අතුරු මැතිවරණ පුරාණයෙන්
1947 පළමු මැතිවරණයේ සිට අද දක්වා පැවත එන කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඡන්ද කොට්ඨාසයක් වූ නිකවැරටිය ආසනය ගැන කථා කරන විට “වන්නියේ පොඩිපුතා” යන ආදර නාමයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි මුදියන්සේ තෙන්නකෝන් මහතා මෙන්ම “අයියනායක දේවාලය ද අපේ මතකයට ඇතුළු වෙයි.
මු. තෙන්නකෝන් මහතා ප්‍රථම වරට ජාතික දේශපාලනයට පිවිසියේ 1956 තුන්වැනි මහා මැති වරණයේ දී ම.එ.පෙ. අපේක්‍ෂකයා ලෙස “අත” ලකුණ යටතේ තරග වැදීමෙනි. එම මැතිවරණයේ දී ඡන්ද 15,914ක් ලබාගත් ඔහු වැඩි ඡන්ද 8085න් ජයග්‍රහණය අත්කර ගත්තේ 1947 සහ 1952 මැතිවරණවලදී මෙම ආසනයට තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ කවිසේන හේරත් මහතා පහසුවෙන්ම පරාජයට පත් කරමිනි. ඉන් පසු 1960 මාර්තු සහ 1960 ජූලි මැතිවරණවල දී පිළිවෙළින් වැඩි ඡන්ද 5028න් සහ 3597න් කවිසේන හේරත් මහතා දෙවරක් පරාජය කළ මු. තෙන්නකෝන් මහතා පහසුවෙන්ම නිකවැරටිය ආසනයේ තමා සතු බලය තහවුරු කර ගත්තේය. ඉන් පසු ඔහුගේ දේශපාලන ගමන් මගේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1960 ජූලි මැතිවරණයෙන් පසු පිහිටැවූ සිරිමා බණ්ඩාරනායක රජයේ උප මුදල් අමාත්‍යධූරයට පත් වන්නේය. 1963 වර්ෂයේ අග භාගය වෙන විට මෙම රජයේ මුදල් ඇමතිවරයා වශයෙන් පත්ව සිටියේ ටී. බී. ඉලංගරත්න (හේවාහැට) මහතාය. ඒ වන විට ඉලංගරත්න මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මුදල් අමාත්‍යවරුන්ගේ සාකච්ඡා සම්මේලනට සහභාගිවීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි අතර, මුදියන්සේ තෙන්නකෝන් මහතා වැඩබලන මුදල් ඇමති වශයෙන් කටයුතු කරමින් සිටියේය.
මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම
වැඩ බලන මුදල් අමත්‍යවරයා වශයෙන් ඔහු විසින් ගන්නා ලද ආන්දෝලනාත්මක තීරණයක් හේතුවෙන් නොසිතූ ආකාරයේ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ. 1963 සැප්තැම්බර් මස අග භාගයේදීය. එම සිද්ධිය වූයේ (1) රජයේ ටෙන්ඩර් දැන්වීම් (2) රජයේ තනතුරු ඇබෑර්තු (3) රජයේ සහ සංයුක්ත මණ්ඩලවල වෙළෙඳ දැන්වීම්, කිසිවක් 1963-10-01 දින සිට ප්‍රවෘත්ති පත්‍රවලට දීම සම්පූර්ණයෙන් නවත්වන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කිරීමයි. තවද, මෙම තීරණය පිළිබඳව ගරු අගමැතිනිය ද දැනුම්වත් කිරීමයි. තවද, මෙම තීරණය පිළිඳව ගරු අගමැතිනිය ද දැනුම්වත් කර ඊට අනුමැතිය දෙනවාද? නැද්ද? යන්න දන්වන ලෙස ඉල්ලීමක්ද කර තිබුණේය. මෙම තීන්දුව පුවත් පත් ආයතනවල දැඩි දෝෂ දර්ශනයට ලක්විය. 1963-09-25 සහ 26 යන දෙදින එක්තරා ඉංග්‍රීසි පුවත් පතක් මෙම තිරණයට බලවත් අප්‍රසාදය පළ කරමින් ආණ්ඩුව ද අපහසුවට පත්වන ආකාරයට වාර්තා පළකර තිබුණේය. ගරු අගමැතිනිය ගෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොවූ හෙයින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක මු. තෙන්නකෝන් මහතා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඔහු අගමැතිනිය වෙත යැවූ ලිපියේ මෙසේද සඳහන් කර තිබුණි.
