අනවසර තැන්වල වාහන නතර කරන්නන්ට දඬුවම් ඕනෑ


මහ මාර්ග දෙපස අනවසරයෙන් වාහන හා යතුරුපැදි නවතා තබන හා පදික වේදිකාවේ වාහන හා යතුරුපැදි නවතා යන රියැදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා උපුටා දක්වමින් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීම ඉකුත් 17 වැනිදා සිට ආරම්භ කළ බවද ඒ මහතා පැවසූ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

‘මිනිසා’ යනු මනස උසස් හෝ මනස උසස් තත්ත්වයට පත් කළ හැකි සුවිශේෂී සත්ව විශේෂයකි. එහෙත් ඇතැම් මිනිසකුගේ මනස උසස් නැත. එම මනස කවදා උසස් තත්ත්වයට පත් වේදැයි නිශ්චය කළ නොහැකි තරම්ය. මහ මගදී තරම් එය ප්‍රදර්ශනයට තැබෙන වෙනත් ස්ථානයක් නොමැති තරම්ය. ‘මාර්ග විනය’ යනු රටක ජනතාවගේ සාමූහික විචාර බුද්ධිය කිරා මැන බැලෙන කෝදුවකි.

පාරේ වාහන නතර කළ හැක්කේ ඒ සඳහා අවසර ලත් ස්ථානවල පමණි. සාමාන්‍යයෙන් වාහන නතර කළ නොහැකි ස්ථානවල ඒ බව දන්වා සංඥා පුවරු සවි කරනු ලැබේ. එහෙත් ඇතැම් රියැදුරෝ ඒවා ගණන් නොගනිති. ඔවුන් බලන්නේ තමන්ගේ අවශ්‍යතාව පමණි. පොදුවේ අන් සියල්ලන්ට සිදුවන හිරිහැරය සම්බන්ධයෙන් ඔවුහු කල්පනා නොකරති. එබන්දන් මෙල්ල කිරීමට නීතිය අවශ්‍ය වේ. නීතිය තිබුණද එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින්ද ප්‍රයෝජනයක් නැත. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඉකුත් 17 වැනිදා සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවය. එය යහපත් ප්‍රවණතාවකි.

පදික වේදිකාවේ සැබෑ හිමිකරුවා පදිකයා ය. මහ මග ගමන් කරනවිට ආරක්‍ෂිතව ගමන් කිරීම සඳහා පදික වේදිකාව වෙන් කර තිබේ. එහෙත් පදිකයාට අහිමිව ඇත්තේත් පදික වේදිකාවය. පදිකවේදිකාව සින්නකර ගෙන සිටින්නෝ පදික වෙළෙන්දෝ වෙති. ඇතැම් තැනක වාහන අලුත්වැඩියා කරන්නන්ගේ වැඩ බිම වන්නේද පදික වේදිකාවය. ඇතැම් රියැදුරෝ පදික වේදිකාවට අවහිර වන පරිදි වාහන නතර කරති. පදිකයාට පදික වේදිකාව තහනම්ය. ඔහුට යාමට සිදුවන්නේ මහ පාරේය. එය ඉතා අනතුරුදායක වුවද මහජනයාට වෙනත් විකල්පයක් නැත.

පදික වේදිකාව පදිකයාට අහිමි වූ කල මහ පාරේ ගමන් කිරීම අනතුරුදායක වන්නා සේම එය අනවශ්‍ය වාහන තදබදයකටද හේතුවකි. රිය අනතුරුවලටද හේතුවකි. මේවා ඇස් ඉදිරිපිට ප්‍රදර්ශනය වන දේය. ඔළුවට ටොකු ඇන පෙන්විය යුතු දේ නොවේය. එහෙත් සාමූහික විචාර බුද්ධිය අහිමි මනස උසස් තත්ත්වයට පත් කර නොගත් නූගතුන්ට ඒවා නොපෙනේ. එක් අතකින් ඔවුහු කුමන හෝ හේතුවක් මත නීතියට ගරු නොකරති. අන්‍යයන්ට සිදුවන හිරිහැරය ගැන නොතකති. එවන් පුද්ගලයන් මෙල්ල කිරීමට ඇති ප්‍රධානම මාර්ගය වන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමය.

වාහන නවතා තැබීමට තහනම් කර ඇති ස්ථාන හෝ පදික වේදිකාවල නවතා තබා යන වාහන, යතුරුපැදි අදාළ පොලිස් ස්ථානවලට ගෙන ගොස් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. වාහනය හෝ යතුරුපැදිය පොලීසියට රැගෙන යාම සඳහා වියදම්වන මුදල අදාළ වාහන හිමියාගෙන් අය කර ගැනීමටද නියමිතය. එමෙන්ම වාහනයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිර දඬුවමකට හෝ දඩයකට යටත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගන්නා රියැදුරන්ට මෝටර් රථ වාහන පනතට අනුව හා මංමාවත් පනතට අනුව නඩු පවරන බවද සඳහන්ය.

රටක් අයාලේ යාමට ඉඩ දිය යුතු නැත. මිනිසා සබුද්ධිකව ක්‍රියා නොකරන්නේ නම් එතැනට ආදේශ විය යුත්තේ නීතියයි. සිර දඬුවමකට හෝ දඩයකට යටත්වූ විට තමන් කරන ලද වැරැද්ද ඉන්ද්‍රිය ගෝචරව වටහා ගැනීමට ඔවුනට හැකිවේ. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික සිරිතක් තරමට ප්‍රගුණ කරමින් සිටින සමාජයකට නීතිමය ක්‍රියාමාර්ග හැර වෙනත් විසඳුමක් නැත. රටකට අවශ්‍ය වන්නේ විනයගරුක මිනිසුන්ය. රටේ අනාගතය බාර ගත යුතු වන්නේද විනයගරුක මිනිසුන්ය. එම මිනිසා නිර්මාණය කරගැනීම සඳහා කොතෙක් දුෂ්කර වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.