“කදීම කවියක් කියන්න හිටියා නොදීම යයි මේ හොරගෙඩි පැටියා”


 

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්වරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ප්‍රබල රජයක් අන්ත පරාජයට පත් කරවමින් ආණ්ඩු විපර්යාසයකින් බලයට පත් මහජන පක්ෂයත් පෙරමුණු රජය හෙල්ලුම් කවන්නට සමත්වූ කුඹුරු පනත අතිශයින්ම ප්‍රගතිශීිලි පියවරක් බවට අඳ ගොවියන්ගෙන් පැසසුම් ලබද්දී කුඹුරු හිමියන්ගේ විරෝධය නැග ආවේ දක්‍ෂිණාංශික ප්‍රබල ඇමතිවරුන්ගේද ආශිර්වාදය ලබමිනි. 


කොළඹ - කොටුවේ ගෝඩන් උද්‍යානයේදී මැති ඇමති සෑහෙන පිරිසකගේ සහභාගීත්වයෙන් කුඹුරු පනත විරෝධී පෙළපාළියක් උද්ඝෝෂණයක් නැග එද්දී මහජන එක්සත් පෙරමුණු රජයේ නියමු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට සිදුවූයේ තම ඇමති සගයන්ගේ සටන් පාඨවලට කන්දෙන්නට පළමු මහවලතැන්න පරාසයක් පුරා විහිදී ඇති රත්වත්තේ බූදලයට අයත් පේනතෙක් මානයේ පැවති කුඹුරු යායවල් වෙනුවෙන් තම රොස්මිඞ් නිවසේ කුස්සියෙන් නැගෙන රොස්පරොස් බස්වලට මැසිවිලිවලට කන් දෙන්නටය. ජනසම්මතවාදි, පොදුජන හිතැති සමාජවාදි රජයකැයි ජනතාව ඉදිරියේ උදම්ඇනූ බණ්ඩාරනායක තම දෑවැද්දට ලැබුණු කුඹුරු යායවල් පවා තමාගේ නායකත්වයෙන් ඇති කළ රජයක් යටතේ කුඹුරු විශාල ප්‍රමාණයක් අහිමිවීම ඉවසුම් සහගත කරුණක් නොවන වග දැන දැනත් කුඹුරු පනත නිර්මාතෘ පිලිප් ගුණවර්ධන ඇමතිවරයාට මොනයම් අන්දමක හෝ බලපෑමක් කිරීමට ඒ අවස්ථාවේ උත්සාහ නොගත්තේය. 


ගෝඩන් උද්‍යානයේ සිට මුදුන් මට්ටමෙන් හමාගිය පනත විරෝධී සුළි සුළඟ අඩපණවීමට කිසිවක් කර ගත නොහැකිව හෝ බණ්ඩාරනයක කෙළින් සිටීමට ගත් වෑයම අගයමින් වමේ අංශ තදබල මුක්කුවක් ගැසීම නිසා සුළි සුළඟ මද සුළඟක් වූයේ අනුක්‍රමයෙනි. 


බණ්ඩාරනායක කැබිනෙට්ටුවේ දක්ෂිණාංශය පිළිබඳව කිසිම හැඟීමකින් තොරව මාක්ස්වාදී න්‍යාය දේසේ හැටියට තෙම්පරාදු කර ගනිමින් අමාත්‍ය පිලිප් ගුණවර්ධන, පී. එච්. විලියම්ද සිල්වා ඇමතිවරයාත් සමග හීන් නූලෙන් වැඩ කරගෙන ගියේ තමන් දෙදෙනා ආණ්ඩුවෙන් එළවන්නට අගමැති බණ්ඩාරනායකට දක්ෂිණාංශික ඇමතිවරුන්ගේ බලකිරීම ගණනකටවත් නොගනිමිනි. අතළොස්සක් වන කුඹුරු හිමියන්ට වඩා බහුතර ජනතාවගේ හඬ ඔහුගේ සමාජවාදි ගමනට රුකුලක්ද වූ බැවිනි. 


ඇමති පිලිප් ගුණවර්ධන තම කුඹුරු පනත පිළිබඳව දීපව්‍යාප්ත රැස්වීම් මාලාවක් පිළියෙළ කරවමින් ඒ හැම රැස්වීමකටම වාගේ පෞද්ගලිකව තමාම සහභාගි වූයේ මාක්ස්ගේ න්‍යායෙන් මුවහත්වූ තම මුඛරි හඬින්ම කරුණු කාරණා ඉදිරිපත් කිරීම සාර්ථක විය හැකි බවට ඇදහූ බැවිනි. 


