ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත්



වාණිජ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. තැන්පත් පොලිය අඩු කළ වාණිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත් තද පියවර ගන්නා බව මහ බැංකුව නැවතත් අනතුරු අඟවා තිබේ. ණය පොලිය අඩු කරන්නේ පොදු ජනතාවගේ යහපතට නොවේ. වාණිජ බැංකුවල පොලිය අඩු වන විට ආණ්ඩුවේ ණය ගැනීම පහසු වෙයි. රාජ්‍ය ආයතනවල පොලී ගෙවීමේ හිසරදය පාලනය වෙයි. බලවත් ණය බරක සිටින ආණ්ඩුවේ වේදනාව සමනය කරනු සඳහා ජනතාවට තිත්ත බෙහෙත් පෙවීම සුදුසු නැත.

සති දෙක තුනකට කලින් මහ බැංකුව වාණිජ හා මුල්‍ය ආයතනවලට නිවේදනයක් නිකුත් කළේය. එයට අනුව සෑම ස්ථිර තැන්පතුවකටම ගෙවන වාර්ෂික පොලී අනුපාතය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දින 365 කට ලැබෙන ඵලදා අනුපාතයට සමාන කළ යුතුය. බැංකු හා මූල්‍ය ආයතන එම පොලී අනුපාත අනුගමනය කළ යුතු අතර ළමා හා වැඩිහිටි ස්ථිර තැන්පත්වලට සියයට 0.5 ක අමතර පොලියක් ගෙවිය හැකි බව දක්වා තිබේ.

 තැන්පත් පොලිය අඩුකිරීමේ අරමුණ වාණිජ බැංකු ණය පොලී අනුපාතය පාලනය කිරීම අභිලාශය බව දක්වන මහ බැංකුව මෙම නියෝගය පිළිපදින්නේ දැයි අවධානයෙන් සිටින බව දක්වා ඇත. නොබෝදා නැවතත් අවදි වූ මහ බැංකුව අඩු කරන ලද තැන්පත් පොලිය හා සමානව ණය පොලිය අඩු නොකරන්නේ නම් තමන් සතු බලතල අනුව පොලිය නියම කරන්නට සිදුවන බව තදින් කියා සිටියේය. පසුගිය සති අන්තයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලැබුණ ඵලදා අනුපාතය සියයට 7.90 කි. එය වසර ගණනකට පසු අවම මට්ටම බව නිරීක්ෂණය කළ හැකිය. මෙරට ණය පොලී අනුපාතය සියයට 15-16 අතර මට්ටමක පවතී.

තැන්පත් පොලිය හා සමානව ණය පොලිය අඩුවුවහොත් ඉදිරියේ දී වාණිජ බැංකු අයකරන පොලිය සියයට 11-12 අතර විය හැකිය.

බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් හා ණය පොලී අනුපාතික පාලනය කිරීමෙන් ගනුදෙනුකරුවන්ට වාසි ඇතිකරන බව බැලූ බැල්මට දැකගත හැකිය. එහෙත් එහි සෘජු වාසිය ආණ්ඩුවට හා ආණ්ඩුවේ ආයතනවලට බව ඉතාම පැහැදිලිය. ආණ්ඩුවේ ණය බර පාලනය වන අතර අවසානයේ දී එහි සුළු පිටිවහලක් ජනතාවට ලැබෙන්නට ඉඩ තිබේ. එතැනින් වාසියක් සිදුවෙතැයි ගණන් බලන විට ආණ්ඩුව තමන්ගේ තෝරාගත් ඉහළම නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ගෙන්වන්නට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වෙයි. එවැනි තීන්දුවකින් පසු ආර්ථිකයේ සිදුවිය හැකි එකම වාසියත් රටට අහිමි වන බව නිසැකය.

පොලිය අඩු කිරීමෙන් ආණ්ඩුව ජය ගන්නේ කෙසේද? කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ගෙවන ඉහළ ඵලදා අනුපාතිකය පාලනය වෙයි. සුප්‍රකට බැඳුම්කර ගනුදෙනුව අවස්ථාවේ දී මෙරට ඵලදා අනුපාතිකය සියයට 11.73 කි. එතැන සිට අද පවතින සියයට 7.9 කට ආසන්න තැන දක්වාව පොලිය අඩුවන විට එහි වාසිය ආණ්ඩුවට ලැබේ. බිල්පත් හා බැඳුම්කර පියැවීමට අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම හෝ නැවත වතාවක් එකී වටිනාකමට සමාන බිල්පත් හෝ බැඳුම්කර නිකුත් කිරීම මෙහි දී සිදුවෙයි. බිලියන ගණනින් සිදුවන මෙම හුවමාරුවේ දී සියයට හතරකට ආසන්න පොලිය පහත වැටීම සෑහෙන වාසියකි.