ථාවේදී නිවසේ බිම සිවුරු තුනක් සහ අංශකඩයක් තිබූ බව පොලිස් පරීක්ෂක ටිරල් ගුණතිලක පවසා තිබුණි. ඉන් එකක් සෝමාරාමගේ විය හැකි මුත් අනෙක් සිවුරු දෙක කාගේද යන්න කිසිවෙකුත් නොදත්හ. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීමත් සමගම කිසියම් පුද්ගලයෙක් නිවසේ තාප්පයෙන් පාරට පැන හරි මචං යනුවෙන් කියා මෝටර් රථයක නැගී පලාගිය බව අගමැති නිවස ඉදිරිපස ගෘහයක ගෘහ සේවිකාවක වූ ජොස්ලින් නමැත්තිය සාක්ෂි දෙමින් කියා සිටියාය. එහෙත් ඒ සම්බන්ධවද පොලිසිය පරීක්ෂණ පැවැත්වූ බවක් අනාවරණය නොවීය.
අගමැතිවරයාට වෙඩි තබන අවස්ථාවේදී ඒ අසල සිටි ගුණරත්න නමැති පාසල් ගුරුවරයකුටද වෙඩි වැදී සිටියේය. සෝමාරාම අගමැතිට වෙඩි තැබුවේ ගේ ඇතුළට මුහුණ පා සිටියදී බවත්, එසේ නම් පසෙක සිටි ගුණරත්නට වෙඩි වැදුණේ කෙසේද යන්නත් විත්ති පාර්ශ්වයේ නීතිඥයන් ප්‍රශ්න මතු කළේය. කෙසේ වෙතත් ඇසින් දුටු සාක්ෂියක් වශයෙන් ගුණරත්න කැඳවීමට පැමිණිලි පාර්ශ්වය හෝ විත්ති පාර්ශ්වය උනන්දුවක් ගෙන නොතිබුණි. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ම මෙම නඩුවේදී දක්නට ලැබුණි.
විනිශ්චයකාරතුමාගේ දේශනයෙන් පසු ජූරි සභාව පැය තුනකුත් විනාඩි තිහක කාලයක් පුරා සාකච්ඡා කර තීන්දුව ප්‍රකාශ කිරීමට නඩු ශාලාවට රැස්විය. ජූරි සභාවේ තීරණය අනුව මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන සහ සෝමාරාම වැරැදිකරුවන් ලෙස ඒකමතිකව තීරණය කළ බව අධිකරණයට දන්වා සිටින ලදී.
අනුර ද සිල්වා නිවැරැදිකරු බවත් නිව්ටන් පෙරේරා නිවැරැදි කරු වශයෙන් ජූරි සභිකයන් පස් දෙනෙක් කියා සිටි බවද දෙදෙනෙක් ඔහු වැරදිකරු බව ප්‍රකාශ කළ බවත් ජූරි සභාවේ නායකයා අධිකරණයට දන්වා සිටියේය.
ජුරි සභාවේ තීරණය ප්‍රකාශ කිරීමෙන් පසු විනිශ්චයකාරතුමා විත්තිකරුවන් ඇමතුවේය.
“මාපිටිගම බුද්ධරක්ඛිත! තමාගේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් අගමැතිතුමා ඝාතනය වූ බව ජූරි සභාව ඒකමතිකව පිළිගෙන තිබේ. බෞද්ධයෙකු වන මා හට බෞද්ධ භික්‍ෂුවකට මරණ දඬුවම නියම කිරීමට සිදුවේ යයි මම කිසි දිනක නොසිතුවෙමි. එහෙත් නීතියේ සේවකයෙකු වශයෙන් මට එසේ කිරීමට සිදුවී ඇත. තමාගේ හැසිරීමෙන් පූජනීය ස්ථානයක් කෙලෙසීමට ලක්විය.
එච්. පී. ජයවර්ධන! ජූරි සභාවේ තීරණය තමා ද අසා සිටින්නට ඇත. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකුගේ ජීවිතයට හානි සිදු කිරීම ගැන තමා වගකිව යුතුය.
අනුර සිල්වා! මින් ඉදිරියටවත් තමන්ගේ තත්ත්වයට ගැළපෙන උදවිය පමණක් ඇසුරු කරන්නට පටන්ගත යුතුයි. තමා නිවැරදිකරුවෙකු ලෙස ජූරි සභාව තීරණය කර තිබෙන හෙයින් දැන් යන්න පුළුවන්.
තල්දූවේ සෝමාරාම! තමන් මේ කුමන්ත්‍රණකරුවන්ගේ ආයුධය හැටියට ක්‍රියා කළේ. තමාගේ දෑතින්ම අගමැතිතුමාට වෙඩි තැබූ බව කියැවුණා. ඒ තුවාලවලින් අගමැතිතුමාගේ ජීවිතය කිසිදිනක බේරා ගත නොහැකි බව වෛද්‍යවරුන් කියා සිටියා. මේ අපරාධය සිදුකරන අවස්ථාවේ තමා සිවුරු හැඳ සිටියත්, තවමත් තමන් තුළ යහපත් ගති ඇති බැවින් සිවුරු හැර සිටීම ගැන මා ප්‍රීති වෙනවා. තමාව නිදහස් කර ගැනීමට තරම් දක්‍ෂ නීතිඥයෙකු තවමත් බිහිවී නොමැති බව මා විශ්වාස කරනවා.
නිව්ටන් පෙරේරා! තමාගේ ජීවිතය බේරාදීම ගැන තමාගේ නීතීඥයාට ණය ගැතියි. වීරමන්ත්‍රී මහතා සහ සත්යේන්ද්‍ර මහතා ඉතා කැපවීමෙන් කටයුතු කළ නිසා තමාට නිදහස ලැබුණා. තවදුරටත් පොලිස් සේවයට අවනම්බු නොකර පොලිස් සේවයෙන් ඉවත්වන ලෙස මා අවවාද කරනවා. දැන් ඉතින් තමාට යන්න පුළුවන්.”
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විනිශ්චයකාරතුමා බුද්ධ රක්ඛිත ඇමතීය. මරණීය දඬුවම නියම නොකිරීමට හේතු තිබේදැයි විනිසුරුතුමා විමසා සිටියේය. එම අවස්ථාවේදි බුද්ධ රක්ඛිත විනිශ්චයකාරතුමා අමතා තමාට දිර්ඝ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව දන්වා සිටි අතර එයට අවසරය ලැබිණ.
ඒ අනුව බුද්ධරක්ඛිත විත්තිකුඩුවේ සිට ඉතා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය නිර්දෝෂි භාවය ගැන විස්තර කළේය. පැයකුත් විනාඩි හතළිස් පහක් පුරා ඔහු කතා කළේය. අනතුරුව බුද්ධරක්ඛිත ඇමතූ විනිශ්චයකාරතුමා. “මාපිටිගම බුද්ධරක්ඛිත! තමාගේ කතාවේ ඉංග්‍රීසි පිටපත මා ගරුතර අග්‍රාණ්ඩුකාරතුමාණන් වෙත යථා කාලයේ දී පිළිගන්වනු ඇත. එම කතාවේ දී මා ගැන කරන ලද සඳහනට මා පිළිතුරු නොදෙන්නේ මා නීතියේ සේවකයෙකු වන බැවිනි” ඉන්පසු බුද්ධරක්ඛිතට මාංචු දමන ලදී.
පසුදින එනම් 1961 මැයි 11 වැනි දින එච්. පී. ජයවර්ධන ද ගරු විනිසුරුතුමාගේ අවසරය මත දීර්ඝ ප්‍රකාශයක් සිදු කළේය. ජයවර්ධන අධිකරණය අමතා කතා කරන විට වරින් වර කඳුළු සැලුවේය. ඒ වනවිට තමාට අත්වන ඉරණම අවබෝධ වී තිබීම හේතුවෙන් ඔහුගේ ධෛර්ය සම්පූර්ණයෙන්ම සිඳී බිඳී ගොස් තිබුණි.
ඔහු අගමැති බණ්ඩාරනායක මහතා සමග තිබූ කිට්ටු සබඳතා පිළිබඳ බොහෝ විස්තර කියා සිටියේය. ජයවර්ධන මෙම නඩුව හැඳින්වූයේ පොලිස් කුමන්ත්‍රණයක් හැටියට. පොලිස් නිලධාරීන් රාජ්‍ය සේවකයන් පමණක් නොව බණ්ඩාරනායක මැතිනිය, ඇන්. ඇම්. පෙරේරා ආදීන් ද ඔහුගේ විවේචනයට ලක් කරනු ලැබීය.
ජයවර්ධන ද දීර්ඝ වශයෙන් කතා කළේය. ඔහුගේ කතාව අවසානයේ විනිශ්චයකාරතුමා ඔහුට මරණ දඬුවම නියම කරමින් කොළඹ වැලිකඩ සිර ගෙදර දී 1961 ජුනි මස 21 වන දින එල්ලා මැරීමට නියෝග කළේය.
සෝමාරාම විනාඩි පහළොවක් පමණ කතා කළේය. ඔහුට ද මරණ දඬුවම නියම කෙරුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට එරෙහිව බුද්ධරක්ඛිත, ජයවර්ධන සහ සෝමාරාම යන තිදෙනා ඇපෑලක් ඉදිරිපත් කර සිටියහ. ඇපැල් අධිකරණය රැස්වූයේ 1961 ඔක්තෝබර් මස 30 වැනි දින දීය.
අග්‍රවිනිශ්චයකාර රාජනීතිඥ හේමබස්නායක මහතා එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා, ඇම්. සී. සන්සෝනි මහතා, එස්. සින්නතම්බි මහතා සහ ඇල්. බී. ද සිල්වා මහතා යන විනිශ්චයකාරතුමන්ලා පස්කට්ටුවකින් සමන්විත ඇපැල් අධිකරණය රැස්විය.
පැමිණිල්ල වෙනුවෙන් රාජ නීතිඥ ඊ. ජී. චිට්ටි මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආනන්ද පෙරේරා මහතා සහ අධිනීතිඥ එල්. බී. ටී. ප්‍රේමරත්න මහතා පෙනී සිටියහ.
බුද්ධරක්ඛිත වෙනුවෙන් රාජ නීතීඥ ඊ. ජී. වික්‍රමනායක මහතාද, ජයවර්ධන වෙනුවෙන් අධිනීිතිඥ ඇම්. ඇම්. කුමාර කුලසිංහ මහතාද, සෝමාරාම වෙනුවෙන් ලුෂන් ජී. වීරමන්ත්‍රි මහතා ද පෙනී සිටියහ.
මතු සම්බන්ධයි.
ප්‍රේමලාල් රණවිළ