“මේ රටේ පොදු මහජනතාවගේත්, විශේෂයෙන් ගම්බද ජනතාවගේත් දියුණුව පිණිස වැඩ කිරීමට අවස්ථාවක් නොමැති නිසා වැඩ බලන මුදල් ඇමතිධූරයෙන්ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ධූරයෙන්ද 1963-09-28 දින පස්වරු 5.00 පටන් ඉල්ලා අස් වූ බව කරුණාවෙන් දන්වමි. මේ බව ලකිසුරු තුමාට ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් තුමාටද දන්වමි. ඉංග්‍රීසි පත්‍රයේ පළවු ප්‍රවෘත්තිය පිළිබඳව ද අදහස් දක්වමින් මු. තෙන්නකෝන් මහතා ලියා තිබුණේ “ඒ පුවත් පළකර තිබෙන්නේ පෞද්ගලිකව මුදියන්සේ තෙන්නකෝන්ට අගෞරවයක් කිරීමට යැයි සිතීම අපහසුය. මා ඔබ ඇමති මණ්ඩලයේ ඇමති ධූරයක් දැරීමට නුසුදුසු කෙනෙකු බවට ප්‍රචාරයක් ගෙනයාම සඳහාය.” යනුවෙනි.
මැති සබය නොසන්සුන්
තෙන්නකෝන් මහතා පිළිබඳ ප්‍රශ්නය මැති සබය තුළ මුලින්ම මතුවූයේ 1963-09-30 රැස්වීමේ න්‍යාය පුස්තකයේ වූ අංක 01 සිට 60 දක්වා වූ සියලුම යෝජනා එදින රැස්වීමේ දී සම්මත කරගත හැකිවනසේ රැස්වීම දිගටම පවත්වාගෙන යාම සඳහා ඒ සියලු යෝජනා අංක 08 දරන ස්ථාවර නියෝගයෙන් නිදහස් කළ යුතු යැයි සභා නායක සී. පී. ද සිල්වා මහතා යෝජනා කළ පසුවය. ඒ අවස්ථාවේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇමතූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා වැඩ බලන මුදල් ඇමතිවරයා නොමැතිව ඔහු ඉදිරිපත් කළ යෝජනා ගැන විවාද කළ නොහැකි බැවින් ඔහු වහාම කැඳවිය යුතු බව ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක් වූ ඔහු පසුගිය 28 වැනි සෙනසුරාදා සවස්වරුවේ තෙන්නකෝන් මහතා ‘ශ්‍රාවස්ති’ මන්දිරයේ කෑකෝ ගසමින් සිටි බවත්, වැඩ බලන මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු අදිෂ්ඨාන කරගෙන සිටි බවත් තමා හොඳින්ම දන්නා බවත් පැවසීය. තෙන්නකෝන් මහතා ඔහු සතු සියලු දේ පොදි බැඳගෙන ඉහ තබන කොට්ටය පවා රැගෙන රජ ගෙදරට යන බව කියමින් ශ්‍රාවස්ති මන්දිරියෙන් පිටව ගිය බව ද ආචාර්ය පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාවේ දී ප්‍රකාශයක් කළ කතානායක ආර්. ඇස්. පැල්පොල මහතා (නාවලපිටිය) මු. තෙන්නකෝන් මහතා 1963-09-28 දින සිට මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙන බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම්වරයා වෙත දන්වා ඇතැයි නිවේදනය කළේය. මෙම ප්‍රකාශයත් සමගම මැති සබයේ නොසන්සුන්කාරී ස්වභාවය තවත් වර්ධනය විය.
“ගරු කථානායකතුමනි, මේ ගරු මන්ත්‍රණ සභාවේ මුදල් ඇමතිවරයා කවුද? ඔහු නොමැතිව මෙම යෝජනා සාකච්ඡා කිරීමට බැහැ.” යටියන්තොට මන්ත්‍රීවරයා උස් හඬින් පැවසීය. මේ අවස්ථාවේ දී නැඟී සිටි සභානායක සී. පී. ද සිල්වා මහතා “මමයි මුදල් ඇමති” යනුවෙන් පිළිතුරු දුන්නේය. 1963-10-01 දින සිට රජයේ අභිනව මුදල් වර්ෂය ද ආරම්භ වීමට නියමිතව තිබුණ හෙයින් සැප්තැම්බර් මස 30 දී සී. පී. ද සිල්වා මහතා වැඩ බලන මුදල් ඇමතිවරයා වශයෙන් දිවුරුම් දී තිබුණේය.
අතුරු මැතිවරණයට නාම යෝජනා
මුදියන්සේ තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නිකවැරටිය ආසනය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීම සඳහා අතුරු මැතිවරණය 1964-01-04 දින පවත්වන බවත්, නාම යෝජනා භාර ගැනීම 1963-11-20 දින සිදු කරන බවත්, අග්‍රාණ්ඩුකාර උතුමාණන්ගේ කාර්යාලයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විය. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමා නියෝජනය කළ ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමේ හේතුවෙන් පැවැත් වූ පස්වැනි අතුරු මැතිවරණය ලෙස සටහන්ව ඇත. මීට ඉහත (1) ටී. බී. ජයා (මැදකොළඹ දෙවැනි මන්ත්‍රී) (3) ඇස්. ජේ. වී. චෙල්වනායගම් (කන්කසන්තුරේ) (4) ජේ. ජී. ගුණසේකර (බණ්ඩාරවෙල) යන මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීම නිසා අතුරු මැතිවරණ පවත්වා තිබුණි. නියමිත පරිදි 1963-11-20 දින කුරුණෑගල කච්චේරියේ දී පහත සඳහන් අපේක්‍ෂකයෝ නාම යෝජනා පත්‍ර භාර දුන්හ. කවිසේන හේරත් (එ.ජා.ප), ආර්. බී. තෙන්නකෝන් (ශ්‍රී.ල.නි.ප) මු. තෙන්නකෝන් (ස්වාධීන), ඩබ්ලිව්. ඇෆ්. වීරසූරිය (ස්වාධීන) අපේක්‍ෂකයන් තිදෙනෙකුම හිටපු මන්ත්‍රීන් එම විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් විය. කවිසේන හේරත් මහතා නිකවැරටියේ ආසනයේ හිටපු (1947 - 1956) මන්ත්‍රීවරයා විය. හෙතෙම කලක් නිකවැරටිය ගම් කාර්ය සභාවේ සභාපති ලෙස ද සේවය කර තිබුණි. ආර්. බී. තෙන්නකෝන් මහතා 1960 මාර්තු මැතිවරණයේ දී අංක 98- යාපහුව ආසනයට තරඟකොට (ශ්‍රී.ල.නි.ප) ඡන්ද 8356ක් ලබාගෙන වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු මෙන්ම කීර්තිමත් අධ්‍යාපනඥයකුද වූ යූ. බී. වන්නිනායක මහතා (එ.ජා.ප- 6961) පරාජයට පත් කර වැඩි ඡන්ද 1575ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. 1960 ජූලි මැතිවරණයේදී ඔහු පරාජයට පත් වූයේ වැඩි ඡන්ද 612ක් වැනි සුළු සංඛ්‍යාවකිනි. මු. තෙන්නකෝන් මහතා 1956 සිට ඉල්ලා අස් වෙන තුරු නිකවැරටිය ආසනයේ මන්ත්‍රීවරයා විය. ස්වාධීන අපේක්‍ෂක ඩබ්ලිව්. ඇෆ්. වීරසූරිය මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර වගා කිරීමේ නිලධාරියෙකු වශයෙන් සේවය කරමින් සිටියේය. ආර්. බී. සහ මු. තෙන්නකෝන් ඥාති සහෝදරයෝ වූහ.
සාමාජිකත්වය අවලංගු කරයි
ශ්‍රී.ල.නි.ප සාමාජිකයෙකුව සිටිමින් මෙම අතුරු මැතිවරණයේදී පක්‍ෂයේ නිල අපේක්‍ෂකයාට විරුද්ධව ස්වාධීන තරඟකරුවෙකු වශයෙන් ඉදිරිපත් වීමට විරුද්ධව පක්‍ෂයේ විනය කාරක සභාව 1963-10-01 දින පටන් මු. තෙන්නකෝන් මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට තීරණය කළේය. පක්‍ෂයේ සම ලේකම් ඩී. ඇස්. සමරසිංහ මහතා (කොලොන්නාව) යැවූ ලිපියේ මෙසේ සඳහන් කර තිබුණි. “ශ්‍රී.ල.නි.ප සහයෝගය ඇතිව, ශ්‍රී.ල.නි.ප අපේක්‍ෂකයා ලෙස පසුගිය මහා මැතිවරණයේදී නිකවැරටිය ආසනය ජයග්‍රහණය කළ ඔබ එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ අතුරු මැතිවරණයට ශ්‍රී.ල.නි.පයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට යෙදී ඇත. අප පක්‍ෂයේ අපේක්‍ෂකයාට විරුද්ධව ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඔබ මෙම අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පක්‍ෂයේ නීති උල්ලංඝනය කර තිබේ. එබැවින් මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා රැස්වූ විනය කාරක සභාවේ දී ඔබ ශ්‍රී.ල.නි.ප සාමාජිකත්වය අවලංගු කළ බවත් දන්වමි.”
අතුරු ඡන්දයට තියුණු තරගයක්
නිකවැරටිය අතුරු මැතිවරණය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම එ.ජා.ප. නායකයෝද සති කීපයක් තිස්සේම ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් ගෙන් ගෙට ගොස් ඡන්දය ඉල්ලා සිටියහ. නිකවැරටිය තරගය, “තත්ත්වය රැක ගැනීමේ ” සටහනක් ලෙස ශ්‍රී.ල.නි.ප.යත්, එ.ජා.ප. යත් හිටපු මන්ත්‍රී මු. තෙන්නකෝන් මහතාත් සැලකූහ. හිටපු මන්ත්‍රී මුදියන්සේ තෙන්නකෝන් මහතා “ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරග කළ නමුත්, තමා “බණ්ඩාරනායක ප්‍රතිපත්ති” අනුගමනය කරන බවත් ජයග්‍රහණය කිරීමෙන් පසු දිගටම පවතින රජයට සහයෝගය දක්වන බවත් මැතිවරණ වේදිකාවල දී ප්‍රකාශ කිරීමත්, තෙන්නකෝන් දෙදෙනා ඥාති සහෝදරයන් වීමත් නිසා ඡන්දය දිය යුත්තේ කවරෙකුට ද යන්න තෝරා ගැනීම වාමාංශික කඳවුරේ ඡන්දදායකයන්ට ද ගැටලුවක් විය. මෙම අතුරු මැතිවරණයේදී 41,052 දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටියහ. එය 1960 ජූලි මැතිවරණයට වඩා 9606ක වැඩිවීමක් විය.
පසුගිය මැතිවරණයේදී 33ක් වූ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවද මෙවර 75 දක්වා වැඩිකර තිබුණි. එම තීරණවලට එළඹ තිබුණේ ඡන්ද කොට්ඨාසයේ විශාලත්වය, ගමනා ගමන අපහසුතා සහ පැවැතියා වූ අයහපත් කාලගුණය ද සැලකිල්ලට ගැනීමෙනි. මාසයකට ආසන්න කාලයක් පැවති අතුරු මැතිවරණ උණුසුම සමාප්තියට පත්වූයේ සත් වසරකට පසු නිකවැරටිය ආසනය එ.ජා.ප.ය සතුකර ගැනීමෙනි. වාමාංශික කඳවුරේ ඡන්ද ප්‍රමාණය බෙදී වෙන්වීමෙන් අත්වෙන කටුක ප්‍රතිඵලයද මෙම ප්‍රතිඵලයෙන් මනාව දැකගත හැකි විය. මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිළ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. කවිසේන හේරත් (එ.ජා.ප. - අලියා) 13915, මු. තෙන්නකෝන් (ස්වාධීන - තරුව) 10,675, ආර්. බී. තෙන්නකෝන් (ශ්‍රී.ල.නි.ප. - අත) 8635, ඩබ්ලිව්. ඇෆ්. වීරසුරිය (ස්වාධීන - ඉර) 246, වැඩි ඡන්ද 8සංඛ්‍යාව 3240, ප්‍රතික්ශේප ඡන්ද පත්‍රිකා ගණන 125, ඡන්දය ප්‍රකාශ කළ මුළු ගණන: 33,596, ලියාපදිංචි ඡන්දදායකයින්ගේ මුළු සංඛ්‍යාව 41,052. 1960 ජූලි මැතිවරණයෙන් පසු අතුරු මැතිවරණ 11ක් පැවැත්වූ අතර, එ.ජා.ප යට හිමිවූයේ මාතලේ සහ නිකවැරටිය යන ආසන දෙක පමණකි.
ජි. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූපය අන්තර්ජාලයෙනි