“පහනින් පහන දල්වාගෙන පහන් වැට සටනින් දිනා එන්නෙමි මම ගෙයින් ගෙට”


1956 දී බිහිවූ බණ්ඩාරනායක ආණ්ඩුව ගෙන ආ ඇතැම් ප්‍රගතිශීලි යෝජනා වාමාංශික පක්‍ෂවල මතයට ද සමීප විය. එබැවින් සමසමාජ - කොමියුනිස්ට්වාදිහු ඊට එකමුතුව සහාය දුන්හ. ඔවුන්ගේ සතුරන් වූයේ ශ්‍රීලනිපය නොව යු.ඇන්.පිය හා ගතානුගතික පරිපාලන සේවයයි.
 
පරණ ගම්මුලාදැනි ක්‍රමය අහෝසි කළ ශ්‍රීලනිප ආණ්ඩුව ග්‍රාමසේවක ක්‍රමය හඳුන්වා දුන්නේය. ඇමැති ටී. බී. ඉලංගරත්න එහි නිර්මාතෘවරයා විය. 
 
දේශපාලන පළිගැනීමට ලක්වූ රණේපුරට ද වහා කැඳවීම් ලැබිණ. ඒ රජයේ විභාගයට පෙනී සිට ග්‍රාම සේවක පත්වීම් ලබාදීමටය. ඉන් පත්වූ රණේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ පළාතේ පෑලියගොඩ ගඟබඩ වසම ග්‍රාමසේවක ලෙස පත්විණ. වයඹ අයත්වූයේ කඳාන ඩී. ආර්. ඕ. කොට්ඨාසයට.
 
ඩී. ආර්. ඕ. රදල මහන්තත්තය කරපින්නා ගත්තෙකි. වෙනත් කුලවල තරුණයන්ට රජයේ තනතුරු ලැබේදැයි ඔහු තුළ හීන මානයක් විය.
“තමුසෙලා අපේ පරණ රාලහාමිලාට වඩා උගත් පිරිසක්ලුනේ. හැබැයි පුතෝ වරදක් කළොත් එහෙමනම් බේරිල්ලක් නෑ. උදේ අට පහුවුණොත් ගෙදර තමයි යවන්නෙ.
 
ඩී. ආර්. ඕ. නවකයන්ට ගෝරනාඩු කළේය. අනතුරුව  ඔහු පෝර්මයක් පුරවන ලෙස දැන්විය. එහි එන එක් ප්‍රශ්නයක් ගැන රණේට සැකයක් ඇතිවිය.
 
“ඔබේ වංශය කුමක්ද? ” යන්නය. වංශය යනු කුලය විය යුතුය. ප්‍රසිද්ධියේ කුලමල සෙවීම අශෝභනය. රණේ මෙය සගයන්ට දැන්විය.
 
රණේගේ විසඳුම අනුව හිස් තැන පිරවිණ. සියල්ලෝම “දේව වංශය” යැයි ලියා තිබීම නිසා බමුණුවාදී පරිපාලනයේ ප්‍රයත්නය ව්‍යර්ථ විය.
 
රණේ දිගටම සමාජවාදි පිළිවෙත්වලට අනුකුලව කටයුතු කළ නිසා ඔහුට  පෑලියගොඩ නගර සභාවේ සභික ධුරයක් දැරීමට යෝජනා වී තිබිණි.
 
රණේ දිගින් දිගටම දවස පුවත්පතට වාර්තා සැපයිය. වාර්තාකරුගේ නම සඳහන් කරන එකම පත්‍රය නිසා ඔහු දවසට ගරු කළේය. මේ කාලයේ එහි ප්‍රධාන කතුවරයාව සිටියේ දිවංගත ඩී. බී. ධනපාල සුරින්ය.
 
1962 මුදල් අමාත්‍ය පිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අයවැය ලේඛනය සකසමින් සිටියේය. වමේ බළකාය ඊට විකල්ප යෝජනා ගොතමින් උද්ඝෝෂණය කළහ.
 
“අප නොතළා රට නොපලා අය වැය හදනු”
 
මෙම තේමාව යටතේ රටපුරා රැස්වීම් මාලාවක් සංවිධානය විය. ගම්පහ පළාතේ රැස්වීමක් රණේ දවසට වාර්තා කළ අතර එම රැස්වීමම එඞ්මන් පෙරේරා දිනමිණට වාර්තා කළේය. වාර්තාවේ සැරකමට ආණ්ඩුවේ කෝපාග්නිය ඇවිලි ගිය බව පෙනිණ.
 
පසුදාම රණේව ධනපාල මහතා හමුවට කැඳවන ලදි.
 
“තමුන්ද මේ වාර්තාව ලිව්වේ ?”
 
“ඔව් සර් ඒක දිනමිණෙත් ඔය විදියටම ගියා”
 
“තමුසෙ පත්තර රස්සාව කරනවද නැත්නම්  දේශපාලනය කරනවාද?‘’ එනපොට හොඳ නැති බව රණේට වැටහුනි.
 
“සර් ඉඩදෙනවානම් දෙකම   කරන්නම්. සර්”
 
කෝපයට පත් ධනපාල මහතා රණේ එළවීය. නමුත් පඩිපෙළ බසින්නටත් පෙර යළි කැඳවීය.
 
“මං දන්නව තමුසෙ දුප්පතා. තමුසෙට ඔය දෙකම කරන්න ඕනෑ නම් පුතාගෙ නමින් මින් පස්සේ ලියනවා ලෙඩ දාගන්න එපා. ධනපාල මහතා කාරුණිකව කීවේය.
 
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා නායකත්වය දැරූ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළා වූ අතිදක්‍ෂ නීතිවේදියෙකි. දැඩි මතධාරියකු වූ ඔහු තුළ කලාව, ආගම හෝ සාහිත්‍යය රෑදී තිබුණා යැයි අපි අසා නැත.
 
රණේගේ ‘රණරාව’ ඒක පුද්ගල ප්‍රසංගය රටපුරාම වේදිකාගත වෙමින් තිබිණ. කලාරසිකයෝ එම අපූර්ව කවිසරණීය ඇසීමට වැළනොකැඩී පැමිණියහ. ඒත් සමසමාජ පක්‍ෂයට ඇරයුම් පතක් හෝ යැවීමට රණේ නොසිතිය.
 
උණුසුම් ප්‍රතිචාර මැද රණරාව නැගෙද්දී එහි කියැවෙන සමාජවාදී දර්ශනය පිළිබඳව පණිවුඩය පක්‍ෂ නායකයන්ට ද ආරංචි විය.
 
කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාවේ හවස්වරුවක රණරාව නැඟුණේ විද්‍යාලංකාර පිරිවෙනේ නාහිමිවරුන් ඇතුළු මහ සඟරුවනද ගුරුකුල විදුහල්පති හා කැලණි සරසවියේ පුස්තකාලයාධිපති ධුරය දැරූ දිවංගත ටී. ජී. පියදාස වැනි ප්‍රභූන්ගේ ද සහභාගිත්වයෙනි.
 
තුන්වැනි සීනුව වදිද්දී අඩ අඳුරේම උස මහත පුද්ගලයකු ද ඉදිරි පෙළ අසුන් ගන්නවා පෙණින. ප්‍රසංගය අවසානයේ රණේගේ බිරිඳ තිලකා ඔහු සොයා දිව ආවාය.
 
“දන්නවාද වැඩක්. කොල්වින් සහෝදරයා රණරාව බලන්න ආවනෙ. හරි පුදුම වැඬේ. ඔන්න ඔයාට තෑග්ගකුත් දීලා කරුවලේම ගියා. කලබලයට පත් රණේ මහන්සි නොබලා නායකතුමා සොයා දිව්වේය. කොල්වින් රණේ දැක නැවතුණේය. 
 
“ඇයි සහෝදරයා මට කාඞ් එකක් එවුවෙ නැත්තෙ. කොල්වින් නොක්කාඩු ස්වරයෙන් කීය. 
 
“නායක සහෝදරයාට කරදර හින්දයි එහෙම නොකළේ” රණේ හැඩුම් ස්වරයෙන් කීය.
 
“පිස්සුද සහෝදරයා. අපේ කතාවලින් දෙනවට වඩා හොඳ පණිවුඩයක් ඔහේගේ කවිවලින් දෙනවනෙ”  කොල්වින් ඇත්තම කීවේය. එදා සිට රණේ කොල්වින් වෙත අරයුම්පත් යැවීය.
 
කවදත් ග්‍රාම සේවකයන්ට තමන්ගේම කියා කාර්යාලයක් තිබුණේ නැත. එක්කෝ තම කුඩා නිවසේ කාමරයක හෝ පිළිකන්නක එය පවත්වාගෙන ගියේය. ඔවුන්ට කාර්යාල දීමනාවක් ගෙවිය යුතු යැයි චක්‍රලේඛයක් නිකුත් විණ.
ග්‍රාමසේවක කාර්යාලය අඩි 10ං15 අතර විය යුතු යැයි ද සඳහන් විය. තමන්ගේ අඹු දරුවන් සමඟ තෙරපෙමින් ජීවත්වන දුප්පත්  ග්‍රාමසේවකවරුන්ට එය අපහසු කටයුත්තක් විය. ඔවුන්ගේ කාර්යාලය මඩුවකට සමාන විය. කෙතරම් ආයාචනා කළත් ආණ්ඩුවත් නිහඬය.
 
රණේ මීට උපායක් කල්පනා කළේය. රාජකාරි ලිපි ශිර්ෂයෙහි “ග්‍රාමසේවක මඩුව” යැයි සඳහන් කර ඔහු ඉහළ තැන්වලට ලිපි යැවීය.
 
ඩී. ආර්. ඕ. රණේ කැඳවිය
 
තමුසෙ රාජකාරියත් එක්ක විහිළු කරනවද?”
 
මඩුවට මඩුවයි. නොකියා මොනව කියන්නද සර්. රණේ ඇඟට පතට නොදැනි පිළිතුරු දුන්නේය. ඊළඟ මාසයේ සිට ඔහුගෙන් වැටුප් ලේඛනයට කාර්යාලයට දීමනාව එක්කර තිබිණ. ජනපති ජේ. ආර්ගේ සමීපතම සගයා වූයේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැති සිරිල් මැතිව්ය. ඔහුගේ ඥාති පරම්පරාව කැලණි වනවාසල පෑලියගොඩ විසිරි සිටියහ. රණේ ඔවුන් සමග සමීප වුවද ප්‍රතිපත්ති  පාවා නොදුන්නේය.
 
මැතිව් පාර්ශ්වයේ ආර්. ඩී. නෙවිල් ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා රණේ හමුවීමට පැමිණියේය. ඒ ඥාතිකමටය. 
“අන්න අපේ ඇමැතිතුමා ඔහේට කතා කරනවා. 
 
පුදුමයට පත් රණේ දකුණු පය පෙරට තබා  අමාත්‍ය සිරිල් මැතිව් අබියසට ගියේය. ඇමැති තේජස විහිඳුවා ඔහු දෙස බැලු මැතිව් අපුරු යෝජනාවක් ගෙනාවේය.
 
“අයිසේ ඔය කාලකන්නි  සම සමාජෙ පක්ෂය අත් ඇරලා එනවා අපි ගාවට.” රණේට නෑ හිතවත්කම් අමතක විය.
වමේ ගර්වය හිතට නැංගේය. නිවී හැනිහිල්ලේ වදන් ගොනු කළ ඔහු මෙසේ ප්‍රතිවදන් දුන්නේය.
“සර්... සර්ගේ කාලකන්නි යු.ඇන්.පිය අත්අරින්න එදාට මං කාලකන්නි සමසමාජෙ අත් ඇරලා සර් ගාවට එන්නම්.”
මෙ වදන් ඇසු මැතිව්ගේ සහචරයන් බිරාන්ත වූ අතර මැතිව්ද වෙව්ලුම් කෑවේය. “රණේට දර සෑය” හිමිවෙතැයි සමහරු සිතූහ. 
 
“සර්ම හිතල බලන්න ඔබතුමා පිළිගත් සිංහල බෞද්ධ නායකයෙක් ජේ. ආර්ගෙ බලය මත රටේ සිද්ධ වෙන දේවල් පේනව නේද? දැන්ම පක්‍ෂයෙන් අයින් වුණොත් සර්ට ලකුණු වැටේවි.”
 
මේ කියමනෙන් කලකට පසු ජේ. ආර්. සිරිල් මැතිව් පදවියෙන් නෙරපීය. රණේගේ අනාවැකිය හරි ගියේය. ඒ බව දන්වා ඔහු  මැතිව්ට පණිවුඩයක් යැවීය.
 
 “අර යකා... රණේපුර එදා කතාව මතක් කරලා මට ටෙලිග්‍රෑම් එකක් එවලනේ.”
 
මැතිව් සගයන්ට පසා තිබිණ. එහෙත් ජේ. ආර්ට රිදවීමටදෝ එදා පටන් ඔහු රණේපුරගේ ප්‍රාදේශීය පළාත් සභා දේශපාලන ඡන්ද සටන්වල දී අනියම් මාර්ගවලින් යාන වාහන අහාර හා භාණ්ඩ වැනි පහසුකම් සැලසූ බව ප්‍රසිද්ධ රහසකි. මේ එදා රණේගේ හඬයි.
 
 
බුහුමන් කුමට පොදු ජන සෙත සදන්නට
හඳහන් කුමට පෑලියගොඩ උපන් මට
පහනින් පහන දල්වාගෙන පහන් වැට
සටනින් දිනා එන්නෙමි මම ගෙයින් ගෙට
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි