“ක්‍රිකට්” දේශපාලනයේ පුරාණය


ක්‍රිකට් යනු ක්‍රීඩාවකි. අපට වැටහෙන ආකාරයට, කවුරුත් කෙසේ විග්‍රහ කළද බොහෝ කලෙක සිටම ක්‍රිකට්වලට දේශපාලනය සම්බන්ධය. අද සිදුවන බොහෝ දේ අනුවත් අපට නිසැකවම පෙනී යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ බවත් එහි දියුණුවට මෙන්ම පරිහානියට ද මෙම දේශපාලන සහභාගිත්වය බලපා ඇති බවත්ය.

මෙය ලියන ඔක්තෝබර් 16 වැනිදා දිනපතා පුවත්පත්වල මුල් සිරස්තල සැරසෙන්නේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ගැන පුවතකිනි. අපට වැටහෙන හැටියට සනත් ජයසූරිය මහතා වර්තමානයේ දී දේශපාලනඥයෙකි. පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු ඔහු කරළියේ දකින්නට නොලැබුණා වූවත් ක්ෂේත්‍රයෙන් සමුගන්නා බවක් ප්‍රකාශයට පත් කළේ නැත. මහා මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද සත්‍යයකි. කෙසේ වූවත් අප මෙම ලිපියෙන් කතා බස් කරන්නට යන්නේ ඔහුගේ දේශපාලනය ගැන හෝ අයි.සී.සී. පරීක්‍ෂණ ගැන හෝ නොවේ. සමස්ත ශ්‍රී ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ දේශපාලනයට අදාළ හැසිරීම ගැනය. එම පුරාණය ගැනය.


ක්‍රිකට් ක්ෂේත්‍රය පාලක, ක්‍රීඩක, රසික විචාරක වශයෙන් කොටස් කීපයකට බෙදිය හැකිය. පුද්ගලයන් ලෙස සලකන විට මේ සෑම කෙනෙකුටම දේශපාලන මතයක් තිබෙන බව නිසැකය. එය අපේ මාතෘකාවට අදාළ නොවේ. අපි මේ අයුරින් කතාව ආරම්භ කරමු. වර්ෂ 1882 සැප්තැම්බර් මස 05 වැනිදා “කලම්බු ජර්නල්” නම් පුවත්පතේ මෙවැනි දැන්වීමක් පළ කර තිබුණි. “ක්‍රිකට් සමාජයක් පිහිටුවා ගැනීම සඳහා සහාය දැක්වීමට කැමැත්තක් ඇල්මක් තිබිය හැකි මහතුන්ට 08 වැනි ශනි දින හරියටම අපරභාග 2.00ට පුස්තකාලයට පැමිණෙන්න. (පුස්තකාලය පිහිටා ඇත්තේ කොළඹ - පිටකොටුවේය.) මෙම ආරාධනය අනුව පැමිණ සිටි පිරිස මුළුමනින්ම පාහේ බි්‍රතාන්‍ය ජාතිකයෝ වූහ.

ලංකාවේ ප්‍රථම ක්‍රීඩා සංගමය වූවේ මෙම සංවිධානයයි. එය කොලොම්බු ක්‍රිකට් ක්ලබ් නම් වූ අතර සී.සී.සී යනුවෙන් හැදින්වුනි. එහි ආරම්භක යුගයේ ක්‍රීඩාපිටිය වූවේ ගාලුමුවදොර පිටියයි. ප්‍රථම විද්‍යාලාන්තර තරගය රාජකීය - ශාන්ත තෝමස් විදුහල් දෙක අතරය.

මුල්ම තරඟය පවත්වා ඇත්තේ 1879 වසර තරම් දුර ඈත අතීතයකදීය. එකල රාජකීය විදුහල කලම්බු ඇකඩමි යන නමින් හැඳින්වූ බව සඳහන් වේ. එකල ක්‍රීඩා කණ්ඩායම් දෙක පිටියට පැමිණ ඇත්තේ තිරික්කල්වලිනි. තරග පැවැත්වුණේ ගාලු මුව දොර පිටියේ නිසා සමහර ක්‍රීඩකයෝ ඔරු මගින් බේරෙ වැව තරණය කර පැමිණියහ.


ක්‍රිකට් ක්‍රීඩකයන් පසුකල දේශපාලනයට පැමිණීම නිතරම පාහේ සිදුවූවකි. එසේ පැමිණ කතානායක මැති ඇමති ආදී තනතුරුවලට පමණක් නොව එවකට රාජ්‍ය නායකත්වය පැවරී තිබුණු අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ අයද වෙති. එයින් ප්‍රබලම චරිතය වන්නේ අගමැති ඩඞ්ලි සේනානායක මහතාය. කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම්වලට ඒ මහතා ක්‍රීඩා කර ඇති බව කියති. පසුව හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඇෆ්. සී. ද සේරම් මහතා 1944 - 1945 වසරවල දී සමස්ත ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ බව වාර්තාවල සඳහන් වේ. ඒ මහතා ක්‍රියාකාරි දේශපාලනයේ කටයුතුවලට සම්බන්ධ වූ බවට නොකියැවෙන නමුදු 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ ප්‍රබලම දෙතුන් දෙනා අතරින් එක් අයෙකු වූ බව නඩු විභාගයේ දී හෙළි විය.

එමෙන්ම ඔහු පොලිසියට කට උත්තර දී තිබුණේ “මේක කළේ මමයි, සම්පූර්ණ වගකීම මම භාර ගන්නවා අනෙක් අය නිර්දෝෂීයි. දෙන දඬුවමක් මට ලබාදෙන්න” කියාය. කෙස් ගසක පමණ වෙනසකින් ගැස්සී නොගියානම් කර්නල් ඇෆ්. සී. ද සේරම් කුමන්ත්‍රණයෙන් පසු බිහිවන හමුදා ජුන්ටා රජයේ ප්‍රධාන ඇමතිවරයෙකු වන්නට තිබුණි. ඔහුගේ ක්‍රිකට් කණ්ඩායමේ එක් සාමාජිකයකු වූවේ ප්‍රකට මිනීමැරුමක විත්තිකරුවෙකු වූ මහාදේව සතාසිවම්ය. ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය ගැන සැලකීමේ දී ලංකාවේ විදේශීය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කර තිබෙන්නේ 1964 අගෝස්තු 31 වැනිදා ඉන්දියාවේදීය. එකල එම තරග හඳුන්වා තිබුණේ නිල නොවන ටෙස්ට් තරග වශයෙනි. සඳහන් වන අන්දමට ශ්‍රී ලංකා පිල මෙහෙයවා ඇත්තේ මයිකල් තිසේරා මහතාය. ඉන්දියා පිලේ නායකත්වය දරා ඇත්තේ දේශපාලනඥයෙකි. ඔහු එකල ඉන්දියාවේ මහාරාජා පදවියක් දැරූ නවාබ් පතවුදීන්ය. මේ කියන සමයේ මහාරාජාවරු තමන්ගේ ප්‍රදේශවල මහත් බලයක් තිබූ පාලකයෝ වූහ. පසුව මහාරාජාවරුන්ගේ බලතල අහෝසි කරන ලදී. නවාබ් පතවුදීන් විවාහ වී සිටියේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු නමින් දැනගෙන සිටි හින්දි සිනමාවේ ප්‍රකට සුරූපී නිළි ශර්මිලා තාගෝර්ය.