එවැනි රැස්වීමක් තෙල්දෙණිය හා අවට ගම්මාන රැසක අල ගොවියන් හා පිලිප්වාදින් විසින් දුම්බර විද්‍යාලීය ශාලාවේදී පැවැත්වූයේද ඇමති පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙනි. මේ සඳහා දක්ෂිණාංශයට බර කුඹුරු හිමියෙකු වූවත් එම්. බී. ඩබ්ලිව්. මැදිවක උපඇමතිවරයාත් ඊට සහභාගි විය. රැස්වීම් ශාලාව පුරා ජනයාගෙන් පිරී පැවතුණ අතර මුලසුන පිරිනැමී තිබුණේ ඓතිහාසික බඹරගල රජමහා විහාරයේ අධිපති සංඝනායක බඹරගල චන්දජෝති නායක හිමියන්ටය. 


චන්ද්‍රජෝති හිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් යුත් බඹරගල රජමහා විහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නින්දගම් වශයෙන් පූජා කරන ලද ඉඩම් අතර උඩිස්පත්තුව ප්‍රදේශයේ පොද්දලගොඩ වැනි ගම්මානවල විශාල ප්‍රමාණයෙන් යුත් කුඹුරු යායවල්ද විය. මේ හේතුවෙන් කුඹුරු පනතින් විහාරස්ථානයට අයත් කුඹුරුවලට පවා හෙණහුරා ලැබීම පිළිබඳව දැඩි කෝපයෙන් පසුවූ උන්වහන්සේ මෙම රැස්වීමේදී මොන අවුලක් පටලවා ගනීදැයි එතුමන් ගැන දන්නා පිරිස් අතර කසුකුසුද ඇතිවිය. 


බඹරගල චන්ද්‍රජෝති නායක හිමි යකෙකුටවත් භය නැති යතිවරයාණන් වහන්සේ නමකි. තදබල එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ උන්වහන්සේ පක්ෂයේ නායක කාරකාදින්ගේ ඉමහත් ගෞරවයට පාත්‍රවූ හිමිනමක් වූ අතර වරද දුටු තැන තැන නොතැන බලා මුණටම දෙසාබාන හිමි නමකි. අගමැති ඩී. ඇස්. සේනානායක ඇමති ඒ. රත්නායක සමගද උන්වහන්සේ හැප්පී ඇති වාර බොහෝය. 


පිලිප්ගේ දේශනය ආරම්භ විය. කුඹුරු පනතේ ඇති වැදගත්කමත් කුඹුරු හිමියන් වැඩවසම් යුගයේ සිට ඉතා අසාධාරණ හා කුරිරු ලෙස අඳ ගොවියන් පාගාගෙන ඔවුන්ගේ දහඩිය ලෙයින් සුරසැප විඳි බවත් සුපුරුදු ලෙස හිස දෙපැත්තට වනමින් කුඹුරු හිමියන් පතුරු ගසද්දී බඹරගල නායක හාමුදුරුවන් කෝපාග්නියෙන් දැවි දැවී හිටියේ තම වාරය එනතුරුය. 


අඩහෝරාවක් පමණ කුඹුරු පනතින් අඳ ගොවියන්ට සැලසෙන සුවිශාල ලාභයද විස්තර කළ ඇමති පිලිප් ගුණවර්ධන නායක හාමුදුරුවන් වෙතට හැරී හාමුදුරුවනේ දන්නවාද ඒකයි, ඇසීමෙන් දෙකොන ගැට ගැසුණු දුන්නේ එක් කොනක බැමි බුරුල් කිරීමෙන් එක්වරම කෙලින් වන්නාසේ මුලසුනෙන් නැගී සිටි නායක හිමියන් “ඔව් මං දන්නවා”යි ගුගුරමින් තම දේශනය ආරම්භ කරද්දී වේදිකාවෙන් බැස යන ඇමතිවරයා දෙසට දකුණත එල්ල කරමින් ‘කදිම කවියක් කියන්න හිටියා නොදීම යයි මේ හොරගෙඩි පැටියා’ යයි මුළු ශාලාවම දෙවනත් කරමින් පැවසුවේ රැස්වීමේ සිටියවුන් බිරාන්ත කරවමිනි.

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර