බෝම්බ ප්‍රහාරයට කටුවාපිටිය දේවස්ථානය
පසුගිය ඉරිදා දිවයිනේ කතෝලික දේවස්ථාන තුනකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර තුනක් නිසා තුන්සීයකට වැඩි පිරිසක් මරුමුවට පත්වූ බව මාධ්‍ය වාර්තා කළේය. එදින පාස්කුව සමරණ ඉරිදා දිනය වීමත් එය ක්‍රිස්ත්‍රියානි ආගමිකයන්ගේ ශ්‍රේෂ්ඨ දිනයක් වීමත් ප්‍රහාර එල්ලවූවේ මෙම උතුම් අවස්ථාවට සහභාගිවෙමින් දෙවිදුන්ට ප්‍රශංසා කරමින් යාඥා කරමින් සිටි බැතිමතුන්ට වීමත් නිසා ශිෂ්ටසම්පන්න සමස්ත ලෝකයම කම්පනයට පත්විය.
මිනිස් හදවතට ඉතාම සංවේදී සාධක දෙකක් වශයෙන් ජාතිය හා ආගම සැලකිය හැකි බව මනෝ විද්‍යාඥයෝ පවසති. එනිසාම නිතරම පාහේ ජාති සහ ආගම් භේද මත ගැටුම් ඇතිවීම දැක්විය හැකිය. මෙම හේතුන් නිසාම ආගමික ස්ථානයන්ට පහරදීමේ නොහික්මුණු ක්‍රියාව ඉතිහාසය පුරාම සිදුව ඇති බවට සාක්‍ෂි දක්නට ලැබේ. දුර ඈත අතීතයේදී මිනිසා ආගමික වශයෙන් වන්දනා මානයට, පුද පූජෝපහාරයන්ට ලක් කළේ සොබාදහමේ යම් යම් අංගයන් කෙරෙහිය. විශාල වෘක්ෂ, ගල් පර්වත, ගංගා, වැස්ස, ගින්දර වැනි ස්වභාවධර්මයේ නිර්මාණයන් වෙත වැඳුම් පිදුම් කරමින් ස්තෝත්‍ර ගයමින් තමා සහ තමන් සතු දේ ආරක්‍ෂා කර දෙන ලෙසත් වඩා වර්ධනය කරදෙන ලෙසත් ඉල්ලා සිටීම ආදී කාලීන මිනිසාගේ පුරුද්දක් වූ බව වෛදික සාහිත්‍යයේ දැක්වේ. සෘග්, යජූර්, සාම, අථර්ව වශයෙන් හැඳින්වෙන චතුර්වේදය බිහිව ඇත්තේ ඒ අයුරිනි.
පසුකාලීනව වර්තමාන ආගම් බිහිවීමෙන් පසු එම ආගමික නායකයන්ගේ උපදෙස් පරිදි හෝ ඒ අය සිහිපත් කිරීම වෙනුවෙන් බොහෝ දේවස්ථාන, කෝවිල්, විහාරස්ථාන, සිනගෝග හා ගුරුද්වාර ආදී විවිධ නම්වලින් හැඳින්වෙන සිද්ධස්ථාන ආරම්භ වූ බව කියැවේ. ලක්‍ෂ සංඛ්‍යාත ජනයාගේ ගෞරවයට වන්දනාමානයට පාත්‍රවන මෙම සිද්ධස්ථාන කෙරෙහි අදාළ භක්තිකයන්ගේ නොමද ආදරය සහ ඇල්ම යොමුවීම අතිශයින්ම ස්වභාවික සංසිද්ධියකි. ඒ වෙනුවෙන් තම ජීවිතය පුදන්නට හෝ දිවි පුදා හෝ ආරක්‍ෂා කර ගැනීමට පුහුදුන් මිනිසුත් පෙලඹීම අතීතයේ සිටම දක්නට ලැබුණු සංසිද්ධියකි. ඒ අයුරින්ම සතුරු බලවේග විසින් ඒවා විනාශ කර පළිගැනීම, රිදවීම හෝ එම සංස්කෘතීන් විනාශ කරනු ලැබීම අරමුණු කොටගෙන එම සිද්ධස්ථාන වෙත ප්‍රහාර එල්ලකිරීම සිදුවූ බව ඉතිහාසයේ සෑම යුගයකම පාහේ දක්නට ලැබෙන සිද්ධීන් වේ. නිදසුනක් ලෙස දුර අතීතයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ශාසන විලෝසනයන් දැක්විය හැකිය. එළාර ආක්‍රමණයේදී, කාලිංග මාඝ යුගයේදී මහසෙන් රජු සමයේදී සහ පෘතුගීසි යුගයේදීද මෙවැනි දේ සිදුවූ බව ඉතිහාසයේ දැක්වේ.
වර්තමාන ආගම් තුනක් බිහිවූ කේන්ද්‍රස්ථානයක් ලෙස මැද පෙරදිග කලාපය හඳුනාගත හැකිය. ජෙරුසලම එයින් ප්‍රධාන තැනක් ගනී. යුදෙව් සහ ක්‍රිස්ත්‍රියානි ආගම් එසේ ජෙරුසලමේදී උපත ලද බව කියවේ. ඉස්ලාම් ආගම සෞදි අරාබිය නමින් වර්තමානයේදී හැඳින්වෙන ආසන්න රාජ්‍යයේ මැකා නගරයෙන් ආරම්භ වූ බව විද්වත්හු පවසති. මුල් කාලයේ ජනප්‍රියව පැවති යුදෙව් ආගම මෝසෙස් නම් නායකයෙකු යටතේ පැවති බව පරණ තෙස්තමේන්තුවේ දැක්වේ. නොයෙක් හේතුන් මත බරපතළ වෙනස්කම්වලට ගොදුරු වුණු යුදෙව් ජන සමාජය පාපයට බරවූ බව කියවේ. පාපය, අසාධාරණය, අයුක්තිය, ඊශ්‍රායල් දේශයේ රජකරන ආකාරය දිවැසෙන් දුටු සර්වබලධාරි දෙව් මනෝත්තමයෝ තමන්වහන්සේගේ ඒකජාත පුත්‍රයාණන්ට මිනිස් වෙසක් ලබා දී මනු ලොවට එවූ බව බයිබලයේ සඳහන් වේ. සර්ව පාපයෙන් නිර්දෝෂීව කන්‍ය මරියතුමියගේ කුසින් මනුෂ්‍ය ස්වරූපයෙන් නත්තල් දිනයකදී මෙලොවට බිහිවූ ජේසුස් ක්‍රිස්තුතුමා ක්‍රිස්තියානි ආගමේ නිර්මාතෘවරයා වේ. එහෙත් ජුදෙව් නායකයෝ ක්‍රිිස්තුතුමා කෙරෙහි දැක්වූවේ යහපත් ආකල්පයක් නොවේ. තමන්ගේ වරප්‍රසාද, ලාභ ප්‍රයෝජන ආදීය නව ආගම නිසා අහිමිවන බව දුටු යුදෙව් ආගමික නායකයෝ ක්‍රිස්තුතුමා කෙරෙහි වෛර බැඳගත්හ. එහි ප්‍රතිඵලය වූවේ මහ සිකුරාදා දිනකදී එතුමා කුරුසියේ ඇණගසා ඝාතනය කිරීමයි. මිනිස් වර්ගයා පාපයෙන් ගලවාගනු පිණිස දෙවියන්වහන්සේ විසින් මනු ලොවට එවනු ලැබූ දේව පුත්‍රයාණන් එසේ මරණයට පත්කර දැමීම නොවිය යුක්තක් විය. එසේ ඝාතනය කර මිහිදන් කර තිබුණු ජේසුතුමාණෝ මරණය පරාජය කර පාස්කු ඉරිදා මළවුන්ගෙන් නැගිට සඟ සැප අක්කර ගත්හ. මෙසේ නැගිටීම තමා දේවපුත්‍රයාණන් බව ලොවට ඔප්පු කිරීමේ සංකේතය විය. එනිසා කිතුනුවෝ මහත් භක්තියෙන් පාස්කු ඉරිදා ආගමික කටයුතුවල යෙදෙති.
බෝම්බ ප්‍රහාරයට කටුවාපිටිය දේවස්ථානය
බෝම්බ ප්‍රහාරයට ලක්වූ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රය
මහම්මත් නබිනායකතුමා මගින් දෙවියන් වහන්සේ විසින් නව ධර්මයක් ලොවට දායාද කළ බව මුස්ලිම්වරු විශ්වාස කරති. මහම්මත්තුමා ඝාතනය කිරීමටද ප්‍රතිවාදීහු නොයෙක් විට උත්සාහ කළහ. එයින් ගැලවීම සඳහා එතුමෝ මක්කම සිට මදීනා දක්වා පලාගිය බව එම සාහිත්‍යයේ කියවේ. මෙම දහම ඉතා කෙටි කලකින්ම මුළු මහත් මැදපෙරදිග කලාපයේද ආසියාවේ පර්සියාව (ඉරානය) ඇෆ්ගනිස්ථානය, මොංගෝලියාව හරහා යුරෝපයටද පැතිර ගියේය. යුරෝපයේ බලගතු රාජ්‍යයක් වූ ස්පාක්‍ද්ක්‍ද දේශය පවා මුස්ලිම් ආධිපත්‍යයට යටත් වූ බව කියනු ලැබේ. මෙම රාජ්‍යයන් අතර පේරුසලම අයත් වූ පලස්තීනයද පැවති බැවින් යුදෙව්, ක්‍රිස්ත්‍රියානි සහ ඉස්ලාම් යන ආගම් තුනේම ජනතාවට එම ප්‍රදේශය සුවිශේෂි වැදගත්කමකින් යුක්ත විය. පලස්තීනයේ පාලකයන් විසින් අල් අක්ෂා නමින් විශාල දේවස්ථානයක් ගොඩනගා තිබුණි. ආගමික වැදගත්කම අනුව එම ආගමේ තුන්වැනි ස්ථානය දිනාගත් දේවස්ථානය ලෙස සැලකෙන අල් අක්ෂා පල්ලිය ක්‍රි.ව. 705 දී පිහිටුවන ලද බව පලස්තීන ඉතිහාසයේ දැක්වේ. වරින්වර භූමිකම්පා ආදී ස්වභාවික විපත්වලට ගොදුරුවූ මෙම ඉතා වැදගත් පුදබිම පසුකාලීනව සිදු වූ දේශපාලන වෙනස්කම් නිසා යුදෙව්වාදී ඊශ්‍රායලයේ භූමියට අයත්විය. යුදෙව් ආගමේ ප්‍රධානම දේවමාලිගය (සිනගෝගය) පිහිටියේ මෙම අල් අක්ෂා දේවස්ථානයට යාබදවය. මෙවැනි සංවේදී බවක් දරන මෙම පුදබිම ඊශ්‍රායල් භූමිය උදෙසා දීර්ඝකාලයක් පුරා පැතිර ගිය දේශපාලන උණුසුමට නිරන්තරයෙන් ගොදුරු විය. 1967 හයදින මැද පෙරදිග යුද්ධයේදී එතෙක් ජෝර්දාන් රාජ්‍යයට අයත්ව පැවති මෙම දේවස්ථානය මුළුමනින්ම ඊශ්‍රායලයට අයත් විය. 1969 දී යුදෙව් අන්තවාදියෙකු විසින් එය ගිනි තබා විනාශ කරනු ලැබීම නිසා ඉස්ලාම් බැතිමතුන්ගේ හදවත් සිදුරු කරවන වේදනාවකි. එහෙත් එය නැවත ප්‍රතිසංස්කරණය කර වන්දනාමානයට සුදුසු අයුරින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.
මෙසේ ආගමික සිද්ධස්ථානයක් විනාශකර තම දේශපාලන අභිමථාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අවස්ථාවක් නුදුරු අතීතයේදී ඉන්දියාවේදී සිදුවිය. එම සිදුවීම මෙසේ පෙළගැස්විය හැකිය. හින්දු ආගමිකයෝ බ්‍රහ්මයා විසින් ලෝකය මවන ලද බවත් විෂ්ණු දෙවියන් එය පාලනය කරන බවත් යම් දිනක ලෝකය විනාශ කරනුයේ ඊශ්වර විසින් බවත් විශ්වාස කරති. ඒසා බලවත් වූ විෂ්ණු දෙවිදුන් දස අවතාරයකින් ලෝකයේ උපත ලබන බවත් පැවසේ. එසේ වූ ආකාර දහයකින් ඉපදෙන විෂ්ණු දෙවියන්ගේ එක් අවතාරයක් (උත්පත්තියක්) වනුයේ රාම අවතාරයයි. එතුමෝ (රාම කුමරුන්) ඉන්දියාවේ අයෝධ්‍යා නුවරදී උපත ලැබූ බවත් එම ශුද්ධභූමියෙහි ඈත අතීතයේ සිටම දෙවොලක් රාමකුමරුගේ නාමයෙන් ඉදිකර තිබුණු බවත් හින්දූහු විශ්වාස කළහ. එම දෙවොල වන්දනාව සඳහා බොහෝ බැතිමතුන් අතීතයේ සිටම පැමිණ තිබුණි. එහෙත් පසු කලක මුස්ලිම් ජාතික මෝගල් පාලකයන් ඉන්දියාවේ බලයට පත්වූ අවස්ථාවේදී රජපරපුරේ ආරම්භකයා වූ බාබුර්ගේ නමින් දේවස්ථානයක් ඉදිකර ඇත්තේ අයෝධ්‍ය නුවර රාම දෙවිඳුන්ගේ කෝවිල විනාශ කර දමා ඒ මතය. එය බාබුර්ගේ දේවස්ථානය යන අර්ථයෙන් බාබුර් මස්ජිඞ්යැයි නම් ලැබුවේය. මෝගල් පරපුරේ පාලකයන් කීප දෙනෙකුගේ පාලන අවධිවලින් පසු පාලන බලය බි්‍රතාන්‍යයන් අතට පත්විය. එම කාල සීමාව තුළ කීප විටක්ම රාමගේ දෙවොලේ අයිතිය පතා හින්දුහු අධිකරණයේ නඩු පැවරූහ. එමෙන්ම මෙම අර්බුදය නිමිත්ත කොටගෙන කැරලි කෝලාහලද ඇතිවිය. දෙපාර්ශ්වයෙන්ම සිය ගණන් දෙනා ඝාතනයට ලක්වූහ. නිදහසින් පසු බි්‍රතාන්‍යයෝ භාරතය හැර ගියහ. ඉන් පසු බලය ලැබූ කොන්ග්‍රස් පාලකයෝ කිසි විටෙකත් ආගමික මතවාද ඔස්සේ තම දේශපාලන කටයුතු නොමෙහෙයවූහ. එහෙත් පසු කාලෙක එම පක්‍ෂය දුර්වලවෙමින් යද්දී හින්දු අන්තවාදය හිස ඔසවන්නට පටන් ගත්තේය. ආගමික හැඟීම් අවුස්සා රටේ බලය ලබාගැනීමේ අරමුණින් එම අන්තවාදී කණ්ඩායම් අයෝධ්‍යා නගරයට දහස් ගණනින් පැමිණ බබ්රි මස්ජිඞ් දේවස්ථානය කඩා බිඳ දැමූහ. මෙයින් පසු රාම කෝවිල ඉදිකරන බව ඔවුහු ප්‍රකාශ කළහ. බබ්රි මස්ජිඞ් කඩා බිඳ දැමීම නිසා ඇතිවූ හින්දු - මුස්ලිම් ගැටුම නිසා පුද්ගලයන් දෙදහසක් පමණ මියගිය බව වාර්තා වී තිබේ.
බෝම්බ ප්‍රහාරයට දෙහිවල නිවාඩු නිකේතනය
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ වෙසන අති බහුතරය ෂික්වරු වෙති. ඔවුන් අදහන ආගමද ෂික් නමින් හැදින්වේ. ඉතා රණකාමී ජනතාවක් ලෙස හැඳින්වෙන මොවුහු නිතරම පිහියක්ද දරා සිටිති. අකාලිදාල් නම් වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂයකට නැඹුරුව සිටි මෙම ජාතිකයෝ හින්ද්‍රන්වාලේ නමැති සටන්කාමිකයෙකු යටතේ සංවිධානය වී එම ප්‍රාන්තය සඳහා වෙනම රාජ්‍යයක් ලබා දෙන ලෙස ඉල්ලා මධ්‍යම රජය සමග සටනට වන්හ. ඉතා දැඩි ලෙස මෙම අරගලය මෝරාගිය අතර මෙය මැඩ පවත්වන ලෙස අණකරමින් එවකට ඉන්දියා අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය කැරලි කෝලාහලකරුවන් වන බෙදුම්වාදීන් විනාශ කර දැමීමට ඉන්දීය හමුදාවට අණ දුන්නාය. කැරලිකරුවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වූවේ ෂික් ආගමේ මූලස්ථානය වූ අම්රිත්සාර්හි රන් දෙවොලයි. ඒ තුළ රැඳී සිටිමින් බෙදුම්වාදීහු දිගටම සටනේ යෙදුණහ. අවසානයේ හමුදාවෝ රන් දෙවොලද යම්තාක් දුරකට විනාශ කරමින් එයට කඩා වැදුණහ. විශාල විනාශයකින් පසු බෙදුම්වාදීන් සමූලඝාතනය කිරීමට හමුදාවෝ සමත් වූහ. එහෙත් කරුණු එතෙකින් නිමාවූවේ නැත. මෙම සිදුවීම්වලින් සිත් වේදනාවට පත් ෂික් ජාතිකයෝ කෲරත්වයට යොමුවූහ. අගමැතිනියගේ ආරක්‍ෂක භටයන්ව සිටි සත්වාන් සිං, බියට් සිං ආදීහු අගමැතිනිය ඇයගේ මන්දර උද්‍යානයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඇසට ඇසක් ප්‍රතිපත්තියට අනුව අගමැතිනියගෙන් පළිගත්හ. එමගින් ඉන්දීය දේශපාලනය දුර්වල අඩියකට වැටුණු බව දක්නට ලැබුණි.
පසුගිය සතියේ අප්‍රියෙල් 15 වැනි බදාදා ප්‍රංශයේ අති පැරණි නොත්‍රදාම් කතෝලික දේවස්ථානයට ගිනි තබා විශාල හානියක් සිදුකර තිබුණි. එහි අතීතය විමසන විට පෙනීයන්නේ මෙහි ආරම්භය ක්‍රි.ව. 1163 සිදුවූ බවය. ප්‍රංශ ගොතික් කලාවේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන මෙම දේව මන්දිරය අපේ මව් දේවස්ථානය යන විරුදාවලිය ලබා ඇත. ඒ එහි වටිනාකම සලකමිනි. දැනට ගණන් බලා ඇති අන්දමට මෙම ගින්නෙන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි තිස් දහසක් බව කියවේ. මේසා විශාල වටිනාකමක් දරන අපේ දේවස්ථාන මවයැයි විරුදාවලි ලැබූ මෙම ස්ථානය ගිනි තබා විනාශ කිරීමේ ප්‍රයත්නය කාගේ ක්‍රියාවක්දැයි හඳුනාගෙන නැත. නොයෙක් අදහස් පැතිර යතත් ස්ථිර නිගමනයකට තවමත් පැමිණ නැත.
දේවස්ථාන සම්බන්ධයෙන් සලකන විට මේ අශුභ කාලයකි. පසුගිය මාර්තු මස 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකට කඩාවැදුණු ඕස්ටේ්‍රලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නමැත්තා හැරුණු හැරුණු අතට වෙඩි තබා පනස් දෙනෙකු මරා දැමූ බව වාර්තා විය. තවත් පිරිසක් තුවාල ලැබූ බවද කියවේ. 29 වැනි වියේ පසුවන තරුණයෙකු වූ මොහු මෙම ප්‍රහාරය සිදුකළේ කුමන අරමුණකින්දැයි යන්න තවමත් සොයාගෙන නැත.
ලෝකය සුන්දර තැනකි. ආගම් ඇති වී තිබෙන්නේ ලෝකයේ මනුෂ්‍ය ජීවිත තවත් සුන්දර කිරීමටය. එසේ තිබියදී උමතුවෙන් මෙන් මෙසේ එකිනෙකා මරාගන්නට පෙලඹෙන්නේ නම් ඒ අය කරන්නේ තම ශ්‍රේෂ්ඨ ශාස්තෘවරුනට නිගාවකි. සෑම ශාස්තෘවරයෙකුම දේශනා කර ඇත්තේ දයාව, ප්‍රේමය, සාමය සහ මෛත්‍රීයයි, එසේ නම් තොග ගණන් මෙසේ මිනී මරාගන්නේ කුමක් දිනාගැනීමට දැයි කිසිවෙකුටවත් අවබෝධයක් නැත. ඊනියා දේශපාලන මතිමතාන්තර සපුරාගැනීමට හෝ පළි ගැනීමට මෙවැනි අපරාධ සිදුකරනුයේ නම් ඔවුනට නිසැකවම උරුමවන්නේ සදාකාලික නිරය බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප :
රොමේෂ් ධනුෂ්ක සිල්වා, චතුර කොඩිකාර, ඉෂාන් සංජීව, ගයාන් අමරසේකර, ළහිරු හර්ෂණ