මුල් යුගයේ දේශපාලකයන් ක්‍රිකට්වලට සම්බන්ධ වී ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරුන් වශයෙනි. 1948 ජූනි 25 වැනිදා ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටුවනු ලැබූ අතර එහි ප්‍රථම සභාපතිවරයා වූවේ පී. සරවනමුත්තු මහතාය. ඔහුගෙන් පසු එකී සභාපතිධූරයට පත් කරනු ලැබූ සෑම කෙනෙක්ම පාහේ දේශපාලනඥයන් වීම විශේෂත්වයකි. මුදල් ඇමතිකමේ සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා එසේ පත්වීම් ලැබූ ප්‍රථමයා විය. ජේ. ආර්. ගෙන් පසු එවකට අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතාගේ සොහොයුරු රොබට් සේනානායක, සමසමාජ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යන මහත්වරු පත් වුහ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට ප්‍රබල දේශපාලකයෙකු පත් කර ගැනීම මගින් ක්‍රීඩාවේ දියුණුව සලසා ගැනීමට හැකිවෙතැයි එදා විශ්වාසයක් පැවති බව මෙමගින් අදහස් කළා සේ පෙනේ. ඉන් පසුව පත් වූ සභාපතිවරයා වූ ටී. බී. වේරපිටිය මහතාද 1977 මහා මැතිවරණයෙන් පාතදුම්බර ආසනය දිනා පාර්ලිමේන්තුවට පත්ව ආ මන්ත්‍රීවරයා මෙන්ම ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිවරයා ද වූවේය. අනතුරුව පත්වූවේ ඉඩම් සහ මහවැලි සංවර්ධන ඇමතිවරයා වූ ගාමිණී දිසානායක මහතාය. ඇමති ධූරයේ කටයුතු සම්බන්ධයෙන් ඇති වූ බි්‍රතාන්‍ය රජයේ ඉහළම බලවතුන් සමඟ පවා තිබුණු කිට්ටු හිතවත්කම ලංකාවේ ක්‍රිකට් පෙරට මෙහෙයවීමට පහසුවනු ඇතැයි ක්‍රිකට්වලට සම්බන්ධ අය අතර සාකච්ඡාවෙනු මම අසා තිබුණි. එම කියමන්වල සත්‍ය අසත්‍යතාව කුමක් වුවද එතෙක් කලක් නොයෙක් බාධක මත පමාවෙමින් තිබුණු ලංකාවට ටෙස්ට් තත්ත්වය ලබා ගැනීම සාර්ථකකර ගැනීමට ගාමිණී දිසානායක මහතා සමත් වූ බව සඳහන් කළ යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට ලංකාවට ටෙස්ට් තත්ත්වය දිය යුතු යැයි යෝජනා කළේ පකිස්ථානයේ නියෝජිතයාය.


ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීතිවල එකල පුදුමාකාර ව්‍යවස්ථාවක් තිබුණි. එයින් කියවුණේ අලුතෙන් රටකට ටෙස්ට් තත්ත්වය ප්‍රදානය කරන්නේ නම් එහි සාමාජිකත්වය දරන අනෙක් රටවල් සියල්ල පක්‍ෂ වූවත් එම ක්‍රීඩාවේ ආරම්භක රටවල් දෙක ලෙස සැලකෙන එංගලන්තය හා ඕස්ටේ්‍රලියාව යන රටවල් දෙකෙන් එක රටක් විරුද්ධවුවහොත් සාමාජිකත්වය නොලැබේ. එය නිශේධ බලය පාවිච්චි කිරීමක් වූවේය. ඉන්දියාව, පාකිස්ථානය, බටහිර ඉන්දියානු කොදෙව් ලංකාවට ටෙස්ට් වරම ලබාදීමට පක්‍ෂව සිටියදීත් ඕස්ටේ්‍රලියාව නවසීලන්තය හා මහා බි්‍රතාන්‍යය විරුද්ධවීමෙන් එහි පෙරකී රීතිය යටතේ 1980 දීත් අපේ අරමුණ පරාජය විය. එය ඉටුවූවේ 1981 දීය. ඒ සඳහා ගාමිණී දිසානායක මහතා ඉටුකළ කාර්යභාරය අති විශිෂ්ටය.


ටෙස්ට් තත්ත්වය ලැබීමෙන් පසු ප්‍රථම තරගය 1982 පෙබරවාරි මස 17, 18, 19, 20 සහ 21 වැනි දින යන්හි දී පැවැත්වුණි. කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී එම තරගය පැවැත්වුණේ ලංකාව හා එංගලන්තය අතරය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ටෙස්ට් තරගයේ නායකත්වය දැරීමේ ගෞරවය හිමිවූයේ බන්දුල වර්ණපුර මහතාටය. එහි ප්‍රබලයන් වෙමින් අනුර තෙන්නකෝන්, දුලිප් මැන්ඩිස්, රන්ජන් මඩුගල්ල, රෝයි ඩයස්, ඩී. ඇස්. ද සිල්වා සහ අර්ජුන රණතුංග යන ක්‍රීඩකයෝ ඇතුළත් වූහ. එහිදී ශ්‍රී ලංකාව අසාර්ථක වූවේ දින හතරකදී තරගය නිමාවෙමිනි.


යාන්තමින් හිස එසවීමට තැත් කරමින් සිටි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බරපතළ පසුබෑමකට ලක් කරමින් දේශපාලන කාල බෝම්බයක් පුපුරා ගියේ 1982 සැප්තැම්බරයේදීය. දකුණු අප්‍රිකානු රාජ්‍යය අනුගමනය කළ දැඩි වර්ණභේදවාදී ප්‍රතිපත්තිය ලෝකයේ බොහෝ රාජ්‍යවල බලවත් විරෝධයට හේතු වී තිබුණි. මෙයට දඬුවමක් වශයෙන් 1962 දී එය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හැරුණි. එමෙන්ම සමස්ත ජාත්‍යන්තර ක්‍රියාවලියෙන්ම කොන්කර දමනු ලැබීය. 


ඒ වන විට ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් සිටි රටක් වූවද මෙම ජාත්‍යන්තර කොන් කිරීමට අනුව තරගවලට සහභාගි වීම වළක්වා නීති පැනවුණි. එනිසා කිසිම රටක් සමග ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාවට තරග නොලැබුණි. ධනයෙන් පොහොසත් රටක් වූ එරට දියත් කළ ක්‍රියාමාර්ගයකට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක බන්දුල වර්ණපුර සහ තවත් ටෙස්ට් ක්‍රීඩකයන් හය දෙනෙකුද සහිතව 13 දෙනෙකුගෙන් යුතු පිරිසක් දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදුනහ. එය ජාත්‍යන්තර නීතියක් කඩ කළ අවස්ථාවක් වූවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බලවත් අපහසුතාවකට මුහුණ දුන්නේය. ටෝනි ඕපාත, ලලිත් කළුපෙරුම, අජිත් සිල්වා, ආදී දක්‍ෂයෝ රැසක් මෙම සංචාරයට එක් වූහ. මෙහි ප්‍රතිඵලය වූවේ මෙම පිරිසට වසර 25ක ක්‍රීඩා තහනමක් පැනවීමයි. මෙම හිතුවක්කාර සංචාරයට එක් වූ අයට මුදල් සම්භාරයක් ලැබුණාවූවද දක්‍ෂ ක්‍රීඩක පිරිසක් ශ්‍රී ලංකාවට අහිමි විය.


ක්‍රිකට් ක්‍රීඩා පාලනයේ තවත් දේශපාලන සටහනක් තබමින් මොරටුව මන්ත්‍රී සහ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතා පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි වැඩියෙන් විදේශ තරග වාර ලබාදෙමින් දේශපාලන නිල බලය උපයෝගී කර ගනිමින් ඒ සංචාරවලට අනුග්‍රාහකයන් සොයා ගනිමින් විශාල මෙහෙවරක් ඉටු කළේය. එය රුපියල් ලක්‍ෂ 700ක් බව වාර්තාවන්හි දැක්වේ. දේශපාලන බලවතුන් ක්‍රිකට්වල තනතුරු දැරීමේ වාසිය එමගින් ප්‍රකට විය. නව සභාපති ටිරෝන් ප්‍රනාන්දු මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බැරිස්ටර්වරයෙකු ලෙස සමත්ව නීති වෘත්තියේ යෙදුණු බුද්ධිමතෙකි. පසුව ජනාධිපති නීතිඥයෙකු වශයෙන්ද පත් කරනු ලැබුවේය.


වර්ෂ 1996 දී විල්ස් ලෝක කුසලාන ශ්‍රී ලංකාව විසින් දිනා ගැනීම මෙරට ඉතිහාසයේ ක්‍රිකට් පිළිබඳ උපරිම තලයට පත්වීම සනිටුහන් කළේය. එය අප කණ්ඩායම දිනාගත්තේ බලවත් පීඩනයක් යටතේය. එවකට උග්‍රව පැවති එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම්වල එක් පියවරක් වශයෙන් 1996 ජනවාරි 31 වැනිදා කොළඹ කොටුවේ මහ බැංකු මූලස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේය. මෙහිදී ජීවිත 90ක් විනාශ විය. දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම සිදුවීම වන විට ලෝක කුසලාන තරගා මාලාව ආරම්භ කිරීමට ඉතිරිව තිබුණේ දින එකොළහක් පමණි. එවැනි මානසික පීඩනයක් යටතේ සටනට පිවිසි අර්ජුන රණතුංගයන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල ලබාගත් ජයග්‍රහණය තරග මාලාවක් දිනීමක් නොව යුද්ධයක් දිනීමක් බඳු විය. ලෝක කුසලාන ජයග්‍රහණයෙන් දේශපාලනයට පිවිසීමට වරම් ලැබූ දෙදෙනෙකු වන්නේ අර්ජුන රණතුංගයන් හා සනත් ජයසූරියන්ය. 


එයින් අර්ජුනට පවුල් පසුබිමෙන් උරුම වූ දේශපාලන උරුමයක් තිබිණි. ඔහුගේ පියා 1989 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්ව 1994 දී පොදු ජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණයෙන් පසු එම රජයේ නියෝජ්‍ය ඇමති සහ කැබිනට් අමාත්‍ය පදවි ලැබූ රෙජී රණතුංග මහතාය. සමසමාජ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ පෞද්ගලික ලේකම්ධූරය දැරූ සේන ගුණසේකර මහතා අර්ජුනගේ මවගේ සොහොයුරාය. වාමාංශික මත වාදය ගරු කළ මාමවරු කෙළින් කතා කළ කෙළින් වැඩ කළ අය වූහ. මා පෞද්ගලිකව ඇසුරු කිරීමේ භාග්‍ය ලද එම අය නිසැකවම අවංක හා එඩිතර පුද්ගලයෝ වූහ. එම ආභාසය මව්පිය දෙපාර්ශ්වයෙන්ම අර්ජුනට ලැබෙන්නට ඇත. ඔහු එම ක්ෂේත්‍රයේ පෙරළිකාරයෙක් වූවේ එම උරුමයත් සමග යැයි මම අනුමාන කරමි. රටේ ආකර්ෂණය දිනා ගත් චරිත මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමට දේශපාලන නායකයෝ උනන්දු වෙති. විශේෂයෙන් මනාප ක්‍රමය ක්‍රියාත්මක වීමේදී මෙය අතිශයින්ම වැදගත් වේ. සනත් ජයසූරියන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිදුවන්නේ මේ ආකාරයටය. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මගින් ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට පිවිස ඔහු නියෝජ්‍ය ඇමතිධූරයක්ද හෙබවීය.


මම ක්‍රිකට් ගැන දන්නා දෙයක් නැත. එහෙත් ඒ පිළිබඳව සුළු අත්දැකීම් කීපයක් ඇත. 1969 පමණ කීත් ප්ලැචර්ගේ නායකත්වයෙන් එංගලන්තයේ ඇම්.සී.සී කණ්ඩායම තරග සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේය. කොලින් කටුඞ්රි, බැසිල් ඩී ඔලිවේරා, ආදී ප්‍රබල ක්‍රීඩකයෝ එංගලන්ත පිල නියෝජනය කළහ. මයිකල් තිසේරාගේ ශ්‍රී ලංකා කණ්ඩායමට කෙහෙල්ගමුව, සහබන්දු, අනුර තෙන්නකෝන් ආදීහු ඇතුළත් වූහ. මෙම තරගය පැවතුණේ වනාතමුල්ල ඕවල් ක්‍රීඩාංගණයේදීය. ඒ කාලයේ ක්‍රීඩාපිටියට ආසන්නයේ පවතින ගුවන්පුර මහල් නිවාස ඉදිකෙරෙමින් තිබුණි. පිටියේ ඇතුළත සිට තරග නැරඹීමට යන අධික මිල ටිකට් පත් නොගෙන එම නිවාසවල සිට තරග නැරඹීමට ඉදිකිරීම්කරුවෝ අවසර දුන්හ. රුපියලක මුදලක් ගෙවා අපි ක්‍රීඩා නැරඹුවෙමු.


අර්ජුන රණතුංග ඇමතිතුමා මා දැන හඳුනාගෙන සිටියේ එතුමා ක්‍රීඩාවට තබා ආනන්ද විද්‍යාලයටවත් ඇතුළත්ව නොතිබුණු ළමා අවදියේදීය. ඔහුගේ පියා වූ රෙජී රණතුංග මහතාගේ දේශපාලන කටයුතුවල ලේකම්වරයා ලෙස මා කටයුතු කරද්දී එම පවුලේ සාමාජිකයෙකු තරමට මම සමීපව කටයුතු කළෙමි. ආනන්දයේ දී පියවරෙන් පියවර ඔහු ක්‍රිකට් ලෝකයේ ගොඩනැගෙමින් එද්දී අපි ප්‍රීතියට පත් වූවෙමු. දහතුනෙන් පහළ ආනන්ද කණ්ඩායමේ සිටිය දී ඔහු ද්විත්ව ශතකයක් නොදැවී වාර්තා කළ දිනයේ අපේ සමීප මිතුරු කණ්ඩායම එක්ව සාදයක් පැවැත්වීමු. “අපේ අර්ජුන බබා” නිසා ක්‍රිකට් ද අපේම විය.


වර්තමානය වන විට සමස්ත සමාජයම මුදල් හා ධනය නිසා දුඟද හමන නරා වළක් බවට පත්ව තිබේ. පස් පියුමෙන් සුසැදි නිල් දිය පොකුණක්ව පැවති ශ්‍රී ලාංකික ජන සමාජය එසේ අපවිත්‍රව යාමට හේතු වූ ප්‍රධානම සාධකය ධන තණ්හාවය. ක්‍රිකට් යනු ද සමාජයේ එක් අංශයක් පමණි. බුදුන් වහන්සේ මුදල් උපමා කළේ සර්පයෙකුටය. 


පා ගමනින් භික්‍ෂු සංඝයා පිරිවරා ගෙන උන්වහන්සේ වැඩමවද්දී රන්මසුරන් පිරි දහසින් බැඳි පියල්ලක් මහ මග වැටි තිබෙනු දුටු සේක. එවිට “ආනන්දය සර්පයා දුටුවේදැයි” එතුමෝ විමසූහ. මුදල් නම් සර්පයා අපේ සමාජයේ සෑම අංශයක්ම ව්‍යසනයට ලක් කරමින් තිබේ. මහත්වරුන්ගේ ක්‍රීඩාව යැයි අතීතයේදී හැඳින්වුණු ක්‍රිකට්වලටත් මෙම සර්පයා ගොඩබැස ඇත. පාලක ක්‍රීඩක දෙපාර්ශ්වයටම බරපතළ චෝදනා නැගෙමින් තිබේ. සර්පයා විසින් ඔවුන් ගිලගෙනදැයි සැකයක් ජනතාව තුළ ඉපදී තිබේ. අයි.සී.සී. පරීක්‍ෂණ, කොමිසන් සභා, පරීක්‍ෂණ කමිටු ආදිය ගැන කතාබහට ලක්වෙනු ඇසේ. මේ කුමක් පත් කළත් කුමන වාර්තා ඉදිරිපත් වූවත් සර්පයා අල්ලාගත නොහැක. මන්දයත් මේවා වැළැක්වීම සඳහා තම තමන්ම තීරණ ගෙන අදාළ පිරිස්ම කටයුතු කළ යුතුය. එය ආකල්මය වෙනසක් විය යුතුය. නොඑසේනම් සිදුවනු ඇත්තේ පිදුරංගල සිද්ධිය යළි යළිත් දෙතුන් ගුණයකින් ප්‍රතිනිර්මාණය වීම පමණක් බව නොකියා සිටිය නොහැකිය. මේ ක්‍රිකට් ගැන නොදන්නා මගේ අදහසයි.

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි