“තෙරුවන් සරණේ පිහිට දරාගෙන ගොවිතැන් කෙරුමට නඩු යනවෝ”


බඩ ගින්නට එරෙහි වීදි සටන් - 02

 

 

බලාපොරොත්තු වූ අයුරින්ම පොලීසිය මඟ හරස් කළහ. බඩගිනි පෙරහැර මාර්ගය මැද නැවතිණ. බඩගිනි නිවන හමුදාව රජයේ මුඩු බිම් සමඟ සටන් වැදෙමින් සිටියහ.

 

‘නැවතියල්ලා, වෙඩි කන්න ඕනෑනම් පලයල්ලා. කැලෑ කපන්න යනවා නම් කෝ උඹලට ආයුධ, හංගාගෙන තියෙනවා නම් ආයුධ එළියට ගනිල්ලා”


“අපි කැලෑ කපන්න යනවා නොවෙයි. වගාකරන්න ඉඩම් ඕනෙ බවට රටේ ලොක්කන්වයි, ජනතාවයි දැනුවත් කරන්න රැස්වීමක් තියන්නයි යන්නයි” ඒ ධර්මප්‍රියගෙ හඬය. ආණ්ඩුවේ ඉඩම් පෙරළන්න වෙනත් කණ්ඩායමක් යොදවා ඇතිබව නොදත් පොලිසිය ධර්මප්‍රියගෙ උපක්‍රමයට හසුවී රැස්වීම සඳහා යාමට මාර්ගයේ ඉඩ ලබාදුන්හ.


රජයේ මුඩු ඉඩම් වගා කිරීමට සුදුසු බිම් ලෙස සකස් කිරීමට යෙදවූ කණ්ඩායම තම ඉලක්ක ඉටුකර ආපසු පැමිණෙනතුරු රැස්වීම දිග් ගස්වමින් පැවැත්විණ. මෙම ගොවි රැලිය අමතා ඇල්. ආරියවංශ, ධර්මප්‍රිය ජයකොඩි හා මෙම සිදුවීම දැනගෙන එම ස්ථානයට අනාරාධිතව පැමිණි රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඒ. පී. ජයසූරිය මහතාද කතා කළ බව සඳහන්ය.


පාලකයින්ගේ අවහිරය නොතකා එළිකළ ඉඩම් බිම් සකස් කර ගොවිතැනට යොදාගැනුණි. බුසලට රුපියල් දොළසක මිල ගණන්වලට වී මලු දස දහසක් රජයට ලබාදීමට ධර්මප්‍රිය ජයකොඩි පියවර ගත්තේය. එයද උපක්‍රමයකි.


එහෙත් රජය නිහඬ නොවීය. රජයේ ඉඩම් අනවසරයෙන් වගාකිරීමට එරෙහිව රජයට පාඩු කරන ලදැයි චෝදනාව යටතේ ගොවීන් 700කට පානදුර දිස්ත්‍රික් උසාවිය හමුවේ නඩු පවරන ලදි. නඩුවට පෙනී සිටීම සඳහා භික්ෂූන් වහන්සේලා පෙරටු කර ගනිමින් ගොවීන් පෙරහරකින් පානදුර දක්වා යා යුතුයැයි ගොවි සම්මේලනය තීරණය කෙරිණි. නඩු දිනයේදී ගොවීන් පානදුර උසාවියට ගමන් කළේ පෙළපාළියකිනි. හුළු අතු එළියෙන් පාන්දරම පා ගමන ඇරඹුණි. ධර්මප්‍රිය ජයකොඩි විසින් පෙළපාළියට අවශ්‍ය සටන් පාඨ සකස්කර දෙන ලදී.


අපි යනවෝ අපි යනවෝ - ගොවිතැන් කෙරුවට නඩුදාලා


අපි උසාවියට යනවෝ - උසාවියට පා ගමනින් යනවෝ


තෙරුවන් සරණේ පිහිට දරාගෙන - ගොවිතැන් කෙරුවට නඩු යනවෝ


බඩගිනි නිවනා හමුදාවකි මේ - බලන්ට එක් වෙල්ලා


සමනල කන්දෙන් කළු ගඟ එනතුරු - බය නැහැ අපි බය නැහැ


බෙර හා අත් රබන් වයමින් සමහරු නැටූහ. සාධුකාර පවා දුන්හ. නිදිගැට කඩමින් පෙළපාළිය නැරඹීමට පාරට දිව ආ සමහරුන්ට මෙය අරුමයක් වූවාක් වැන්න. රතු කොඩි වනමින් ධර්මප්‍රිය ජයකොඩි හා ඇල්. ආරියවංශ ඉදිරියෙන්ම ගමන් කළහ.


“සිරිබර සොමිරැස් විහිදෙන පුන් සඳ පානේ
සුර බිලිඳුන් වන මල්වල පියලි ගනින්නා
වන දෙව්ලියො වන මල් මත පියවර මැන්නා

මඩකඩ මහා මූකලාන අපි එළි කෙරුවා
පෙරහරකින් ඒ හින්දා උසාවි යනවා
ඉටිපන්දම් හාලේ බත නැහැ අපි කන්නේ
ඒ හින්දයි හේන් කොටා වී වපුරන්නේ 


(උපුටා ගැනීමකි)


පෙළපාළියේ ගැයුණ මේ ගීතයද ධර්මප්‍රිය ජයකොඩි ගෙනි. ගොවි නඩුව සඳහා ගමන් වාර තුන හතරක් ඔවුහු පෙළපාලියෙන් පානදුර උසාවියට ගියහ. ගමන් මඟ දෙපස දන්සල් සංග්‍රහද හිමිවිය. පානදුර නගරයේදී කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ පිරිස ආහාරපානාදියෙන් සංග්‍රහ කළහ. වසර තුනක් පුරා විභාග කළ ගොවි නඩුව පසුව විනිසුරු ක්‍රිෂ්ණදාසන් මහතා විසින් නිශ්ප්‍රභ කරන ලදී. එස්. නඬේසන්, නඩරාජා හා ඒ. වී. ද සොයිසා නීතිඥවරු ගොවීන් වෙනුවෙන් පෙනී සිටියහ.


ධර්මප්‍රිය ජයකොඩි වතු කම්කරු සටන් වලදීද පෙරමුණ ගත්තේය. වතු වර්ජනවලදී වත්තෙන් ඔවුන්ට ලබාදුන් සහල් සලාකය පාලකයෝ කපා දමති. ඉංගිරිය ඇඳුරගල වත්තේ සිදුවූ එවැනි සිදුවීමකදී ධර්මප්‍රිය අරකාවිල ගොවීන් දැනුවත්කර බත්, කොස් තම්බා රැගෙන ගොස් වර්ජකයින්ට සංග්‍රහ කළහ. ධර්මප්‍රිය ජයකොඩිට මාසයක සිර දඬුවම් විඳීමට සිදුවූයේ ගොවි සටන් නිසාය. ඒ 1944 වසරේදීය.


මිනුවන්ගොඩ නගරය සමීපයේ ජීවත් වූ ධර්මප්‍රිය ජයකොඩි සහෝදරයා කොමියුනිස්ට් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සභාවේ ක්‍රියාකාරි සාමාජිකයෙකි.


‘කොළඹ බඩගිනි පෙරහැර’


කොළඹ බඩගිනි පෙරහැර ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් සංවිධානය කළේ සෝමවීර චන්ද්‍රසිරි සහෝදරයාය. සම සමාජයෙන් මොරටුව ඡන්ද කොට්ඨාසයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැස්බෑව ඡන්ද කොට්ඨාසයද නියෝජනය කළ සෝමවීර චන්ද්‍රසිරි නිර්මාණශීලී විරෝධතා මෙහෙයවීමට දක්ෂයෙකි. මෙම උද්ඝෝෂණය බඩගිනි පෙරහැර ලෙස නම් කළේද ඔහු විසිනි.


1945 වසරේදී ගමන් කළ බඩගිනි පෙරහැර ගොවි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළේ නැත. යුද්ධය නිසා ඇති වූ ආර්ථික ප්‍රශ්න, රැකී රක්ෂා හිඟය, රටට පූර්ණ නිදහස දිනාගැනීම, කම්කරු පංතියට අයිතිවාසිකම් දිනාගැනීම හා ආණ්ඩු විරෝධය මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.


උද්ඝෝෂණයේ ආරම්භය කොළඹ, කෙසෙල්වත්තේ යාපා අප්පුහාමිගේ කාර්යාලයයි. ප්‍රයිස් පිටියේදී විරෝධතා රැලියකි. රැස්වීමෙන් පසු විරෝධතාකරුවෝ පෙරහැරකින් ගාලු මුවදොර රාජ්‍ය මන්ත්‍රණ සභාව දක්වා ගමන් අරඹති.

 

 


ප්‍රයිස් පිටියේදී තම පක්ෂ නායකයින්ගේ ආවේගශීලී කතා වලින් රත්වී සිටි ජනතාව රැස්වීමෙන් පසු බඩගිනි පෙරහැරට සූදානම් විය.


“අපේ අරමුණ ජනතාව විඳින දුක පාලකයින්ට අවබෝධ කරදීමයි. යුද්ධය නිර්මාණය කළේ අධිරාජ්‍යවාදීන්. නමුත් එය කඩා පාත්වුණේ නිර්ධන පංතියේ, ගොවි කම්කරුවන්ගේ කරපිටටයි. මිය යන්නේ අපි, අපි අවිහිංසාවාදීව දෙන පණිවිඩය පාලකයින් වටහා ගත යුතුයි. වටහා නොගන්නේ නම් එයද දෙවනුව බලාගත යුතු ප්‍රශ්නයක්” සෝමවීර චන්ද්‍රසිරි බඩගිනි පෙරහැරේ ගමන ආරම්භ කළේ එලෙසින් බව පැවසේ. සාමකාමීව පෙරහැර ගමන් ඇරඹිණි.


රතු වාමංශිකයින්ට පෙරහැරක ගමන් කිරීම නුහුරු අත්දැකීමක් බවත් ඔවුන් පෙරහැර පවා පෙළපාළි බවට පත්කර ගන්නා පෙළපාළිකරුවන් බවත් පැවසේ. සමහරු බඩගිනි බව අංග රචනයෙන් දක්වා නටති. වැලපෙති ‘කන්ට දියෝ’ යනුවෙන් මහ හඬින් විලාප දෙති. සටන් පාඨ රැව් දෙති. දැන් පෙරහැරක් නොව පෙළපාළියකි.


“කන්ට නෑ - ඉන්ට නෑ - වස්ත්‍ර නෑ - රක්ෂා නෑ’ 
බඩගිනියි, බඩගිනියි, බඩගිනියි
ධනවතා වෙරිමතේ - දුප්පතා හාමතේ
බඩගිනියි, බඩගිනියි, බඩගිනියි” (උපුටා ගැනීමකි)


පෙරහැර ගාලු මුවදොර දක්වා ගමනේය. කොටුව දුම්රිය පොළ අසල මාර්ග බාධකයකි. පොලිස් වැටකි, බඩගිනි පෙරහැරට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. පෙරහැර විසිරුණි.


වාමාංශිකයින් නානා මුහුණු වරින් රට පුරාම අරගල කළේ දේශපාලන පරමාර්ථයක් උදෙසාය. එම පරමාර්ථය ජයග්‍රහණය දක්වා ගෙනයාමට වීථි සටන්, උද්ඝෝෂණ හා වර්ජන ගෙනදුන් බලපෑමේ සාර්ථක, අසාර්ථක බව වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.

 


(පුවත් වාර්තා හා පොත් පත් ඇසුරෙනි.)


ගණේමුල්ල බුද්ධි බොල්ලත 
සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික
ඡායාරූප : අන්තර්ජාලයෙනි