“සවිබල යුතු මේ පෙරමුණ එපා නැවත බිඳ හෙළන්න”


අතුරු මැතිවරණ පුරාණයෙන්

 

1963 අගෝස්තු 12 දිනය ශ්‍රී ලාංකේය දේශපාලන ව්‍යාපාරයට ඉතා වැදගත් වූයේ එයට වර්ෂ දහයකට පෙර පැවැත්වූ ඓතිහාසික “හර්තාලය” සිහිකරනු සඳහා පැවැත්වූ දැවැන්ත රැලියේදී සකලවිධ වාමවාදීන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා (යටියන්තොට), පිලිප් ගුණවර්ධන (අවිස්සාවේල්ල) සහ ඇස්. ඒ. වික්‍රමසිංහ (අකුරැස්ස) යන නායකයින් තිදෙනා, ල.ස.ස.ප, ම.එ.පෙ. සහ කො.ප. එකමුතුව “වාමාංශික එක්සත් පෙරමුණ” පිහිටුවා ගිවිසුමකට අත්සන් තැබීමේ හේතුවෙනි.


නායකයින් තිදෙනා ත්‍රිපාක්ෂික කොඩි පෙරටුකොටගෙන මරදානේ සිට පා ගමනින්ම පැමිණ ප්‍රවීන චිත්‍ර ශිල්පී හැන්රි ධර්මසේනගේ සංකල්පයක් අනුව කොළඹ නිදහස් පිටියේ ඉදිකළ දර්ශනීය වේදිකාව මත පංච තූර්ය නාදය මධ්‍යයේ විශාල පොල්තෙල් පහන් තිර තුනක් දල්වා ගිවිසුම අත්සන් කෙරුණේ විශාරද අමරදේවයන් ඇතුළු ශිෂ්‍යාවන් ගායනා කළ ගීතයෙන් නිදහස් පිටිය ඇතුළු ප්‍රදේශයම සංගීතවත් වෙමින් තිබියදීය. එම ගීතයේ පද මාලාව මෙසේය.


1. මංගල බෙර හඬ විහිදෙයි
පුන් කළසින් රස මතුවෙයි
දැල්වෙන පහනේ එළියයි
අද නව යුගයක් ඇරඹෙයි


2. අවුරුදු ගණනක් තිස්සේ
ගොස් වෙන වෙන මං ඔස්සේ
තුන් දෙන අද එක්වෙති
ආසිරි ගී මල් වැස්සේ


3. මුළු රටටම සෙත දෙවන්න
හැකිවෙයි රජයක් හදන්න
සවිබල යුතු මේ පෙරමුණ
එපා නැවත බිඳ හෙළන්න


4. මෙතුවක් කල්දුටු සිහිනේ
හරියන සුබ නිමිති පෙනේ
වමේ අපේ රැඳී තිබෙයි
අනාගතේ ලක් දෙරණේ


(“දවස” 1963-8-13)


කොළඹ නගරයේ සිව් කොනෙන් ආරම්භ වූ  පෙළපාළි පසුව ජන ගංගාවක් වී නිදහස් පිටියේ රැස්වූ අතර එදින ලක්‍ෂයකට අධික ජනකායක් එකතු වී සිටි බව පුවත් පත් වාර්තා  තහවුරු කළේය. රැළිය අවසානයේ ප්‍රේමසිරි කේමදාසයන් ගේ ‘රතුරජයක් පිහිටවමු’ ගීත නාටකයත් බැසිල් මිහිරිපැන්න ගේ “පරෙවියා” ඉඟි නළුවත් වේදිකා ගත වූ අතර ගීත නාටකයේ ස්ටැන්ලි පෙරේරා, සිරිමතී රසාදරී, ධර්ම ශ්‍රී රණතුංග යන නළු නිළියෝද ගී ගැයූහ. ෂෙල්ටන් ප්‍රේමරත්න, නාරද දිසාසේකර සහ කේ. සේන යන ගායන ශිල්පීහු ද සහභාගි වී සිටියහ.


මන්ත්‍රී අභාවය සහ අතුරු මැතිවරණය


වාමාංශික එක්සත් පෙරමුණ පිහිටුවා මාස හතරකට පමණ පසු එම පෙරමුණට මුහුණ දෙන්නට සිදු වූ ප්‍රථම අතුරු මැතිවරණය පැවැත්වූයේ බොරැල්ල ඡන්ද කොට්ඨාසය සඳහාය. එය 1960 ජූලි මහා මැතිවරණයට පසුව පැවැත් වූ 12 වැනි සහ අවසාන අතුරු මැතිවරණය ද විය. මැතිවරණ කොට්ඨාස සීමානිර්ණය කිරීම සඳහා 1959 දී රජය පත්කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසමේ නිර්දේශ පරිදි ස්ථාපනය කළ බොරැල්ල ආසනය සඳහා පළමුවෙන්ම ඡන්දය පැවැත්වූයේ 1960 මාර්තු මැතිවරණයේදීය. එම ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මෙසේය: ආර්. බී. ලෙනෝරා (එ.ජා.ප. - අලියා) 7261, ඩබ්ලිව්. ඩී. ද සිල්වා (ශ්‍රීලනිප - අත) 5502, එච්. ඒ. ද එස්. ගුණසේකර (ලසසප - යතුර) 3914, ඇම්. ඇස්. අබුබකර් (මඑපෙ  - කරත්ත රෝදය) 3748 බී. එච්. එස්. ජයවර්ධන (ස්වාධීන - ඇස) 76, එච්. ඇල්. පෙරේරා (ස්වාධීන - තරාදිය) 56. වැඩි ඡන්ද සංඛ්‍යාව 1759. බලයට පත්වූ අස්ථිර ආණ්ඩුව දින 33ට පසුව විසුරුවා හැරීය. 1960 ජූලි මැතිවරණයේදී බොරැල්ල ආසනයට තරග කළේ ප්‍රධාන පක්‍ෂ දෙකේ අපේක්‍ෂකයන් දෙදෙනා පමණකි. ප්‍රගතිශීලී වාමාංශික පක්ෂවල ඡන්ද බෙදී යාමක් නොවූයෙන් ඡන්ද 11,409 ක් ලබාගත් ඩබ්ලිව්. ඩැනිස්ටර් ද සිල්වා මහතා (ශ්‍රීලනිප) එජාපයේ ආර්. බී. ලෙනෝරා මහතා (8690) පරදවා වැඩි ඡන්ද 2719 ක පහසු ජයග්‍රහණයක් ලබා බොරැල්ල මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.


පොදු ජනතාව සමග ඉතා සමීපව කටයුතු කළ ඔවුන් අතර ‘දඩි බිඩි සිල්වා’ යන ආදර නාමයෙන් ප්‍රසිද්ධව සිටි දොස්තර ඩැනිස්ටර්ද සිල්වා මහතා කොළඹ නගර සභාවේ බොරැල්ල (උතුර) කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා විය. දෙමටගොඩ පවත්වාගෙන ගිය ඔහුගේ “මහජන බෙහෙන් ශාලාව” පොදු මිනිසාට සෙත සැලසූ වෛද්‍ය මධ්‍යස්ථානයක් විය. පොදු ජන සුබ සිද්ධියටම මුල් තැන දුන් ඍජු ප්‍රතිපත්ති අනුගමනය කළ ද සිල්වා මහතා වරක් මැති ඇමැතිවරුන්ගේ පඩි වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ගරු අගමැතිනිය වෙත විදුලි පුවතක් යවමින් තමාගේ විරුද්ධත්වයත් අප්‍රසාදයත් පළ කිරීමට තරම් එඩිතර වූ බව ඔහුට ගෞරව පිණිස සටහන් කර තැබිය යුතුය. එහෙත් ඔහුට දීර්ඝ කාලයක් මන්ත්‍රී ධුරය දැරීමට හැකි වූයේ නැත. 1963-10-18 දින රාත්‍රියේ හදිසියේම ඔහු කාලක්‍රියා කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. අතිවිශාල ජනකායක් මධ්‍යයේ 1963.10.21 දින බොරැල්ල කනත්තේ සුසාන භූමියේදී පැවැති ආදාහන උත්සවයේදී “මහජන මන්ත්‍රීවරයෙකු හෝ නාගරික මන්ත්‍රීවරයෙකු නොව මහජන සේවකයෙකු හැටියට මහජන සේවා වචනාර්ථයෙන්ම කෙළවර කළ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු ලෙස අවිවාදයෙන් සැලකිය හැකි බොරැල්ල මන්ත්‍රී ඩබ්ලිව්. ඩැනිස්ටර් ද සිල්වා මහතාගේ අභාවය මේ රටේ ජනතාවට සිදු වූ බලවත්ම පාඩුවක් බව විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේකර මහ නාහිමියෝ ප්‍රකාශ කළහ. මෙම ආදාහන උත්සවයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමි, පූජ්‍ය මාතලේ ශාසනතිලක අනුනාහිමි, රජයේ වැඩ බැලූ නායක ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍ය, සභා නායක සී. පී. ද සිල්වා, විරුද්ධ පක්‍ෂ නායක ඩඞ්ලි සේනානායක, ලසසප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, මඑපෙ නායක පිලිප් ගුණවර්ධන, කො.ප. ප්‍රධාන ලේකම් පීටර් කෙනමන්, වෘත්තිය සමිති නායකයින් වූ ඩී. ජී. විලියම්, ඩී. ඒ. පියදාස යන අයද ආදාහන කමිටුව වෙනුවෙන් බොරැල්ලේ තිලකරත්නනාරාමාධිපති පූජ්‍ය දැවමොට්ටාවේ අමරවංශ හිමියෝ ද කථා කළහ.


මෙම මන්ත්‍රී අභාවය හේතුකොටගෙන බොරැල්ල ආසනය සඳහා අතුරු මැතිවරණය 1964-01-18 දින පවත්වන බවත් ඒ සඳහා නාම යෝජනා 1963-12-12 දින භාර ගන්නා බවත් අග්‍රාණ්ඩුකාර උතුමාණන්ගේ කාර්යාලයෙන්  නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විය. ඒ අනුව නියමිත දිනයේ දී පහත සඳහන් අපේක්‍ෂකයෝ නාම යෝජනා භාර දුන්හ.


තරගයට පස් දෙනෙක්


නාම යෝජනා පත්‍ර භාර ගැනුණේ කොළඹ කොටුවේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේදී ය. දොස්තර ආර්. බී. ලෙනෝරා (එජාප - අලියා), විවියන් ගුණවර්ධන (වාඑපෙ - යතුර), කමලා ද සිල්වා (ස්වාධීන - ප්‍රජාතන්ත්‍රවාදී - අත), ජේ. එස්. රණසිංහ (ස්වාධීන) (හැන්ද), ඩී. ඇන්. සමරකෝන් (ජාවිපෙ - අහස් යානය) ඒ පස් දෙනා වූහ. එජාප අපේක්‍ෂක දොස්තර ආර්. බී. ලෙනෝරා මහතා ප්‍රදේශයේ කීර්තිමත් වෛද්‍යවරයෙක් විය. බොරැල්ලේ “බාවා පෙදෙසේ” පිහිටුවා තිබූ ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය ජනතාවගේ විශ්වාසය බෙහෙවින් දිනාගත් තැනක් විය. 1960 මාර්තු මැතිවරණයේදී ඔහු බොරැල්ල ආසනයට තේරී පත්විය. වාඑපෙ අපේක්‍ෂිකා විවියන් ගුණවර්ධන මහත්මිය මෙරට වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමී චරිතයක් වූවාය. ඇය ප්‍රථම වරට මැති සබයට පිවිසියේ 1956 මැතිවරණයට (ලසසප - යතුර) ඉදිරිපත්ව ඡන්ද 16841 ලබාගෙන එජාපයේ ජේ. සී. ද සිල්වා විජයරත්න (9489) වැඩි ඡන්ද 7205 න් පරාජයට පත් කරමිනි. 1960 මාර්තු සහ ජූලි මැතිවරණවලදී ද උතුරු කොළඹ ආසනයට තරග කළ ඇය එජාපයේ වී. ඒ. සුගතදාස මහතා වෙතින් පිළිවෙළින් වැඩි ඡන්ද 844 ක සහ 144 ක පරාජයක් ලැබුවාය. ඇයගේ සැමියා 1956 - 1977 පානදුර ආසනය නියෝජනය කළ කෘතහස්ත දේශපාලනඥයකු වූ (ලසසප) ලෙස්ලි ගුණවර්ධන මහතාය. කමලා ද සිල්වා මහත්මිය හිටපු මන්ත්‍රී අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩැනිස්ටර් ද සිල්වා මහතාගේ වැන්දඹු බිරිය වූවාය. ඇය නිදහස් අපේක්‍ෂිකාවක් ලෙස ඉදිරිපත් ව සිටිය ද ශ්‍රීලනිප නිල ලාංඡනය වන ‘අත’ ලකුණ යටතේ තරග වැදී සිටියාය. කෙසේ වෙතත් ඇයට පක්ෂයේ සහයෝගය නොදිය යුතු බවට ප්‍රබල මතයක් පසුව ඇති විය. හදිසි රිය අනතුරකින් තුවාල ලැබූ නිසා ජාවිපෙ අපේක්‍ෂක ඩී. ඇන්. සමරකෝන් මහතා අතුරු මැතිවරණ සටනෙන් ඉවත් වූ බව එම පක්‍ෂය නිවේදනය කර තිබුණි.


වා.එ.පෙ. නිවේදනය


අභිනවයෙන් පිහිටුවාගත් ‘වාමාංශික එක්සත් පෙරමුණේ’ නායකයෝ තිදෙනා බොරැල්ල අතුරු මැතිවරණය වෙනුවෙන් විශේෂ නිවේදනයක් මහජනයා වෙත නිකුත් කළහ. එහි මෙසේ සඳහන් වී තිබුණි. “1963 අගෝස්තු මාසයේ දී වාඑපෙ පිහිටුවා ගැනීමෙන් පසු එම පෙරමුණ ප්‍රථමවරට පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන්නේ බොරැල්ල අතුරු මැතිවරණයටයි. එබැවින් මේ මැතිවරණයේදී විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස එජාප විරෝධී සියලුම බලවේගවලින් ඉල්ලා සිටී. මේ රටේ ජනතාවට ඇත්තේ එකම මගකි. එක්කෝ අධිරාජ්‍යවාදීන්ගේ කෙළිබිමක් බවට මේ රට පත්ව තිබූ 1956ට පෙර තිබුණ තැනට යළිත් ගමන් කළ යුතුය. නැතහොත් වා.එ.පෙ. නායකත්වය සහිත සමාජවාදී රජයක් ගොඩනැගීම සඳහා 1956 න් ඉදිරියට ගමන් කළ යුතුය. මැද පිළිවෙතේ ඇති බංකොළොත් භාවය පසුගිය අට අවුරුද්ද තුළ ඇතිතරම් පළවී ඇති බැවින් ඒ පිළිබඳව තවත් අටුවා ටීකා දැක්වීම අවශ්‍ය නොවේ.


වා.එ.පෙ. මේ රට ඉදිරියට ගමන් කරවීම සඳහා සංවර්ධනාත්මක වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කරයි. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් රටේ ඉතා වේගයෙන් සිදුවේගන යන ආර්ථික හා මිල මුදල් පිරිහීම නවතා ආර්ථික තත්ත්වයේ නැඟීමක් ඇති කිරීමට උපකාරීවනු ඇත. මනාව සකස් කරන ලද ආර්ථික සංවර්ධන සැලැස්මකට තැන දෙමින් වා.එ.පෙ. ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ මේ රටේ උදාවෙමින් පවතින රැකී රක්ෂා ප්‍රශ්නය විසඳන එකම මඟ වන්නේය. ජනවාරි 18 වැනිදා ඡන්දය දිය යුත්තේ ප්‍රගතියත් ශ්‍රී සමෘද්ධියත් සඳහා ඉදිරිපත්කොට ඇති මේ වැඩ පිළිවෙළටය. ඔබ විසින් තෝරාගත යුත්තේ එජාපය යටතේ ධනවාදීව නොදියුණුව සිටීම හෝ වා.එ.පෙ. යටතේ සමාජවාදීව දියුණුව ලැබීමත්ය. (තොරතුරු: දිනමිණ 1964-01-10)


නිකවැරටියෙන් පාඩමක්


බොරැල්ල අතුරු මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට තිබියදී තවත් අතුරු ඡන්ද දෙකක ප්‍රතිඵල නිකුත්වීමෙන් ‘මහජන මතය’ පිළිබඳව දේශපාලන පක්‍ෂ නායකයෝ වඩාත් උනන්දුවක් දක්වන්නට වූහ. දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මහතා නියෝජනය කළ කො.න.ස. බොරැල්ල (උතුර) කොට්ඨාසය සඳහා 1963-10-28 දින පැවැත් වූ අතුරු ඡන්ද විමසීමේදී වා.එ.පෙ. අපේක්‍ෂක ඊ. විජේසූරිය වික්ටර් (900) සහ එච්. ඩී. එස්. ධර්මසිරිවර්ධන (ශ්‍රීලනිප 712) පරදවා එජාපයේ ජිනදාස නියතපාල මහතා (සැනේට් මන්ත්‍රී 1965 සහ හිටපු පාර්ලිමේන්තු 1989 - 1994) ඡන්ද 1300 ක් ලබා වැඩි ඡන්ද 400 ක ජයග්‍රහණයක් වාර්තා කළේය. නිකවැරටිය මන්ත්‍රී මු. තෙන්නකෝන් (ශ්‍රීලනිප) මහතාගේ ඉල්ලා අස්වීම නිසා 1964-01-18 දින පැවැත් වූ අතුරු මැතිවරණයේදී, මු. තෙන්නකෝන් (ස්වාධීන - තරුව) 10,675 සහ ආර්. බී. තෙන්නකෝන් (ශ්‍රී.ල.නි.ප. - අත) 8635 යන දෙදෙනාම පරදවා කවිසේන හේරත් (එජාප - අලියා) 13,915 වැඩි ඡන්ද 3240 න් ජය ගත්තේය. බොරැල්ල උතුර කොට්ඨාසය ගැන කිසිදු සඳහනක් කිරීම මගහරිමින් නිකවැරටිය අතුරු මැතිවරණයේ ප්‍රතිඵලය පාඩමකට ගන්නා ලෙසත් එජාපයට වාසි අත්වන ලෙස ප්‍රගතිශීලි ඡන්ද බෙදී නොයන ආකාරයට ඡන්දය පාවිච්චි කරන හැටියටත් ඔව්හු ඉල්ලා සිටියහ. එවර බොරැල්ල ආසනයේ ඡන්දදායක සංඛ්‍යාව 7537 න් වැඩි වී තිබුණි. ඡන්ද මධ්‍යස්ථාන ගණන ද 12 සිට 17 දක්වා වැඩිකර තිබුණේය. 1964-01-18 දින මධ්‍යම රාත්‍රියේ මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය: විවියන් ගුණවර්ධන (වා.එ.පෙ. - යතුර) 12,529, ආර්. බී. ලෙනෝරා (එ.ජා.ප.) අලියා 12,106 කමලා ද සිල්වා (ස්වාධීන - අත) 1356 ජේ. එන්. රණතුංග (ස්වාධීන - හැන්ද) 156, ඩී. ඇන්. සමරකෝන් (ජා.වි.පෙ. - අහස් යානය) 47, වැඩි ඡන්ද සංඛ්‍යාව 423, ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කරමින් ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ “වමට ජයකුත් නෑ. දකුණට පරාජයකුත් නෑ” යන්නය. ශ්‍රීලනිප සම ලේකම් ටී. බී. තෙන්නකෝන් මහතා කීවේ. “ශ්‍රී.ල.නි.ප. නොමැතිව වා.එ.පෙ.ට ඉදිරි ගමනක් නැත” යනුවෙනි. පසුකාලීන දේශපාලන සිදුවීම් මෙම මතය සනාථ කළේය.

 

 

 


ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූපය අන්තර්ජාලයෙනි